ලේඩි ලීඩර් යූ ටියුබ් නාලිකාවෙ “සිරා talk” වීඩියෝවෙ පළමු දිගහැරුම නිකුත් කර ඇති මේ මොහොතේ

මහින්දානන්දගේ වම්බොටු කතාවෙ තවත් පැත්තක් පෙන්නනවා. ඒ තමයි අපේ සමාජයට මොන කුපාඩි කතාවක් කිව්වත්, මොන කුපාඩි වැඩක් කළත් ඒකට අදාළ චූදිතයෝ ගිල්ටි නොවීම.

පාර්ලිමේන්තුව වගේ ස්ථානයක සිදුවුනු සිදුවීමක් එක්ක අපිට හදාරන්න  පාඩමක් තියෙනවා.

පළමූ පාඩම -

මේ කතාව කියන්නෙ හිටපු අධිකරණ අමාත්‍යවරියකට. අඩුම තරමින් ඒ හිටපු අමාත්‍යවරියටවත් මේ කතාවෙ ලිංගික හිංසනයක් තියෙනව කියල ඒක දණඩ නීති සංග්‍රහය අනුවත් ලිංගික හිංසනයක් විදියට නීතිමය රාමුවට ඇතුලත්  වෙනව කියලවත් දැනීමක් නොදැනෙන එක. ඒ තරමට මේව සමාජයේ සාමන්‍යකරණය වෙලා. ඉතිං ශක්තිමත් නීති කාන්තාව වෙනුවෙන් හැදිල, සම්මත වෙලා තිබුණත් අපේ වගේ සමාජයකට ඒවායින් පලක් නෑ කියන කාරණය.

දෙවන පාඩම -

මට ඔයාගේ පුක පෙන්නන්න. මම කැමතියි ඔයාගේ පුකට කැමතියි කියල අපේ මිත්‍රයෙක් වුනු වංගීස සුමනසේකර විසින් ඉන්බොක්ස් චැට් කරල එයින් අපහසුතාවයට පත්වුනු ස්ත්‍රිය පාර්ශවයෙන් කරුණු ගොනු කරපු ගීතිකා ධර්මසිංහ ඇතුළු කාන්තාවන්ට අවසානයේ පිරිමි ලෝකයෙන් එල්ලවුනු විවේචන. කාන්තාවන්ට  පවා ඒ කතාව අයියෝ ඔික මොකක්ද? ඔික ඔයතරම් දුර ගෙනියන්න තරම් දෙයක්ද කියල කියන්න හැකිවීම.

තෙවන පාඩම -

යුවතියකගේ මනරම් පුන් තන මඩල දැක, එය ඉතා ලස්සන බවත් මට එය පෙන්වන්නට යැයි කීම ලිංගික හිංසනයක් නොවන බව පෙන්වා දෙන අපේ මිතුරෙක් වන සිරිමල් විජේසිංහ වැනි පිරිමින්ගේ කතිකාවන්ට සමාජයේ පිළිගැනීමක් උරුම වීම.

හතරවැනි පාඩම -

ස්ත්‍රීවාදයේ ප්‍රධාන මෙවලම වාචික ප්‍රචණ්ඩත්වය යැයි පවසන අපේ හිතමිතුරු අජිත් පැරකුම් ජයසිංහ වැනි ප්‍රවීන මාධ්‍යවේදීන්ගේ මේ සම්බන්ධ කතිකාවට ඉදිරිපත් කරන ප්‍රකාශයන්.

පස්වැනි පාඩම -

කැමැත්ත මත ලිංගික අවශ්‍යතාවන් සමග ගනුදෙනු කිරීමයි, තමන්ගෙ බලය පාවිච්චි කරල ලිංගික බලහත්කාරකම් කරන එකෙයි වෙනස පැහැදිලි කරන ලංකා බණ්ඩාරනායක වැනි ස්ත්‍රීන්ව නොතේරෙන සමාජයක් වීම.

හයවැනි පාඩම -

තමන්ගෙ බිරිඳට, දුවට, සහෝදරියට, මවට, පෙම්වතියට  මෙවැනි සිදුවීමක් සිදුවූ අවස්ථාවක හැසිරෙන පවුලේ පිරිමියාගේ භූමිකාවේ වෙනස  පැහැදිලි වීම.

තවත් පාඩම් අසූහාරදාහක් එක්ක අපි කොතැනද ඉන්නෙ කියල අපිටම බය හිතෙන, ලැජ්ජ හිතෙන, දුක හිතෙන දවසක් එනතුරු බලාසිටින්නට වීම ඉරණමට බාර කරමුද?