මේ ආණ්ඩුව බලයට පත්කළ  අතිබහුතරය කාන්තා ඡන්දයෙන් බව නොරහසකි.

මන්ද රටේ ඡන්ද බලයෙන් බහුතරය කාන්තාවන් වන අතර මහින්ද රාජපක්ෂ වෙත වඩාත් ආකර්ෂනය වී සිටියේද බහුතරයක් කාන්තාවන්ය. ඊට ඔවුන් දක්වන ප්‍රධාන අදහස යුද්ධය අවසන් කළ රටේ නායකයාය යන්නය. බොහෝ කාන්තාවන් යුද්ධයට විරුද්ධ වන අතර එවැනි මතයක් ඇතිවීමද අති සාධාරණය.

එසේම මේ ආණ්ඩුව බලයට පත්වූ දා සිට එමගින් සිදුවන වැරදි පෙන්වා දෙමින් ඊට එරෙහිව පෙරමුණ ගත්තේද, අරගලයට එක් වූයේද කාන්තාවන්ය. පරිසර ප්‍රශ්නයේ සිට කොතලාවල ආරක්ෂක විද්‍යාල පනත දක්වාම එසේමය. ඒ ඔවුන්ගේ අයිතියය. තමන් හදා වඩා ගත් රජයට තරවටු කොට හරිමගට ගන්නට ඔවුනට අයිතියක් ඇත. එහෙත් ආණ්ඩුව එවැනි අයිතියක් වසර පහක් ගෙවෙනතුරු පිළිගන්නේද නැත.

එසේම මේ ආණ්ඩුව පාලනය වන්නේද කාන්තාවන් කිහිප දෙනෙකුගේ අදහස් අනුවය. තීරණ අනුවය. එයද රටම දන්නා කතාවකි.

කෙසේ වුවද ආණ්ඩුවේ වැරදි නිවැරදි කිරීමට අරගලයට බට අපේ කාලයේ කාන්තාවන්ට දැඩි පිරිමි මතවාදයකින් යුත් ආණ්ඩුවෙන් එල්ල වන්නේ පිරිමි ප්‍රහාරයන්ය. කාන්තාවන්ට ගරු කරන්නට නොදන්නා රටක ඉරණම අසික්කිතය. අශීලාචාරය. අවිනීතය. මන්ද එකී කාන්තාවන් කාගේ හෝ මවකි, දියණියකි, බිරිඳකි, පෙම්වතියකි, සොහොයුරියකි. තම පවුලේ ගැහැණිය දෙස ආදරයෙන් කරුණාවෙන් බලන, සමාජයේ ගැහැණුන් දෙස අවිනීතව බලන රටක අපි, අප සතුයැයි කියන දෙදහස් පන්සිය වසරක් ඉක්මවූ සංස්කෘතිය ගැන පුරසාරම් දොඩවන්නෙමු.

පහත ලිපිය පසුගියදා පැවති විරෝධතාවක් වෙනුවෙන් බීබීසී සිංහල සේවයේ සුනෙත් පෙරේරා ගෙන එන සටහනකි. අපේ රටේ අරගලයේ නියුතු අතීත වීර කාන්තාවන්ගේ නාමාවලියට නැණසීලිද සිල්වා හෙවත් ලියනගේ අක්කාද තවත් පුරුකකි. ඇයගේ අරගලයට උපහාර පිණිස එය පළකරමි.  

 

නැනසීලි 1

 

 

කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහි විරෝධතාවට තමා එක් වූයේ උපන් නූපන් සියලූම දුවා දරුවන් වෙනුවෙන් යයි නැණසීලි ද සිල්වා පවසයි.

"මේක කලින් ආණ්ඩුව කාලේ අකුල ගත්ත පනතක්. ඉතින් රටේ ඉදිරි පරපුරේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් මාත් මැදිහත් වුණා," යනුවෙන් ඇය BBC සිංහල සේවය වෙත අදහස් දක්වමින් සඳහන් කළාය.

නිදහස් අධ්‍යාපනය වෙනුවෙනුත්, පවතින ක්‍රමය වෙනස් කිරීම සඳහාත් පෙළ ගැසෙන ලෙස තමා වත්මන් තරුණ පරපුරෙන් ඉල්ලා සිටින බව ඇය කියා සිටියේ සඳුදා (ජුලි 12) වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල වෙත යාමට මදකට පෙරදීය.

"මොකද මගේ අතපය හන්දිවලින් ඇදලනේ තියෙන්නේ. පහුවෙනිදා නැගිටින්න ඇත්තේ ඇඟේ හයියට වඩා හිතේ හයියට. ඒත් අවශ්‍ය වෙලාවට රට වෙනුවෙන් තව අඩියක් ඉස්සරහට තියනවා,"

"පොලිසිය මාව උස්සගෙන ඇවිත් බිමට දැම්මා. ඒ දානකොට කොහේ වැදුනද දන්නේ නැහැ. ඔලුව ටිකක් තඩිස්සි වෙලා තියෙනවා. ඒ වේදනාව දැන් තමයි දැනෙන්නේ,"

එබැවින් වෛද්‍යවරයෙකු හමු වී තමාගේ ශරීර සෞඛ්‍ය පරීක්ෂා කරවා ගන්නා බව ඇය පැවසීය.

 

නැනසීලි 2

මේ කවුද?

ඇය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකාවකි. අරගල බිමේ සගයන් අතර ඇය වඩාත් ප්‍රසිද්ධ "ලියනගේ", නැති නම් "ලියනගේ අක්කා" නමින්ය.

"සමාජ අසාධාරණය වෙන්නේ කොයි මොහොතේද, ඒ ඕනෑම වෙලාවක සමාජයේ සුබ සාධනය වෙනුවෙන්, වෙනසක් කිරීම වෙනුවෙන් මම පෙනී ඉන්නවා. ඒ සඳහා තමයි මම වැඩ කරන්නේ," යනුවෙන් ඇය BBC සිංහල සේවය වෙත කියා සිටියේය.

වසර 40 වැඩි කාලයක් 'සටන් බිමේ'

70 දශකයේ සිට "දේශපාලනයේ යෙදී සිටින" ඇය සිය පරපුර, සිය පරපුරේ දූ පුතුන් පමණක් නොව සිය පරපුරේ මුනුපුරු මිනිපිරියන් වෙනුවෙන් ද අරගලයක යෙදී සිටින්නීය.

"ජනතාවට කිසිවක් ලැබෙන්නේ නැහැ. ඒවා ලැබෙන්නේ පුද්ගලික හිතවත්කම්වලට, පාක්ෂිකයන්ට පමණයි. මේක නරකම තැනකට ගිහින් තියෙන්නේ. ඉස්සරහට මේක තවත් දරුණු වෙයි,"

එබැවින් ශ්‍රී ලංකාවේ වැඩිහිටි පරපුර ඉදිරියට පැමිණ වෙනසක් වෙනුවෙන් "බාල පරපුරට" ශක්තියක් විය යුතු බව ඇය පෙන්වා දෙයි.

 

නැණසීලී 3

"අද වෙනකොට වැඩිහිටියෝ විදිහට කකුල් දෙක කෙලින් තියාගෙන හිට ගන්න බැරි හින්දනේ ඔවුන් යම් කිසි නිශ්චිත තැනක හිට ගන්නේ නැත්තේ. අපිට ගතේ වාරුව නැතත්, හිතේ වාරුව තියෙනවා මේ දේ වෙනස් කරන්න. ඒ නිසා මම බාල පරපුරෙන් ඉල්ලන්නේ වෙනසක් වෙනුවෙන් කැප වෙන්න,"

 

"අත්තම්මට උරුම බණ පොත" ද?

වැඩිහිටි වයසේ පසුවෙන කාන්තාවක් විරෝධතාවකට එක් වීම ඇතැමෙකුගේ ඇගයීමට ලක්ව තිබුණු අතර එය තවත් පිරිසකගේ විවේචනයට ලක්ව තිබිණි.

එවැනි කටයුත්තකට වැඩිහිටි කාන්තාවක් එක් වීම නුසුදුසු බව හෝ යම් කිසි පක්ෂයක් විසින් සිය දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ඇය යොදා ගනු ලැබ ඇතැයි යන්න ඉහත කී විවේචන අතර විය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය කියා සිටියේ, "අපේ රටේ අත්තම්මට උරුම පන්සල, අත්තම්මට උරුම බණ පොත" වැනි පොදු අදහසක් පවතින බවය.

ශ්‍රී ලංකා සමාජයේ බොහෝ කොටස් කාන්තාව "පසුගාමීත්වයේ සංකේතයක්" වශයෙන් දකින බවත් ඇය පවසයි.

"කාන්තාවට අරගල අයිති නැහැ. කාන්තාවට අයිති දරුවන් වැදීම, දරුවන් හැදීම විතරයි. දරුවන්ට නිවැරදි මාර්ගය පෙන්වීමවත් සමහර වෙලාවට කාන්තාවන්ට අයිති නැහැ වගේ දෙයක් සමාජය තුළ තිබෙන්නේ."මනුෂ්‍යයෙකු වශයෙන් තම "කොටස" ඉටු කිරීමට වයස බාධාවක් කර ගත යුතු නැති බව ඇය කියා සිටී.

 

නැනසීලී 4

 

මේ පනතට විරුද්ධ ඇයි?

කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්මත වුවහොත් එමගින් "විධානයන්ට අවනත වන, පරිගණක වැනි" පරපුරක් බිහි වනු ඇති බවට ඇය බිය පළ කරයි.

"මේ පනතත් එක්ක අපේ අනාගත පරපුර ගැන තියෙන්නේ කියන්න බැරි තරම් දුකක්, ශෝකයක්. මේ පනත කලිනුත් ගෙනාවා, ඒක අකුලවන්න අපිට පුළුවන් වුණා. අපේ අනාගත පරපුර, සංවේදී නැති පරිගණක වගේ, කාගේ හෝ විධානයකට අනුව කටයුතු කරන තැනකට තමයි මේ ගෙන යන්න හදන්නේ."

"මිලිටරි ක්‍රමයක් තුළ ළමයි බයයි, දෙමව්පියොත් බයයි. තමන්ගේ සිතුවිලි, තමන්ගේ හැකියාව, තමන්ගේ නිර්මාණ නිදහසේ ඉදිරියට දාන්න ළමයෙකුට බැහැ. ඔවුන් අසරණ වෙනවා,"

අප සමාජයක් ලෙස "තමා ගැන පමණක් සිතන, අවස්ථාවාදී පුද්ගලයන්" බවට පත්ව ඇති බව ඇයගේ අදහසය.

"නිර්මාණශීලී දක්ෂ විවිධ හැකියාවන් ඇති අය ඉන්නවා, නමුත් බොහෝ දෙනා හරිම අවස්ථාවාදී, පවුලක ගත්තත් සාමූහිකත්වයට වඩා තියෙන්නේ තනි තනිවම ජයග්‍රහණය කිරීම. තනි පුද්ගලයෙක් මතින් සමාජයට ජයග්‍රහණය කරන්න බැහැ. ඒත් අපි එතනට පත් වෙලා තිබෙනවා,"

"ඒ ආත්මාර්ථකාමීත්වය තුළ තමයි අනෙකා ඉදිරියේ දණ ගහන්නේ. හොඳම උදාහරණය මැතිවරණයක් වෙද්දී අපේක්ෂකයා වටා එක් වෙන පිරිස. රැකියාවක් හෝ වෙනත් පුද්ගලික වාසියක් ලබා ගැනීම තමයි ඔවුන්ගේ අරමුණ. ඒ ක්‍රමය සාර්ථක නැති බව ඔප්පු වෙලා තිබ්බත් ඒ පසුපස යන පිරිස තාමත් වැඩියි."

 

නැනසීලි 5

 

'පොලිසියත් එක්ක තරහ නෑ'

තමා ඇතුළු විරෝධතාකරුවන් ඉදිරියේ "මරදනකාරී" ලෙස හැසිරුනත් "අපේම සමාජයේ කොටසක් වන" පොලිස් නිලධාරීන් දෙස සංවේදීව බැලිය යුතු බව ඇය කියා සිටියාය.

"තමන් කොහොමද මේ අවස්ථාව කර අරින්නේ කියන මානසිකත්වයෙන් සිටි පොලිසියේ පිරිසක් හිටියා. ඒ වගේම තමන්ගේ රාජකාරිය අභිබවා ගිහින් වැඩ කරපු පිරිසකුත් එතන හිටියා."

"පොලිසිය කියන්නෙත් මේ රටේ ජනතාවගෙන් කොටසක්. මේ පීඩාව දෙමව්පියෝ වශයෙන් ඒ අයටත් ඉදිරියේදී දැනෙනවා. කොතලාවල පනත පොලිස් නිලධාරීන්ගේ දරුවන්ටත් වලංගුයි. පොලිස් නිලධාරියෙකුගේ වැටුප ගත්තහම මහ වැටුපකුත් නෙමෙයි. ඒ නිසා එයාගේ දරුපවුලටත් මේ පීඩාව එනවා. ඒ නිසා ඔවුනුත් මේ ගැන දැනුවත් කළ යුතුයි, ඔවුනුත් ඒ ගැන දැනුවත් විය යුතුයි."

ඉදිරියේදීත් රටේ අනාගත පරපුර වෙනුවෙන් "පය ඉදිරියට තබන" බව කී ඇය "මර්දනය" ඉදිරියේ නිහඬ නොවන බව වැඩිදුරටත් සඳහන් කළාය.

"අපේ මේ චූටි, චූටි වැඩවලින් පොඩි හරි වෙනසක් වෙයි කියලා මට හිතෙනවා. සියයට සියයක් නැතත් දශම ගානකින් හරි සමාජයේ වෙනසක් ඇති කරන්න අපේ මේ ක්‍රියා සමහරවිට දායක වෙයි කියලා හිතනවා.

 

@ BBC සිංහල සේවයේ සුනෙත් පෙරේරාගේ ලිපිය ඇසුරිනි.

නවතම ලිපි

Entertainment

රන්ජනී !!!