අපේ රටේ රාජ්‍ය නායකයාගේ සහ අපේ පාර්ලිමේන්තුවේ කථානායකයාගේ සංස්කෘතික වෙනස තුළ

රාජ්‍ය නායකයා බලාපොරොත්තුවන සමාජ වෙනස ඉටුකරන්නට වන්නේ කුමන සහායයන් සමගද යන්න බලවත් ප්‍රශ්නයක් නැගෙනවා. අශීලාචාර පාර්ලිමේන්තු සංවාදයන් තුළ ඇසෙන, දකින කතා මැද්දේ ජනාධිපතිවරයාගේ පොරොන්දුව ඉටුකර ගැනීමට ඇති හැකියාව කොතෙක්දැයි බරපතල ප්‍රශ්නයක් නැගෙනවා. ඒ සඳහා මූලිකවම රටේ උත්තරීතර ආයතනයට නොගැලපෙන මිනිසුන් ඉවත්කිරීමට හෝ ඔවුනට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ලංකාවේ රාජ්‍ය නායකයාට හැකිවන සීමාවන් මත ඔහු විසින් සපථ කරන ‘ලිංගික වෙනස මත හිංසාවන්ට ලක්වන ප්‍රජාව රැකීමේ’ මහගු කාර්යය ඉටුකළ හැකි වනු ඇත.

එහෙත් මෙතෙක් මේ පිළිබඳව නෑසූ කන් වලා සිටින පාලන තන්ත්‍රය ඉදිරියේ රාජ්‍ය නායකයාගේ මේ ප්‍රකාශ සහ පොරොන්දු පුස්සක් නොවේවා යන්න අපගේ පැතුමයි.

මේ ප්‍රජා වෙබ් අඩවියේ සංස්කාරක අජිත් පැරකුම් ජයසිංහ ගෙනෙන සටහනකි.

උදය ගම්මන්පිලට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාස භංග යෝජනාව සම්බන්ධ විවාදය අතරතුර උදය ගම්මන්පිල විපක්ෂ මන්ත්‍රිනී තලතා අතුකෝරළගේ කතාවට පිළිතුරු දෙමින් සිටි අවස්ථාවකදී තවත් කෑකෝගැසීම් අතරතුර කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ඉතා පැහැදිලිවම වාචික ලිංගික හිංසනයක යෙදුණේය.

ඔහු ‘රෑට කමු අපි වම්බටු වම්බටු’ යනුවෙන් යෙදෙන ජනප්‍රිය සිංදුවක පදයක් කියනු දෙරණ රූපවාහිනියේ සවස ප්‍රවෘත්ති විකාශයෙන් ද ඇසිණි. එම ගීතයම ලිංගික සංඥා සහිත හාස්‍යෝත්පාදක ගීතයකි.තලතා සම්බන්ධයෙන් ඔහු එවැනි සිංදු කෑල්ලක් කීම අසභ්‍ය ප්‍රකාශනයක් මෙන්ම ලිංගික හිංසනයක් ලෙස ද සැලකිය හැකිය. එය අමුතුවෙන් මෙතන විග්‍රහ කරන්නට අවශ්‍ය නැත. දන්නෝ කවුරුත් දනිති.

මෙය ඉතා පැහැදිලිවම ලිංගික හිංසනයකි. ඒ හා සම්බන්ධ වන 1995 අංක 25 දරණ පනතෙන් සංශෝධිත දණ්ඩ නීති සංග‍්‍රහයේ 345 වගන්තිය මෙසේය:

”අඩන්තේට්ටම් කිරීමෙන් හෝ සාපරාධී බලහත්කාරය පෑමෙන් යම් තැනැත්තෙකුට ලිංගික අතවර කරන හෝ වචනයෙන් හෝ ක‍්‍රියාවෙන් යම් තැනැත්තෙකුට ලිංගික හිරිහැරයක් හෝ අතවරයක් සිදු කරන කවර හෝ තැනැත්තකු, ලිංගික අතවර කිරීමේ වරද සිදු කරන අතර, වරදකරු කරනු ලැබීමේදී අවුරුදු පහක් දක්වා දීර්ඝ විය හැකි කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක වූ බන්ධනාගාර ගත කිරීමකින් හෝ දඩයකින් හෝ ඒ බන්ධනාගාර ගත කිරීම හා දඩය යන දඩුවම් දෙකින්ම හෝ ඔහුට දඩුවම් කරනු ලැබිය යුතුය; තව ද ඒ වරද සිදු කරන ලද්දේ යම් තැනැත්තකු සම්බන්ධයෙන්ද ඒ තැනැත්තාට සිදු කරන ලද හානි වෙනුවෙන් අධිකරණය විසින් නිශ්චය කරනු ලබන මුදලක වන්දියක්ද ඒ තැනැත්තාට ගෙවන ලෙසද අධිකරණය විසින් ආඥා කරනු ලැබිය හැකිය.”

ශ්‍රී ලාංකික කාන්තාව පෞද්ගලික අංශයේත්, රාජ්‍ය අංශයේත් වගකිවයුතු භූමිකාවක් ඉටුකරයි. එහෙත්, දේශපාලනයේ කාන්තා නියෝජනය තිබෙන්නේ අවම මට්ටමකය. පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5.6%කි. පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා පසුගිය රජය විසින් ගන්නා ලද පියවර හේතුවෙන් මේ වන විට 25%කට ආසන්න කාන්තා මන්ත්‍රීවරියන් පිරිසක් පළාත් පාලන ආයතන නියෝජනය කරති. එහෙත්, ඒවායෙහිදී ද පාර්ලිමේන්තුවේ මෙන්ම පිරිමි අසික්කිත ලෙස හැසිරෙමින්, කාන්තාවන්ට අපහාස කරමින්, ඔවුන්ට කතා කිරීමට ඉඩ නොදෙමින් කටයුතු කරති.

පාර්ලිමේන්තුවේ මෙවැනි චර්යාවන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් පැත්තෙන් හෝ පැහැදිලි විරෝධයක් එල්ල වන බවක් දක්නට නැත. සමාජය පොදුවේ මෙන්ම, කාන්තා සංවිධාන ආදිය ද ඒ ගැන සංවේදී බවක් නොපෙනේ. පාර්ලිමේන්තුවේ චර්යාවන් සම්බන්ධ තත්වය එය නම්, සමාජයේ තත්වය කෙසේ විය හැකිද?

@ අජිත් පැරකුම් ජයසිංහ