මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාගේ අළුත්ම ව්‍යාපෘතිය සැබෑ දේශප්‍රේමියෝ නමින් පසුගියදා ජනගත කෙරුණේ තරුණ පරම්පරාවේ පිරිසක්  එක් කරගනිමින්.

අපේ රටේ දේශපාලනයේ බල හුවමාරුවේදී දේශප්‍රේමිත්වය යන්න වරින්වර පාවිච්චියට ගැණුනු වචනයක්. බලය ලබාගන්නා තෙක් ලොවෙත් නැති දේශප්‍රේමීන් බිහිවුනු අතර බලය ලබාගත් පසු ඔවුන් විසින්ම අටවන ලද දේශප්‍රේමී උගුල ඔවුන්ටම පාරා වලල්ලක් බවට පත්වුනා. මේ බල දේශපාලන පොරය තුළ මංගල කියන සැබෑ දේශප්‍රේමය වැටෙන්නේ මෙයින් කිනම් ගොඩකටද? ඒමගින් මංගල බලාපොරොත්තු වන අරමුණ මොකක් වෙයිද? මේ සැබෑ දේශප්‍රේමියෝ ව්‍යාපෘතිය එළිදැක්වීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදිනී භාග්‍යා වීරකෝන් දැක්වූ අදහස්.

''අපි හැමදාම අපේ රටේ මොනවා හරි දෙයක්  වෙනකොට ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්, අදහස් ප්‍රකාශ කිරීමේ  අයිතිය, අපිට අරක ඕනේ, මේක ඕනේ, දියව් දියව් අපිට දියව් පන්නයේ තියරි වලින් ලස්සනට විවිධ විෂයයන් ගැන කතා කරනවා, ප්‍රශ්න කරනවා, ඒ වගේම ඒ විෂයයන් ගැන අපි පොත් ලියනවා. 

ඒ වගේම පාසල්වල පොඩි කාලේ ඉඳලා අපිට උගන්වන්නේ පාර්ලිමේන්තුව මෙහෙමයි වෙන්න ඕනේ,  අධිකරණය මෙහෙමයි වෙන්න ඕනේ,  විධායකය මෙහෙමයි වෙන්න ඕනේ,  රටක අයිතිවාසිකම් කියන්නේ මෙන්න මේවා කියලා අපිට පොඩි කාලෙදිම  උගන්වනවා. 

අපි හැම තිස්සෙම මොකක් හරි නීතිමය රාමුවක් ඇතුළේ තමයි හැදෙන්නේ. හැබැයි මේ කාරණාවන් උල්ලංඝනය වෙන අවස්ථාවලදි අපි සමාජ මාධ්‍යවල මේ ගැන කතා කරනවා, ප්‍රශ්න කරනවා, කවි ලියනවා, නිසදැස් ලියනවා, ඒ වගේම ඉලාමත්ම ශෝකයෙන් අපේ දුක ප්‍රකාශ කරනවා. අපි කතා කරන, රස කරමින් ප්‍රශ්න කරන මේ මාතෘකාවන් ප්‍රායෝගික ජීවිතයට ගත්තම අපි මේ දේවල් ඇත්තටම පුරුදු කරනවාද? මේ වටිනාකම් ඇත්තටම අපි ළඟ තියෙනවාද කියන ප්‍රශ්නය මට තිබෙනවා.

අපි සමාජ මාධ්‍යවල කතා කරන මොකක් හරි මාතෘකාවක් එක සතියක් ඒ මාතෘකාව යනවා. ඊට පස්සේ තවත් මාතෘකාවක් ආවම කළින් කතා කරපු මාතෘකාව වෙනස් වෙනවා. ඉතින් අපි අර පාරේ විප්ලව කරපු, කවි ලියලා පොත් ලියලා නිසඳැස් ලියලා අපි කතා කරපු ඒ විෂය යට ගිහිල්ලා අපි තවත් මාතෘකාවකට යනවා මිසක් අපි ප්‍රායෝගික වැඩපිළිවෙලක් ගැන හිතන්නේ නැහැ. 

මෑතකාලීනව අපේ සමාජයේ විවිධ අපචාර හා දූෂණ හරිම සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ස්ත්‍රින්ට එරෙහිව සිදුවන අපචාර සම්බන්ධයෙන් සමාජය තුළ විශාල කතාබහක් ඇතිවෙලා තිබෙනවා. 

ඇත්තටම මට තියෙන ගැටළුව තමයි මේ වගේ සිදුවීම් සිද්ධ වෙන්න ඔවුන්ට බලපාන මානසික පසුබිම මොකක්ද කියන එකත. මේ වගේ දෙයක් සිදුවුනට පස්සේ ඔවුන් නීතියේ පිළිසරණ පතන්න පොලිසිය, අධිකරණය  වගේ නෛතික ආයතන වෙත යොමු වෙනවා. එතැනදි තමන්ට සිදු වුණ දේ පැහැදිලි කරන්න කරන්න ඔවුන් මානසික වශයෙන්, කායික වශයෙන් නැවත නැවතත් දූෂණයට ලක්වෙනවා.  

හැබැයි අපි කවුරුත් මේ සමාජය ඇතුළේ කාන්තාවන් පවා කතා නොකරන මාතෘකාවක් තමයි ස්ත්‍රි දූෂණය වගේම අපේ රටේ පුරුෂ දූෂණයත් සිද්ධ වෙනවා. පිරිමි දරුවන් අපචාරයට ලක්වෙනවා. ගෙදර ඇතුළේ, තමන්ගේ දෙමාපියන් එක්ක, සීයා ආච්චි , නැන්දලා මාමාලා එක්ක ජීවත්වෙද්දි ගැහැණු පිරිමි බේදයකින් තොරව මේ රටේ දරුවන් අපචාරයට ලක්වෙනවා.

''ඇයි අපේ සමාජයට මෙහෙම වෙලා තිබෙන්නේ? මොකක්ද මේකට විසඳුම? අපි හැමෝම කියනවා මේකට නීති ගේන්න ඕනේ. වෙනම උසාවි තියන්න ඕනේ. 

   ඔව් අපි එකඟයි. හැබැයි අපි ළඟ තියෙන්න ඕනේ වටිනාකම්. අපි ගැහැණු, පිරිමි කියලා හිතන්නේ නැතිව අපි මිනිස්සු කියලා හිතන්න පුළුවන් නම්, අපි ළඟ ඉන්න මිනිස්සු කවුද? ඒ අයගේ සමාජ වටිනාකම්වලට, ඔවුන්ගේ දේශපාලන හෝ වෙනත් මතවාදයන්වලට, ඔහුගේ ආගම ජාතිය කුලය හෝ දරන දේශපාලන පක්ෂය, ලිංගිකත්වය මේ කිසිම දෙයක් ගණන් ගන්නේ නැතිව ඒ අයට සමානව සළකන්න අපිට පුළුවන් නම් මම හිතනවා සැබෑ දේශප්‍රේමය තියෙන්නේ අන්න එතන කියලා. 

අපි කොහොමද සැබෑ දේශප්‍රේමය හදන්නේ ? අනාගතයේ ඉපදෙන දරුවාට කොහොමද අපි සැබෑ දේශප්‍රේමය කියන එක දෙන්නේ? ජාතික කොඩියේ කොළ සහ තැඹිලි තීරු ඉවත් කරපල්ලා කියලා අපිට සැබෑ දේශප්‍රේමය හදන්න බැහැ. 

චීනය හොඳයි අමෙරිකාව නරකයි, අමෙරිකාව හොඳයි චීනය නරකයි  කියලා අපිට සැබෑ දේශප්‍රේමය හදන්න බැහැ. සරම නියමයි, රැවුල නියමයි, කෝට් එක එපා ඒක පොෂ් වැඩියි කියලා අපිට සැබෑ දේශප්‍රේමය හදන්න බැහැ. 

පපුවට තුන්පාරක් ගහ ගත්තා කියලා සැබෑ දේශප්‍රේමය හදන්නත් බැහැ. ''   

''ඒක කරන්න නම් අපි අකල්පමය වශයෙන් වෙනස් වෙන්න ඕනේ. Freedom Hub එක තියෙන්නේ ඒ වෙනුවෙන්. සැබෑ දේශප්‍රේමියා ඉන්නේ ඒ වෙනුවෙන්. Radical මැද කියන්නේ ඒකට. මැද මාවතේ ගමන් කිරීම හා අවශ්‍ය අවස්ථාවේදී සටන් කිරිම කියන්නේ අන්න ඒකට. 

''අපේ පරම්පරාවටත් නෙවෙයි. අපෙන් පසුව එන තරුණ පරම්පරාව වෙනුවෙන් අපි සැබෑ දේශප්‍රේමය ගොඩ නගමු.'' 

 උපුටාගැනීම - theleader.lk

නවතම ලිපි