1848 දී පළ කළ කොමියුනිස්ට් ප්‍රකාශනය මගින්  කාල් මාක්ස් පංති ගැටුම පිළිබදව මුලින්ම අදහස් දක්වනව.

දේශපාලනයේ ප්‍රමුඛත්වය හා සාමූහික ප්‍රයත්න තුළින් තමන් ජීවත්වන සමාජය වෙනස් කරන්න පුළුවන් කියල මාක්ස් ඉන් අවධාරණය කළා.

1840ස් ගනන් වලදී මාක්ස් කියනවා විප්ලව ආරම්භ වෙන්නේ යුරෝපයෙන් සහ විප්ලවය මුලින්ම සිද්ධ වෙන්නේ ස්කැන්ඩිනේවියානු රට වලින් කියලා.

මාක්ස් එහෙම කිව්වේ ඇයි?

ඒ මෙහොතේ ඇතිවී තිබුනු තත්ත්වය මතයි ඔහු එහෙම කියන්නෙ.

ඒ කියන්නේ ධනවාදය වර්ධනය වීම තුල සමාජය අර්බුධයට යමින් ප්‍රතිවිරෝධයන් ඉස්මතු වෙන්නේ ඒ රට වල කියල මාක්ස් හිතුවා. මාක්ස්ට අනුව ඒකට තවත් හේතුවක් තිබුනා. ඒ තමයි ධනපති ක්‍රමය ආරම්භ වෙලා ප්‍රසාරණය වීමේ සීමාවට පැමිණීම. ඒ කියන්නෙ මාක්ස්ට අනුව නිෂ්පාදනයට ධනපති ක්‍රමය තුල එතනින් එහාට ප්‍රසාරණය වෙන්න හැකියාවක් තිබුනෙ නෑ. ඉතිං ඒ මොහොතේ ධනපති ක්‍රමයට නිර්ධනයා වෙනුවෙන් කරන්න පුලුවන් උපරිමයටම ආවම මොකක්ද  සිද්ධ වෙන්නෙ?

 දිනකට පැය 16 ක් පමන වැඩ කිරීමට වීම, නිවාඩුවක් නැතිව වැඩ කරන්න වීම, තමන්ගේ පවුල නඩත්තු කිරීමට හා වර්ගයා බෝකිරීමට පමනක් හැකි වන තරමේ වැටුපක් ලැබීම, ඉතා කුඩා ලයිම් කාමරයක ජීවතය කොටුවීම, 

කර්මාන්ත ශාලාවේම තැනකින් සැපයෙන අත්‍යාවශ්‍ය වියලි අහාරයකින් සෑහීමට පත්වීමට සිදුවීම වගේ ඉතාම දුෂ්කර තත්වයක් නිර්ධනයාට උදාවුනා. ඒ අර්ථයෙන් නිර්ධනයා යනු නැති වීමට කිසිවක් නැති කෙනා.  

 නිර්ධනයා  විඳවීම....

 මාක්ස් මේක මුලින්ම දැක්කේ එංගලන්තයේ. ඉතිං පවත්නා ක්‍රමය එක්ක අභිමුඛ වීම හැර වෙනත් මාර්ගයක් නිර්ධනයාට තිබුනේ නෑ. කොටින්ම කියනවානම් නිර්ධනයා තාප්පෙටම හිරවුනා.ඒ කියන්නේ නිර්ධනයාගේ හෙට දිනය අවිනිශ්චිත වුනා.

 ඔහුට තිබුනේ අර ස්පාටකස්ලට වගේ තත්වයක්. මෙන්න මේක මාක්ස් දැක්කා. මේ තත්ත්වය යුරෝපය පුරා මතු වෙයි කියලා මාක්ස් හිතුවා. දැන් නිර්ධන පංතිය තුලින් සැබෑ ප්‍රතිවිරෝධය මතු වෙලා තියෙන හින්ද විප්ලවය තමන්ගේ ජීවිත කාලය තුලදීම සිදුවීමට නියමිතයි කියලා එයා කිව්ව.

 මේ විප්ලවීය මොහොත තුල ධනපතියාට තම ක්‍රමයේ පැවැත්ම සම්බන්ධව විශාල ගැටලුවක් මතු වෙනවා. නිර්ධනයාට ඔහුගේ හෙට දවස අවිනිශ්චිත වුනා වගේම ධනපතියාටත් ක්‍රමයේ පැවැත්ම පිලිබදව අවිනිශ්චිතතාවයක් පැන නැගුනා. මේක දෙයාකාරයක තත්ත්වයක්. මේ දෙආකාරයෙන්ම ‘ක්‍රමය’ තිබුනෙ අවධානමක.

1.  නිර්ධන පංතිය ක්‍රමය සමග අභිමුඛ වීම තුල ක්‍රමය බිදවැටීම

2.  තම නිශ්පාදන විකිනීම පිලිබදව ගැටලුව මත ධනපති ක්‍රමය ප්‍රසාරණය නොවීම නිසා ක්‍රමය බිදවැටීමේ අනතුර

ඒ නිසා මොකද දන්නවද සිද්ධ වෙන්නෙ?

මේ නිසා ධනපතියා නිර්ධන පංතියේ බැමි ලිහිල් කරනවා.

ඔහුගේ වැඩ දිනය පැය 8 කට සීමා කරනවා. කම්කරු දිනය ඇතුලු නිවාඩු දින නම් කරනවා, ලයිම් කාමර වෙනුවට නිදහසේ ජීවත් වීමට නිවාස ලබා දෙනවා, වැටුප වැඩි කරනවා, තවත් පහසුකම් දෙනවා.

 මේකේ විශේෂම දේ තමයි නිර්ධනයාට කම්හලේ තැනකින් කෑමට බඩු දීම වෙනුවට, ප්‍රසාරණය කරන ලද වෙලදපලෙන් තමන්ට කැමති විදිහට භාණ්ඩ මිලදී ගැනීමට නිදහස දීම.

ඒකෙන් නිර්ධන පංතිය තමන්ගේ නිශ්පාදන මිලදී ගන්නන් බවට පත් කිරීම තුල වෙළදාම ප්‍රසාරණය වෙලා ඉහත දක්වපු නිෂ්පාදන විකිණීම පිළිබඳ අනතුර නැතිවෙලා යනවා.

ඒ මොහොත අතිශය වැදගත්.

ඒ කියන්නේ අර නිර්ධනයාගේ සැබෑ විදවීමට පිලිතුර ක්‍රමය පෙරලා දැමීම වුනත් ඒ අභ්‍යන්තර ප්‍රතිවිරෝධය නැත්නම් සැබෑ ප්‍රතිවිරෝධය,

එහෙමත් නැත්නම් ආත්මීයත්වය ධනපති ක්‍රමය විසින් භාහිරට යොමු කරනවා. ඒ කියන්නේ ඒ විප්ලවීය මොහොත භාහිර උවමනාවන් වෙත යොමු කරනවා. එතනින් පසුව නිර්ධනයාගේ නිර්ධනීය භාවය අහෝසි වෙනවා. මෙතැන් සිට නිර්ධනයාගේ අභ්‍යන්තර අරගල එතැන් පටන් භාහිර අරගලයකට ඌනනය වෙනවා.

ඒ කියන්නේ වැඩි වැඩියෙන් පහසුකම් ලැබාගැනීම හා පාරිභෝජනය සදහා යොමුවීමේ භාහිර උවමනාව මත ඒවා දිනාගැනීම වෙනුවෙන් කරන අරගලයක් සඳහා යොමු වෙනවා.

එතැන් පටන් ඔවුන්ට ඔවුන්ගේ සටන වුනේ අයිතීන් දිනාගැනීමේ සටන් විතරයි. ඒ සටන් උත්සන්න වුනාම ධනපතියා ඔවුන් ඉල්ලන පහසුකම් දුන්නා.

එතනින් අර නිර්ධනයාගේ විප්ලවීය මොහොත අහෝසි වෙනවා වගේම යූරෝපයෙන් විප්ලවය සිදුවෙනවා කියපු මාක්ස්ගේ අනාවැකිය වැරදි වෙනවා.

 ඒත් මෙතනදී විශාල වරදක් සිද්ධ වෙනවා.

ඒ තමයි ලෙනින් සහ එදා හිටපු සම්භාව්‍ය මාක්ස්වාදීන් තේරුම් ගන්නවා මාක්ස් කිව්වේ මෙන්න මේ නිර්ධනයාගේ නිර්ධනීයභාවය කියන්නේ අන්න අර අයිතිවාසිකම් දිනා ගැනීමේ සටනට කියලා.

ඒ කියන්නේ නිර්ධනයාගේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධය වෙනුවට වම තේරුම් ගන්නේ භාහිර ප්‍රතිවිරෝධය. ඒ භාහිර ප්‍රතිවිරෝධතා උත්සන්න කිරීම තමයි විප්ලවය කියලා ඔවුන් වරදවා වටහා ගන්නවා.

එතැන් පටන් ඔවුන් විප්ලවය කියලා කරේ මාක්ස් කියපු එක වැරදියට අරන් භාහිර ප්‍රතිවිරෝධතා උත්සන්න කරමින් ධනපති ක්‍රමයට අභියෝග කිරීම. එසේ අභියෝග කරන හැම මොහොතකම පවත්නා ක්‍රමය එම ඉල්ලීම් ලබාදෙමින් ඒ අරගලය අවසන් කිරීමට කටයුතු කරනවා. ඒ කියන්නේ ධනපති ක්‍රමයට ඕනේ උනෙත් විප්ලවය එවැනි තැනකට ලඝු කරන්න.

දැන් වම ඒක ධනපති ක්‍රමයට කරලා දෙනවා. ඒ කියන්නේ ධනපති ක්‍රමය ආරක්ෂා කරලා දෙනවා. අපි කතාකරන ගුරු සටන ඇතුලු සියලු සටන් වල අවසන් බලාපොරොත්තුව සහ ප්‍රතිඵලය ඒක.

ඇත්තෙන්ම මේ ගුරු සටන මොකටද?

ලංකාවේ ආණ්ඩු බලයට පත්වෙන්නෙ තමන්ගෙ යටත් වැසියන්ට එහෙමත් නැත්නම් පොදු ජනතාවට අල්ලස් පොරොන්දු දෙමින්. ඒක අපි හැමෝම අහල දැකල තියෙනව. පක්ෂ විපක්ෂ හැමෝම මැතිවරණ වේදිකාවල කතාකලේ මිනිස්සුන්ගෙ බඩට.

බහුතරයක් මිනිස්සු ඡන්දෙ දෙන්නෙත් අන්තිම දවසෙ තමන්ගෙ අතට මිටි මොලවන සල්ලි කොලේට බත් පැකට් එකට. පවුලෙ රස්සාවක් නැතිව ඉන්න දුවට පුතාට රස්සාවක් ලබාගන්න.

ඒ තරම්ම ක්‍රමයට අවනත වෙච්ච මිනිස්සුන්ගෙන් පිරුණු රටකයි අපි ජීවත්වෙන්නෙ.

ගුරුවරුන්ට වැටුප් වැඩිකිරීම ගැන කතාකිරීමට කලින් අපි අහන්නෙ ඇයි එයාලා වැඩි වැටුපක් ඉල්ලන්නේ?

ගෙවල් හදාගන්න, කුස්සි හදාගන්න, ගෘහ භාණ්ඩ මිලදී ගන්න, වාහන ගන්න. ඒ කියන්නේ තව තවත් පරිභෝජනය වැඩි කරන්න. පරිභෝජනය වැඩි කරනවා කියන්නේ තව තවත් නිදහස් වෙලදපල ප්‍රසාරණය වෙනවා.

අධ්‍යතන ධනපති ක්‍රමයේ මුඛ්‍ය පරමාර්ථය වෙන්නේ ක්‍රය ශක්තිය වැඩි කිරීම.

ඒකට ඉතිං වැටුප් වැඩි කරන්න ඕනේ. දැන් ධනපති ක්‍රමයේ උවමනාව මේක නෙවෙයිද?

ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු වාංමාංශිකයැයි කියාගන්නා දේශපාලන පක්ෂ සංවිධාන මේක දන්නෙ නැද්ද?

හොදින්ම දන්නවා. ඔවුන්ගෙත් උවමනාව මේ ක්‍රමය පවත්වාගෙන යෑම. ඔවුන්ගෙ පැවැත්ම රැඳිල තියෙන්නෙත් ඒ තුළමයි.

දෙවන කාරනය මේ ගොල්ලො වැටුප් වැඩි කරන්න කියලා බලපෑම් කරන්නේ ආණ්ඩුවට.

දියුණු ධනේෂ්වර ක්‍රමය පවත්වාගෙන යන රටවල ජාතික ප්‍රතිපත්ති හදල ඒව මතයි ක්‍රමය පවත්වාගෙන යන්නෙ. අපේ රටේ හැම දෙයකටම පිළිතුරු ඉල්ලන්නෙ මොලේ අරික්කාලක්වත් නැති දේශපාලකයන්ගෙන්. ඉතිං මේව කරන ආයතනවලට තීන්දු තීරණ නියෝග නිකුත් වෙන්නෙ දේශපාලකයාගෙන්. විෂය ප්‍රවීනයෝ යැයි කියාගන්නා බුද්ධිමත් ඝනයට වැටෙන වහල්ලු  දේශපාලකයගේ තීන්දු තීරණ හිස් මුදුනෙන් පිළි අරගෙන ක්‍රියාත්මක කරනවා.

අපි දැන් බලමු ආණ්ඩුව කොහොමද වැටුප් වැඩි කරන්නේ?

එක්කො පොදුවේ සියලු ජනතාවගෙන් බදු අය කරලා. එතකොට වෙන්නෙ සමාජයේ එක කොටසකගේ පරිභෝජන අවශ්‍යතාව වෙනුවෙන් සියලු ජනතාවගේ පරිභෝජන අවස්ථාව හීන වෙනවා. දැනටත් වලටම ඉන්න ජනතාවක් අපි.

නැතිනම් මේක කරන්නේ මුදල් අච්චු ගහලා.

එතකොට මොකද වෙන්නෙ?

මුදල් අච්චු ගැහුවම උද්දමනය වැඩි වෙලා බඩුවල මිල ගනන් වැඩි උනාම ඒකත් සියලු ජනතාවට බලපානවා.

 දැන් මේක අපේ රටේ වෘත්තීය සමිති නායකයො දන්නේ නැද්ද?

ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු වාමාංශික සංවිධාන දන්නෙ නැද්ද?

නෑ දන්නවා. දැන් මේ ගොල්ලෝ එකිනෙකට ප්‍රතිවිරුද්ධ වැඩ දෙකක් කරනවා.

එකක් තමයි ගුරු වැටුප් වැඩි කරන්න කියන එක. ඒක කරන්නනම් ආණ්ඩුව එක්කො බදු ගහන්න ඕනේ නැතිනම් මුදල් අච්චු ගහන්න ඕනේ.

අනික බඩු මිල අඩු කරන්න කියන එක. දැන් මේ දෙකම එකවර කරන්න පුලුවන්ද?

වැටුප් වැඩි කරන්න බෑ බඩු මිල අඩු කරන ගමන්. මොකද වැටුප් වැඩි කරන්නේම බදු ගහලා. දැන් වමට එකක් අතහැරලා එකක් අල්ලගන්න වෙනව. ගුරු වැටුප අල්ල ගත්තාම ජනතාව ඉන් පීඩාවට පත්වීම උන්ට අත් ඇරෙනවා.

ඔය දෙකම කරන්නන් පුලුවන්ද?

ඒත් එක්කම ගුරු වැටුප් වැඩි කලොත් අනෙක් රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමකුත් ඉදිරියේදී අනීවාර්ය වෙනවා.

දැන් ආණ්ඩුවේ පැත්තෙන් එහෙමත් නැත්නම් සිස්ටම් එකෙන් මොකද කරන්නෙ. ඡන්ද අරමුණු, දේශපාලන බල අරමුණු, පවුල් ඇතුලෙ බල හුවමාරු මේ ඔක්කොම අරමුණු තියාගෙන උත්සාහ කරනව තමන්ට මේ වෙලාවෙ වැඩියෙන්ම ඔින මොකක්ද ඒක රැකගන්න.

ඒත් පවතින ක්‍රමය තුළ ඒකටත් ඉඩක් නෑ.

අන්තිමේ සිද්ධවෙන්නෙ මොකක්ද?

සටන අතහැරෙන්න වැඩ සිද්ධ වෙනව. මොකද අපේ සමාජයේ මිනිස්සුන්ගෙ මානසිකත්වය හොඳින්ම තේරුම් ගත්ත පාලකයො වෘත්තීය සමිති අස්සෙන් ගිහින් අදාළම නිලය අල්ලනව.

ඔබට මතක ඇති 88/89 දි එවකට පැවති රජය ජවිපෙට එරෙහිව ජන මනස වෙනස් කළ හැටි. වේගයෙන් ජවිපෙ ක්‍රියාකාරකම්වලට සමාජය එක්වෙමින් යද්දි සූක්ෂ්මව කළ මෙහෙයුම. දැන් තියෙන ජවිපෙට ඒව මතක නෑ.

දැන් පාසැල් ආරම්භ කරන්න තීරණය කරල ඉවරයි. දෙමව්පියො බලාගෙන ඉන්නෙ ඒ දවසට දරුවන්ව පාසැල් යවන්න. ඒ දෙමව්පියන්ට වෙනත් දේවල් අදාළ නෑ. පාසල් ආරම්භ කිරීම තුල ගුරු සටන පැවති අකාරයෙන් ඉදිරියට ගෙනියන්න ජවිපෙට සහ පෙසපෙට කොහෙත්ම බැහැ. මොකද ඒ අයගේ ප්‍රධාන දේශපාලන පදනමක් වෙන්නේ මොන තත්වය තුල හෝ අධ්‍යාපනය රැක ගත යුතුයි කියන එක.  ඒ නිසා ඒ පක්ෂ වල ගුරු සංගම් නායකයෝ එතැනදී පසු බහිනවා. ඒ නිසා දැන් ඔවුන්ගේ සටන් පාඨය වෙලා තියෙන්නේ දරුවන්ට උගන්වමින්, පාසල් පවත්වාගෙන යමින් ගුරු අරගලය ඉදිරියට ගෙනියනවා කියන එක.

ඒ කියන විදියට ඒක කරන්න වෙන්නේ උදේ 7.30 ඉඳලා හවස 1.30 වෙනකම් පාසල් වල උගන්වලා හවස් වරුවේ අදාළ ප්‍රදේශයේ නගරයට ඇවිත් උද්ගෝෂණ කිරීම තුලින් වෙන්න ඕන. කොහොම උනත් ඒ වගේ වැඩකට ගුරුවරු කැමති වෙන්නේ නැහැ. ඒ අයට ටියුෂන්, ගෙවල් වල වැඩ, ළමයින්ගේ වැඩ තියනවා. ඒ නැතත් පාසල් පටන්ගත්තාම පාසල් නොගියොත් රැකියාව අහිමි වෙයි කියල ගුරුවරු බයයි.

පාසල් නොපැවැත් වූ තත්වයක් යටතේ ඒ ප්‍රශ්නය තිබුනේ නැහැ.

ගුරුවරු කියන්නේ ඒ අයගේ ව්‍යුහගත වීම තුලම හරිම භය වුර්තිකයින් කොට්ටාශයක්.

ඒ නිසා ගුරු සටන දියාරු වීම අනීවර්යතාවයක්..

අපි ලංකාවේ ඊනියා වමට කියන්නේ සමස්ත දේශපාලන වැඩපිළිවෙළකට නොයා ජනතාවගේ භාහිර ප්‍රතිවිරෝධතා වෙනුවෙන් පෙනී සිටීම කියන්නෙම මෙන්න මේ වගේ අවුල් ගොඩක් කියලයි.