නට්ටුකොට්ටෙයි චෙට්ටි නොහොත් හෙට්ටි වෙළෙන්දන්ගේ අධික පොළී ණය වලට විකල්පයක් ලෙස

වතු කොම්පැනි සඳහා සේවය සැපයීමට 1841 ඇරඹි පළමු වාණිජ බැංකුවත්, 1906 ආරම්භ කල සමුපාකාර ව්‍යාපාරය සිට ලංකා බැංකුව (1939), මහජන බැංකුව (1961), ග්‍රාමීය සමුපකාර බැංකු (1964), සණස (1979), ග්‍රාමීය සංවර්ධන බැංකුව (1985), සර්වෝදය (1986), ජනසවිය, සමෘද්ධි ආදියත් නොයෙක් නොයෙක් රාජ්‍යය නොවන සංවිධානත්, මුල්‍ය කොම්පැනිත් ගිනිපොළී මුදලාලිලාගෙන් බැට කන මුල්‍ය පාරිභෝගිකයින් ගලවා ගැනීමට නොයෙක් ආකාරයේ ණය ක්‍රම හඳුන්වා දී ඇත.

අවුරුදු දෙසීයකට අසන්නවන ශ්‍රී ලංකාවේ විධිමත් මුල්‍ය ඉතිහාසය පුරාම මුලික ඉලක්කයක් වී තිබෙන්නේ පොළී වෙළෙන්දන්ගෙන් ජනතාව ගලවා ගැනීමයි. මුල්‍ය අන්තර්ග්‍රහණය (financial inclusion), විශේෂයෙන්ම ග්‍රාමීය කාන්තාවන් විධිමත් මුල්‍ය යාන්ත්‍රනය තුලට ඇතුලත් කිරීම මහබැංකුවේත්, රජයේත්, ලෝක බැංකුව සහ අන්තර්ජාතික මුල්‍ය සංස්ථාව (International Finance Corporation) ආදියේ ප්‍රධාන වැඩපිළිවෙලක් වී ඇත. ක්‍ෂුද්‍ර මුල්‍ය ව්‍යාපාරයේත් මුලික අභිමාර්ථයක් වන්නේ පොළී මුදලාලිලා වෙනුවට තිරසාර, දැරිය හැකි, සහන ණය විකල්පයන් ඉදිරිපත් කිරීමයි.

මයික්රෝ 1

එවැනි තත්වයක් තුල දෙසැම්බර් 14 වන දින පොළොන්නරුවේ ගමක කාන්තාවකගේ දේපල වෙන්දේසියට මුලික වූ උසාවි නියෝගය අපි කෙසේ තේරුම් ගමුද?

අවුරුද්දකට 120% පොළියට ගිනි පොළීකාරයෙක්ගේ ණය ගෙවීමට නොහැකි වූ කාන්තාවගේ දේපල අධිකරණය මඟින් නීතියානුකුලව යලි පොළීකාරයාටම පවරා දෙන තැනට ගිනි පොළියට මුදල් දෙන ව්‍යාපාරය සංවර්ධනය වී ඇති බව අපගේ මුලික නිරික්ෂණයයි. විධිමත් මුල්‍ය ආයතන සහ අවිධිමත් මුල්‍ය සේවා සපයන්නන් සහජීවනයෙන්, අන්න්‍යෝන්යන් පෝෂණය කරමින් පිළිල ලෙස වර්ධනය වෙමින් ඇති බව ණය හා සම්බන්ධ අපගේ ජීවන අත්දැකීම් කියාපායි.

මයික්රෝ 2

ශ්‍රී ලංකා මහබැංකුව මෙන්ම අධිකරණය පෙනී සිටින රාජ්‍යය නියාමනය, මුල්‍ය නීති ඕනෑම ආකාරයක පොළියට මුදල් දෙන්නන් ආරක්ෂාකරමින් 'ණය ගත්තා නම් ගෙවන්න ඕන' නීතිය ක්‍රියාත්මක කරමින් සිටී. සාධාරණ ණයක්ද, පොළිය මෙන්ම ණය කොන්දේසි ණය ලබාගන්නා බලගැන්වෙන, ඇයට වත්කම් උපදවාගත හැකි, ආර්ථික ආරක්ෂාවක් සපයන, ජීවන තත්වය උසස් කෙරෙන ලෙස සකස් වී තිබේද නැතහොත් ණය මඟින් ණය ලබාගන්නාගේ ජීවන තත්වය පහලට වැටෙනවාද, ණය ව්‍යුහගත වී ඇත්තේ ලාභය උපරිම කිරීම සඳහා පමණක්ද, එය නිස්සාරක (extractive) ණයක්ද, එහෙමත් නැත්නම් 'ඉහගෙන කන', කළ දුටු කළ වල ඉහගත් පන්නයේ ණයක්ද යන්න නීතිය ක්‍රියාත්මක කිරීමේදී අදාල කාරණා වී නොමැත. ණය ආදී ආර්ථික හේතුන් නිසා වසරකට 150කට වඩා සියදිවි තොර කරගන්නා රටක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, සාධාරණත්වය, සමානතාවය, මානව හිමිකම් පිලිබඳ උනන්දුවන්නන්ගේ විෂය පථයට තාමත් ඉහගෙන කන ණය අසුවී නැත.

ජනතාවගේ ජීවිත, ඔවුන්ගේ ආර්ථිකය, ඔවුන්ගේ අනාගතය සමෘද්ධිමත් කෙරෙන මුල්‍ය පද්ධතියකට වඩා, මුල්‍ය පද්ධතියේ සමෘද්ධිය මුලික වී ඇත. තමන්ට මරණය උරුම කරදී තිබෙන ක්‍ෂුද්‍ර මුල්‍ය ණය කොතරම් අසාධාරණ ණය ක්‍රමයක්ද යන්න පැහැදිලි කරමින්, වසර පහකට වඩා පාරේ අරගල කරමින් සිටින ක්‍ෂුද්‍ර මුල්‍ය වින්දිත කාන්තාවන් පවසන යථාර්තය මෙයයි.

මයික්රෝ 4

පවතින මුල්‍ය පද්ධතිය මෙන්ම මුල්‍ය නියාමනය පිලිබඳ නීති සහ ආයතන ප්‍රජාවගේ සුභසෙත සඳහා කටයුතු නොකරන බව අද වන විට ස්ථිර වී තිබේ. බැංකු, මුල්‍ය ආයතන මෙන්ම ලාභ නොලබන ව්‍යාපාර ලෙස පටන් ගත් සණස සහ සර්වෝදය පවා අද වන විට හුදු ව්‍යාපාරික ඕනෑ එපාකම් වලට පවතින, ජනතාවගේ ආර්ථික සංවර්ධන අපේක්ෂාවලට පටහැනි ව්‍යාපාර බවට පත්වී ඇත. ගෙවාගත නොහැකි ක්‍ෂුද්‍ර මුල්‍ය ණය පිඩාවට පත් එක් කාන්තාවක් කිව්වේ,

"LOLC කොම්පැනියෙන් පළවෙනි ණය ගද්දි එයාලගේ කාර්යාලය තිබ්බේ ගමේ තැපැල් කාර්යාලයේ. අද ටවුමේ ලොකුම ගොඩනැගිල්ල එයාලගේ. ණය දෙන මහත්වරු AC කාමර වල ඉද්දි ණය ගත්ත අපි හිටපු තැනෙනුත් බිමට වැටිලා."

 

මයික්රෝ 7

ශ්‍රී ලංකාවේ මුල්‍ය යාන්ත්‍රණය වර්තමානයේ අත්කරගෙන ඇති ජනතා-විරෝධී තත්වය පිලිබඳ ඇයගේ ප්‍රකාශය ඉතාම සරලව පැහැදිලි කරනවා.

රාජ්‍යය/ රාජ්‍යය නොවන/ පුද්ගලික මුල්‍ය ආයතන අපගේ අවශ්‍යයතාවයන්ට සරිලන සේවා සපයන්නේ නැති නම් අපි කුමක් කරමුද? හදිසි මුදල් අවශ්‍යයතාවල සිට ජීවනෝපයන් දියුණු කරගැනීමට අවශ්‍යය ණය අවශ්‍යයතා අපි සපුරා ගන්නේ කෙසේද? දැනට පවතින පීඩාකාරී මෙන්ම හිංසනීය ණය සම්බන්ධතා වලන් ගුණාත්මකව වෙනස් මුල්‍ය සම්බන්ධතා ගොඩ නඟාගැනීමට අපිට හැකියාව තිබෙනවාද? අපිට යමක් කරගන්නට, අපගේ අනාගතය යහපත්කරගැනීමට, දියුණු කරගැනීමට අවශ්‍යය මුල්‍ය සේවා ගොඩ නඟා ගන්නේ කොහොමද?

හිංසාකාරී ණය වලට එරෙහිව සටන් කරනවා මෙන්ම අපි එදිනෙදා අපගේ ජීවන අරගලයේදී අභිමුඛ වන ගැටළු වලට උත්තර සෙවීමත් එම අරගලයේම කොටසක්.

ක්‍ෂුද්‍ර ණය අහෝසි කරගන්නන්ගේ එකතුව/ நுண் கடன்களை ஒழிப்பதற்கான கூட்டிணைவு

#AbolishMFIdebtlk

නවතම ලිපි