අප ජීවත්වන ධනේශ්වර ක්‍රමය අපි ඉදිරියේ පෙනී සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය ලෙසයි.  

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස හැදින්වෙන ලංකාවේ පාලනය සිදුවන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය යන ආයතන තුන හරහා බව අපි දන්නවා. මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය පවත්වාගෙන යෑමට එකී ප්‍රජාතන්ත්‍රවාදය නමැති සංකල්පය තුල ස්වාධීන අධිකරණය, ස්වාධීන ජනමාධ්‍යය , ස්වාධීන මැතිවරණ, භාෂනයේ සහ කථනයේ නිදහස, මානව හිමිකම්, යුක්තිය, බහුතරයේ කැමැත්ත වැනි කරුණු පවත්වාගෙන යන ව්‍යුහයන් බිහිවෙලා තියෙනවා. මේවා පවතින්නේ ඉහත සඳහන් කළ විධායකය ව්‍යවස්ථාදායකය අධිකරණය කියන ආයතන මතයි. මේවායේ මැදිහත්වීම මතයි.

දැන් මේව එහෙම සිද්ධවෙනවද? මේ ක්‍රමය ඇතුලෙ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතද? ස්වාධීන අධිකරණ තියෙනවාද? ස්වාධීන මැතිවරණ ක්‍රම තියෙනවාද? ස්වාධීන ජනමාධ්‍යයක් පවතිනවාද? භාෂනයේ සහ කථනයේ නිදහස තියෙනවාද? මානව හිමිකම් රැකෙනවාද? යුක්තියට, බහුතරයේ කැමැත්තට වටිනාකමක් තියෙනවාද? බහුතර කැමැත්ත නියෝජනය වෙනවාද? ජනතාවට සමාන ආකාරයෙන් සලකනවාද? ඒ කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් දෙයක් පවතිනවාද?

එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්නට තිබෙන ආයතනයක් තමයි ව්‍යවස්ථාදායකය. ඒ කියන්නෙ පාර්ලිමේන්තුව. දැන් මේ පාර්ලිමේන්ත්‍රවේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙම බොරුවක්. රැවටීමක්. දැන් ඒ්ක ප්‍රසිද්ධ තලයේම පිස්සු නටනවා. අන්න ඒ පාර්ලිමේන්තුව කියන්නේ පවතින ක්‍රමය වෙනුවෙන් තම උපරිමයෙන් කටයුතු කරන,  ක්‍රමයේ පැවැත්ම, නඩත්තුව දරාසිටින ආයතනයක්.

දැන් පවත්නා ආණ්ඩුව ඒ කියන්නෙ පොහොට්ටු පක්ෂය දිනවීමට බහුතරයක් ඡන්දය දුන්නේ ලංකාවේ කාන්තාවන්. ඔවුන්ට පොහොට්ටු නායකයින් වීරයින් වූනා. ඔවුන්ගෙන් තම ජීවිත සුඛිත මුදිත කරගැනීමට තම දරුවන්ගේ අනාගතය යහපත් කරගැනීමට මහා ප්‍රාර්ථනා දල්වාගෙන බලා සිටියා. දැන් කුස්සියේ ඇතිවී තිබෙන දරුණු අවපාතය පොහොට්ටු නායකයින් ඔවුන්ට උදාකර දී ඇති ත්‍යාගයන් කියල විපක්ෂය හඩගාද්දි මේ ස්ත්‍රීන්ට විලියෙන් බිම බලාගන්න සිද්ධ වෙලා.  දරුවන්ට වේල් තුනෙන් එකක් පමණක් කන්නට දෙන තත්ත්වයකුත් නැති පසුබිමකත් ඔවුන් තම හැගීම් වසන් කරගන්න උත්සාහ කරනවා.  ඒ අතරම ලිංගික හිංසනයන් අති බහුල වෙලා. ඒව පාර්ලිමේන්තුව පැත්තෙන් ඇහුනම කට්ටියම අනේ අපොයි කියන්නෙ පාර්ලිමේන්තුව මහා ගෞරවනීය තැනක් කියල හිතාගෙනයි. මහින්දානන්දගේ සිට දිගින් දිගටම පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවන්හි වාර්තාගතවන තරමටම ලිංගික හිංසනයන් ජනගත වීම සමහරුන්ට අනුව ලැජ්ජාවට කරුණක් වෙලා තියෙනවා.

ආසන්නතම සිදුවීම විදිහට තිස්ස කුට්ටිආරච්චි නැමැති පොහොට්ටු මන්ත්‍රී පාර්ලිමේන්තුවම සිනහ සාගරයක ගිල්වනව අපි දකිනවා. ඔහු කාන්තා මන්ත්‍රිවරියකට ප්‍රසිද්ධියේ කුණු හරුප කියනවා. රටේ ඡන්දයෙන් පත්වුනු මහජන නියෝජිත අසහාය නායකයො හයියෙන් සිනාසෙනවා. ගැලරියේ ඇතුළු රටේ ප්‍රධාන මාධ්‍යවල මේවා විකාශය වෙනවා. රටම කුණු රසය විඳිනවා.

දැන් මේ ගැන ජනාධිපති ගෝඨාභයගේ එක රටක් එක නීතියක් විනයගත සමාජය ගැන ප්‍රශ්න කරල වැඩක් තිබේද? මීට පෙරද මහින්දානන්ද වම්බොටු කතාවක් ගෙන එමින් කරන ලද හිංසනය සහ කතානායකවරයා ඊට ලබාදුන් පිළිතුරු පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත්  වූ පසුත් ඔහු ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම පුදුමයට කරුණක්ද? ස්ත්‍රී පුරුෂ සමාජභාවය තුළ ඇතිවන හිංසනයන්ට එරෙහිව කටයුතු කරනවා යැයි ජාත්‍යන්තරය හමුවේ ප්‍රකාශ නිකුත් කළ රටේ ජනාධිපති ගෝඨාභට රාජපක්ෂ දක්වන නිහඩතාවයම නොවේද මේ ක්‍රමය පවත්වාගෙන යන අනෙකුත් ආයතන විසිනුත් සිදු කරන්නේ. සියල්ල කටින් බතලකොල සිටුවීමක් යැයි ස්ත්‍රීවාදීන් හඩනැගීමෙන් පලක් තියෙනවාද? පක්ෂ විපක්ෂ ගෑනු පිරිමි සියල්ල කතාවේ  රසය විඳීම ගැන කෝප ගැනීමෙන් පලක් තියෙනවාද?

පවත්නා විපරීත ක්‍රමය පවත්වාගෙන යන පාර්ලිමේන්තුව වැනි ආයතනවල  තිස්ස කුට්ටිආරච්චිල, මහින්දානන්ද අළුත්ගමගේල, රනිල් වික්‍රමසිංහල, රාජපක්ෂලා වගේම අනුර කුමාර දිසානායකලාත්  සමානයෝ නොවේද? මෙහි බරපතලකම ඇත්තේ මෙවැනි විපරීත ආයතනවලට වටිනාකම් මවා පාමින් මේවා පවත්වාගෙන යෑම සඳහා  අනුරලා , හරිනිලා මේවා හොඳ ශිෂ්ඨ සම්පන්න, වැදගත් ලෙස හැසිරෙන මිනිසුන්ගෙන් සමන්විත තැනක් කරන්න උත්සාහ කරන්නේ ඇයි ද යන්න නොවේද? ඔවුන්ට ඒ උවමනාව පැන නැගී ඇත්තේ කොතැනින්ද?

ඒ කියන්නේ මේ ක්‍රමය හොඳන්ම පවත්වාගෙන යෑම ඔවුන්ගේ එකම අරමුන බව නොවේද? ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදය යැයි කියාගන්නා ඒ ආයතනයේ සිට උදේ සිට රෑ වනතෙක් විවිධ මාතෘකා වලට කතාකරමින්, විරෝධය පාමින්, රණ්ඩුවෙමින්, සිනා සෙමින්, තේ බොමින්, රහස් සංවාද කරමින්, ඩීල් දමමින්, එකතු වෙමින් වෙන් වෙමින් රගදක්වන රංගනය කුමක්ද? ඉතිං මේ දේවල් කරන එක එයාලගේ දේශපාලනය උනාම ඒකට  ඔවුන්ට පාර්ලිමේන්තුව අවශ්‍ය වෙනවා.

 ඉතිං අපි පුදුම විය යුත්තේ තිස්සලා, මහින්දානන්දලා ඩෙගා නටන එක ගැන නෙවෙයි. ඒව ඉදිරියේ හරිනිලා, අනුරලා නටන නාඩගම ගැනයි.

මේ ගැන නිරන්තරයෙන් හඩ නගන රෝහිණී කවිරත්න ඇතුළු මන්ත්‍රීවරියන්ට අපට කීමට ඇත්තේ මෙයයි.

රාජපක්ෂලා, කුට්ටිආරච්චිලා, මහින්දානන්දලාගේ හිංසක ආත්ම ගැන වගේම චන්ද්‍රිකාලාට, ගීතලාට, හරිනිලාට, සමන්මලීලාට සත්‍ය ගැටළුව කුමක්ද යන්න පිළිබඳ අවබෝධය නොලැබෙන තාක් මෙවැනි සිල්ලර කතා ගැන හිතනවාට වඩා ගැටළුවේ මූලාරම්භය සොයා යෑමට අවශ්‍යතාවයක් පැන නොනගින බවයි.