මියන්මාර විශේෂ අධිකරණයක් මගින් පසුගියදා හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහකෙරුණු

මියන්මාර නායිකා අවුන් සාන් සුකී හට වසර හතරක සිර දඬුවමක් නියම කර තිබේ. ස්වාභාවික අපදා නීතිය යටතේ විරෝධය පෑම සහ කොවිඩ් නීති කැඩීම සම්බන්ධයෙන් ඇය වරදකාරියක බව තහවුරු වීම මත මෙම දඬුවම නියම කර ඇතැයි මියන්මාර නීති නිලධාරියකු ප්‍රකාශ කර තිබේ.

මියන්මාරයේ ජනතා ඡන්දයෙන් බලයට පත්වූ නායිකාව හා නොබෙල් ත්‍යාගලාභිනියක වන 76-හැවිරිදි සුකී බලයෙන් පහකොට හමුදාව බලය අත්පත් කර ගත්තේ 2021 පෙබරවාරි 1දාය. කුමන්ත්‍රණය සිදු වූයේ අවුන් සාන් සුකී නායකත්වය දෙන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය 2020 නොවැම්බරයේ පැවති මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමෙන් අනතුරුවය. එම මැතිවරණයේදී හමුදා රජයට හිතවාදි ආසන රුසක ජය සුකීගේ පක්ෂයට හිමි වූ අතර ඉන් වියරු වැටුණු හමුදා පාලකයෝ මැතිවරණය දූෂිත යැයි කියා සිටියහ. එහෙත් හමුදා පාලනය එපා වී සිටි ජනතාව සුකීගේ නායකත්වය අගය කළ හෙයින් ඇයගේ පක්ෂය වටා එක්වූ අතර එය පිළිගැනීමට හමුදා පාලකයෝ අකමැති වූහ.

suk 3

මහ මැතිවරණයේදී දූෂණ සිදුකළ බවට චෝදනා එල්ලකරමින්, හමුදා කුමන්ත්‍රණයක් මගින් ඇය බලයෙන් පහ කිරීමට එරට හමුදා ප්‍රධානියා පියවර ගත්තේය. ඉන් පසු අවුන් සාන් සුකී සහ ඇගේ පාලක පක්ෂයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් සියලු දෙනා රඳවා තැබීමට පියවර ගත් අතර සියලු අධිකාරී බලය හමුදාපතිවරයා තමන් සතු කර ගත්තේය. ඇය මෙතෙක් කල් රඳවා තබා සිටියේ හෙළි නොකළ ස්ථානයකය. රටතුළ වසරක හදිසි නීතියක් ප්‍රකාශයට පත් කෙරිණි. කුමන්ත්‍රණය යුක්ති සහගත කිරීමට උත්සාහ කළ හමුදා ජුන්ටාව මැතිවරණ දූෂිත බව ප්‍රකාශ කළද මැතිවරණ කොමිසම හා ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයන් පවසා ඇත්තේ කිසිදු වංචාවක් සිදු වූ බවට අනාවරණ වී නොමැති බවයි.

කලක් බුරුමය ලෙසින් හැඳින්වූ මියන්මාරය දසක ගණනක් පුරා පැවතියේ හමුදා පාලනයක් යටතේය. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් මියන්මාරයට නිදහස ලබා දුන් අවුන් සාංගේ දියණිය වන අවුන් සාන් සුකී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කළ දිගු අරගලයේදී 1989 සිට වසර 15ක් නිවාස අඩස්සියේ ගත කළාය. ඇයට තම සැමියා හෝ දරුවන් දැක ගැනීමට නොහැකි වූ අතර බ්‍රිතාන්‍ය ජාතික ඉතිහාසඥයකු වූ ඇයගේ සැමියා 1999 වසරේ මියගිය අවස්ථාවේ එයට සහභාගී වන්නට පවා නොහැකි විය.

suki 2

නිදහස ලැබීමෙන් පසු 2016 මැතිවරණයේදී ඇයගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය (NLD) විශිෂ්ට ජයග්‍රහණයක් කරා ගෙන ගියාය.. ඇගේ නායකත්වය යටතේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සිදුකිරීමත් සමඟම හමුදා පාලනය අවසන් කෙරිණි රටේ සමස්ත ආසන සංඛ්‍යාවෙන් 77%ක් ජයග්‍රහණය කළ ඇයට ජනාධිපති ධුරය අහිමි වූයේ ඇගේ පුතුන් දෙදෙනා මියන්මාරයේ නොව බ්‍රිතාන්‍යයේ පුරවැසියන් යැයි පවසමින් එවැනි පුද්ගලයකුට එරට නායකත්වය හිමි නොවන බවට වන ව්‍යවස්ථා සංශෝධනයක් හමුදා පාලනය මගින් ගෙන ඒම හේතුවෙනි.

ඇමරිකා එක්සත් ජනපදය හමුදා කුමන්ත්‍රණය හෙළා දුටු අතර, මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට හෝ මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදයට බාධා කරන සෑම උත්සාහයකටම විරුද්ධ වන බවත්, සිවිල් සමාජ නායකයන් නිදහස් කරන ලෙසත් ඔවුන් හමුදා නායකයන්ට කියා තිබිණි..

suk 5

සුකීගෙන් බලය පැහැරගත් හමුදා ජුන්ටාව ඇයට එරෙහිව පවරන ලද නඩු මාලාවක පළමු නඩුවෙන් ඇයගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය දෙවන වාරය සඳහා බලයට පත්වීම වළක්වනු ලැබීය.. ඔවුන් ඇයට එරෙහිව පවරා ඇති තවත් නඩුවක තීන්දුව ලබන සතියේ ලබා දීමට නියමිතය.

පෙබරවාරි 1දා කුමන්ත‍්‍රණයකින් නෙරපා හරින ලද අවුන්සාන් සුකී සහ අනෙකුත් සිවිල් නායකයන්ට එරෙහි නඩු විශාල ප්‍රමාණයක් පවරා ඇති අතර ඉන් එක් නඩුවක තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමත් සමඟ හිටපු ජනාධිපති වින් මයින්ට් හටද වසර හතරක සිරදඬුවමක් නියම කර තිබේ. ඔහුගේ දඬුවම හමුදාපතිවරයා වසර දෙකකට අඩු කර ඇතැයි වාර්තා වේ.

suki 1

පසුගිය සඳුදා දුන් නඩු තීන්දුවෙන් සුකීට සිව් වසරක දඬුවමක් නියම කෙරුණු අතර හමුදා ප්‍රධානී මින් අවුං හලෙයිං විසින් එම දඬුවමද වසර දෙකකට අවම කර ඇති බව රාජ්‍ය රූපවාහිනිය වාර්තා කළේය.

ඇයට එරෙහිව චෝදනා 11ක් ගොනුකර තිබූ අතර ඇය එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර තිබේ. සුකීට එරෙහිව ඇති අනෙකුත් නඩු දූෂණ චෝදනා, රාජ්‍ය රහස් පනතක් උල්ලංඝනය කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් පවරා තිබේ. ඇය මුහුණ දෙන සියලුම නඩු සම්බන්ධයෙන් වැරදිකාරිය වුවහොත් ඇයට වසර 100කට වැඩි සිරදඬුවමක් අත්විය හැකිය. සුකීට පැනවූ දඬුවම අනුව ඇය සිරගත කරන්නේද නැතහොත් නිවාස අඩස්සියේ තබනවාද යන්න අධිකරණය මෙතෙක් පැහැදිලි කර නොමැති යැයි නීති නිලධාරියකු මාධ්‍යයට පවසා තිබේ. ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන පරිදි හමුදා ජුන්ටාවේ අපේක්ෂාව වී ඇත්තේ ඇයව ජීවිතාන්තය දක්වා බන්ධනාගාර ගත කිරීමටය.

සුකි  

සුකීට එරෙහි නඩු ඇයව අපකීර්තියට පත් කිරීමට සහ ඇය මීළඟ මැතිවරණයට ඉදිරිපත් වීම වළක්වාලීම සඳහා සැලසුම් සහගත ලෙස කළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයකි. කිසියම් අපරාධයකට වරදකරු වී බන්ධනාගාර ගත වන ඕනෑම පුද්ගයකුට රජයේ ඉහළ තනතුරු දැරීම හෝ නීති සම්පාදකයකු වීම ව්‍යවස්ථාවෙන් තහනම් කර තිබේ. විශේෂ අධිකරණ යනු බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට මියන්මාරයේ පවතින්නකි. එම විශේෂ අධිකරණ නිර්මාණය කෙරුණේ විශේෂිත නඩු විභාග කිරීම සඳහා වුවද මේ වන මියන්මාරයේ දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීම සඳහා නඩු පැවරීමට මෙම විශේෂ අධිකරණ යොදා ගැනේ.

සුකීගේ ආධාරකරුවන් පවසන්නේ මෙම නඩු පදනම් විරහිත බවත්, හමුදාවට තම බලය තහවුරු කර ගැනීම සඳහා ඇයගේ දේශපාලන ජීවිතය අහෝසි කිරීමේ සැලසුමක් ඇති බවත්ය.. සුකීට සහ තවත් දේශපාලනඥයන් දෙදෙනකුට ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් ඉදිරි දිනවලදී අභියාචනා ගොනු කිරීමට ඇයගේ නීතීඥයන් කටයුතු කිරීමට නියමිතය.

මියන්මාරය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විමර්ශකවරයා බලවත් රාජ්‍යවලින් ඉල්ලා ඇත්තේ මියන්මාර හමුදා පාලනයට එරෙහිව ආර්ථික සම්බාධක පනවන ලෙසටය. මෙම සාහසික ක්‍රියාව හේතුවෙන් ජුන්ටාව මත පීඩනය දැඩි ලෙස වැඩි කරන ලෙස මම සාමාජික රටවලින් ඉල්ලා සිටිමි.* යැයි ඔහු කියා තිබේ.

සුකී 8

“අවුන් සාන් සුකීට මෙලෙස දඬුවම් නියම කිරීමෙන් පෙන්නුම් කරන්නේ ජුන්ටාවට මියන්මාරයේ ජනතාව මත ඔවුන්ගේ නීත්‍යානුකූල නොවන ග්‍රහණය දිගටම පවත්වා ගෙන යාමටය. ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය ආර්ථික පහසුකම් හා අවි ආයුධ ලබා දීම ප්‍රතික්ෂේප කොට මියන්මාරයේ ජනතාවට සහයෝගය දැක්වීමට ජාත්‍යන්තර ප්‍රජාව වඩා ශක්තිමත් ක්‍රියාමාර්ගයක් ගත ගත යුතුයැයි හිටපු එක්සත් ජනපද කොන්ග්‍රස් සභිකයකුද සඳහන් කර තිබේ.

ඉතිහාසඥයකු සහ ගත් කතුවරයකු වන ටාන්ට් මයින්ට් යූට අනුව වසර 20 කට පෙර ප්‍රතිසංස්කරණ දියත් කළ හමුදා නායකයන් අවුන්සාන් සුකීට නැවත දේශපාලනයට පැමිණීමට අවසර ලබා දීම ඔවුන් කළ මෝඩ ක්‍රියාවක් ලෙස වත්මන් හමුදා නායකයන් සිතන බවයි. යළි කුමන්ත්‍රණයක් මගින් බලය පැහැර ගැනීමට හමුදාව ක්‍රියා කර ඇත්තේ එබැවින් යැයි පවසන ඔහු සුකී යනු මියන්මාර දේශපාලනයේ වඩාත් ප්‍රබලම චරිතය වන අතර අනාගතයේ ඇය වඩාත් ප්‍රබල බලවේගයක් ලෙස මැතුවිය හැකි යැයි සඳහන් කරයි.

සුකී 0

බටහිර රාජ්‍ය අවුන්සාන් සුකී නිදහස් කරන ලෙස ඉල්ලා සිටින අතර කුමන්ත්‍රණයෙන් පසුව සිදු වූ ප්‍රචණ්ඩත්වය හෙළා දැක තිබේ. සුකීට දඬුවම් නියම කිරීම ප්‍රකාශයට පත් වීමත් සමඟ එක්සත් රාජධානිය කියා සිටියේ ජනතා ඡන්දයෙන් තේරී පත් වූ ප්‍රජාතන්ත්‍රවාදී නායිකාවකට දඬුවම් නියම කිරීමෙන් පැහැදිලි වන්නේ මියන්මාරයේ මිලිටරි පාලන තන්ත්‍රයට එරෙහිව නැඟෙන විරෝධතාව යටපත් කිරීමට සහ ජනතාවගේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කිරීමට ගත් තවත් බියකරු උත්සාහයක් සහ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට, සංවාදයේ යෙදීමට සහ ප්‍රජාතන්ත්‍රවාදයට නැවත පැමිණීමට ඉඩ දීම වැළැක්වීමේ ක්‍රියාවලියක් ලෙසිනි.

ෆෝටි රයිට්ස් සංවිධානයේ ප්‍රධාන විධායක මැතිව් ස්මිත් පැවසුවේ, මෙම දඬුවම් නියම කිරීම සිවිල් ජනතාවට එරෙහි පුළුල් සහ ක්‍රමානුකූල සිදු කරන ප්‍රහාරයක එක් අංශයක් ලෙසටය.

අග්නිදිග ආසියානු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් වන මානව හිමිකම් සඳහා වන ආසියාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංවිධානය සුකීට පනවන ලද දඬුවම යුක්තියේ සරදමක් ලෙසින් හඳුන්වා හෙළා දැක තිබිණි.

සුකී 9

"කුමන්ත‍්‍රණය සිදු වූ දින සිට, අවුන් සාන් සුකීට සහ රුඳවුම් භාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දුසිම් ගණනකට එරෙහිව නඟා ඇති චෝදනා, ජුන්ටාව විසින් ඔවුන්ගේ නීතිවිරෝධී බලය අත්පත් කර ගැනීම සාධාරණීකරණය කිරීමට කළ ක්‍රියාවක් විනා අන් කිසිවක් නොවන බව පැහැදිලියැ"යි එම සංවිධානයේ සාමාජික මැලේසියානු නීති විශාරදයකු වන චාල්ස් සන්තියාගෝ සඳහන් කර තිබේ.

සුකී දේශපාලනයෙන් ඉවත් කිරීමට සිදු කළ හමුදා කුමන්ත‍්‍රණයෙන් පසු මියන්මාරය විශාල කැළඹීමකට ලක් වී තිබේ. කුමන්ත්‍රණයෙන් මාස 10 කට පසුවත් හමුදා පාලනයට එරෙහිව ජනතාව තම විරෝධය පළ කරන අතර සුකීට ලබා දුන් තීන්දුවෙන් පසු එය තව දුරටත් තීව්‍ර වෙමින් පවතී. විරුද්ධවාදීන් මර්දනය කිරීම සඳහා හමුදාව උපරිම බලය යොදා ගැනීමත් සමඟ රට පුරා විවිධ විරෝධතා ඇති වූ අතර අස්ථාවරත්වය හේතුවෙන් එරට වැඩ කටයුතු අඩපණ වී තිබේ. රටේ ආරක්ෂක හමුදාවන් විසින් සිදුකරන ඝාතන සහ අපයෝජන නිරීක්ෂණය කරන මානව හිමිකම් කණ්ඩායමක් වන දේශපාලන සිරකරුවන් සඳහා වූ සහාය සංගමයට අනුව, ආරක්ෂක හමුදා විසින් මේ වන විට අවම වශයෙන් පුද්ගලයන් 1,303 ක් ඝාතනය කර ඇත.