43 සේනාංකයේ වර්ෂපූර්ණ සමරුව අද සවස කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුරදී පැවැත්වුණා.

මා ඊට සහභාගී වූයේ සමාජ ක්‍රියාකාරියකු ලෙස ලද ආරාධනයක් මතයි. (මා එහි සාමාජිකයකු නොවෙයි.) කෙසේ වෙතත් අද වන විට ලංකාව වැටී ඇති පතුළක් නොපෙනෙන අගාධයෙන් ගොඩ ඒමට ඇති විකල්ප අතරින් එක විකල්පයක් ලෙස 43 සේනාංකයට ඇති ආකර්ෂණය සලකා බලා, හුදෙක් ම "වෙන්නේ මොනවා ද, කියන්නේ මොනවා දැයි" දැනගැනීමේ ආශාවෙන් ඊට සහභාගී වී බලන්නට මා තීරණය කළා.

43 2

* ඡායාරූප - ලංකාදීප පුවත්පතින්

"මෙන්න කඩේ යනවෝ" යන චෝදනාව බලාපොරොත්තුවෙන් වුවත්, හෘදය සාක්ෂ්‍යයට එකඟ ව එක කාරණයක් ඉතා පැහැදිලි ව කිව යුතුයි. ඒ තමයි, මේ වන විට අප මූණ දෙන ආර්ථික ප්‍රපාතය සහ ඉන් ගොඩ ඒමේ මාර්ගය ගැන, විකල්ප දේශපාලන පක්ෂ-කණ්ඩායම් අතරින් සුපැහැදිලි ම දර්ශනය ලෙස අවිවාදයෙන් ම මා නම් කරන්නේ 43 සේනාංකයේ දැක්මයි.

එහිදී අනෙක් ප්‍රධාන විකල්ප තුන වන ශ්‍රීලනිප ප්‍රමුඛ කණ්ඩායම, ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය යන කණ්ඩායම් කිසිවකින් නුදුටු ආකාරයේ ශක්තිමත් ආර්ථික ප්‍රතිපත්ති මාලාවක් එහිදී දැකගන්නට ලැබුණු බව අවංක ව කිව යුතු මයි. විශේෂයෙන් ම

1. ලංකාවේ ණය අර්බුදයේ මුල,

2. එය ඔඩුදිවීමට බල පෑ හේතු කාරණා,

3. නුදුරු අනාගතයේ අපට මූණ දීමට සිදු වන දුර්විපාක සහ

4. මෙම ණය අර්බුදයෙන් ගොඩ එන මාර්ග

යන කාරණා සම්බන්ධ ව ඉතා පැහැදිලි මෙන් ම නිර්භීත මට්ටමේ යෝජනා කීපයක් ම එහිදී දකින්නට ලැබුණා.

43 4

* ඡායාරූප - ලංකාදීප පුවත්පතින්

මා මෙහිදී "නිර්භීත" යන වචනය පාවිච්චි කරන්නේ ලොකු වගකීමකින්. මක් නිසා ද යත්, මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නිසා පාඨලීට ඡන්ද හැලෙන පාටක් මිස, ඡන්ද එකතු වෙන පාටක් නම් අවංක ව මට නොපෙනෙන නිසා. ප්‍රධාන දේශනයෙන් පසු පැවති සුහද හමුවේදී පවා මා දන්නා හඳුනන උදවියගෙන් ඇසූ ප්‍රශ්නය වන්නේ, "පාඨලී හිතා මතා ම පරදින්න ද හිතා ඉන්නේ" යන්නයි.

උදාහරණ කීපයක් ලෙස,

1. ඍජු බදු ප්‍රමාණය 18% සිට 40% දක්වා ඉහළ දැමීම,

2. පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම හෝ වසා දැමීම,

3. හැකි ඉක්මණින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යොමු වීම,

4. සඵලදායක නොවන සුබසාධන සේවා කප්පාදු කිරීම,

5. මහාපරිමාණ සංවර්ධන ව්‍යාපෘති තාවකාලික ව නවතා දැමීම,

වැනි ඡන්ද වේදිකාවක කිසිදාක නොකියැවෙන මට්ටමේ නිර්භීත මෙන් ම රැඩිකල් යෝජනා කීපයක් ම එහිදී කියැවුණා. මේවා පාඨලීගේ ම තනි යෝජනා නොවන බවත්, ආර්ථික විද්‍යා කමිටුවක් මඟින් සකස් කරන ලද යෝජනා සමූහයක් බවත් පැහැදිලියි. නමුත් මේ මොහොතේ ජනතාවගේ සිත සනසන පොරොන්දු දෙනවා වෙනුවට, තිත්ත කසාය බේතක් වැනි මෙවැනි යෝජනා ප්‍රසිද්ධියේ කීම ගැන මා විස්මයට පත් වුණා කීම නිවැරදියි.

43 3

මීට අමතර ව අද හමුව මතකයේ රැඳීමට හේතු වන අනෙක් වැදගත් ම කාරණය, පැරැණි ජාතිකත්ව සගයින් කීපදෙනෙකු ම එහිදී හමු වී මතකය අලුත් කරගැනීමට ලද අවස්ථාවයි. විශේෂයෙන් ම, මීට වසර 15 කට පමණ පෙර "ජාතිකත්වය" සහ "සිංහල බෞද්ධ අනන්‍යතාව" වැනි වචන ප්‍රසිද්ධියේ කීම පවා වරදක් සේ සැලකුණු කාලයක, ඒ වෙනුවෙන් නිර්භීත ව පෙනී සිටි සටන් සගයන් කීපදෙනෙකු ම හමු වීම සතුටට කරුණක්. ෆේස්බුක් කරළියට එන්නට පෙර "බ්ලොග්" යුගයේ සිට, ජාතිවාදී නොවී ජාතිකත්වය ගැන කතා කිරීම නම් වූ අසීරු, අමාරු කාරියට කර ගැසූ කීපදෙනෙකුත් එහිදී හමුවුණා. (පැරැණි ජාතිවාදී කඳවුරේ සිටි -- සහ මා මෙන් ම ජාතිවාදී උණ හොඳ කරගත් -- කීප දෙනෙකුත් ඇතුළු ව.) පොදු අර්බුදය හමුවේ දේශපාලන මතවාද පසෙකින් තබා ආර්ථික වශයෙන් ශක්තිමත් යෝජනාවලියක් වෙනුවෙන් එකතු වීමට ඔවුන්ට පුළුවන් නම්, එයත් සුබ ලකුණක් තමයි.

අවසාන වශයෙන් අද දවස ගැන සතුටු වනවාට වඩා දුක් වීමට හේතුවකුත් මට තිබෙන බව කිව යුතුයි. ඒ තමයි, ජාජබ සහ 43 සේනාංකය යන දෙක, තනි ව කෙතරම් දුර්වල ද, එක් වුණොත් කෙතරම් ශක්තිමත් ද, යන්න පැහැදිලි ව දැනුණු නිසා. ජාජබ සහ 43, පෙනෙන තෙක් මානයකදී නම් එකතු වන පාටක් පෙනෙන්නට නැහැ. ඒක තමයි දුක. මේ දෙගොල්ල එක බල කඳවුරකට එනවා නම්, මේ මොහොතේ ලංකාවට ලැබිය හැකි හොඳ ම විකල්පය එය වනු ඇති. ඒත්, එය හුදෙක් පිටස්තරයකු ලෙස මා දකින සිහිනයක් පමණයි. සැබෑ ලොවේදී සිදුවන්නේ, ප්‍රගතිශීලී බලවේග බෙදී වෙන් වීම නිසා ග්‍රාම්‍ය, ගෝත්‍රික දේශපාලනය නිතරගයෙන් ජය ලැබීම පමණයි. දුක නම් එයයි.

සැ.යු. මෙය කිසිසේත් ම පාඨලීට සහ 43 සේනාංකයට ඡන්දය දෙන්නැයි ඔබ පොළඹවන සටහනක් නොවේ. මෙය හුදෙක් ආරාධිතයකු ලෙස ඊට සහභාගී වී මා අත්දුටු දේ ඔබට කීමක් පමණකි.

* ඡායාරූප - ලංකාදීප පුවත්පතින්

නවතම ලිපි