නිමල් ගුණරත්න සහ නිමල් පුංචිහේවාට විරුද්ධව රන්මල් කොඩිතුවක්කු ‍

හුදෙක් සිය වාහනයට ඉස්සර කිරීම නිසා මිශාර රණසිංහ නම් ව්‍යාපාරිකයකු වධහිංසා පමුණුවා ලිංගික අඩම්තේට්ටම් කොට මානසික වධහිංසා පැමිණ වී යැයි සබරගමුව ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට විරුද්ධව චෝදනා එල්ල වූයේ දින දහයකට පමණ පෙරය. ප්‍රසිද්ධියට පැමිණ නැතත් මෙම උසස් පොලිස් නිලධාරියා විසින් මිශාර රණසිංහට පමුණූවන ලද වධහිංසා සහ ලිංගික හිංසනයන් අතිශය කුරිරු සහ ජුගුප්සාජනක බව 'ශ්‍රී ලංකා බ්‍රීප්' වෙත දැන ගන්නට ලැබී තිබේ.

මෙම පොලිස් නිලධාරියගේ අශිෂ්ඨ සහ ප්‍රචන්ඩ හැසිරිම ශ්‍රී ලංකාවේ පවත්නා දුර්විපාක නොලැබීමේ සංස්කෘතිය නොහොත් රජයේ බලධාරින් බුක්ති විදින අනීතික දණ්ඩ මුක්තිය පිළිබඳ අපූරු උදාහරණයක් සපයයි.

අද ඔහුට චෝදනා එල්ල වන රාජ්‍යයේ ප්‍රචණ්ඩ හැසිරීම් සම්බන්ධයෙන් මෙරට පවතින දණ්ඩ මුක්තියේ සෘජු ප්‍රතිඵලයකි.

සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමයක අනීවාර්ය අංගයක් විය යුතු අපරාධ යළි සිදු නොවීමට පියවර ගැනීමේ වැදගත්කම මෙමගින් යළි පෙනී යයි. පෙර වැරදි රන්මල්  කොඩිතුවක්කු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වූයේ නම් පසුගිය සතියෙහි සිදුවූ අමානුෂික සිදුවීම සිදුවන්නේ නැත.

මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නොවිසදී පවත්වා වගවීම, හානිපූර්ණය, සත්‍ය දැන ගැනීම, සහ යුක්තිය ඉටු වීම යන සංක්‍රමණික යුක්ති ක්‍රියාදාමයෙහි ඇති වැදගත්කමද මෙම සිදුවීම අපට යළි පෙන්නුම් කරයි.

 

 

නිමල් ගුණරත්නගේ නඩුව:

2000 ජූනි මාසයේදී නිමල් ගුණරත්න නමැති පුද්ගලයා පානදුර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. එනමුත් ඔහුට විරුද්ධව කිසිම නඩුවක් ගොනු කළේ නැත.

අත්අඩංගුවට ගත් ගුණරත්නට රන්මල් කොඩිතුවක්කු යටතේ දරුණු වධ බන්ධනවලට ලක් කරන ලදී. පොලිස් අධිකාරි රන්මල් කොඩිතුවක්කු පානදුර පොලිසියේ එවකට සහකාර පොලිස් අධිකාරී විය.

ඔහුගේ පියා ලකී කොඩිතුවක්කු එවකට පොලිස්පතිවරයා විය.



එම වසරෙහි නිවේදනයක් නිකුත් කරමින් ආසියානු මානව හිමිකම් කොමිසම චෝදනා කළේ සහකාර පොලිස් අධිකාරී රන්මල් කොඩිතුවක්කු නිමල් ගුණරත්නට ද පහර දී බවයි. ඊට තවත් පොලිස් නිලධාරීහු එක්ව තිබුණි.

මෙම පහරදීම නිසා නිමල් ගුණරත්නගේ එක් ඇසක පෙනීම අහිමි වූ අතර තවත් බරපතළ තුවාල ද ඇති විය.

නිමල් ගුණරත්න පොලිස් නිලධාරීන්ට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඉන් පසු  ඔහුට එම රන්මල් කොඩිතුවක්කු මහතාගෙන් ජීවිත තර්ජන එල්ල වෙමින් තිබූ බව ද මානව හිමිකම් කොමිසම වාර්තා කළේය. නාඳුනන පුද්ගලයින්  නිමල් ගුණරත්නගේ වතතෙහි ගැවසෙමින් සිටියේය. නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙස දුරකතන ඇමතුම් මගින් නිමල් ගුණරත්නට තර්ජනය කරන එල්ල විය.



ඉන් වසර 21කට පසු  නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන එම රන්මල් කොඩිතුවක්කු ගෙන්ම පහර කෑ නිශාර රණසිංහ අද ජීවත්වන්නේ ද ජීවිත බියෙනි.
එමගින් පෙන්වන්නේ මෙර පොලීසය තුළ වධහංසා පැමිණවීම කොතරම් දුරට බින්න බැස ඇත්ද යන්නත් එම බියකරු තත්වය සියලුම ආණ්ඩු මගින් ඉවසා ඇති අන්දමත්ය.

කෙටියෙන් ඉන් පෙනේනනේ ලංකාවේ නීතියේ ආධිපත්‍යට සිදුව ඇති වින්නැහියයි.

 

නිමල් ගුණරත්න අද කුප්‍රසිද්දව ඇති එවකට පානදුරේ පොලිස් ස්ථානයේ සහකාර පොලිස් අධිකාරී වූ රන්මල් කොඩිතුවක්කුගේ කාර්යාල කාමරයේ ඇඳකට මංචු දමා දින තුනක් රහසිගතව තබා ගත්තේය. ඔහුට කෑමක් බීමක් හෝ වැසිකිළි යාමට පවා ඉඩ ලැබුණේ නැත. ඉන්පසුව ඔහු මාස තුනක පමණ කාලයක් අත්අඩංගුවේ තබා ගැනුණි.

පසුව නිමල් ගුණරත්න ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර එම නඩුවෙන් ජයග්‍රහණය කළේය. නමුත් ඇසක් අහිමි වීම සහ පොලිසිය අතින් වධහිංසා පැමිණවීම සඳහා ඔහුට ලබා දුන්නේ නාමික වන්දියක් පමණි. ඇස නැතිවීමට වන්දිය වූයේ රුපියල් 5000ක් පමණි.

පුදුම නමුත් ඇත්තය. පොලිස්පතිගේ පුත්‍රයා  වූ රන්මල් කොඩිතුවක්කු පොලීසියේ නොසිටි බවට කල ප්‍රකාශය ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගත්තේය.

ගාමිණි ගුණරත්න කීවේ තමන් අත්අඩංගුවට ගැනීමට ඔහු ද පැමිණි බවයි.

හය වසරකට පසුව ලැබුණූ තීන්දුවෙන් රන්මල් කොඩිතුවක්කුට දඩුවම් දුන්නේද නැත. එනමුත් ඔහු නිර්දොශී යැයි ශ්‍රේෂ්ඨාධිකරණය කීවේ ද නැත.

2000 වර්ෂයේ වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් නීතිපතිවරයා වගකිව යුතු පොලිස් නිලධාරීන්ට එරෙහිව වධහිංසා පැමිණ වීමට එරෙහි පනත යටතේ අපරාධ චෝදනා ගොනු කළේ ද නැත.

සහකාර පොලිස් අධිකාරී කොඩිතුවක්කු මහතාට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව හෝ පොලිස් දෙපාර්තමේන්තුව කිසිදු පියවරක් නොගත්තේ ඔහුගේ පියා එවකට පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ නිසායැයි චෝදනා එල්ල විය.



පුරවැසියකුගේ ඇසක් නැති කිරීමට වගකිය යුතු වූ නමුත් රන්මල් කොඩිතුවක්කු අද බල සම්පන්න නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි. ඔහුගේ දුෂ්ඨ හැසිරීම ගැන රටෙහි ප්‍රධාන පෙළේ නීති: සමාගමක් මගින් ලිපියක් ලියන ලද නමුත් පොලිස් ඇමැති වීරසේකර හෝ කටක් ඇරියේ නැත.

රන්මල් කොඩිතුවක්කු තවම ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස සේවය කරයි! ලංකාව කියන්නේ එහෙම රටකි.


නිමල් පුංචිහේවාට දැමූ තග :

police 2

නිමල් පුංචිහේවා : ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සභාපති

 

තමාට වූ අසාධාරණය ගැන නිමල් ගුණරත්න ශ්‍රී ලංකා ජාතික මානව හිමිකම් කොමිසමට ද පැමිණිලි කළේය. එවකට ජ්‍යෙෂ්ඨ නීතිඥ ෆයිස් මුස්තාපා ජාතික මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයා වූ අතර නීතීඥ නිමල් පුංචිහේවා එහි විමර්ශන නිලධාරියා විය.

2002 ජනවාරි 22 දින නීතිඥ නිමල් පුංචිහේවා පොලිස්‌ නිලධාරීන් තිදෙනකුට එරෙහිව නිමල් ගුණරත්න විසින් කරන ලද නීති විරෝධී අත්අඩංගුවට ගැනීමේ පැමිණිල්ල විභාග කරමින් සිටියේය.

එම අවස්ථාවෙහි එහි කඩා වැදුණු සහකාර පොලිස් අධිකාරි රන්මල් කොඩිතුවක්කු එම පරීක්‍ෂණ කටයුතු කඩාකප්පල් කර, පරීක්ෂනය කරමින් සිටි නීතිඥ නිමල් ප්‍රංචිහේවා පරුෂ වචනයෙන් බැන වදිමින් පරීක්‍ෂණයට කැඳවා සිටි පොලිස්‌ නිලධාරීන් තිදෙනා රැගෙන ගියේය.

මෙම සිදුවීම ප්‍රසිද්දියට පත් වූ පසු සහකාර පොලිස් අධිකාරී රන්මල් කොඩිතුවක්කු වරද විමර්ශන නිලධාරි නිමල් පුංචිහේවා පිට පැටවීමට තැත් කළේය.

කොඩිතුවක්කු තමන් උසස් නිලධාරියකු බවත් පොලිස්පතිවරයාගේ පුතා වන තමන්ට ඒ ආකාරයෙන් කතා කිරීමට නිමල් පුංචිහේවාට අයිතියක් නැති බවටත් තර්ජනය කළේය.

මෙම අනීතික හැසිරීම ගැනද කිසිදු පරීක්ෂණයක් නොපැවැත්වූ අතර සහකාර පොලිස් අධිකාරී රන්මල් කොඩිතුවක්කු ඉනිමඟේ දිගටම නැග්ගේය.

මෙම නිමල් පුංචිහේවා අන් කිසිවකු නොව ජනාධිපති රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස පත් කරන ලද අය වේ.

තව අඩියක් ඉහළට ගියේ නම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු පොලිස්පති වීමට ඉඩ තිබුණි.

එසේ වී නම් මෙරට මැතිවරණ ක්‍රියාදාමයට අබ සරණ වන්නටක් හොදටම ඉඩ තිබුණි.


එක්සත් ජාතීන්ගේ නඩු තීන්දුව:


නිමල් ගුණරත්න තමාට ශ්‍රේෂඨාධිකරණයෙන් සාධාරණයක් ඉටු නොවූ බව පවසමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව හමුවෙහි 2005 වසරෙහි පැමිණිල්ලක් ගොනු කළේ ය.

එහි දී  ඔහු සඳහන් කළ කරුණු අතර මෙසේ ද වෙයි.

2000 ජුනි 19 වන දින, ඔහු සහ ඔහුගේ බිරිඳ ඔවුන්ගේ නිවසේ සිටියහ. සවස 4.30 ට පමණ පානදුර සහකාර පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් පොලිස් නිලධාරීන් දස දෙනෙකු ඔහුගේ නිවස වටලා නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන ඔහුගේ දෑත් පිටුපසට කඹයකින් බැඳ පානදුර පොලිසියට  ගෙන ගියේ ය. පොලිස් ස්ථානයේදී පොලිස් නිලධාරීන් විසින් ඔහුට අමානුෂික වධ හිංසා පමුණුවන වන ලදී.

ඔහු අත්අඩංඟුවට ගන්නා ලද්දේ සහකාර පොලිස් අධිකාරී රන්මල් කෙඩිතුවක්කු යටතේ වූ ක්ෂනික මෙහෙයුම් ඒකකය විසිනි.

මසකට පසු ඔහු රෝහලට ගෙන ගිය විට පහරදීම් වලට සහ තුවාල වී තිබූ ඇසට ප්‍රතිකාර කිරීම සදහා රෝහලේ නතර කරන ලෙස වෛද්‍යවරුන් කළ නිර්දේශය පොලීසිය නොසළකා හැරියේය.

ඔහු විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට ඉදිරිපත් කර ලද වෛද්‍ය වාර්තාවට අනුව අත්අඩංගුවේ සිටියදී ඔහුට මාංචු දමා හෝස් පයිප්පවලින් පහර දුන් බවත් යකඩ ඇඳක් මත මුහුණතට දමා, මාංචු දමා ඇඳේ වළලුකරෙන් බැඳ, මුගුරු සහ හෝස් බටයකින් පහර දී ඇති බවත්  දින අටක් අඳුරු කාමරයක තබා ඇති බවත් එක් පහරදීමකදී ඔහුගේ දකුණු ඇසට තුවාල වී ඇසෙන් ලේ ගලන බවත් ඔහුව වහලෙන් එල්ලා පහර දී පසුව ක්ලාන්ත වී ඇති බවත්  ඔහුගේ හිස වතුර යට ගිල්වා ඇති බව වධ දී ඇති බවත් සඳහන් විය.



රන්මල් කොඩ්තුවක්කුගේ නිල කාමරයේ ඇදට මාංචු දමා දින තුනක් තබා ගන්නා ලද්දේ මසක් අක්ෂි රෝහලේ නැවැතී ප්‍රතිකර ලබා පැමිණි පසුය.

මේ එවකට සහකාර පොලිස් අධිකාරී රන්මල් කොඩිතුවක්කු යටතේ සිදුවූ සැහැසිකම් වලින් කොටසක් පමණි.

රන්මල් කොඩිතුවක්කු මෑතදී කරන ලද වධහිංසා සහ විසි වසරකට පෙර කරන ලද වධහංසා අතර ඇත්තේ දුෂ්ඨ සමාන කමකි.

ගාමිනී ගුණරත්න විසින් කරන ලද පැමිණිලි වලින් පසු 2005 මාර්තු 6 වන දින පොලිස් නිලධාරීන් විසින් ඔහුගේ නිවසට වෙඩි තබන ලදී. මේ පිළිබඳව උසස් පොලිස් නිලධාරීන්ට දැනුම් දුන් නමුත් කිසිදු පියවරක් ගෙන ගත්තේ නැත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව 2009 අප්‍රේල් මාසයේදී සිය තීන්දුව ප්‍රකාශ කරමින් ඔහුට වධහිංසා පමුණූවා ඇති බවටත් ප්‍රමාණවත් වන්දියක් ලැබී නැති බවටත් තීන්දුවක් දුන්නේය.

මේ 2000 වසරහිදී ය.



එම රන්මල් කොඩිතුවක්කුම 2021 දී කරන ලද සැහැසිකම් දෙස බලන විට ශ්‍රී ලංකාව ගමන් කරන්නේ පරාදීසයක් කරාද අපායක් කරාද යන්න තේරුම් ගැනීම අමාරු නැත.

ඊටත් වඩා භයානක වන්නේ අප බොහෝ දෙනෙකුට දැනටමත් මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මිශාර රණසිංහ පමුණුවන ලද භයානක වධහිංසා අමතකව තිබීමය.

ඊළඟ ජනාධිපතිවරණ සිහිනයේ  සිරව සිටින දේශපාලන පක්ෂ  සහ පුද්ගලයෝද මේ ගැන නිහඩය.

ඉතිං, මේ රට යන්නේ කොහිදැයි සිතා ගැනීම ඔබට බාරය.

 

@theleader.lk