මා කලක් ජේවීපිය හා ජාතික හෙළ උරුමය යන ව්‍යාපාර දෙක හඳුනා ගෙන තිබුනේ

සිංහල බෞද්ධ අයිතිය සදහා තරඟ කරන, ලංකාවේ සිංහල මතවාදී තලය පසුගාමී කිරීමට දායකවූ, සිංහල බෞද්ධ වර්ග වාදයට, විමුක්තිකාමී හා රණකාමී වේශයක් ලබාදුන්, ලංකාවේ යහපතට හේතුවන සැබෑ ප්‍රතිසංස්කරණ ඇතිවීම වලකා ලූ, සම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට වඩා වෙනස් සිංහල සමාජයේ පීඩිතයින්ට මුල් විහිදී ගිය සටන්කාමී එහෙත් පසුගාමී දේශපාලන ධාරා දෙකක් ලෙසය.

සිංහ ධජය තමන් වෙත හිමි කරගැනීම ගැනීම සදහා මේ ව්‍යාපාර දෙක අතර එක කාලයකදී ලොකු පොරයක් තිබුණි. එම ධජයේ කිසියම් පංගුවක් අනුර කුමාර අත තිබුනු අතර ඉතිරි පංගුව තිබුනේ චම්පික රණවක අතය. අවසානයේ මහින්ද රාජපක්ෂ එම ධජයේ එකම හිමිකරුවා බවට පත්වූ අතර ඒ ක්‍රියාදාමය තුළ උදුරා ගැනීමක් සේම කැමැත්තෙන් භාරදීමක් යන ලක්ෂණ දෙකම අඩංගු වී තිබුනේ යැයි කිව හැකිය. මේ දෙපාර්ශවය මහින්ද රාජපක්ෂ බලයට ගැනීම සඳහා තීරණාත්මක කාර්‍ය්භාරයක් ඉටු කළේය. ඒ දෙපිරිස නොවේ නම් ප්‍රභාකරන්ගේ වර්ජනය තිබියදීත් 2005 ජනාධිපතිවරණයෙන් මහින්ද පරාජය වන්නට ඉඩ තිබුණි.

si

සිංහ ධජය සඳහා පොරය

මහින්ද ජනාධිපති වී ඔහු සිය දේශපාලන බල අධිකාරිය ශක්තිමත් කරගැනීමෙන් පසු ජේවිපිය රාජපක්ෂ පාලනය සමග පවත්වාගෙන ආ සන්ධානයෙන් ඉක්මනින් ඉවත් විය. ඊට වෙනස්ව චම්පිකගේ හෙළ උරුමය එම ආණ්ඩුවෙන් ඉවත් වූයේ අවුරුදු 10 කට පසුවය. ඉන්පසු බොහෝ දේ සිදුවු අතර 2015 පරාජයවූ මහින්ද වෙනුවට 2019 අවසානය්දී ගෝඨාභය බලයට පත්වී මහින්ද අත තිබූ සිංහ ධජය ගෝඨාභය අතට මාරුවිය. එය දැන් තිබෙන්නේ ඔහු අතින් ද ගිලිහෙන තත්වයකය. ඒසේ ඔහු අතින් ගිලිහෙන සිංහ ධජය තමන් වෙත හිමි කර ගැනීමේ ආශාවක් අනුර කුමාර තුල ඇතිවී, ඔහු ඒ අරමුණ ඉටුකර ගැනීම සදහා ඊට ගැළපෙන ලෙස ඇඳුම් මාරු කර ගනිමින් සිටින බව පෙනේ. ඒ සමග ඔහුට හා ඔහුගේ ව්‍යාපාරයට අවංක ලෙස හෝ මූනිච්චාවට ඇති කර ගෙන තිබූ බහුත්වවාදි ගුණධර්මද ඉකමනින් අත් හරින්නට සිදු විය හැකිය. ඉතාමත් පුදුම සහගත දේ වනුයේ චම්පික ඊට වෙනස්ව 2015 තෝරාගත් මාර්ගයේම ඊට තරමක් වෙනස් ආකාරයකට ගමන් කිරීමට හිත හදාගෙන සිටීමය. ඔහු ගේ ගියර් මාරුව හා එතැන් සිට පවත්වා ගෙන යමින් තිබෙන වෙනස්කම් අවංකද නැද්ද යන්න තවමත් කිව නොහැකිය. රටේ සුළු ජාතින්ගේ විශ්වාසයට හේතු නොවීම රටේ අනාගත නායකත්වයට ඉව අල්ලමින් සිටින මෙම නායකයින් දෙදෙනාටම ආවේණික පොදු ලක්ෂණයක් ලෙස සැළකිය හැකිය.

චම්පික සිය සංදර්ශනය පැවැත්වීම සදහා තෝරාගෙන තිබුනේ ද අනුර කුමාර ඔහුගේ සංදර්ශනය පවත්වන ලද ශාලාව මය. අනුර කුමාර, ජාතික ජනබලවේගය සංදර්ශනය වර්ණවත් කරන හේවිසි කණ්ඩායම ලෙස යොදා ගන්නා විට චම්පික එම කාර්‍යය සදහා 43 වැනි සේනාංකය යොදා ගත්තේය. අනුර තමන්ගේ දේශනයට අතිරේකව "අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශයක්" නමින් පොත් පිංචක්ද පළ කර තිබුණි. චම්පිකද සිය දේශනයට අතිරේකව අර්බුදය හා එය ජය ගතයුතු මාර්ගය විග්‍රහ කිරීම සදහා "ගොඩ එමු ගොඩ නගමු" යන හිසින් පොත් පිංචක් පළ කර තිබුනි.

අයිවන් 1

අයිවන් 4

මෙම සංදර්ශන දෙක අතුරින් බාහිර පෙනුම අනුව නම් වැඩි ලකුණු ලැබිය යුත්තේ අනුරගේ සංදර්ශනයටය. නායකයින් දෙපල කරන ලද කථා දෙක අතරින් චම්පිකගේ කථාව වඩා අර්ථවත් සේම බරසාරය. අනුරගේ ප්‍රවේශය වුයේ ලංකාව ගලවා ගැනීමේ හැකියාව ඇත්තේ තමන්ට හා තම පක්ෂයට පමණක් බව පෙන්නුම් කොට රට අපට බාර දෙන ලෙසත් රට බාරගන්න අප සූදානම් බවත් කියා සිටීමය. චම්පික ඊට වෙනස්ව අර්බුදය ජයගැනීම සදහා පුළුල් ජාතික සම්මුතියක් හා ඒ සදහා ඒකාබද්ධ වැඩපිළිවෙළක අවශ්‍යතාව ගැන කථා කළේය. ඒ ප්‍රවේශ දෙක අතරින්ද චම්පිකගේ ප්‍රවේශය අනුර කුමාර කුමාරගේ ප්‍රවේශයට වඩා පුළුල් බව කිව යුතුය. මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී ඔහු පරාජය කිරීමේ ප්‍රශ්නය දැන් රට මුහුණ දී තිබෙන අර්බුදයට වඩා කුඩා ප්‍රශ්නයක් ලෙස සැළකිය හැකිය. එසේ තිබියදීත් මහින්ද රාජපක්ෂ පරාජය කිරීමේ ප්‍රශ්නය ජයගැනීම සදහා 2010 දී ඍජු ලෙස පොදු පෙරමුණක් හා පොදු අපේක්ෂකයෙකු වෙනුවෙන්ද නැවත 2015 දී පොදු අපේක්ෂකයෙකු වෙනුවෙන් අනියම් ලෙසද පෙනී සිටියේය. මහින්ද පරාජය කරන්නට ජාතික එකසත් පෙරමුණක් අවශ්‍ය වූ ජවිපෙට මහින්ද රාජපක්ෂ පරාජය කිරීමේ ප්‍රශ්නයට වඩා සිය දහස් ගුණයක් තරම් විශාල අර්බුදයක් ලෙස සැළකිය හැකි දැන් රට මූහුණ දී තිබෙන අර්බුදය විසඳන්න කල්පනා කරනුයේ පොදු ජාතික එකඟතාවයක් නැතිව තනි පක්ෂයක් ලෙසය!

 

මහින්

එක යුගයක් අවසන් වීම

චම්පික ඉදිරිපත් කරන විසඳුම් ගැන කතා කරන්නට පෙර විශාල අර්බුදයක කරවටක් ගිලී සිටින මේ තීරණාත්මක අවස්ථාවේදී දේශපාලන නායකයින් හා ව්‍යාපාර ගැන මා කරනු ලබන විවේචනයන් ගේ අරමුණ කුමක්ද යන්න පැහැදිලි කිරීම වැදගත් වේ යැයි සිතමි. මා ඔවුන්ගේ තරඟකරුවකු නොවන අතර බල දේශපාලන ව්‍යාපෘතියක කොටස් කරුවකුද නොවෙමි. විවේචනය කරන්නේ විනාශ කිරීමේ අරමුණින් නොව දේශපාලන තලය මුවහත් කිරීමේ අරමුණිනි. දැන් අපි මුහුණ දී තිබෙන අර්බුදය ක්‍රියාකාරි ශක්තියෙන් පමණක් ජය ගත හැකි අර්බුදයක් ලෙස සැළකිය නොහැකිය. ඒ සඳහා පරිකල්පනය දියුණු කර ගැනීමද අවශ්‍යය. එය කළ හැක්කේ කරුණු හැදෑරීමෙන්, ඒ කරුණු විග්‍රහ කිරීමෙන්, ඒවා සංවාදයට හා වාද විවාදයන්ට ලක් කිරීමෙනි. මා කරන්නේ ඒ සදහා සුදුසු මතවාදි පසු තලයක් ඇති කිරීමට උත්සාහ කිරීමය.

හොඳට හෝ නරකට එක යුගයක් අවසන් වෙමින් නව යුගයක් උදාවෙමින් පවතී. ඒ ක්‍රියාදාමය තුළ වෙනස් වන්නට කැමති නැති අධාන ග්‍රාහි දේශපාලන නායකයින් සේම දේශපාලන ව්‍යාපාර ද විනාශ වීමට නියමිත ය. මගේ මතය අනුව මේ අර්බුදය හොඳට හෝ නරකට අවසන් වන අවස්ථාව වන විට පරණ දේශපාලන නායකයින් අතරින් අල්ලා ගෙන සිටීමට හැකිවනු ඇත්තේ අතලොස්සකට පමණය. ඒ ධර්මතාව දේශපාලන ව්‍යාපාරවලටද බලපානු ඇත. එවිට දේශපාලන තලයේ වැඩි පංගුව සමන්විත වනු ඇත්තේ අළුත් නායකයින්ගෙන් හා අළුත් ව්‍යාපාර වලිනි. ඔවුන්ගේ ද සාර්ථක හෝ අසාර්ථක භාවය රදා පවතිනු ඇත්තේ නිර්භීත ලෙස තීන්දු ගැනීමට තිබෙන හැකියාව, අවංකකම හා පරිණතභාවය යන සාධක මතය.

කුරුස යුද්ධය යුරෝපයේ අවසාන ආගමික යුද්ධය වුවාසේ වර්ගය හා ආගම මුල් කරගත් අවසාන මැතිවරණය වනු ඇත්තේද 2019 ජනාධිපතිවරණය හා 2020 පාර්ලිමේන්තු මැතිවරණ යයි. මින් මතු මහා වර්ගය හෝ මහා ආගම මත පමණක් පදනම් වී මැතිවරණ ජය ගැනීමට කිසිම පක්ෂ ව්‍යාපාරයකට නොහැකිවනු ඇති අතර මින් මතු ලංකාවේ මහජනයාගේ පිළිගත් නායකයින් හා පක්ෂ බවට පත්වීමට හැකි වනු ඇත්තේ එක වර්ගයකට හෝ ආගමකට සීමා නොවූ භේදයකින් තොරව සියලු වර්ග හා ආගම් වලට අයත් ජනයා එක සමාන අයිතිවාසිකම් ඇති එක සමාන මනුෂ්‍ය ගෞරවය ඇති මිනිසුන් ලෙස සලකා ක්‍රියා කරන නායකයින්ට හා පක්ෂවලට පමණය. ඒ සුදුසුකමේදීත් අනුර හා චම්පික යන නායකයින් දෙදෙනාම ඉන්නේ එම සුදුසු කම සම්පූර්ණ කරගත් තත්වයක නොව සම්පූර්ණ කර ගත යුතු තත්වයකය.

anura

patali

දැන් අපට චම්පික ගේ වැඩසටහනේ හොඳ නරක ගැන කථා කරන තැනකට යා හැකිය. ගෙවුම් ශේෂ අර්බුදය විසඳා ගැනීම සදහා ඉදිරිපත් කර තිබෙන යෝජනා නිවැරදිය. හොඳ සිහිය තිබෙන ඕනෑම ආණ්ඩුවක් ක්‍රියා කරනු ඇත්තේද මීට පෙර ගෙවුම් ශේෂ අර්බුදවලට මුහුණ දුන් ලංකාවේ විවිධ ආණ්ඩු එම අර්බුද විසඳා ගත්තේ ද චම්පික යෝජනා කර තිබෙන ආකාරයට සමාන ආකාරයටය. වඩාත්ම මගේ මත භේදයට හේතු වන්නේ සමාජ-දේශපාලන අර්බුදයට අදාලව ඔහු ඉදිරිපත් කර තිබෙන විග්‍රහයන් හා යෝජනාය. සමාජ ක්‍රමයේ ඇති වී තිබෙන මහා කඩා බිඳ වැටීම හා ඊට බලපෑ ගැටුම් ආශ්‍රිත ප්‍රශ්න පදනම් කරගත් "වර්ග, කුල, ආගම් ප්‍රශ්නය" ලංකාවේ අර්බුදය අදිනිෂ්චය කෙරුන හා තවමත් ලංකාවේ අර්බුදය අදිනිෂ්චය කරමින් තිබෙන ප්‍රශ්නය ලෙස චම්පික සළකන්නේ හෝ සළකන්නට කැමති නැති බව පෙනේ. "ගොඩ එමු ගොඩනගමු" යන පොත හෝ ලේඛනය චම්පික ලියන ලද හෝ ඔහු ගේ අදහස් ඇතුළත් පොතක් හෝ ලේඛනයක් ලෙස සලකතොත් එහි ඔහු කියන්නේ "යුද්ධය අවසන්‍ ය... යුද්ධ සමයේ ඇතිවූ ආවේගයන්, වේදනාවන්, වෛරයන් පමණක් නොව සමහර න්‍යායන් හා කථිකාවන් පවා" වර්තමාන සමාජයට ගැලපෙන්නේ නැති බවය.

 

සුළු ජාතිකයින් නොසළකා ක්‍රියා කිරීම

අපි මොහොතකට උතුරේ දෙමළ ප්‍රශ්නය අමතක කරමු. ප්‍රභාකරන් පරාජය කිරීමෙන් පසු මුස්ලිම් ජනයාට එරෙහිව සිංහල ජනතාව තුල වෛරයක් හා පිළිකුලක් ඇති කිරීම සදහා ආරම්භ කොට අද දක්වා විවිධ ආකාර වලට පවත්වා ගෙන යමින් තිබෙන මුස්ලිම් විරෝධී හිංසනය අවසන් නොකර තිබියදීත් රටේ යහපත සලකා මුස්ලිම් ජනයා එම හිංසනය ඉවසා සිටිය යුතු අතර ඔවුහූ තමන්ට කරන ලද එම හිංසා පීඩා මුළුමනින් අමතක කල යුතු යි කියා චම්පික හිතන්නේද?

දෙමළ තරුණ පරපුර ආයුධ අතට ගෙන සටන් කරන තැනකට ගියේ දෙමළ ජනයාට හිමි සාධාරණ භාෂා අයිතිවාසිකම් අහිමි කිරීම මගින් ඔවුන්ට අහිමිකල මනුෂ්‍ය ගෞරවය දිනා ගැනීම සදහා නිත්‍යානුකූල හා සාමකාමී රාමුවක එක දිගට වසර 18 ක් සටන් කොට අවසානයේ ඔවුන්ට එරෙහිව 1983 ජූලි වලදී බිහිසුණු හා කුරිරු සංහාරයක් ක්‍රියාත්මක වීමෙන් පසු වය. 83 කළු ජූලියට පෙරද උතුරේ සන්නද්ධ කණ්ඩායම් කිහිපයක් ඇතිවී තිබුන ද ඒවා ට දෙමළ ජනතාවගේ පිළිගැනිමක් තිබුනේම නැති තරම් ය. එම දිග්ගැස්සුන බෙදුම් වාදී කැරැල්ල පරාජය කෙරුණේ අඩු වැඩි ප්‍රමාණයකට ජේවීපී කැරැල්ල පරාජය කෙරුනු කුරිරු ආකාරයටය යන කාරණය අමතක කලද කැරැල්ල පරාජය කිරීමෙන් පසු දෙමළ කැරලිකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කල යුතුව තිබුණේ ජේවීපී කැරැල්ල පරාජය කිරීමෙන් පසු ඔවුන් සම්බන්ධයෙන් අනුගමනය කල ප්‍රතිපත්තියට සමාන ප්‍රතිපත්තියක් නොවේද? ලංකාවේ වර්ග, කුල, ආගම් ප්‍රශ්නය සම්බන්ධයෙන් චම්පික සිතන බව පෙනෙන්නේ එය ව්‍යුහමය ප්‍රතිසංස්කරණ අවශ්‍ය නොවන කාලයාගේ ඇවෑමෙන් ඉබේ විසඳෙන ප්‍රශ්නයක් ලෙසය.

දේශපාලන ක්‍රමය ගැන

දේශපාලන ක්‍රමය ගැන චම්පික කල්පනා කරන විදියද පසුගාමීය. අළුත් ව්‍යවස්ථාවක් හදා ගැනීම විස්තර කර තිබෙන්නේ සපුරාගැනීම ඉතා දුෂ්කර කාරියක් ලෙසය. වැඩි කැමැත්තක් ඇති බව පෙනෙන්නේ ජනාධිපති ක්‍රමයත් ආරක්ෂා කරගෙන තිබෙන ව්‍යවස්ථාව සංශෝධනය කරගනිමින් යන ඉදිරි ගමනක් ගැනය. 20 වැනි සංශෝධනය අහෝසි කොට නැවත වැඩි දියුණු කල 19ක් කරළියට ගන්නා වැඩ පිලිවෙලක් ඒ සදහා ප්‍රමාණවත් වේ යැයි කල්පනා කරන බව පෙනේ. 19 වැනි සංශෝධනය නිසා අධිකරණය ස්වාධීන වීද? එසේ නම් ගෝඨාභයට එරෙහිව පැවරුණ නඩුවලදී සමහර අධිකරණ වලදී සාධාරණ හා නීතියට අනුකූලව කරුණු සලකා බලන ප්‍රතිපත්තියක් අනුගමනය නොකෙරුනේ ඇයි? ඔහුගේ ඇමරිකන් පුරවැසිභාවයට අදාල ප්‍රශ්නයේදී එය ජනාධිපතිවරණයට තරඟ කරන්නට යන අපේක්ෂකයකුට අදාල ජාතික වැදගත්කමක් ඇති ප්‍රශ්නයක් ලෙස සලකා අධිකරණය එම ප්‍රශ්නය හොඳින් කරුණු සොයා බලන තැනකට නොගියේ ඇයි?

19 නිසා මැතිවරණ කොමිසම ස්වාධීනව ක්‍රියා කරන තත්වයක තිබුනේ නම් ගෝඨාභයගේ ඇමරිකන් පුරවැසිභාවය පිළිබද ප්‍රශ්නය, නාම යෝජනා අවස්ථාවේදී හොඳින් කරුණු පරීක්ෂාවට ලක්කෙරෙන අවස්ථාවක් බවට පත් කරගත යුතුව තිබුනි. එය එසේ නොවූ බව අපි දනිමූ. මහජනයාගේ ආකර්ශනට හේතු වුවත් 17 හා 19 සංශෝධන වලින් ව්‍යවස්ථා සභා ක්‍රමයක් යටතේ ඇති කරන ලද කොමිසන් සභා ක්‍රමය ශක්තිමත් අත්තිවාරමක් මත ගොඩ නගන ලද ක්‍රමයක් නොවීය. ජනාධිපති කැමතිතාක් පමණක් පැවතිය හැකි ක්‍රමයක් විය. එවැනි දුර්වල ක්‍රමයක් ගොඩ නැගෙන්නට ඇත්තේම ජනාධිපතිවරුන්ගේ පමණක් නොව එම තනතුරට පත් වීමට සිහින දකිමින් සිටි නායකයින්ද එම ක්‍රමය දුර්වල තත්වයකින් ගොඩ නගනවා දකින්නට අපේක්ෂා කළ නිසා විය හැකිය. ජනාධිපතිගේ බල පරාක්‍රමය ඉදිරියේ තමන් සිටින්නේ දුර්වල තත්වයක බව මේ ක්‍රමයට තනතුරු ලබා ගෙන සිටි අය දැන සිටියේය. අවශ්‍ය අවස්ථා වලදී පාට මාරුකරන ප්‍රතිපත්තියක් ඔවුන් තෝරා ගන්නට ඇත්තේ ඒ නිසාය. මෙම කොමිසන් සභාවල සාමාජිකයින් සාමාන්‍ය කාලවලදී බලයේ සිටින ජනාධිපතිවරයාට පක්ෂපාත ලෙසත් එක්තරා ප්‍රමාණයකට ස්වාධීන ලෙසත් ක්‍රියා කල අතර, සංක්‍රමණීය කාලවලදී සිය පැවැත්ම රැක ගැනීම සදහා බලයේ සිටින ජනාධිපති වෙනුවට බලයට එන්නට නියමිත ජනාධිපතිට පක්ෂපාතව ක්‍රියා කරන පිළිවෙතක් අනුගමනය කළේය. දැන හෝ නොදැන මෙම ව්‍යවස්ථා සංශෝධන දෙකෙන් උත්සහ කලේ නීතියට ඉහළින් සිටින ජනාධිපති එම තත්වයෙහි සිටියදීම උසස් නිලතලවලට පුද්ගලයන් පත් කිරීමේදී හිතුවක්කාරී ලෙස ක්‍රියා කිරීම වළකා ඒ කටයුතු නියාමනය කිරීමය.

නීතියට ඉහළින් සිටින ජනාධිපතිවරයෙකුගේ කටයුතු නියාමනය කල හැකි වනු ඇත්තේ ජනාධිපති නීතීයට ඉහළින් සිටින තත්වය අහෝසි කිරීමෙන් පසුව පමණක් බව එම සංශෝධන දෙකේ න්‍යායවාදින් තේරුම් නොගැනීම කොතරම් විහිළු සගතද? චම්පික ජනාධිපති කමට සිහින දකින බව පෙන්නෙන්නේද නීතියට ඉහළින් සිටින අවලස්සන ක්‍රමයද ආරක්ෂා කර ගැනිමට හේතුවන ආකාරයටය. ජනාධිපති නීතියට ඉහලින් සිටින තත්වය නැති කල යුතු බව, ඔහූ කොතැනකවත් කියා නැත. එය අමතක වීමක් නිසා විය නොහැකිය. අනුර කුමාර නම් ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව කියයි. එහෙත් ඔහු එය අහෝසි කරන්නට යන බව පෙනෙන්නේ ජනාධිපතිවරණයට තරඟ කොට ජනාධිපතිකම ලබා ගැනීමෙන් පසුය!

මෙම ලිපිය දීර්ඝ වීම වැළකීම සඳහා මා විස්තර සහිතව කථා කරන්නේ නැතත් මෙම නායකයින් දෙදෙනා ස්වාධීන අධිකරණ ක්‍රමයක් ඇති කර ගැනීම හා ජනාධිපති ක්‍රමය තුළ දූෂණයෙන් කුණුවූ තත්වයකට පත්ව තිබෙන පාර්ලිමේන්තුව එම තත්වයෙන් මුදාගැනීම සදහා ඇති කළ යුතු ප්‍රතිසංස්කරණ ගැන ද ප්‍රමාණවත් තරමින් අදහස් පළකර නැති බව කිව යුතුය.

නවතම ලිපි