ඕනෑම දේශපාලන ව්‍යාපාරයකට ලංකාව තුල බලයට එන්න පුළුවන් වෙන්නේ සංවර්ධන පොරොන්දු දීමෙන්.

ඉදිරි අයවැය ගැන කතා කරන ආණ්ඩුවේ මන්ත්‍රීවරු කියපු දේ තමයි, රජයේ සේවකයින්ගේ පඩි වැඩි කරන්න හෝ ජනතාවට තෑගි දෙන්න ඉදිරියට එන අය වැයෙන් කිසිදු සූදානමක් නෑ කියන එක. ඒකට හේතුව හැටියට ඔවුන් කියන්නේ විශාල සංවර්ධන ව්‍යාපෘති සඳහා මුදල් වැය කරන්නට තියෙන බව.

ආණ්ඩුව දන්නවා, ඒ වගේම මේ වෙලාවේ බලන්නේ රටේ තිබෙන ආර්ථිකය තුල වැඩියෙන් වාසිදායක සහ ජනතා ආකර්ෂණය වැඩි, ඉදිරි ඡන්ද පදනම නිර්මාණය කොට ගත හැකි වැඩපිළිවෙල තෝරන්න. ඒ නිසා තමයි පඩි වැඩි කිරීම, සහන දීම වගේ කාරණා වලට වඩා ජනතා ආකර්ශනය වැඩි මහා පරිමාන සංවර්ධන ව්‍යපෘති කරන්න යොමු වෙන්නේ. ඒවා හැමෝටම පේනවා, පවතිනවා, නම් ගහන්න පුළුවන්  ඒ වගේම ඒවට ජනතා ආකර්ෂණය ඉතාම ඉහලයි. 

 

 

මොකක්ද මේ සංවර්ධනය? 

සංවර්ධනය කියන්නේ ධනවාදය විසින් ඇති කරන ප්‍රශ්න, අතෘප්තිය, අසහනය, කාංසාව වැනි තත්වයන්ට ධනවාදය විසින් සොයා ගත්තු පිළිතුර. සංවර්ධනය වෙන්න වෙන්න ඒ ප්‍රශ්න සහ අසහනකාරීත්වය ඉහල යනවා.  ඒ නිසා දිගින් දිගටම සංවර්ධනය අවශ්‍ය වෙනවා. නමුත් කිසිදාක සංවර්ධනය තුල පුරවැසි ෆැන්ටසීන් සාක්ෂාත් වෙන්නේ නැහැ. 

වර්තමාන ලාංකීය සංවර්ධන මොඩලයේ ආරම්භකයා එක්සත් ජාතික පක්ෂයයි. ඉන් පස්සෙ බලයට ආපු අය කළේ තරඟයට සංවර්ධනය පොරොන්දු දීම තුලින් බලය ලබා ගැනීමත්, ඔවුන්ට හැකි අයුරින් සංවර්ධනය ලබාදීමයි. ඉදිරියේදී රාජ්‍යය බලය ලබාගන්නා ඕනෑම කණ්ඩායමකට සංවර්ධනය පොරොන්දු දීම සහ පොරොන්දු වූ සංවර්ධනය ලබා දීම අනීචාර්ය තත්වයක් වෙලා තියෙනවා.

එහෙම නොවුනොත් ආණ්ඩු මාරු කිරීම සඳහා පෙරමුණ ගන්නේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වුර්තීය සමිතියි. අද දවසේ මේ සිද්ධ වෙන්නෙ ඒක.

පසුගිය දා පැවත් වූනු මහජන මන්ත්‍රණ සභාව කියන්නෙ සංවර්ධනය පොරොන්දු වන තවත් දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වීම නවත්වන්න බැහැ.  ඔවුන්ගේ වෙනස තියෙන්නේ ඒ ව්‍යාපාරයේ ඉන්න අතුරලියේ රතන හිමි, ගෙවිඳු කුමාරතුංග වැනි අය  'ධරණීය සංවර්ධනය' ගැන කතා කිරීම සහ ඊට අදාළ කරුණු දැක්වීම් මෙතෙක් බලයේ සිටි පක්ෂ වලට වඩා වැඩියෙන් සිදු කිරීමයි.

 'ධරණීය සංවර්ධනය' කියන්නේ පවතින ධනේශ්වර සංවර්ධනයේ හැරවිය නොහැකි අතිශය දරුණු ප්‍රතිවිපාක, අවම කිරීම සඳහා පැමිණි ව්‍යාජ කතිකාවක්. ඉන් කිසිදු වෙනස්ක් සිද්ධ වෙන්නෙ නෑ. අර්බුධ උග්‍ර වීම අනීවාර්යයක්. නමුත් මේක ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා වන අලුත් කතන්දරයක් බවට පත්වේවි.

ජාතිකවාදී විරෝධීන් සහ ලිබරල්වාදීන් ට නම් මහජන මන්ත්‍රණ සභාව කියන්නේ ආණ්ඩුවේ ඡන්ද පදනම රැකගන්න අටවපු රාජපක්ෂලගෙම උගුලක්. නමුත් ඒක එහෙම නෙවෙයි කියන එක පැහැදිලිව පේනවා.

මහජන මන්ත්‍රණ සභාවේ  ගුණදාස අමරසේකර, වසන්ත බණ්ඩාර වගේ අයට වෙනස් ගමනක් තියනවා. ඒ වගේම විමල් වීරවංශ, ඩීව් ගුණසේකර, ගෙවිඳු කුමාරතුංග, අතුරලියේ රතන හිමි වගේ අයටත් ඒ උවමනාව තියනවා.

නමුත් ඒ අය හිතන වෙනස මහජන මන්ත්‍රණ සභාව තුලින් කරන්න පුළුවන් වෙන්නේ නෑ කියන එකත් පැහැදිලියි.

ඒකෙ අනිත් ඉන්නේ සම සමාජ, කොමියුනිස්ට් වගේ ඇල්මැරුණු ඡන්ද පදනමක් නැති වයසක පක්ෂ. ඇමති කමක් වෙනුවෙන් ඕන පැත්තකට හැරෙන ගම්මන්පිල සහ ලිබරල් ටිරාන් අලස් හැරුණු කොට අනිත් ඉන්න ප්‍රධාන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින අයට අවශ්‍ය කොහොම හරි බලයට ඇවිල්ල ඇමති ධූර ලබා ගැනීම විතරයි. අතීතයේ ඔවුන්ගේ ක්‍රියාකාරකම් තුල ඒක ඔප්පු වෙලා තියනවා.

 මහජන මන්ත්‍රණ සභාව නම් කරලා තිබුනේ ජාතිකවාදී වාමවාදී දේශපාලන ව්‍යාපෘතියක් විදිහට උනත් ඒකෙ සංයුතිය සැලකුවම වැඩි බලය තියෙන්නේ ඒ අයට නෙවෙයි.

 ඒ වගේමයි ඉදිරියේදී නාමල් රාජපක්ෂ පවා මේ මහජන මන්ත්‍රණ සභාවට එන්නට ඉඩ තියනවා. එහෙම ආවොත් ඒකෙ ඉන්න අය ඔහුව ඒකට නොගෙන අරින්නෙත් නැහැ. ඒ ඡන්ද ඕන නිසා.

ඒ නිසා මේ ආරම්භ කරපු මහජන මන්ත්‍රණ සභාව අනීවාර්ය ලෙසම තවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයක්, පොදුජන එක්සත් පෙරමුණක්, වීම වලක්වන්න බැහැ.

මේ ආරම්භයේ ඉලක්කය වීමට නියමිතව තියෙන්නෙ ඉදිරි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම පිළිබඳ ප්‍රශ්නයයි. ඉදිරියේදී ජනාධිපතිවරණයට පෙර මැතිවරණ තුනක් එන්න නියමිතයි. ඒ පළාත්, පළාත් පාලන සහ මහා මැතිවරණයයි. කාලපූර්ණය අනුව මහා මැතිවරණය එන්න නියමිත ජනාධිපතිවරණයට පස්සෙ උනත්, මැතිවරණයකින් තොර ආණ්ඩු පෙරලියක් සිදු නොවුනොත් අනීවාර්ය ලෙසම රාජපක්ෂ ආණ්ඩුව විසින් මුලින්ම පවත්වනු ඇත්තේ මහා මැතිවරණයයි.

ඒ අනුව මහජන මන්ත්‍රණ සභාව විසින් ඉදිරියේදී අරඹන දේශපාලන ව්‍යාපාරය එක්කෝ ඉදිරි මැතිවරණ සඳහා සූදානම් විය යුතුයි. නැති නම් තීරණාත්මක මහා මැතිවරණය වෙනුවෙන් ආණ්ඩුව විවේචනය කරන අතරතුර ආණ්ඩුට සහාය දෙමින් කල්මැරිය යුතුය. ඒ කියන්නෙ මෙයාලට සිද්ධ වෙනව ඉදිරි පළාත් සභා සහ පලාත්පාලන මැතිවරණ වලදී ආණ්ඩුවට සහය දෙන්න.

එහෙම සහාය දීම සඳහා කොන්දේසි පැනවීම ඔවුන්ගේ ඉලක්කය වෙලා තියෙන බව පැහැදිලි වෙන්නේ මහජන මන්ත්‍රණ සභාව පැවැත්වීමෙන් පසුව ඔවුන් කරන ප්‍රකාශ සහ හැසිරීම හේතුවෙනි.

අනාගත ජනාධිපතිවරයා බවට පත්වීම සඳහා රාජපක්ෂ පාර්ශවයෙන් බොහෝදුරට ඉදිරිපත් වීමට නියමිතව ඇත්තේ බැසිල් රාජපක්ෂ වන විට අනෙක් පාර්ශවයේ සටන් කරුවන් දෙදෙනෙක් දැනටමත් ඒ සඳහා සටන් වැදෙමින් තිබේ. ඒ සජිත් ප්‍රේමදාස සහ චම්පික රණවකයි.

සජිත්ට පක්ෂයක් තියෙනවා. නමුත් චම්පිකට පක්ෂයක් නෑ. චම්පික දැනට සිටින සමගි ජන බලවේගයේ කිසිවෙකුත් ඔහු සමග පැමිණෙන්නේ හෝ ඔහුට සහාය දක්වන්නෙ නෑ.

එනම් චම්පික යනු UNPයට නොගැලපෙන ආගන්තුකයෙකි. UNPයේ රනිල් පාර්ශවය මේ වන විට කිසිවක් කරකියා ගත නොහැකි තත්වයට පත්වෙලා තියෙනවා. ඒ නිසා චම්පිකට නැවත ඒ පැත්තට යන්නත් බෑ.මෙන්න මේ හින්ද චම්පිකට අවස්තාව හිමි වීමට ඉඩකඩ තියෙන්නෙත් මේ ජාතික මන්ත්‍රණ සභාව තුලින්මයි.

කොහොම උනත් කවුරු බලයට ආවත් පවතින තත්වය මීට වඩා වෙනස් වෙන්නෙ නෑ. බලයට ඇවිත්, බලය ලබාගෙන කවුරුහරි මේ තත්වය වෙනස් කිරීමට සූදානම් වෙනව නම් ඒක කිසිසේත්ම කළ නොහැකි දෙයක්. ඊට හේතුව තමයි එම දේශපාලන ව්‍යාපෘතියේම බහුතර සාමාජිකයින් ඊට එරෙහි වන හින්ද සහ රටේ පුරවැසියන් ඊටත් පෙරම එවැනි වෙනසකට සූදානම් නොමැති සහ අකමැති වන නිසයි.

ඒ අනුව කෙටියෙන් කියන්නට ඇත්තේ යම් අයෙකු හෝ පිරිසක්, යම් දේශපාලන වෙනසක් කිරීමට බලාපොරොත්තු වෙනව නම් මහජන මන්ත්‍රණ සභාව වගේ දේශපාලන ඇටවීම් තුලින් එය කල නොහැකි බවයි.

එබැවින් මහා වෙනසක් සිදු කිරීමට සිහින මවන පාඨලී චම්පික රණවක පැමිණියත් UNPය විසින් ආරම්භ කරල රාජපක්ෂලා විසින් ඉදිරියට ගෙනියන මොඩලය හැරුණු කොට වෙනත් යමක් කරන්නට ඔහුටත් නොහැකි වනු ඇති.

එසේ වෙනසක් කිරීමට අවශ්‍ය අයෙකු හෝ කණ්ඩායමක්, තම ආරම්භය ලබා ගත යුත්තේ සමාජ ව්‍යාපාරයක් ලෙස පුරවැසියන් ඒ සඳහා සූදානම් කිරීමෙන් පමණි.

@ Ladyleader.lk