වර්ෂ 1959 සැප්තම්බර් මස 25 වැනිදාට එළිය වැටෙන්නේ මහා ශෝචනීය පුවතක් රැගෙන බව නොදත් ශ්‍රී ලංකා වැසියෝ

සුපුරුදු  ලෙස සිය වැඩ අරඹද්දී, අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක මහතාද, රොස්මිඩ් පෙදෙසේ සිය නිවසට වී වැඩ කටයුතු කරගෙන ගියේ කළ යුතු වැඩ කටයුතු රාශියක් මෙන්ම, ඔහු හමුවට පැමිණෙන සියල්ලගේම දුක් ගැනවිලි වලට ඇහුම්කම්දෙමින් අතිශය කාර්යබහුල වෙමිනි.

ඔහු හමුවට පැමිණි  ජනකාය අතරේ උන් එක් බෞද්ධ භික්ෂුවක්, කිසිදු බාධාවකින් තොරවම ඔහු අසලට පැමිණියේ චීවරධාරියකු නිසා කිසිදු පරීක්ෂාවකට ලක් නොවෙමිනි.

එලෙස පැමිණි තල්දූවේ සෝමාරාම නම් එකී භික්ෂුව තම සිවුරේ සඟවා ගෙන සිටි රිවෝල්වරයකින් අග්‍රමාත්‍ය බණ්ඩාරනායක මහතාට වෙඩි තැබුවේ අවට සිටි කිසිවෙකුටවත් සිදු වන්නේ කුමක්දැයි යන්න පිළිබඳව වටහා ගැනීමටවත් ඉඩක් නොතබමිනි.

එසැනින් එතුමා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර, මෙරට දක්ෂ වෛද්‍යවරුන් සියල්ලම පාහේ එකතු වී පැය 6 ක් පුරාවට සිදු කළ ශෛල්‍ය කර්මයකින්ද අනතුරුව, බන්ඩාරණායක ශ්‍රීමතණෝ ඉන් පහුවදා (සැප්තැම්බර් මස 26 වනදා) සදහටම දෑස් පියාගත්තේ, ශ්‍රී ලංකා වාසීන් ශෝකයේ ගිල්වමිනි.

 

banda 2

බ්‍රිතාන්‍ය පාලනය යටතේ තිබූ ශ්‍රී ලංකාවේ විසූ ප්‍රභූ පවුලක් වූ, මහා මුදලියාර් ශ්‍රීමත් සොලමන් ඩයස් බණ්ඩාරනායක හා ඩේසි එස්ලින් ඔබේසේකර දෙපළට දාව බණ්ඩාරනායක උරුමය රැගෙන වර්ෂ 1899 ජනවාරි මස 8 වනදා උපත ලැබූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක ළදරුවාට එවකට ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාර ධුරය දැරූ රිජ්වේ ආණ්ඩුකාරවරයාගේ නම තබන ලද්දේ ඔහුගේ පියා විසිනි.

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබ, පසුව  උසස් අධ්‍යාපනය පිණිස එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයට ඇතුළත් වන තරුණ බණ්ඩාරණායක නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ 1925 වසරේ දී යි, ඒ බොහෝ ඉදිරිගාමී අදහස් ඇති තරුණයකු ලෙසය.

 

banda 5

 

ලංකාවට පැමිණි පසු, ඉතාමත් කෙටි කාලයක් නීතිඥවරයකු ලෙස කටයුතු කළ ඔහු, 1926 වර්ෂයේ ලංකා ජාතික සංගමයේ ලේකම්වරයා බවට පත් වීමත් සමග, ඔහුගේ දේශපාලන ගමන ආරම්භ විය.

එම වසරේදීම ජාති හිතෛෂී පක්ෂයේ සභාපතිවරයා ලෙස තේරී පත් වන ඔහු දීර්ඝ වූ දේශපාලන ගමනේ අවසන රටේ මුල් පුටුවට පා තැබූ එතුමා, එහි ආරම්භය ලබා ගන්නේ, නිට්ටඹුව ග්‍රාම කමිටුවේ සභාපති ලෙස තේරී පත් වෙමිනුයි.

කෙසේ වෙතත් 1926 වර්ෂයේ දී ලංකා ජාතික කොංග්‍රසයේ ලේකම් බවට පත් වූ අතර, එම වසරේම දෙසැම්බර් මස පැවති කොළඹ නාගරික මැතිවරණයේදී මරදාන කොට්ඨාසය වෙනුවෙන් කම්කරු පක්ෂයේ නායකයා වුණු ඒ.ඊ. ගුණසිංහට විරුද්ධව සටන් කර ගුණසිංහ මහතාට වඩා වැඩි ජන්ද 615 ක් ලබාගෙන ඔහු ජයග්‍රහණය කළේ සියලු දෙනාම මවිත කරමිනි.

 

banda 6

 

මරදාන වැනි නගරබද, කම්කරු ජනතාව වැඩි වශයෙන් වෙසෙන ප්‍රදේශයකට සටන් වදිමින් බන්ඩාරණායක වැනි රදලයෙකුට ජයග්‍රහණ කළ නොහැකියි යනුවෙන් බොහෝ දෙනා සිතුවත්, ගෙයක් ගෙයක් පාසා යමින් සාර්ථක මැතිවරණ ව්‍යාපාරයක් ගෙන ගිය බණ්ඩාරනායක මහතා පහසු ජයක් ලබා ගත්තේය.

නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස මෙරට ප්‍රධාන ධාරාවේ දේශපාලනයට එක් වූ එතුමා, ඩොනමෝර් ප්‍රතිසංස්කරණ වලින් පසුව හිමිවූ සර්ව ජන ඡන්ද බලයෙන් පසුව පැවති, රාජ්‍ය මන්ත්‍රණ සභා ජන්දයේදී වේයන්ගොඩ ආසනයෙන් තරගවැදී, නිතරගයෙන්ම රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වූයේය.

මෙරට ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ ක්‍රියාකාරී දේශපාලනයක නිරතවූ ඔහු, ඒ තුළ ප්‍රගතිශීලී අදහස් ඉදිරිපත් කරමින් මෙරටට පූර්ණ නිදහස ලැබීමට නම් රාජ්‍ය නිලධාරින් තිදෙනා සභාවෙන් පිටමං කළ යුතු බව මෙන්ම ඔවුන්ගේ ධුර අහෝසි කළ යුතු බවට ප්‍රකාශ කළේය.

 

banda 3

 

ඉන් නොනැවතී කතානායකවරයාගේ වැටුප රුපියල දක්වා අඩු කළ යුතු බවද කියා සිටි ඔහු, 1931 වර්ෂයේ ලංකා ජාතික සභාවේ සභාපති ධුරයට පත්වූයේ, එවකට එම ධුරයට පත් වූ ළාබාලම තැනැත්තා වෙමිනි.

බේද භින්න වී සිටින සිංහල ජාතිය සමගි කොට ජාතිමාමකත්වය වර්ධනය කරමින් ජාතික නිදහස් අරගලයට සවියක් ලබාදීම අරමුණ කොටගෙන, 1934 වර්ෂයේ දී එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ සභාපතිත්වයෙන් යුතුව සිංහල මහා සභාව ආරම්භ වූ අතර, කල් යත්ම එය දීපව්‍යාප්ත ශාඛා ලෙස වර්ධනය වූයේය.

පසුකලෙක එක්සත් ජාතික පක්ෂයේ ආරම්භක අවස්ථාවට අතිවිශාල සංවිධානයක් ලෙස රැස් වීමට තරම්, සිංහල මහ සභාව ප්‍රබල ව තිබූ අතර, එහිදී   එක්සත් ජාතික පක්ෂය හා සිංහල මහා සභාව එක්වීම සම්බන්ධයෙන් ඇතැම් වියත් පුද්ගලයන්ගේ විරෝධතා පැන නැගුණු නමුත් බණ්ඩාරනායක මහතා විසින් ඊට ප්‍රතිචාර දක්වමින් ජාතික නිදහස උදෙසාත්, බ්‍රිතාන්‍යයන් හඳුන්වාදෙන පාර්ලිමේන්තු ක්‍රමය අනුව ඒකාබද්ධ පක්ෂයක් ඇතිකරලීම උදෙසාත් එසේ ක්‍රියා කළ බව ප්‍රකාශ කර සිටියේය.

1936 වර්ෂයේදී නැවත දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවට වේයන්ගොඩ ආසනයෙන් නිතරගයෙන් තේරී පත්වූ බන්ඩාරනායක  මහතා එතනින් නොනැවතී දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පළාත් පාලන කාරක සභාවේ සභාපති ධුරයටත් නිතරගයෙන් තේරී පත් වූයේය.

banda 10

 

1948 ලැබූ ඩොමීනියන් නිදහසෙන් පසුව පැවැති පළමු මහ මතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ බණ්ඩාරනායක මහතා, අත්තනගල්ල ආසනයෙන් තරග වැදී තම ප්‍රතිවාදියා වූ සී. ගුණසේකර පරදා වැඩි ඡන්ද 26854 කින් මෙරට ප්‍රථම කැබිනට් මණ්ඩලයට තේරී පත් වූයේය. ඩී.ඇස්. සේනානායක රජයේ සෞඛ්‍ය සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙසින් තේරී පත්වුණු ඔහු සෞඛ්‍ය සේවය වෙනුවෙන් විසල් මෙහෙයක් ඉටු කළ අතර, මෙරට පාර්ලිමේන්තුවේ මුල්ම සිංහල කථාව කළ මහජන නියෝජිතයා වූයේද ඔහුය.

කල් යත්ම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රජය, සිංහල මහා සභාව බලාපොරොත්තු වුණු ආකාරයේ ගමනක් නොයන බව වටහා ගත් ඔහු විසින්, සිංහල මහා සභාවේ මාදම්පේ සම්මේලනයේ දී සම්මත කරගත් යෝජනා මාලාවක් අගමැති වෙත ඉදිරිපත් කළ නමුත් අගමැතිගෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු නිසා 1951 වසරේ ජූලි 12 වැනිදා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගන්නට යෙදුණි.

 

banda 11

 

පසුව 1951 වර්ෂයේ සැප්තැම්බර් 2වැනිදා ශ්‍රීමත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාට සහාය පළ කරමින්, නව සංවිධානයක් පිහිටුවා ගැනීම සඳහා 44 දෙනෙකුගෙන් යුක්ත වූ කණ්ඩායමක් කොළඹ නගර ශාලාවට එක්වූ අතර, එහිදී ආරම්භ වූ මංගල සැසිවාරයේදී එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. ශ්‍රී නිශ්ශංක මහතා විසින් එම නව සංවිධානයට “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය”‍ යනුවෙන් නම් තැබීමත් සමග මෙරට දේශපාලනය උඩු යටිකුරු කරමින් එහි අනාගත ගමන් මඟ තීරණය කරන ප්‍රධාන සාධකයක ආගමනය සිදුවිය.

නව පක්ෂය පිහිටුවාගෙන මාස 7ක් ගතවන විට මැතිවරණයකට මුහුණ දුන් බණ්ඩාරනායක මහතා, එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 9ක් ජයග්‍රහණය කරවීමට සමත් වූ අතර, අත්තනගල්ල ආසනය වැඩි ඡන්ද 32544කින් ජයග්‍රහණය කරමින් ඔහු පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට පත් විය.

 

banda 9

එතෙක් කාලයක් එක්සත් ජාතික පක්ෂයට තිබූ මෙරට දේශපාලන බලය වෙනස් වන ලකුණු පෙන්වමින් 1955 සැප්තැම්බර් 24 වැනිදා බණ්ඩාරනායක මහතාගේ  නායකත්වය සහිතව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ලංකා සම සමාජ පක්ෂය නිතරග ගිවිසුමක් ඇතිකර ගත් අතර, 1955 දෙසැම්බර් 17 වැනිදා සිංහල බස මෙරට රාජ්‍ය භාෂාව වශයෙන් පත්විය යුතු බවට  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුවක දී සම්මත කරගන්නට යෙදුණි.

එමෙන්ම ‘සිංහල භාෂාව ලංකාවේ රාජ්‍ය භාෂාව විය යුතුය’ යනුවෙන්,  එක්සත් භික්ෂු පෙරමුණ විසින්  ඉදිරිපත් කළ “දස පනත” බණ්ඩාරනායක මහතා  විසින් පිළිගනු ලැබූ අතර, එහිදී  තම ආණ්ඩුවක් මඟින් එය ඉටු කරන බවටත් ප්‍රතිඥා ලබාදුන්නේය.

 

banda 4

එලෙස භාෂා ප්‍රශ්නය මෙරට ජනතාව ඉදිරියට පැමිණි හේතුවෙන්, 1956 පමණ වන විට සිංහල භාෂාව ලංකාවේ රාජ්‍ය භාෂාව විය යුතුය. යන මතය වර්ධනය වෙමින් පැවතුණු අතර, ඒ වන විට බණ්ඩාරනායක මහතා මෙරට දේශපාලනය තුළ පෙරළිකාරයෙකු ලෙස ජනතා ප්‍රසාදය දිනා ගනිමින් සිටියේය. පසුව ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීත්වයෙන් 1956 වර්ෂයේ පෙබරවාරි 21 වනදා “මහජන එක්සත් පෙරමුණ” පිහිටුවාගනු ලැබීය.

1956 වසරේ පැවති මහා මැතිවරණයෙන් බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙරට පාර්ලිමේන්තුවේ ආණ්ඩු බලය ලබා ගත්තේ ශ්‍රී ලංකාව තුළ ‘‘පොදු ජන යුගයක්”‍ ඇති කරමිනි.

විශාල ජනවරමකින් අත්තනගලු‍ ආසනය වැඩි ජන්ද 41997 කින් ජයග්‍රහණය කරමින්, මෙරට අග්‍රමාත්‍ය ධුරයට පත් වූ බණ්ඩාරනායක මහතා සමස්ත ජන ප්‍රජාවටම සුවිශාල මෙහෙයක් ඉටු කළ අතර, ඔහු විසින් එදා ගන්නා තීරණවල යහපත් ප්‍රතිපල අදටද අපි විසින් භුක්ති විඳින්නෙමු.

ඒ අතර පෞද්ගලික බස් ව්‍යාපාරය ජනසතු කර ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටුවීම, වරාය ජනසතු කිරීම, සේවක අර්ථසාධක අරමුදල ඇති කිරීම, රාජ්‍ය ව්‍යවසායයෙහි ප්‍රමුඛතාව පිළිගැනීම, ජාත්‍යන්තර කම්කරු දිනය වූ මැයි 1 වනදා රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කිරීම, සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ද්‍රවිඩ භාෂාව විශේෂ විධිවිධාන පනත මගින් ආරක්ෂා කිරීම, ඔවුන්ගේ අයිතිවාසිකම් ලබාදීම, කම්කරු අණපනත් සංශෝධනය කිරීම, නව රාජ්‍ය සංස්ථා ආරම්භ කිරීම, ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ විදේශීය හමුදා කඳවුරු ඉවත් කිරීම, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඇති කිරීම වැනි කරුණු වඩාත් කැපී පෙනෙයි.

 

banda 7

අග්‍රමාත්‍ය ධුරය ලැබ සිව් වසරක් ඉක්ම යන්නට මත්තෙන් මිය ගියද,  අදටත් අප විසින් භුක්ති විඳිනා බොහෝ පොදු සේවාවන් ජනතාවට ලබා දීමට ඇප කැපව ක්‍රියා කිරීමේ ගෞරවය තව සියක් කල් ගියද මෙරට ජනතාව විසින් බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ට ලබා දෙන බව නම් නොඅනුමානයයි.

‘මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි’ යනු එතුමාගේ උදාර සංකල්පයයි. එහෙත් අද වන විට ජරාජීර්ණව ඇති දේශපාලන නිසා මෙම උතුම් ඔවදන අප සියල්ලන්ගේම මතකයෙන් ගිලිහී යාදෝයි සැක සහිතය. එනිසා එය වදනකට පමණක් සීමා නොවී ක්‍රියාවෙන් ද රකිමින් කටයුතු කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම රටට ආදරය කරන සියලු‍ පුරවැසියන්ගේ යුතුකම හා වගකීම බව එතුමාගේ ගුණ අනුස්මරණය කරමින් සිහි තබා ගත යුතුය.

 

 

@www.aithiya.lk