ලංකාවාසීන් වන අපි, අපේ නිදහස් දිනය ලෙස සලකනු ලබන්නේ බ්‍රිතාන්‍යන් ලංකාවට ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් ලබා දුන් දිනය යි.

එම නිදහසේ යම් කිසි සීමා මායිම් දකින්නට ලැබුණා. උදාහරණයක් ලෙස ලාංකිකයෙකුට යුක්තිය හා සාධාරණත්වය උදෙසා බ්‍රිතානයේ ප්‍රිවිව් කවුන්සිලය දක්වා ගමන් කළ හැකිව තිබුණු අතර, තව දුරටත් ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයේ පාලනයට නතුව තිබුණා.

1947 පෙබරවාරි හතර වන දා මෙම ඩොමීනියන් තත්ත්වයේ නිදහස එවකට පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව උත්සවාකාරයෙන් සමරන ලද අතර 1972 වසරේ දී ලංකාව ඩොමීනියන් තත්ත්වයේ නිදහසින් සම්පූර්ණයෙන් ඉවත් වී ජනරජයක් බවට පත්වෙනවා. නමුත් ජනරජ දිනයට වඩා උත්කර්ෂවත්ව සමරනු ලබන්නේ ඩොමීනියන් නිදහස දිනා ගත් දවස යි.

සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ඩොමීනියන් නිදහස

 

පළමු නිදහස් දින 2

සෝල්බරි සාමිවරයා (Wikipedia)

1944 වසරේ දී මෙරට පැමිණි සෝල්බරි කොමිසමේ සාමාජිකයන් 1945 වර්ෂයේ සැප්තැම්බර් මස වන විට සෝල්බරි කොමිසමේ වාර්තාව ප‍්‍රකාශයට පත්කරනවා. රටේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ බලතල ලාංකිකයන්ට පැවරීම පිළිබඳව එහි සඳහන්ව තිබුණ අතර 1947 වසරේ දී මැතිවරණයක් පැවැත්විය යුතු බවට නිර්දේශ වෙනවා. නමුත් ලංකාවට නිදහස ප්‍රදානය කිරීමක් පිළිබඳව එහි සඳහන් වෙන්නේ නෑ.

මැතිවරණයට ප්‍රථම ඩී.එස් සේනානායක ඇතුළු තවත් සිවිල් ක්‍රියාකාරිකයන් රැසක් ලංකාවට නිදහස ලබා ගැනීමට ඇති අයිතිය පිළිබඳව බ්‍රිතාන්‍ය රජයට කරුණු ඉදිරිපත් කරනවා. කෙසේ හෝ මැතිවරණය පැවැත්වීමට මාස කිහිපයකට ප්‍රථම ශ්‍රී ලංකාවට ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් ලබා දීමට කටයුතු කරන බවට බ්‍රිතාන්‍ය කිරීටය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසනවා.

1947 වසරේ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය හා ලංකා දමිළ කොංග්‍රසය එකතුව ආණ්ඩුවක් පිහිටවනවා. යුද්ධ කටයතුවල දී මෙරට භූමිය භාවිත කිරීමේ බලය බ්‍රිතාන්‍යට හිමිවීම හා තවත් කරුණු කිහිපයක් අඩංගු ලංකා ස්වාධීනතා පනත බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව විසින් සම්මත කෙරෙනවා. ඒ 1947 දෙසැම්බර් 03 වැනි දා යි. එම පනත ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ විධිවිධාන ඇතුළත් ලංකා ස්වාධීනතා රාජාඥාව 1947 දෙසැම්බර් 19 දින නිකුත් වෙනවා. ඒ අනුව ලංකාවට නිදහස හිමිවෙන අතර එය පෙබරවාරි මස 4 වන දා ප්‍රකාශයට පත්කර සැමරීම සඳහා තීරණය වෙනවා.

පළමු නිදහස් උළෙල සඳහා සුදානම

පළමු නිදහස් දින 3

හෙන්රි කුමාරයා හා ආර්යාව (National Portrait Gallery)

පෙබරවාරි 4 වන දා සෑම පාසලකම නිදහස් උළෙලක් පවත්වා ක්‍රීඩා උත්සවයක් ද පැවැත්විය යුතු බව නිවේදනය කරන අතර ඒ සඳහා රසවත් ආහාර පාන ද අලංකාර සැරසිලි ද එකතු විය යුතු බවට අදාල ප්‍රදේශ භාර ආණ්ඩුවේ නිලධාරීන්ව දැනුවත් කරනවා. පෙබරවාරි 4,10,11 හා 12 යන දින රජයේ නිවාඩු දින බව ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනය කරනවා.

සෑම රාජ්‍ය ආයතනකම, පෞද්ගලික ආයතන සියල්ලකම ද සිංහ කොඩිය ඔසවා තිබූ අතර ලංකා ස්වාධීනතා පනත පිළිබඳව සියලු විස්තර පුවත්පත් හරහා ජනතාවට දැන ගැනීමට සලස්වා තිබෙනවා. පෙබරවාරි 04 වැනිදා පැවැත්වීමට නියමිත වැඩසටහන්, ග්ලොස්ටර්හි ආදිපාදවරයා වන හෙන්රි කුමාරයාගේ පැමිණීම, පිළිගැනීම ආදිය සියලු කරුණු රටට සන්නිවේදනය කර ඇත්තේ පුවත්පත් මගින් වීම විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැකි යි.

මෙතෙක් කල් බ්‍රිතාන්‍ය කිරීටයේ ඉහළම නියෝජිතයා ලෙස මෙරට සේවය කරන්නේ ආණ්ඩුකාරවරයා යි. නව ආණ්ඩුක්‍රමය යටතේ ආණ්ඩුකාර ධූරය අහෝසි කරන අතර නව තනතුරක් ලෙස අග‍්‍රාණ්ඩුකාර ධූරය ස්ථාපිත කරනවා. එය හුදෙක් නාමමාත්‍රික තනතුරක් ලෙස හඳුන්වා දී තිබූ අතර එම තනතුරේ කටයුතු මෙහෙයවීමේ දී සෑම විටම අගමැතිවරයාගේ උපදෙස් මත ක්‍රියා කළ යුතු වෙනවා.

නිදහස් දා පළමුවෙන්ම සිද්ධ වෙන්නේ මෙරට ප්‍රථම අග‍්‍රාණ්ඩුකාරවරයා ලෙස සර් හෙන්රි මන්ක් මේසන් මුවර් දිවුරුම් දීම යි. ඔහු දිවුරුම් දෙන්නේ එවකට අග්‍ර විනිශ්චකාරවරයා වූ සර් ජෝන් හොවාර්ඩ් ඉදිරියේ යි. එහි දී අචාර වෙඩි මුර කිහිපයක් ද පවත්වනු ලබනවා.

නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් විශාල ප්‍රමාණයක් නිදහස් කිරිමට කටයුතු සූදානම් කෙරෙන අතර දෙහිවල සත්ත්ව උද්‍යානය නැරඹීම සඳහා නොමිලයේ අවස්ථාව ලබා දෙනවා. සවස ගාලු මුවදොර පිටියේ ද උත්සවයක් පැවැත්වූ බව සදහන්.

ග්ලොස්ටර්හි ආදිපාදවරයා වන හෙන්රි කුමාරයාගේ පැමිණීම

පළමු නිදහස් දින 4

තාවකාලිකව ඉදිකළ නිදහස් මන්දිරය (Explore Sri Lanka)

ග්ලොස්ටර්හි ආදිපාදවරයා වන හෙන්රි කුමාරයා හා එම ආර්යාව පෙබරවාරි 5 දා මෙරටට පැමිණි අතර නිදහස් උළෙල යටතේ පළමු රාජ්‍ය උත්සවය පැවැත්වෙන්නේ පෙබරවාරි 10 වන දින යි. ඒ දැන් නිදහස් චතුරස්‍රය පිහිටි ස්ථානයේ යි. එහි ඉදිකළ තාවකාලික මන්දිරයක උත්සවය පැවැත්වෙනවා. එය නිදහසින් පසු පළමු පාර්ලිමේන්තු සභා වාරය ද වුණා. ප්‍රධාන අමුත්තා හෙන්රි කුමාරයා යි.

උත්සවය පැවැත්වූ මන්දිරයෙන් පිටත ආධාරකයක බ්‍රිතාන්‍ය කොඩිය ඔසවා තිබූ අතර සිංහ කොඩිය ද ඒ අසල වුණා. උත්සවය පටන් ගැනීමේ දී හෙන්රි කුමාරයා බ්‍රිතාන්‍ය ජාතික කොඩිය පහත දැමූ අතර ඩී. එස්‌. සේනානායක අගමැතිවරයා සිංහ කොඩිය ඔසවනු ලබනවා.

ප්‍රථම නිදහස්‌ උත්සවයේ දී බ්‍රිතාන්‍ය කිරීටය නියෝජනය කරමින් ග්ලෝස්‌ටර්හි ආදිපාදවරයා කතා කරන අතර පසුව ඩි.එස් සේනානායක ද එවකට ඇමතිවරයෙක් වූ එස්.ඩබ්.ආර්.ඩි බණ්ඩාරනායක හා සෙනෙට් සභාපති සර් ඔලිවර් ගුණතිලක ද කතා පවත්වනවා.

එම කාලය වන විට වර්තමාන ජාතික ගීය නොතිබූ අතර උත්සවයේ දී ගායනා වූයේ "ශ්‍රී ලංකා මාතා පාලා යස මහිමා ජය ජය" යන ජාතික ගීතය යි. ඔසවනු ලබන්නේ ද වර්තමාන ජාතික කොඩිය නොව සිංහ කොඩිය යි.

ලංකාවට නිදහස අත්වීමෙන් පසුව රාජ්‍ය අනුග්‍රහය යටතේ ඇති පළමු උත්කර්ෂවත් නිදහස් උත්සවයක් පැවැත්වෙන්නේ 1949 වසරේ පෙබරවාරි 4 වන දා යි.

@https://roar.media/

නවතම ලිපි