මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන්ගේ කරුණු දැක්වීම්වලට සවන් දීමෙන් අනතුරුව,

පැහැදිලි කර ගැනීමේ අරමුණ සඳහා, එන්නත් කිරීම එන්නත ලබාගන්නා පුද්ගලයාගේ කැමැත්ත අනුව සිදු කරන්නක් මිස අනිවාර්ය නොවන්නක් බව උපරිමාධිකරණය විසින් ප්‍රකාශ කරනු ලැබ තිබේ.

එස්. තුරෙයිරාජා, ඒ.එල්. ශිරාන් ගුණරත්න හා අචලා වෙන්ගප්පුලි යන විනිසුරුවන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල මහජනතාව අතර ව්‍යාකූලත්වයක් ඇතිවීම වැළැක්වීමට රජය වෙනුවෙන් සිදු කරනු ලබන සියලු‍ම ප්‍රකාශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් සිදු කරනු ලැබීම වඩා යෝග්‍ය බවත් අන් අය කවර හෝ ප්‍රකාශයක් කිරීමෙන් වැළකී සිටිය යුතු බවත් ප්‍රකාශ කළ අතර එසේ කරන ලෙස ඉල්ලා සිටියේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අනුමැතියකින් තොරව කවරෙකු හෝ විසින් කවර හෝ ප්‍රකාශයක් හෝ නිවේදනයක් කළහොත් ඔහු/ඇය එම වරද සම්බන්ධයෙන් වගකිව යුතු වනු ඇත.

පෙත්සම්කරුවන් වූයේ සමාජ/ වෛද්‍ය මානවවේ දී වෛද්‍යධරණි රාජසිංහම්, වරලත් නාවික ඉංජිනේරු රංජිත් සෙනෙවිරත්න හා රසායනික ඉංජිනේරු හිරාන් ප්‍රනාන්දු යන අයයි.

ඔවුහු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල, ප්‍රාථමික සෞඛ්‍යාරක්ෂණ වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ජාතික ඖෂධ නියාමන අධිකාරිය හා නීතිපති වගඋත්තරකරුවන් ලෙස නම් කළහ.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ වෛද්‍ය කේ.කේ. ඊශ්වරන් සමඟ එන්. බර්තලොමියුස්, දිල්ශානි විජේවර්ධන සහ මොහාන් බාලේන්ද්‍ර පෙනී සිටියහ. සෞඛ්‍ය ඇමති, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, නීතිපති යන අය වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන සමඟ රාජ නීතිඥ ශිලෝවා ඩේවිඩ් පෙනී සිටියහ. ප්‍රාථමික සෞඛ්‍යාරක්ෂණ, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැතිනිය අධිකරණය ඉදිරියේ පෙනී නො සිටි අතර ඇය කිසිවෙකු විසින් නියෝජනය කරනු නොලැබීය. ඇයට නොතීසි නිකුත් කරන ලෙස අධිකරණය නියෝග කළේය.

පෙත්සම විභාග කිරීම ආරම්භ කළ අවස්ථාවෙහි අධිකරණය එන්නත්කරණය සම්බන්ධ වගකීම පැවරී ඇති අවසන් බලධාරියා කවුරුන් ද යන්න සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් විමසීය.

වගඋත්තරකරුවන් නියෝජනය කරමින් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සම්පූර්ණ එන්නත් වැඩපිළිවෙළ භාරව ක්‍රියා කරන බවත් රජයේ සියලු‍ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඔහු උත්තර දෙනු ඇති බවත් ය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා උපරිමාධිකරණයට ඉදිරිපත් කළ සිය දිවුරුම් ප්‍රකාශය තුළ ප්‍රකාශ කර සිටියේ රජයේ එන්නත් වැඩපිළිවෙළ අනිවාර්ය නොවන බවත් එන්නත දෙනු ලැබ තිබෙන්නේ පුද්ගල අයිතිය හා ස්වයං -නිර්ණයට ඇති අයිතිය ආරක්ෂා කරමින් බවත්ය.

සෞඛ්‍ය අමාත්‍යාංශය එන්නත් කිරීම අනිවාර්ය කෙරෙන කවර හෝ නීතියක් හෝ නිවේදනයක් නිකුත් කර නැතැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

පෙත්සම්කරුවෝ ඔවුන්ගේ ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කරමින් ලබන වසරේ සිට එන්නත් මාත්‍රා දෙකම අනිවාර්ය වනු ඇති බවත් ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළුවීමේ දී එන්නත් සහතිකය අනිවාර්ය කිරීමෙහිලා කිසිදු බාධකයක් නොපවතින බවත් සෞඛ්‍ය ඇමතිවරයා පැවසූ බවට පුවත්පත්වල වාර්තා පළවී තිබුණු බව කියා සිටියහ.

කාරණයේ වැදගත්කම හා හදිසිභාවය හේතුකොට ගෙන අධිකරණය පෙත්සම වැඩිදුර සලකා බැලීම ජනවාරි 11 වැනිදා නඩු ලේඛනයේ මුල්ම කටයුත්ත ලෙස නියම කළේය.

පෙත්සම්කරුවෝ ඔවුන්ගේම අයිතියක් ලෙසත් පොදු ජනතාවගේ අභිලාෂය හා පොදු ජනතාවගේ යහපත වෙනුවෙනුත් අධිකරණයට මේ පෙත්සම ගොනු කළහ. නිසි දත්ත නොමැති තත්වයක් තුළ ඉවක් බවක් නොමැතිව ළමයින් එන්නත් කිරීම වැළැක්වීමට ඔවුහු අධිකරණයෙන් නියෝගයක් අපේක්ෂා කරති.

සියලු‍ම කොවිඩ්-19 එන්නත්වලට හදිසි අවස්ථාවල ප්‍රයෝජනයට ගැනීමේ අවසරය පමණක් ලැබී තිබෙන නිසාත් පූර්ණ සායනික අත්හදා බැලීම් පිළිබඳ දැඩි කොන්දේසිවලින් තොරවීම නිසාත් නිසි දත්ත නොමැති තත්ත්වයක් යටතේ ඉවක් බවක් නැතිව එන්නත් ලබාදීම සඳහා ළමයින් ඉලක්කයක් බවට පත්ව තිබීම පිළිබඳව ඔවුහු දොස් නඟති.

විශේෂයෙන්ම ළමයින් සම්බන්ධයෙන් එන්නත්වල ආරක්ෂිත භාවය හෝ කාර්යක්ෂම භාවය ප්‍රමාණවත් තරම් අත්හදා බලනු ලැබ නොතිබීම ගැන ඔවුහු දුක් වෙති. ඊට අතිරේකව, දැනුවත් තෝරා ගැනීමක් සිදු කිරීම සඳහා සායනික අත්හදා බැලීම් පිළිබඳ දත්ත මහජනතාවට අනාවරණය කරනු ලැබ ඇත්තේ ද නැත.

කුමක් එන්නත් කළත් නොකළත් එන්නත අනිවාර්ය කිරීම කෙනෙකුගේ සිරුර සම්බන්ධයෙන් ඔහුට/ඇයට පවත්නා පුද්ගල අයිතියට ස්වයං-නිර්ණයට ප්‍රතිවිරෝධී වන්නක් බව ඔවුහු අවධාරණයෙන් කියා සිටිති. ස්වෙච්ඡා කැමැත්ත අර්ථවත්, වලංගු හා සියලු‍ තතු දත් කැමැත්තක් වීම අත්‍යවශ්‍ය ය.

දකුණු ආසියාව තුළ ජීවත් වන දකුණු ආසියානු ජනතාව සම්බන්ධයෙන් ෆයිසර් එන්නත් අත්හදා බැලීම් සිදු කෙරී නැති බවත්, ආසියාව තුළ එන්නත් අත්හදා බැලීම් සිදු කරන ලද බවට සාක්ෂි නොපවතින බවත් පෙත්සම්කරුවෝ අවධාරණය කොට දක්වති.

රෝග හා වසංගතවලට එරෙහිව සටන් කිරීම සඳහා එන්නත් ඉතා ප්‍රයෝජනවත් විය හැකි බව ඉතිහාසය පෙන්වා දී තිබෙන නමුත්, එන්නත්වලින් අනභිප්‍රේරිත අතුරු ආබාධ ඇති විය හැකි බව ද පෙත්සම සඳහන් කරයි. එන්නත් අනුමත කරනු ලැබීමට මත්තෙන්, ඒවා මනා සායනික අත්හදා බැලීම් මඟින් නිසි පරිදි පරීක්ෂාවට හා අධ්‍යයනයට භාජනය කරනු ලැබීම අවශ්‍ය වන්නේත් පරීක්ෂණවල ප්‍රතිඵල ස්වාධීන විද්‍යාඥයන්ගේ සුපරික්ෂාව සඳහා ලබාගත හැකි විය යුතු වන්නේත් එනිසා ය.

කොවිඩ්-19 එන්නත් සියල්ලටම අවසර ලැබී ඇත්තේ හදිසි තත්ත්වයක දී පාවිච්චි කිරීමට පමණක් වන අතර, ඒවා පූර්ණ සායනික අත්හදා බැලීම් පිළිබඳ දැඩි කොන්දේසිවලට යටත් කරනු ලැබ තිබේ. එනයින් එන්නත් ආරක්ෂිත බව හා කාර්යක්ෂම බව සම්බන්ධයෙන් ප්‍රමාණවත් තරම් අත්හදා බලනු ලැබ නොතිබේ. විශේෂයෙන්ම, ළමයින් සම්බන්ධයෙන් එවැනි අත්හදා බැලීම් සිදු කරනු ලැබ නැතැයි යන අදහස පෙත්සම තරයේ දරා සිටියි.

කෙසේ වෙතත්, සියලු‍ අදාළ දත්ත ස්වාධීන මහජන හා විද්‍යාත්මක සුපරීක්ෂාවක් සඳහා ලබාගත හැකි තත්ත්වයක් නිර්මාණය කිරීමෙන් තොරව, මේ එන්නත් ජනතාවට, විශේෂයෙන් ළමයින්ට බලෙන් ලබා දිය හැකිව ඇතැයි යන්නක් මින් අදහස් නොවන බව පෙත්සම සඳහන් කරයි.

මේ පෙත්සම දැනට ක්‍රියාත්මක වෙමින් පවතින කොවිඩ් එන්නත් වැඩපිළිවෙළ අභියෝගයට ලක් කරන පෙත්සමක් ලෙස තේරුම් නොගත යුතුව ඇතැයි එය සඳහන් කරයි.

කෙසේ වෙතත්, ප්‍රමාණවත් මට්ටමකින් අත්හදා බලා නැති මේ එන්නත් විශේෂයෙන් ම ළමයින්ට ලබාදීම සඳහා කිසිදු ආකාරයේ බලාත්කාරි නියෝගයක් නිකුත් කළ නො හැකි ව තිබේ. එන්නත් අනිවාර්ය කිරීම් මානවයාගේ අයිතියට, පුද්ගල නිදහසට හා තමන්ගේ සිරුරට කුමක් එන්නත් කර ගත යුතු ද යන්න තීරණය කිරීමට ඇති ස්වයං-නිර්ණ අයිතියට ප්‍රතිවිරෝධි වන්නක් ය, යන්න සුලබ නීතියක් බව පෙත්සම්කරුවෝ සඳහන් කරති.

දැනට පවත්නා පරීක්ෂා කොට අත්හදා බලනු ලබන එන්නත් තාක්ෂණය භාවිත කරන එන්නත්වලට අවසර දෙනු වෙනුවට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අවසර දෙනු ලැබීමට නියමිතව තිබු ප්‍රථම කොවිඩ්-19 එන්නත් නව මාදිලියේ මැසෙන්ජර් RNA (mRNA) තාක්ෂණ ක්‍රියාමාර්ග භාවිත කරන එන්නත් වූ බව ඔවුහු සැලකිය යුතු ලෙස සඳහන් කරති.

මැසෙන්ජර් රයිබොන්‍යුක්ලියැක් අම්ලය (mRNA) මානව ජීව විද්‍යාව තුළ සුවිශේෂිතව ප්‍රෝටීන සංශ්ලේෂණය ලෙස ප්‍රකට ක්‍රියාදාමයක් තුළ සක්‍රීය භූමිකාවක් ඉටු කරයි. ෆයිසර් - බයොඑන්ටෙක් හා මොඩනා සමාගම් විසින් ජාන-චිකිත්සක එන්නත් වර්ධනය කරනු ලැබී ය. ඇස්ට්‍රොසෙනිකා අභිජනන එන්නත් තාක්ෂණය භාවිත කරයි.

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ එන්නත් මාදිලි සයක් භාවිත කරනු ලැබේ: ඒවා නම්, සයිනොෆාම්, සයිනොවැක්, ෆයිසර්, මොඩනා, ඇස්ට්‍රොසෙනිකා සහ ස්පුට්නික් එන්නත් වේ. සයිනොෆාම්, සයිනොවැක් හා ස්පුට්නික් සාම්ප්‍රදායික එන්නත් තාක්ෂණය භාවිත කරනු ලබන අතර අනෙක් අතට ෆයිසර්, මොඩනා සහ ඇස්ට්‍රොසෙනිකා (mRNA) එන්නත් ගණයට අයත් වේ.

එන්නතක් සැලසුම් කිරීමට ප්‍රධාන ප්‍රවේශයන් තුනක් පවතී: ඒවා සමස්ත වයිරසය හෝ බැක්ටීරියාව උපයෝගි කර ගන්නේ ද, බීජයේ කොටස් පමණක් ප්‍රතිශක්ති පද්ධතිය ප්‍රේරණය කරයි ද, එසේ නැත හොත් සමස්ත වයිරසය සඳහා නොව, සුවිශේෂි ප්‍රෝටීන තැනීම සඳහා පමණක් ජානමය ද්‍රව්‍ය සපයන්නේද?

ප්‍රතිදේහ ප්‍රේරණය කිරීමට සිරුර තුළට දුර්වල කරන ලද හෝ අක්‍රිය කරන ලද රෝග බීජ ඇතුළු කරන එන්නත් මෙන් නොව, (mRNA) එන්නත් සාර්ස් කොවිඩ්-2 වයිරසයේ ප්‍රෝටීන තුඩුවලින් ඉතා කුඩා ජාන උපදේශ කේතයක් සිරුර තුළ පවතින ධාරක සෛල තුළට නිකුත් කරන අතර, එම උපදේශ කේත සාරාර්ථයෙන්ම එම සෛලවලට ප්‍රෝටීන් තුඩුවල පිටපත් තැනීම සඳහා උපදෙස් නැතහොත් සැලසුම් කෙටුම්පතක් ලබා දෙයි.

ප්‍රෝටීන තුඩු ධාරක සෛල විනිවිද ගොස් ඒවා ආසාදනයට ලක් කිරීමේ කාර්යය ඉටු කරයි. මේ ප්‍රෝටීන ප්‍රතිදේහ නිපදවමින් ද මතකය වර්ධනය කරමින් ද ප්‍රතිශක්ති ප්‍රතිචාරය උත්තේජනය කරයි. මෙම මතක සෛල ඒවා පහදාලන තථ්‍ය වෛරසයක් සිරුරට ආසාදනය වුවහොත් හඳුනා ගෙන ප්‍රතිචාර දක්වනු ඇත.

mRNA එන්නත් ඔවුන් ප්‍රකාශ කර සිටින විශාල පරිමාණ එන්නත් වැඩ පිළිවෙළ තුළ කිසිදාක භාවිත කරනු ලැබ නො තිබෙන අත්හදා බැලීමේ තාක්ෂණයන් (ජාන-පදනම් කර ගැණුනු) භාවිත කරයි.

ෆයිසර් සමාගම වගකීමෙන් නිදහස් වීමට අපේක්ෂා කරන අතර, එහි එන්නත භාවිත කරන බොහෝ රටවල් සමඟ වගකීමෙන් නිදහස් වීමේ වගන්තියකට අත්සන් තබා තිබිණි. මේ මඟින් එකි රටවල් පෙන්නුම් කරන සැලකිය යුතු හානි ගෙන දෙන සිදුවීමක දී කවර හෝ නෛතික වන්දියක් ගෙවීමෙන් සමාගම නිදහස් කෙරෙනු ඇත.

මේ ඖෂධ සමාගම් මඟින් නිෂ්පාදිත එන්නත්වල කාර්යක්ෂමතාව සහ ඵලදායකත්වය සම්බන්ධයෙන් ලොව අනෙක් ප්‍රදේශවල අත්හදා බැලීම් තවමත් සිදු කෙරෙමින් පවතින හෙයින්, ශ්‍රී ලාංකික දරුවන් විශාල ඖෂධ සමාගම්වල දඩමීමන් බවට පත් කිරීම සදාචාර විරෝධි හා අනීතික ක්‍රියාවක් වනු ඇතැයි පෙත්සම්කරුවෝ සඳහන් කරති.

එස්.එස්. සෙල්වනායගම් විසිනි

පරිවර්තනය

සේපාල විජේසේකර

2022 ජනවාරි මස 09 වන ඉරිදා

තක්සලාව

@ උපුටාගැනීම - සංජය ඈපාගේ මුහුණු පොතෙන්.

නවතම ලිපි