අදට සාපේක්ෂව අතීතයේ මිනිසුන්ගේ ජීවිත ගලාගෙන ගියේ නිදහස්ව.

කිසිම අධිකාරී බලපෑමකට ඔවුන් හසු උනේ නෑ. ජීවනොපයන්හිදී රාජ්‍යය සමග සම්බන්ධය අදට සාපේක්ෂව ඉතාම අඩු තත්වයක්. ජීවිතය ගතවුනේ හරිම සරලව.

පරිසරයෙන්  ඔවුන් වෙත ලැබුන දේවල් අද දවස එක්ක සැසඳුවහම ගොඩක් ඉහලයි.

මිනිසා සහ සොබාදහම අතර තිබුන ඓන්ද්‍රීය සම්බන්ධය ක්‍රමයෙන් දුරස්වීම මිනිසා රාජ්‍ය සහ වෙළඳපොල සමග සම්බන්ධය ඉහල යාමට අනුලෝම සමානුපතිකයි කියල දල වශයෙන් කියන්න පුළුවන්. එහෙම කිවුවත් මේ මිනිසා සහ සොබාදහම දෙක දෙකක් විදිහට නෙවෙයි පැවතුනේ. කොහොම උනත් පුරවැසියා බිහි වීම කියන්නෙ ක්‍රමක්‍රමයෙන් පරිසරය සමග තිබූ සම්බන්ධයෙන් පුරවැසියා දුරස් වී පරිසරය යනු රාජ්‍යයට අදාළ දෙයක් බවට පත්වීමේ ඉතිහාසයයි.

එසේ වීමට බොහෝ කලකට පෙර මේ දෙක එකක් විදිහටයි එකට බැඳෙමිනුයි පැවතුනෙ.ඒ තුල තමයි මිනිසාගේ පැවැත්ම තහවරු උනේ. මිනිසා ජීවත්වීම සදහා ස්වභාවධර්මයේ ඵල භුක්ති විදිනවා. ඒ භුක්ති විදින ඵල නැවත එම පසටම සාරය සේ මුදා හැරෙනවා. තමන් සහ සතුන් ආහාර ලෙස පොලොවෙන් ලබාගන්නා දේ නැවත පොලොවටම ලබාදීමට කටයුතු කලා.

අපි දැන් පාවිච්චි කරන භූමදානය කියන්නෙ භූමියට දානය දීම. මිනිසුන් සහ සතුන් මැරුනාම ඒ මියගිය මල සිරුරු භූමියට දානය දුන්නා. ඒකෙන් පොලොව සශ්‍රීක වුනා. පොලොවෙන් ලබාගන්නා දේ නැවත පොලොවට ලැබෙනවා. ඒ වෙග්මයි සත්ව සහ මිනිස් වසුරු මහ පොලොව සාරවත් කලා.

අද පොහොර බවට පරිවර්තනය වූ ඒ ක්‍රියාවලිය මොකක්ද?

පසුකාලීනව - පසට අවශ්‍යයි කියන නයිට්‍රජන්, ගොම සහ සත්ව වසුරු වල එම ප්‍රමාණයටත් වැඩියෙන් තියෙනවා කියලා හොයාගන්නවා. හොඳට බලන්න. හරකෙක් මල පහ කල තැනක ඒ ගොමටික ලග ටික දවසකට පස්සෙ හොදට තනකොල වැවෙනවා. මිනිසුන්ට ආහාර වශයෙන් ගන්න අද ආහාර වර්ග කීයද තියෙන්නෙ?

වන ඝනත්වය හා සත්ව ඝනත්වය අනුව මිනිසුන් ආහාරයට ගත්ත ප්‍රමාණය කෙතරම්ද?

උදාහරණයක් විදිහට අද අපට කෑමට එලවලු වර්ග 20 කට 30 කට වඩා තියෙනවද?

ඒත් මතක් කරන්න අපේ පුංචි කාලේ අපේ අම්මා තාත්තාලාට එලවලු වර්ග පලතුරු වර්ග මස් මාලු වර්ග බිත්තර වර්ග හතු වර්ග කොයිතරම් පාවිච්චියට ගන්න තිබුනද? එලවලු වර්ගම 200ක්  300 ක් විතර තිබුනා. ඉතිං මේ  එලවලු එක වර්ගයක් අද කෑවාම ආයෙත් කන්න වෙන්නේ මාස ගානකට පස්සෙ.. මෙහෙම උනාම එලවලු වර්ග 300 ක් තියෙනවානම් දවසකට ඒකෙන් දෙක ගානේ ගත්තත් දින 150 ක් යනවා ආයෙත් මුලට එන්න

මේ පරිසරය සමග තිබූ ඓන්ද්‍රීය සම්බන්ධයෙන් ක්‍රමානුකූලව ගැලවෙමින් රාජ්‍ය සමග පුරවැසියා බිහි වීම සහ තහවුරු වීමේ ප්‍රමාණය පෙන්වා දීම සඳහා එක හොඳ උදාහරණයක් වන්නේ පොහොර ප්‍රශ්නයයි. ඒ කියන්නේ ඉන් පස්සේ පසට අදාලව පැවතී පරිවෘත්තිය ක්‍රියාවලිය විද්‍ය්යාත්මක බලපෑමකට නතු වෙනවා. ඒ කියන්නෙ දැන් ගොවියාට පොහොර නැතිව වගා කරන්න බෑ. ඉතිං පොහොර ඉල්ලල උද්ගෝෂණය කරන්න වෙනව.

මොකක්ද මේ පරිවෘත්තීය ක්‍රියාවලිය කියන්නෙ?

සරලව කිව්වොත් උපදිනවා මැරෙනවා වගේ

අපි යම් පලතුරක් කෑවම ඒකෙ අවශ්‍ය කොටස් ඇබ්සෝබ් කරන් අනවශ්‍ය කොටස් බහිශ්‍රාවී ද්‍රව්‍ය ලෙස පොලොවට ලබා දෙනවා. එතකොට මෙන්න මේ පරිවෘත්තිය ක්‍රියාවලිය ඒ පොලොවේම සිද්ද වෙනවා. ඉතිං ඒ පොලොව නිස්සාර වෙන්නේ නෑ වගේම අහිතකර කෘමීන්, බැක්ට්ටීරියාවන්, දිලීර, විෂ ද්‍රව්‍ය පොලොවට එකතු වීමක් වෙන්නෙත් නෑ. හැම දේම ස්වභාවික සිද්ධ වුනා. මෙන්න මේ හින්දයි අපි කියන්නෙ අතීත මිනිස්සු අදට සාපේක්ෂව ඓන්ද්‍රීයව පරිසරය එක්ක බද්දවෙලයි හිටියේ කියල. ඒ නිසා මිනිසා වෙනම ගන්න බෑ.

අපි බලමු මේ විදිහට ජීවත් උන මිනිහට සිද්ධ උනේ මොකක්ද කියල.

මේකෙන් මිනිසා වෙන් වෙන්නේ ධනේශ්වර සංවර්ධනයත් එක්ක. ඒ කියන්නේ තව දුරටත් යැපුම් බෝග වගාවක සහ සත්ව පාලනයක නියැලී සිටි මිනිසාව ඒකෙන් ගලවලා මහා කාර්මික නිශ්පාදන සඳහා යෙදවීමේ උවමනාව පෙරට එනවා. යැපුම් බෝග වගාව වෙනුවට ආර්ථික බෝග වගාව අධිනිශ්චය වෙනවා. මුලු කාලයම ආහාර බෝග හා සත්ව බෝග වගාවෙන් මිනිසාව ගලවල කාර්මික නිශ්පාදනය වලට යොමු කිරීමේ වුවමනාව එනවා. ඉතිං ගමෙන් නගරය වෙන් වෙනවා

කාර්මීකකරණය නගරයට සීමා වෙනවා.

ඉතාම සරල නිශ්පාදන රටාවක ඉඳල සංකීර්ණ ධනේශ්වර නිශ්පාදන රටාවකට  මිනිස්සු යොමු වෙනවා. වැටුපට වැඩකරන මිනිසෙක් නිර්මාණය වෙනවා.. ඒ මිනිසා ගොවිකර්මයෙන් මිදිලා කාර්මීකරනයට ලක්වෙනවා.. ගම තුලින් නගරය වෙන්වීම එක්ක විශාල වශයෙන් ශ්‍රමය නගරය වෙත ඇදී යනවා.

නගරයේ ශ්‍රමිකයින් සඳහා විශාල ආහාර අවශ්‍යතාවයක් මතුවෙනවා. ඉතිං සියලුම බෝග ගමෙන් නගරයට ප්‍රවාහනය වෙන්න පටන් ගන්නවා. ඒකත් එක්ක සරල බෝග වගාව සංකීර්ණ වෙනවා. ඉතිං මෙතැනදි ආර්ථික බෝග ලෙස බෝග වර්ග කිහිපයකට සීමා වෙන්න සිද්ධ වෙනවා. ඒ බිමෙන් ගන්නා දේ ඒ බිමට එකතු වීම නවතිනවා. පස නිසරු වෙනවා.

ධනේශ්වර නිශ්පාදනයක් වෙච්ච බහිශ්‍රාවී ද්‍රව්‍ය කුණු ලෙස නගරයේ ගොඩ ගැහෙනවා.. අමතක කරන්න එපා මේ කුණු කියන්නේ ධනේෂ්වර නිෂ්පාදනයක් කියන එක. ඒ කුණු ගංගා ඇල මාර්ග ඔස්සේ මුහුදට මුදා හැරෙනවා.

වගාව තුල ගොවියාට කාලය අවශ්‍ය වෙනවා. මේ නිසා ශ්‍රම විභජනය ඇතිවෙනවා. වගා කටයුතු කරන්න පිටින් සේවයට කුලීකරුවන් ගන්න සිද්ද වෙනවා. සම්පූර්ණයෙන්ම පරිවෘත්තිය ක්‍රියාවලිය ඇනහිටිනවා.  පස තුලින් උරා ගැනීම පමනක් මිසක් නැවත පසට පොහොර ලෙස යමක් ලැබෙන්නේ නැති වෙනවා

ඊට පසුසෙ මෙන්න මේ ධනේශ්වර කාර්මීකකරනය විසින් නිසරු බිම සරු කරන්නට ක්‍රම හොයන්න පටන් ගන්නවා.. ඒ බිමෙන් ලැබෙන දේ ඒ බිමට වෙනුවට වෙනත් ප්‍රදේශයක ඉඳල ඒ බිමට නොගැලපෙන දේ ලැබෙන්න පටන් ගන්නවා.

ඒකෙන් කියන්නේ පොහොර සහ කෘමිනාශක කියන්නේම ධනේශ්වරයේ නිෂ්පාදනයක්. නූතනත්වයේ නිශ්පාදනයක්. වගා හානිකර කෘමීන්, බැක්ටීරියා, දිලීර කියන්නේම ධනවාදයේ නිශ්පාදනයක්

මේ අතරෙ තවත් දෙයක් සිද්ධ වෙනවා.

ඒ තමයි මහා පරිමාන නිශ්පාදනයන් වෙනුවෙන් මහ පොලොව කැනීම් කිරීම විශාල ලෙස සිද්ධ කරන්න ගන්නවා. ඒකෙන් පොලොව අභ්‍යන්තරයේ තියෙන මතුපිට පොලොවට සහ බෝග වගාවට නුසුදුසු රසායනික පාෂාන හා මූලද්‍රව්‍යත්  මහා පරිමාන කරමාන්ත වලින් බැහැර කෙරෙන බැර ලෝහ සහා රසායනික සංඝටකත් විශාල ලෙස මහ පොලොවට මුදා හරිනවා. සම්පූර්ණයෙන්ම පසේ සංයුතිය වෙනස් වෙන්න පටන් ගන්නවා. එහෙම මුදාහරින රසායනික හා අනෙකුත් ද්‍රව්‍ය පොහොර විදිහට පසට එකතු වෙනවා.

දැන් මේක ගැටළුවක්.

ඉතිං මේකට උත්තර හොයන්න ගන්නවා. පොහොර වල ඉතිහාසය පටන් ගන්නේ විසිවන සියවසේ අග භාගයේදී.

අතීතයේ බෝග වගාව සිදුවීමේදී කල පරීක්ෂණ වලදී තිරිගු, බාර්ලි, පරිප්පු වගේ බෝග සඳහා අවශ්‍ය 15% පමණ නයිට්‍රජන් ප්‍රතිශතය සත්ව වසුරු වලිනුයි ලැබිල තියෙන්නෙ කියල පුරා උද්භිද විද්‍යාඥවරියක් වන ඇම්. බෙගාඩ් ඇතුලු පරීක්ෂන කණ්ඩායම සොයා ගන්නවා.

ඊට පස්සෙ කල පරීක්ෂණ වලදි පසෙන් මේ විදිහට බෝග වලට උරාගන්න මූලික සංරචක විදිහට නයිට්‍රජන්, පොස්පරස් සහ පොටෑසියම් හදුනා ගන්නවා. බෙගාඩ් විද්‍යාඥවරිය ඔක්ස්පර්ඩ් විශ්වවිද්‍යාලයේ පුරා උද්භිද විද්‍යාඥවරියක්.  ඇය අතීතයේ ගොවිබිම් 13 කින්,පුරා වසර 4400 සිට 7900 දක්වා පැරනි සාම්පල් පරික්ෂාවකින් සොයා ගත්තා, බෝග සඳහා නයිට්‍රජන් 15% ක් අවශ්‍ය බව. සහ ඒවා ශාක හා සත්ව වසුරු වලින් ලැබිල තියෙනව කියල.

මේකෙන් කියැවෙන්නෙ මොකක්ද?

කෘෂිකර්මය ආරම්භ වෙලා වසර දහස් ගනනක් යනකල් පොහොර ඒ භූමිය තුලින්ම ලැබුනු සත්ව හා ශාක පරිවෘත්තිය ක්‍රියාවලිය මගින් ලැබුනු බව නොවේද? ඒ කියන්නේ එයට භාහිර යමක් අවශ්‍ය නොවූ බවයි.

මෙම ක්‍රියාවලිය බිඳ වැටී වෙනත් බිමක් හෝ ප්‍රදේශයක ආගන්තුක යමක් පොහොර ලෙස භාවිතාවට ගන්නට 1800 මැද භාගයේ සිට ආරම්භ කෙරෙනවා. ඒක ධනේශ්වර සංවර්ධනයේ ප්‍රතිපලයක් විදිහට සිද්ධ වෙන්නෙ.

මේ විදිහට ආගන්තුක ද්‍රව්‍ය යොදමින් කෘෂිකර්මයේ යෙදීම වගේම  නගර නිර්මාණය, කාර්මීකකරණය, විශාල ලාභ සහිත ආහාර නිශ්පාදනය, ප්‍රාග්ධන සමුච්ඡය, වගේ කාරනා හරහා තීව්ර වෙද්දි දිනෙන් දින බෝග සදහා පොහොර අවශ්‍යතාවය වැඩි උනා. ඉතිං මෙහෙම පොහොර අවශ්‍යතාවය සැපයීමට නොහැකි වූ සමාගම් විශාල ලෙස සත්ව ඝාතනයන් කරල සතුන්ගේ ඇට කොටස් සහ මල ද්‍රව්‍ය පොහොර ලෙස යෙදවීමට කටයුතු කලා. ඒ මගින් සිදුවූ සත්ව සංහාරය අතිවිශාලයි.

දැන් මෙතැනදි ධනේශ්වර නිශ්පාදනය රසායනික පොහොර භාවිතයට කලින්ම විශාල පරිසර හානියක් සිදුකලා. එක් භූමියක් නිපදවන දේ සැතපුම් ගනන් ඈතට ගෙනයෑම, ඒ ප්‍රදේශයවල කැලි කසල එක්වී පරිසරයේ පැවැත්ම දූෂණය කිරීම වගේම ගොවි බිම් නිසරු කිරීමත් හරහා සමස්ත භූමියම විපරීත උනා.

දැන් අපි කතාකල මේ කරුණු එක්ක බැලුවම එම භූමියේම අපද්‍රව්‍ය ඒ භූමියම සාරවත් කිරීමට යොදාගන්නවා වෙනුවට සිදුවූ විකාරරූපී කාබනික පොහොරකරණයද පස නිසරු වීම වැලැක්වීමට හොදම ක්‍රමය කියල කව්රු හරි කියනවද?

 එහෙම නම් ඔවුන් ධනවාදයට එකග වෙන පිරිසක්. ඔවුන් පරිවෘත්තිය ක්‍රියාවලියක් හරහා භෝග වගා කිරීම පිටුදකින පිරිසක්. හේතුව එයත් ආනයනික පොහොරක්.

පසුකාලීනව සතුන් ඝාතනය කර ශාක සහ සත්ව කොටස් එකට අඹරා කුඩු ලෙස ගොවි බිම් වෙත යෙදූ ධනේශ්වර නිශ්පාදනය ඉන් අනතුරුව ක්‍රමයෙන් රසායනික පොහොර භාවිතයට යොමු උනා. මුල්ම රසායනික පොහොර විදිහට භාවිතාවට ගැනෙන්නේ ජිප්සම්. ඒක පරීක්ෂණ වලින් තහවුරු වී කල දෙයක් නෙවෙයි. නමුත් ඒක  අත්දැකීමට අනුව භාවිතා කල එකක්.

19 වන සියවසේ අග භාගයේදී රසායනික පොහොර නිශ්පාදනයේ පියා ලෙස සැලකෙන යස්ටස් ෆෝන් ලියිබික් විසින් පසු කාලීනව කල පරීක්ෂණ හරහා පසෙන් ඉවත්වන සංඝටක නිසා පසට එක්විය යුත්තේ නයිට්‍රජන්, පොස්පරස් සහ පොටෑසියම් කියල සොයාගන්නවා. ඒත් මෙහෙම හොයාගත්ත රසායනික පොහොර භාවිතාව ඒවායේ මිල අධික වීම නිසා එතරම් භාවිතයට ගන්න අපහසු උනා. ඒත් මහා පරිමාන සත්ව ඝාතනය හා කැලෑ විනාශය හරහා කාබනික පොහොර නිශ්පාදනය ඉල්ලුමට සරිලන ලෙස කරන්න බැරි වෙනව.

ඒ කොහොම උනත් දෙවන ලෝක යුද්ධයත් එක්ක ඇතිවූනු ඇමෝනියා නිශ්පාදනය නිසා මෙම රසායනික පොහොර භාවිතය ප්‍රසාරණය කරන්න පුළුවන් වෙලා දැන් මේ අද තියෙන තත්ත්වයට පත්වෙලා තියෙනව. පුපුරන ද්‍රව්‍ය සඳහා  ඇමෝනියා නිශ්පාදනය කල මහා පරිමාන කම්හල් ක්‍රමයෙන් රසායනික පොහොර නිශ්පාදනය සඳහා යොමු උනා. මෙසේ කෘතීමව නිශ්පාදනය කරන රසායනික පොහොර භාවිතාව මගින් ඵලදාව වැඩි වීම හේතුවෙන් දිගින් දිගටම සියලු ගොවි බිම් සදහා රසායනික පොහොර භාවිතයට මග හැදුන.

මේ නිසා චක්‍රයක් ලෙස පැවති බෝග වගාව සරල රේඛීය ආකාරයට ක්‍රියාත්මක වෙන්න ගත්ත.

පසෙන් උරාගන්නා කොටස් නගරයේ ගොඩ ගසා ඒ වෙනුවට වෙනත් බිමක සාරය ගෙනත් යෙදීමට පටන් ගත්ත. ඒ නිසා කාබනික පොහොර කියන්නේ රසායනික පොහොර නිශ්පාදනයේම දිගුවක්. ඊට අනුව රසායනික පොහොර සහ කාබනික පොහොර කියන්නෙම අවියෝජනීය ලෙස එකට බැදී ඇති එකම කඩදාසියේ දෙපැත්ත වගේ. මේ කිසිදු පොහොරක් තවත් බිමකින් උදුරා ගෙනවිත් තවත් බිමකට යෙදීම සුදුසුද යන්න ගැටලු සහගත කාරණයක්.

එක මොහොතක කෘෂිකර්මය අර්බූධයට ගියාම කාබනික තැන සිට රසායනික තැන උත්කර්ෂයට නැංවෙනව. රසායනික පොහොර මිලදී ගන්න ඩොලර් නැති උනාම සහ ලෙඩ රෝග, කෘමි උවදුරු වැනි දෑ නිසා කාබනික පොහොර උත්කර්ෂයට නැංවෙනව.

මේක කොයිතරම් දුරට ගොවිතැනට ගැලපෙනවද?

මේක එකම කාසියේ දෙපැත්තක් කියන එක අපේ ගොවියො අවබෝධ කරගෙන තියෙනවද?

රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ඉල්ලා සිටින වම මේක අවබෝධ කරගෙන ඉන්නවද?

තව දුරටත් සුදුසු පොහොරක් දියව් කියල ජනාධිපතිගේ හා කෘෂිකර්ම ඇමතිගේ පඹයන් පුලුස්සමින් ගොවියො පාරට බස්සවල ජනතා විමුක්ති පෙරමුණ. පෙරටුගාමීන් මේ කියන කතාව මොකක්ද?

ඔවුන් සුදුසු පොහොර කියල කියන්නේ මේ දෙකම හෝ දෙකෙන් එකක් නෙවෙයිද?

වෙනත් බිමක ගොඩගැහෙන කුනු අහිතකර ක්ෂුද්‍ර ජීවීන් හා රසායනික ද්‍රව්‍ය ලෙස කාබනික පොහොර නාමකරණය යටතේ ගොවියාට ලබා දීම ගැලපෙනවද?

මේ අරගල මායාවට යොදන විසඳුම්වලින් ප්‍රශ්නය විසදෙයිද?

වර්තමාන ගොවියා යනු එම ගොවි දිවියෙන් ගැලවීමට නොහැකි බව නිසාම, ඊට වඩා හොඳ වෙනත් කල හැකි රැකියාවක් නොමැති නිසා ගොවි කමේ නිරතවන්නෙක්.  මඩ සෝදාගත් කළ ගොවියා රජකමටත් සුදුසුයි කියල පැරණි පාඨයන් අවස්ථාවාදය වෙනුවෙන් උපුටල දැක්වුවත්, අද දවසේ සමාජීය වශයෙන් ගත්තොත් ගොවිකම කියන්නෙ පහත් රැකියාවක්.  ඔහුට එය අසහනයක්. පීඩනයක්. ඒ අනුව ගොවියාගේ උත්සාහය වෙන්නේ තම දූ දරුවන් කෙසේ හෝ අධ්‍යාපනය තුලින් ඉහලට යවල ගොවි කමෙන් මුදවාගැනීමටයි.

ඒ වගේම ගොවියා පාරිභෝජනවාදය තුල සාපේක්ෂව අසරණයෙක්. ඒ නිසා ඔහුට අවශ්‍ය වෙන්නේ අඩු ශ්‍රම-කාලයකින් වැඩි අස්වන්නක්. ඒ අනුව ඔහුට අවශ්‍ය ඊට අදාළ කෘෂි රසායන මිස අඩු ඵලදාවක් සහ වැඩි ශ්‍රම කාලයක් වැය වන කාබනික පොහොර හෝ කාබනික කෘමි සහ වල් නාශක ක්‍රම නෙවෙයි.  එළවලු පලතුරු හෝ වෙනත් නිෂ්පාදන වල වස විස අඩංගු වීමේ ප්‍රශ්නයක් ඔහුට නෑ. බොහෝ ගොවීන් තමන්ගේ ආහාරය සඳහා වෙනම වගා කර ගන්නට පුරුදු වී තිබුනත් වකු ගඩු රෝගයෙන් ඔවුනට ගැලවීමට නොහැකි වෙලා තියෙනවා.

ඒ නිසා ඉදිරියේදී නැවතත් රසායනික පොහොර සහ කෘෂි රසායන තිබුනාටත් වඩා ගෙන්වීමට සිදු වීම පවතින ආණ්ඩුවට හෝ ඉන් පසුව පැමිණෙන ආණ්ඩුවකට අනීවාර්ය කාරණයක් වනු ඇති.

වාමාංන්ශිකයින් ඉන් පස්සෙ සතුටු වේවි.

#Ladyleader#Siralalk