බහුජන දේශපාලනය කියන්නේ අතීතයේත් වර්තමානයේත් වඩා වැඩියෙන් කතාවට ලක්වන සහ ක්‍රියාවට නැගෙන ජනප්‍රියවාදී දේශපාලන කතිකාවක්.

මෙන්න මේ කතිකාව ගැන අවදානය යොමු කිරීමට අදහස් කරන්නේම වර්තමානයේ නැවත වටයකින් එම ජනප්‍රවාදී දේශපාලන ප්‍රවේශය කැරලි ගත වන හින්දයි.

එහෙම කියන්නෙ ඇයි?

පහුගියදා  ආණ්ඩුව එක්ක සන්දාන ගත වූ දේශපාලන පක්ෂ 11 ක් සහ සිවිල් බලයක් සහිත පුද්ගලයින් කිහිප දෙනකුගෙන් සමන්විතව සෑදුනු මහජන මන්ත්‍රණ සභාව ගොඩනැගීමත් එක්කම මෙම කතිකාව නැවත වටයකින් කරලියට එනවා. (ජාතික සභා , බහුජන පක්ෂ, සන්ධාන වැනි නම්වලින් පැමිනෙන ජනප්‍රියවාදී බහුජන සභාවක් ගොඩනැගීමත් සමග)

මෙහෙම ආරම්භ කරපු මහජන මන්ත්‍රණ සභාවේ මූලික පරමාර්තයන් මොනවද කියල කතා කිරීමට කලින් මෙවැනි දේශපාලන ආකෘතීන් බිහිවීමට අදාල කාරනය විමසීම වැදගත් වෙනව.

ඕනම දේශපාලන පක්ෂයක් තුළ තමන් නියෝජනය කරන මතවාදයක් තියෙනවා.

මෙන්න මේ මතවාදය සමාජ ගත කරමින් ඒ මතවාදය සදහා ජනතාව ඒකරාශි කරගැනීම මේ දේශපාලන පක්ෂ වල මූලික අභිප්‍රායයි. මෙම අරමුණ සදහා ජනතාව ඒකරාශි කරගැනීම හා එමගින් දේශපාලන හා රාජ්‍ය බලය ඒ කියන්නෙ ආණ්ඩු බලය ලබාගැනීම මේ පක්ෂ වල මූලික අරමුන වෙනවා.

අන්න ඒ නිසා සමාජයට මෙම මතය ගෙනයාමේදී කෙලින්ම තනි පක්ෂයක් විදිහට තමන්ගේ මතය ගෙනියන්න බැරි උනාම, එහෙමත් නැතිනම් කෙලින්ම ජනතාව තමන්ගෙ පක්ෂය වටා ඒකරාශි නොවේ යැයි ඔවුන් විශ්වාස කරන විට, තමන් මේ මතයේ සිටින්නේ තනියම නොවන බව හා ඒ වටා විශාල පිරිසක් ඉන්න බව පෙන්වීමට මොහෝවිට මේවගේ බහුජන සංවිධාන අවශ්‍ය විය.

ශ්‍රී ලංකාව තුල ඉතිහාසයේ  එවැනි අවස්තා බොහොමයක් ගැන අපි අහල දැකල තියෙනව.  වැඩිහරියක්ම බිහිවූනේ එවැනි දේශපාලන ආකෲතීන් හා කතිකාවන්‍. උදාහරණ විදියට ගත්තොත් 1948 එජාපය තුල වූ සන්ධාන ව්‍යූහය, 1952 ශ්‍රීලනිපෙ ව්‍යූහය, 1965 සමගි පෙරමුණ, පැරණි වමේ පක්ෂ සන්දානගත වීම් හා බෙදීම්, ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රෙමී ජාතික ව්‍යාපාරය හා දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය ඒවගේම වර්තමානයේ ජාතික ජන බලවේගය, පොදු ජන එක්සත් පෙරමුණ වැනි මේ සියල්ල බිහි වෙන්නේ මෙන්න මේ කතිකාව තුලයි.

මෙහි විශේෂ උවමනාව වෙන්නේ තම මතවාදයේ බලය පෙන්වීම හා සෘජු ලෙසම තමන්ගේ දේශපාලන මතය වටා එක් නොවන ජනතාව මුලින් ඔවුන්ට එක්විය හැකි තැනකට එක් කර දෙවනුව තමන් වෙත එකතු කර ගැනීමයි. මේ වගේ ආකෘතියක් විශේෂයෙන්ම අවශ්‍ය වන්නේ වමේ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් සදහායි. එනම් තම වාමවාදී මතවාදය වෙත කෙලින්ම එකතු නොවන ජනතාව මුලින් ඔවුන්ට එකතු විය හැකි ආකෘතියක් තුල එකතු කරල ඊට පස්සෙ ඔවුන්ට තමන්ගේ දේශපාලන දැනුම ලබාදී ඔවුන් දිනාගැනීමේ උවමනාව.

එහෙම වුනත් මේ  ආකෘතිය දිසානත වන්නේම ධනේශ්වර සහ ලිබරල් දේශපාලන ආකෘතිය තුලට බව ඉතිහාසය නැවත නැවත ඔප්පු කරල තියෙනව.

දැන් බුද්ධාගම තුල පැවිදි හා ගිහි කියල කොටස් දෙකක් තියෙනවනේ. ඉතිං හැම තිස්සේම පැවිදි පාර්ශ්වය දහම් දැනුම ලබාදීල සමාජය ආගමික නැබුරුවක් වෙත ගෙනඒමට උත්සාහ කළත්  ඒ හැම මොහොතකම පැවිදි සමාජයේ කොටස් ලෞකික සැප වෙනුවෙන් තම පැවිදි ජීවිතය අත් හරිනවා. අන්න ඒ වගේ මේ දේශපාලන උපක්‍රමය නැවත නැවත ධනේශ්වරයටම සේවය කරනවා. ඒ කියන්නෙ ඒ ගොඩනගන බහුජන ව්‍යාපාර තුල තමන්ගේ මතවාදය ක්‍රියාත්මක වෙනවා වෙනුවට ධනේශ්වර මතවාදය පක්ෂ තුල ක්‍රියාත්මක වීම. එක්කො ඒ පක්ෂ ධනේශ්වර මුහුනුවරකින්ම පෙනී ඉන්න අතර එහෙම නැත්නම් පුද්ගලයින් දියවී ගොස් ධනේශ්වර දේශපාලනය වැලද ගැනීමයි සිද්ධ වෙන්නේ.

මේකට හොඳම නිදසුන වෙන්නේ විමල් වීරවංශ දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය හරහා රාජපක්ෂ කදවුරට එකතු වීම.

ඒ නිසා අපට කියන්නට ඇත්තේ මේ කුමන ජාතියේ ජාතික සභා, ජාතික මන්ත්‍රණ සභා, බහුජන සංවිධාන, සන්ධාන අවසානයේ සේවය කරල තියෙන්නෙ ධනේශ්වර ක්‍රමය ට හා මෙන්න මේ  ලිබරල් දේශපාලන කතිකාවට කියලයි. ඒ හින්දයි අපිට මේ න්‍යායයික පැහැදිලි කිරීම ඉතිහාස කරුනු සහිතව ඉදිරිපත් කිරීමට අවශ්‍ය වන්නේම. සහ වර්තමානයේ මේ අප ඉදිරියේ ක්‍රියාත්මක වෙන්නේද එවැන්නක්ම බව පැවසීමටය‍‍

අපිට මෙතනදී මතුවන ප්‍රධානම අත් නොහැරිය හැකි කාරනය වෙන්නේ ජාතිකවාදී රාජ්‍ය සංකල්පය පසුගිය කාලය පුරාවටම සමාජයේ කතාබහට ලක් වෙමින් පවතින කාරනයක් නිසාම ඒක කෙබදු මුහුණුවරකින් මෙතෙක් කටයුතු කලේද?

ඉදිරියේදී කටයුතු කරන්නේද?  යන්නයි. අන්න ඒක මෙන්න මේ විමල්, ගම්මන්පිල, වාසුදේව, ගෙවිදු, සිවිල් දේශපාලන ක්‍රියාදරයෙක් වන ගුනදාස අමරසේකර වැනි අය එකතුවෙමින් ගොඩනැගුනු ජාතික මන්ත්‍රණ සභාව හරහා තේරුම් ගන්න ඔින.

අප දන්නා ලෙස මහාචාර්ය නලීන් ද සිල්වා මූල් කාලයේදී මාක්ස්වාදියෙක්. ඒ බව අපිට පැහැදිලි වෙන්නේ ඔහු මාක්ස්වාදය විවේචනය කල නිසාය. මාක්ස්වාදය විවේචනය කල හැක්කේ මාක්ස්වාදය තුල සිටින කෙනෙකුටයි. ඔහු මාක්ස්වාදය විවේචනය කරන්නේ මාක්ස්වාදයේ දරීද්‍රතාවය කියන කෘතියෙන් කියල ඔබට මතක ඇති. ඉන් පස්සෙ ඔහු විසින්ම මාක්ස්වාදයට නව අර්තකතනයක් අවශ්‍යයි කියා දිවයින පුවත්පතට ලිපි ලිව්ව. එහෙම ලිපි ලියන්නේ ඔහු මාක්ස්වාදියකු වූ බැවින් බවයි අපගේ විශ්වාසය පවතින්නේ. මෙහිදී වැදගත් වෙන්නේ නලීන් ද සිල්වා මහාචාර්යවරයා  මාක්ස්වාදය ප්‍රශ්න කරන්නේ එය අදාල නොකරන නිසා නෙවෙයි. ඒකෙ ඇතුලේ ඉඳිමින්. ඒ නිසාම නලීන්ගේ ප්‍රවේශය පශ්චාත් මාක්ස්වාදීයි කියල කියන්න පුළුවන්.

නමුත් සම්භාව්‍ය මාක්ස්වාදය තුල විවිධ රටවල දේශගුනික තත්වයන් , බෞමීක පිහිටීම, ජන ව්‍යාප්තිය වගේ කාරනා අනුව ඒ ඒ රටවල ගොඩනැගෙන සමාජවාදී රාජ්‍යන් තුල සුසමාධර්ශි වෙනස කතා කලා. අන්න ඒකට අනුව නලීන් ද සිල්වා අපේ රටට සිංහල බෞද්ධ රාජ්‍ය සංකල්පය ඉදිරිපත් කලා.

මෙතැනදි පොඩ් අවශේෂ ඉගියකුත් මතක් කරන්න ඔින.   ගෙවිදු කුමාරතුංග කියන විදියට නම් ඔහුට ඔහුගේ සීයා හා තිබූ ආත්මීය බැදීම හේතුවෙන් මෙම සිංහල බෞද්ධ ජාතික රාජ්‍ය සංකල්පය තිබුනු බවත් නලීන් ද සිල්වා සමග කල සාකච්චා හරහා නලීන්ව පශ්චාත් මාක්ස්වාදී මතයෙන් ගලවල සිංහල බෞද්ධ ජාතික රාජ්‍ය සංකල්පයට ගෙනඒමට හැකිවූ බවත් කියනව.

මේ කතාවෙතාව සත්‍ය අසත්‍ය කෙසේ වෙතත් මේ සංකල්පය ජනගත කිරීමට පුරෝගාමී වන්නේ නලීන් ද සිල්වා මහඇදුරුතුමා කියල නම් කියන්න පුළුවන්.

තව මේකෙ අටුවා ටීකා කතා තියෙනව. ගෙවිදු කුමාරතුංගගේ ඥාති සම්බන්දය මත ගුනදාස අමරසේකර වැනි සිවිල් පුරවැසියන් මෙම මතයට ගෙනඒමට පුළුවන් උනා වගේ කාරණා. ඒ කතන්දර එහෙම තිබියදි අපි අපේ මාතෘකාවට යමු.

මේ හින්ද විමල් ඇතුලු ජාතික නිදහස් පෙරමුණත් ඒ මතයේ පිහිටවීමට ගුනදාස අමරසේකරට හැකිවීම විශේෂත්වයක්.

ඒ විතරක් නෙවෙයි උදය ගම්මන්පිල හා අතුරලියේ රතන හිමි කියන්නෙ කාලයක් චම්පික රණවක සෙවනේ දේශපාලනය කල චරිත දෙකක්.

අපි දන්නවා චම්පික රණවක කියන්නෙම නලීන් ද සිල්වාගේ සෙවනේ දේශපාලනය හදාරල ඔහුගෙන් වෙන්වී ජාතික තලයේ දේශපාලනයේ නියැලෙන්නක්. එබැවින් චම්පිකලගේ නලින් වාදී දැක්ම උදයට හා රතන හිමිට පිහිටීම විය යුත්තක්. විමල්, වාසු, ඩලස්, වැනි අය ජවිපෙ හා වමේ දේශපාලන කතිකාව තුල මුල් සවිවූ පුද්ගලයින් නිසාම ජාතික රාජ්‍ය සංකල්පය හා එකවිමට නිතැතිනම් හැකියාව තියෙනව.

මෙතන විශේෂම කාරණය වුනේ ජාතික රාජ්‍ය සංකල්පයට ප්‍රභාකරන්ගේ රට දෙකඩ කිරීමේ යුදමය වාතාවරනය බාධාවක් වීම. ඒ මොහොතේ එය පැරදවීමේ ජවිපෙ, සිහල උරුමයේ උවමනාව එම බරින්ම මෙකී ජාතික රාජ්‍යවාදීන්ගේද උවමනාව උනා. ඒ සදහා සුදුසුම පුද්ගලයා වුනේ එවකට ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂයි. ඔහු හරහා යුද්ධය දිනල එල්ටීටීඊය යුදමය හා දේශපාලනමය ලෙස පරදවීම හා ඉන් පසුව තම ජාතික රාජ්‍ය සංකල්පයට සෘජුව ගෙන ඒමට නොහැකි ජනතාව, මහින්ද රාජපක්ෂ හරහා ගෙන ඒමේ උපක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ මින් පස්සෙදියි.

ඔබට මතක ඇති ඒ සදහා නලීන් ද සිල්වා  සහ ඊට අදාල සියලු කොටස් එක්වෙලා තම ජාතික රාජ්‍ය සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා විශාල බහුජන ව්‍යාපාරයක් බිහිකලා. එසේ බිහිකරමින් නලීන්, චම්පික, ගෙවිදු, විමල්, ගුනදාස, වාසු, ගම්මන්පිල ආදී එකී නොකී සියලු දෙනා මහින්ද රාජපක්ෂ එක්ක එක්වෙලා තමන්ගෙ සිහිනය වෙත ලගාවීමට සිහින දැක්ක. ඒත් මෙම සිහිනය බොඳවෙන්නේ මහින්දගේ ආණ්ඩුකරණයේ මැදිහත් කරුවා වූනේ බැසිල් රාජපක්ෂ නිසයි.

බැසිල් යනු රනිල් වික්‍රමසිංහටත් එහා ගිය ලිබරල් වාදියෙකි.

ඒ නිසාම සිංහල බෞද්ධ ජාතික රාජ්‍ය සංකල්පය පයිසයකට ගනන් නොගෙන ලිබරල් සංවර්ධන මාවතේ බැසිල් රට අරන් ගියා. ඔහුට එහෙම ගෙනයන්නට අවශ්‍ය සියලු බල තල සහ කැබිනට් ඇමති දූරයත් හිමි වුනා. බැසිල්ගේ මෙම ක්‍රියාවලිය ජාතික රාජ්‍ය කණ්ඩායමේ හිත සුව උනේ නෑ. තමන්ගේ දේශපාලන මතවාදය ක්‍රියාත්මක කිරීම එක වැර නොහැකි නිසා එම මතවාදය ක්‍රියාත්මක කිරීම සදහා එදා හදාගත් සන්ධානය ක්‍රමයෙන් ලිබරල් ධනවාදය තුල දිය වෙන්නට උනා.

එහි විරෝධය විමල්ගෙන් මතුවීමත් එක්ක බැසිල් විරෝධය කරලිගත උනා. ඒකෙ ප්‍රතිඵලය වූවේ 2015 මහින්ද රාජපක්ෂ පරාජය වෙලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වීමයි. මේකෙන් පේන්නේ නලීන්ගේ ජාතිකවාදී රාජ්‍ය සංකල්පය රාජපක්ෂ පාලනය එක්ක ඩීල් එකක් බවට පත්වීම හා ඔහු ඉදිරිපත් කල මතවාදයන් විහිලුවක් බවට පත් වීම නෙවෙයිද?

මෛත්‍රීගේ පැමිනීම සිද්ධ වෙන්නේ යූඑන්පීය එක්ක හින්දම රනිල් කියන්නෙ කොහෙත්ම ජාතික රාජ්‍ය සංකල්පයට නොගැලපෙන නිසාම ඒකෙ විරෝධය සිරිසේන ජනාදිපති වරයාටද විතැන් වීමෙන් මෙම කණ්ඩායමට ඔහු සමග එකතු වීමක් කල නොහැකි උනා.

ඉතිං එතැන් පටන් ඔහුන් තමන්ගේ මතය ගෙන ඒම සදහා සුදුස්සකු තේරුවා. ඔන් ඒකෙ ප්‍රතිඵලය වෙන්නේ ඇමරිකන් පුරවැසිභාවයක් සහිත ගෝඨාභය රාජපක්ෂ හරහා තම අරමුණ ඉටු කර ගැනීමයි.

ප්‍රාදේශීය සභාවකවත් දේශපාලනය නොකල ගෝඨාභය රාජපක්ෂ හරහා ජාතික රාජ්‍ය සිහිනය වෙනුවෙන් ඒකරාශි වන මෙකී කණ්ඩායම නැවත වතාවක් ලිබරල් ධනවාදයට ගොදුරු උනා.

ඒකට හේතුව වෙන්නෙ ගෝඨාභය ආණ්ඩුව පාලනය වෙන්නේත් බැසිල් හරහා. ඔන්න දැන් ආයෙත් සිහින රාජ්‍ය වෙත යෑමට නොහැකියි. ඒ විතරක් නෙවෙයි ජාතික රාජ්‍ය කෙසේ වෙතත් කෙටි කාලයකින් ආණ්ඩුව ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීමද සිද්ධ වේවි. ඉතිං ඉතා ඉක්මනින් මෙකී ගෝඨාභය ආණ්ඩුවේ බැසිල් සාදකයට තරවටු කල යුතුය.

බැසිල් විරෝධී ලෙස එක් වූවද ආණ්ඩුව හැර යා නොහැකියි. මොකද එහෙම උනොත් බැසිල් මේ අයගේ දේශපාලන ගමනට මරු පහරක් දේවි. උදාහරණයක් විදිහට ගත්තොත් බැසිල් වැඩියෙන්ම ගහන්නේ විමල්ට.

විමල්ට කොළඹ දිස්ත්‍රික්යේ වැඩිම මනාප ගැනීමට ඉඩ නොදුන්නේ කවුද? බැසිල්. එම මොහොතේ විමල් ආණ්ඩුවෙන් ඉවත් වීමට උත්සාහ දැරුව මතක ඇති.

බැසිල් වහාම ක්‍රියාත්මක උනා.

විමල්ගෙන් ගැලවිය හැකි ඔහුගේ සියලු ප්‍රාදේශීය දේශපාලන නායකයින් වෙන වෙනම අරගෙන විමල් සන්දානයෙන් ගියොත් ඔවුන් විමල්ගෙන් ගැලවී ආණ්ඩුව වෙත පැමිනිය යුතුයි කියල දැන්වුවා. ඒ සදහා මුදල් හා වරප්‍රසාද පවා සූදානම්ව තිබූනු බව බොහෝ තැන් වල කතා බහට ලක් උනා. විශේෂයෙන්ම කඩුවෙල විමල්ගේ ආසනයේ ප්‍රාදේශීය සභාවේ සභාපති වරයාට බැසිල් මේ බව දන්වපු හැටි මතක ඇති. වරදාන හා වරප්‍රසාධ අතෑරලා එන්න කවුද කැමති? ඉතිං සභාපති වරයා විමල්ගේ ඡන්ද මැෂිම නිසා සභාපති වරයා නැතිව විමල්ට එලියට බහින්න බෑ.

විමල්ගේ ජාතික රාජ්‍ය සංකල්පය නව ලිබරල් ධනවාදය තුල දියවෙන්නේ එහෙම.

නලින් ද සිල්වාට තානාපති කමක් ලැබෙනව.

ඒ හරහා ඔහුගේ සිංහල බෞද්ධ රාජ්‍ය සංකල්පය ගැට ගැහුව.

ගෙවිදු මන්ත්‍රී වරයෙක් වෙනව.

බැසිල් රාජපක්ෂ වැඩේ කරගෙන යනව.

එහෙත් ජනතාවගෙන් එන විරෝධය නැවත වෙනත් පැත්තකට තල්ලුවීමට පෙර එය තමන්ගේ මතය තුල කෙසේ හෝ රදවා ගත යුතුයි. එයට නැවත වටයකින් දියවී ගිය ජාතික රාජ්‍ය සංකල්පය ගෙන ආ යුතුයි. ඒ සදහා බැසිල්ගෙන් කෙනෙහිලිකම් වන සියලු දෙනා දැන් එක් පිලකට පැමිනිල තියෙනවා.  ඒ එකතුව හරහා බැසිල්ට තරවටු කිරීම මුල් පියවරයි.

මොකද තවම මේ අයට මේ  ආණ්ඩුවෙන් ගැලවෙන්නට බෑ. එහෙම ගැලවුනහොත් ඉදිරි දේශපාලනය මොවුන්ට අසීරු වේවි. ඒ නිසා ආණ්ඩුව තුලම ඉඳල බැසිල්ට තරවටු කරන්න ඔින. ඉතිං කාටද කියන්න බැරි පොදුජන පෙරමුණේ පස්වන සමුලුවේදී මේ තරවටුව බැසිල් ඉදිරියේම ප්‍රකාශ කරන්න කියල මහින්ද අගමැතිවරයාව උසි ගැන්වුවෙ නෑ කියල.

අගමැති මහින්දට ඒක වැදගත් නෑ. ඔහුට අවශ්‍ය වෙන්නේ බැසිල්ගේ පිට මේ සියලු වැරදි තියල නාමල් බලයේ පිහිටුවීමයි.

එහිදී සමස්ත රාජපක්ෂවරුන්ගේ පිටින් මෙම අවුල යනවාට වඩා බැසිල්ගේ පිට වරද පටවල නාමල්ගේ ඉදිරි පැවැත්ම සදහා මහින්ද බැසිල්ට තරවටු කලා.  එහෙම කිරීමම අර ජාතික මන්ත්‍රණ සභා කන්ඩායම චූන් කිරීමක් කියා අගමැති මහින්ද දන්නවා.

අපි හිතනවා එහෙම කළාට පස්සෙත් බැසිල් නවතින්නෙ නෑ.

එහෙම උනොත් ඉදිරි ජනාධිපතිවරනයකදී ඩලස් ජනාදිපති අපේක්ෂකයා කර විමල් අගමැති වීමටද? නැතහොත් මෛත්‍රී නැවත ජනාදිපති කර විමල් අගමැති වීමටද?  ගම්මන්පිලගේ හා රතන හිමිගේ සහයොගයෙන් ගෙවිදුගේද ආශීර්වාදයෙන් චම්පිකට මේ තුල ඉඩක් ලබා ගැනීමටද මේ අය සැරසෙන්නේ කියා කීමට තවමත් කල් වැඩියි.

කවුරු ජනාධිපති වුවත් අගමැති වුවත් නැවත වටයකින් මේ නව ලිබරල් ආර්ථික මොඩලයම හැර වෙන එකක් ගොඩනැගෙන්නේ නැති බවත් , තම තමන්ගේ සිහින රාජ්‍ය වන සිංහල බෞද්ධ ජාතික රාජ්‍ය සංකල්පය එකී ධනවාදය තුල දියවී යන බවනම් අපිට ඉඳුරාම කිව හැකිය.

 

Ladyleader.lk