දකුණු අප‍්‍රිකාවේ කළු-සුදු වර්ණ භේදවාදය තදින් හිස ඔසවා තිබුණ සමයක, රාත‍්‍රියේ නිරායුධ කළු ජාතික නිවසක් වට කෙරූ සුදු ජාතික ජාතිවාදී හමුදා භට පිරිසක්

ඒ නිවසේ ස්ත‍්‍රිය බලා සිටිද්දී ම නිවසේ සිටි සියළු කළු ජාතික පිරිමින් එකිනෙකා පිටතට ඇද වෙඩි තබා හෝ පුච්චා මරා දමන ලදී.

එයින් මේ ස්ත‍්‍රිය පිරිමියෙක් නැති, පිරිමි දරුවන් නැති හුදෙකලා වැන්දඹුවක් බවට පත් වූවා ය. තම ලබැඳි පිරිමින් මරා දමනවා බලන් ඉන්නවා තරම් ම වැන්දඹු කළු ගැහැනියක් විදිහට ඉදිරියට ජීවිතය ගෙන යාම ඇයට මහත් අසීරු කටයුත්තක් වූණා.

පසු කලෙක ඉදින් කළු ජාතික මැන්ඩෙලා ජනාධිපති වී ඇයට සිදුවූ අසාධාරණය ගැන නඩුව විභාගයට ගන්නා කාලය වෙනකොට ඇය වයසට ගිහිං. ඒත් ඇය විත්ත කූඩුවට නගින  මිනිසා තමන්ගේ ලබැඳි කළු පිරිමින් මරා දැමූ සුදු සොලාදාදු පිරිමියා බව සැනෙකින් හඳුනා ගත්තාය. මොහොතකට ඒ දෙනොගේ දෙනෙත් ගැටුණා. ඇය සෙලවුණේවත් නැහැ. මුහුණේ හැඟීමක් පල නොකර ම ඔහු දෙස එක එල්ලේ ඔහේ බලා සිටියාය ය. එහෙත් ඒ ගිනිගත් බිහිසුණු අතීත රාත්රිය ගැන  ක්ෂණිකව රූප පෙළක් ඇය තුළ මැවෙන්නට ඇති. විත්තිකරු ඇයව ගණන් නොගෙන කිසිදු වරදාකාරී හැඟීමක් නැතුවම විත්ති කූඩුවට නැග්ගා.

නමුත් නඩු විභාගය සිදු කෙරී ඔහු වරදකාරුවා බව තීන්දුව ලැබුණා. නමුත් නඩුකාරවරයා වරදට දඬුවම තවමත් ප‍්‍රකාශයකට පත් නොකර, මේ නිසල සන්සුන් ගැහැනිය දෙස අවධානගත බැල්මක් හෙලූවා., "මේ විත්තිකරුට කොයි විදිහේ දඬුවමක් දුන්නොත් ද හොඳ?” කියල නඩුකාරයා ඇගෙන් නිකමට ඇහුවා.

ඇය යාන්තමට හඬ අවදි කළා,

”ඔය සිදුවීම වෙලා දැං ගොඩක් කල්. මේ කාලෙ මං අරගල කළේ වෙනත් දේකට. මේ මනුස්සයා මාව මගේ පවුලේ පිරිමින්ව මගෙන් ගලවල දැම්මා. ඈත් කළා. මම එදා ඉඳං මහා කාලයක් යනකං පල්ලියට යන හැමදාම ජේසුට කිව්වෙ, මෙයා ගැන මට ඇති වුණ වෛරයක් තියෙනව නම්, ඒකෙන් මාව ගලවන්න කියල. මෙයා කරපු දේ හින්ද මට වෛර කරන්න උවමනාවක් නෑ. ඒත් මගේ ගෙදර දැන් කවුරුවත් නැහැ. පුළුවන්නම් එයාට සතියකට සැරයක්වත් ඇවිත් පුතෙක් වගේ මාව බලල, ටිකක් කතා කරල යන්න කියන්න .......”

මේක අහං හිටපු අර විත්තිකාර පිරිමියාව සිහිසුන්ව වැටුනා......පසුව ඔහු වෙනස් වුණා ......ඇය පිරිමියෙක් වෙනස් කරන්න අවශ්‍ය ස්ත‍්‍රීවාදී න්‍යායන් කියවල හිටපු ගැහැනියක් නෙවෙයි. ඒත් ඇය ඔහුව එක නිමේෂෙකින් වෙනස්වූ ආදරය පිරුණු ලෝකයකට අරන් ගියා.

පිරිමින් ලෝකයේ ‌ලොක්කන් විදිහට තම පුරුෂ මූලික බලය පතුරවල අවුරුදු හාර පන්දහක්වත් නැහැ තවම. ඊට කලින් අවුරුදු 14000කට විතර තිබුණෙ මාතෘ මූලික ගැහැනිය මුලින් හිට ගත්තු ලෝකයක්. මේ ගැහැනිය ඒ අවුරුදු 14000 කාලෙ හිටපු ගැහැනියෙක් වෙන්න  ඕනි. මොකද මේක තමයි පිරිමියා ස්ත‍්‍රියට උඩින් ඉන්න කලින්, ස්ත‍්‍රිය පිරිමියාට දක්වපු කොන්දේසි විරහිත අවබෝධිත ආදරය. ඒක පිරිමියා විසින් යටපත් කර දමා අවුරුදු හාර පන්දහක් වෙලත්, තවමත් සියළු ගැහැනුන් කෙරෙන් මේ අපිරිමිත ලස්සන පහව ගිහින් නැහැ.       

සිනමාවට නැගූ සයිමන් නවගත්තේගමගේ නවකතා සියල්ලට ම දිහා බලන කොට, සයිමන්ගෙ නවකතා ශෛලියට ගැලපෙන ම සිනමා ආකෘතියක් හොයාගත්තේ සුමිත‍්‍රා පීරිස්ගේ සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා කියන සරල සිනමා  ගීතිකාව කියල කිව්වොත්, කිසි ම අව්‍යාජ අවංක පිරිමි කලාකරුවෙකුට ඒකට විරුද්ධ වෙන්න බැහැ. සයිමන්ගෙ සාහිත්‍යය සිනමාවට ගෙන්න ඇයට තිබුණ විනය ගැන කවුරුවත් ලොකුවට කතා කරන්නේ නැහැ අදටත්. අනික සුමිත‍්‍රාත් ”මම තමයි කළේ” ඒක කළේ කියල වතුරට දාපු පොරොප්පයක් වගේ ඉපිලෙන්න හැදුවෙත් නැහැ.

මොකද, වැදගත් වෙන්නෙ ඇයට සයිමන් වගේ පිරිමියෙකුගේ චිත්ත සන්තානයේ ඇති කලා සාහිත්‍යමය රස සිතිවිලි සංජානන ගැන තිබුණ අවබෝධය. සමාජවිද්‍යාත්මක දෘෂ්ටියකින් කිව්වොත් සුමිත‍්‍රා නම් ගැහැනියට සයිමන් පිරිමියා කෙරෙහි තිබූ සාධාරණ හැඟීම. මේ ලියන මම පිරිමියෙක් විදිහට ඇය වැනි ගැහැනියකගෙන් ඉගෙන ගත්තු දේවල් නොකිය ඉන්නව නම් එක් මහා ම කුහකකමක් .

සුමිත‍්‍රා කිව්වහම ”ගඟ අද්දර” තමයි ගොඩක් අයගෙ හිතට නැගෙන සිනමා රූප පෙළ.  ඒකට එක හේතුවක් ජෝතිගේ විජයග‍්‍රාහී ගැඹුරු හඬ වෙනුවට විජය කුමාරතුංගගේ යාදිනී ගැඹුරු හඩින් ගයපු ”ගඟ අද්දර නුඹ නාඩන් කිසි දවසේ” ගීතයේ ගැයෙන ශෝකාලාපයට එහි සංගීතඥයා දුන්නු පෙර-අපරදිග මිශ‍්‍ර සෞන්දර්යාත්මක සළකුණ. ඒත් මං හිතන්නේ ගඟ අද්දර සුමිත‍්‍රාගේ ජනප‍්‍රිය සිනමා අක්ෂයක් විතරයි. සුමිත‍්‍රාගේ ආත්මික ගැඹුර මැනවින් පිළිබිඹු කළ සිනමා ගීතිකාව ”ගැහැනු ළමයි”!! ......  

මගේ කල්පනාවෙ හැටියට, සත්‍යජිත් රායි ”පාතර් පංචාලි” සිනමාපටයෙන් යම් ආසියාතික මානවවාදී මුද්‍රාවක් ලෝක සිනමාවට ලබා දුන්නාද, සුමිත‍්‍රා පීරිස්ගේ ”ගැහැනු ළමයි” සිනමා ගීතිකාවෙන් ද එතරම්ම වූ මානවවාදී හැඟීමක් ආත්මය තුළ ආදරය සඟවා ඇතුළට හකුළුවා දරාගන්නා ලාංකීය දකුණු ආසියානු ස්ත‍්‍රිය ගැන මේ ලෝකයට ම ලබා දුන්නා. නමුත් ඇය පොරොප්පයක් වගේ ඉපිලෙන්න හදපු නැති ගැහැනියක්.

මන්ද ඇය ලංකාවේ නූතනවාදී නාගරිකත්වය නියෝජනය කරන ලයනල් වෙන්ට්ඞ්, සුනිල් සාන්ත වැන්නවුන් ප‍්‍රමුඛ ඉන්දියාවේ බෙන්ගාලි පුනරුදයත් එක්ක නැගිටපු සැබෑ ජාතික(ජාතිවාදී නොවු) සංස්කෘතියෙන් උපන් ඉංග‍්‍රිසි උගත් දුවණියක්. දැන් තියෙන රියැලිටි ෂෝ නහුතයක සහ එෆ්බී පෝස්ට් නහුතයක් තමන් කවුදැවි කියල ප‍්‍රදර්ශනය කරන්න හදන ප‍්‍රදර්ශනකාමී සීත‍්‍රීන් අතරේ එහෙම දේවල් කලාකාරිනියකගේ ජීවිතයට අවශ්‍යදැයි කියාවත් නොසිතන නිරහංකාරිනියක් සුමිත‍්‍රා. මේ මං කියන දේ ඇත්තක් ද කියා දැනගන්න වොයස් කට් එක ගන්න  ඕනි එක්කෝ අයිරාංගනී සේරසිංහ කියන මාතෘවරියගෙන්. එහෙමත් නැත්තං ලංකාවේ නූතනවාදී ශිෂ්ටත ම පියම්බිකාවක් වූ ජේ.ආර්ගේ එළීනාගෙන්.

තමං කලාකාරියක්ය කියා පෙන්වන්නට නොගිය පරපුරේ මානව සිතුම් සමුදායක් රඳවාගෙන හැදී වැඩුණු ගැහැනියක්.  සියල්ල එසේ වුවත් කියන්න  ඕනි දේ නොසඟවා අව්‍යාජව මුහුණට ම කියා දාන ගැඹුරු සරල බවක් ජීවිතය පුරා නඩත්තු කළ ගැහැනියක් සුමිත‍්‍රා. එහෙත් ඇය දකින ඇසුරු කරන  ඕනෑම සංවේදී ශිෂ්ට පිරිමියෙකුට ඇය කෙරෙන් පල වෙන්නේ පසේ බුදුවරියකගේ සැඟවි ලකුණක්.

මට ගැහැනු ළමයි සිනමා පටය දැනහඳුන ගන්න ලැබෙන්නෙ ගොඩක් පහුවෙලා. මොකද ඒ සිනමා සිත්තමට කරලියට ඇවිත් තිරගත වුණේ මං සිනමාපට නරඹන කාලයට බොහෝ ඉහතදී. එහෙත් ඒ සිනමා පටය බැලූ දා පටන් සති ගණනක් යනකම් ම හිත ඇතුළේ මොකක්දෝ යාදිනී සාංකාවක් මා තූල රඳවා කැකෑරෙන්න හරින්න සුමිත‍්‍රා සමත් වුණා. ඒක තමයි සුමිත‍්‍රා  ඕන ම පිරිමියෙකුට දෙන නිහඬ ට්රිට්මන්ට් එක.

ලොකු පිරිමි දාර්ශනික සංවාදයලට හෝ දේශපාලනයෙන් කර්පට් වෙච්ච එන්ජී ඕ ස්ත‍්‍රීවාදීන්ට හෝ ආසියානු ස්ත‍්‍රිය ගැන නොතිබුණ හෘදයාංගම ප‍්‍රවේශයක් සුමිත‍්‍රාට තිබුණ. එහිදී ඇය අතාර්කිකව පිරිමියාට නිර්දය ව කඩා පනින ලදරු වලිප්පු ස්ත‍්‍රීවාදය කොහොමටවත් කරපින්නා ගත්තේ නැහැ. එහෙම වුණා නම් ඇයගේ සිනමා පටවලින් මෙතරම්වූ මානව ස්නේහයක් ගලා හැලෙන්නේ නැහැ.                                                               මං මගේ නව යොවුන් වියේ රස හොයන ලෝකයට ආයෙමත් ගිහින් අවංකව සහ අව්‍යජව මං ගැන ප‍්‍රකාශයක කළොත්, මට කියන්න තියෙන්න දැන් සුමිත‍්‍රා ගැන මං කියන විශ්ලේෂනයන්ට වඩා වෙනස් හැඟීම් කැබලිත්තක්.

 

එය නම්, මගේ මුළු ජීවිත කාලයට මා ඇසුරු කරපු සියළු ගැහැනුන්ට වඩා, මට ගැහැනිය ගැන කියල දුන්නෙ, ගැහැනියක් ගැන හඬන්න හිතෙන දුකක් මගේ හිත පුරා ඇතිළේ, ගැහැනියගේ නිහඬ බවට වෙව්ලා හිත කීරි ගැස්සෙව්වෙ සුමිත‍්‍රාගේ ”ගැහැනු ලමයි” කියන සිනමා ගීතිකාව.

ඒක සෑම ගැහැනියක් කෙසේ වෙතත්, සෑම පිරිමියෙක් ම බැලිය යුතු සිනමා ගීතිකාවක්. ගොඩක් ස්ත‍්‍රීවාදී සිනමාකාරියන් සිනමා ගෙත්තම් බිහි කළේ සත‍්‍රිය වෙනුවෙන් ස්ත‍්‍රියට ශක්තිමත් දැක්මක් හිමිකර දෙන්න. ඒත් සුමිත‍්‍රා තම සිනමා-ගීතිකා-පට නිර්මාණය කළේ ස්ත‍්‍රිය වෙනුවෙන් පිරිමියාට ලයාදර මානව ගති ගුණ ඇති කරගන්න උදව්වක් වෙන්න! ඒ හින්ද සුමිත‍්‍රාගේ සිනමාව කියන්නේ  ගැහැනිය ඉදිරියේ පිරිමියාව මානවාදී ශිෂ්ට සමානයෙක් කරන්නට හදපු සිනමාපට අතලොස්සක්.

මම හිතන්නෙත් ස්ත‍්‍රියට සමාජයේ දෙවෙනි තැන හිමිව ඇති අවස්ථා සම්බන්ධයෙන් ස්ත‍්‍රිය පිරිමියාට එරෙහි කැරලිකාරිනියක් කරනවාට වඩා, පිරිමියා ස්ත‍්‍රිය ඉදිරියේ මානවවාදියෙක් කිරීම වඩා ප‍්‍රායෝගික සහ ආදරවන්ත බව සුමිත‍්‍රා දැන සිටියා. ඒ මේ වන විට වැඩිපුරම මානසික රෝහල්වල සහ සිරගෙවල් වල ඉන්න සමහරවිට ප‍්‍රමාණයෙන් ස්ත‍්‍රියටත් වඩා දුක් දොමනස්ස විඳින පිරිමියා ස්ත‍්‍රියට එරෙහි කැරලිකාර පීඩකයෙක් වන්නට හරිවාට වඩා, ස්ත‍්‍රිය පිරිමියා ඉදිරියේ දී ඔහුට ඇති පීඩනයන් හඳුනාගන්නා පරිණත මානවිකාවක් වීම වඩා වටිනවා යැයි සුමිත‍්‍රා සිතූ නිහඬව සිටින මොහොතක සිතූ නිසා වෙන්න ඇති..

 

මම ලේක්හවුස් එකේ ඬේලි නිවුස් පත්තරේ වැඩකරන කාලෙ හමුවීමකුත් දාගෙන ලෙස්ටර් ජේම්ස් පීරිස් හමුවෙන්න කොළඹ 05හේ ඩික්ස්මන් පාරේ මේ දෙන්නගෙ ගෙදෙට්ට ගොඩවුණා. එන්න කලින් ෆෝන් එකෙන් ලෙස්ටර් කිව්වේ ”නව් අයෑම්  ඕල්ඞ්, සෝ අයි විල් නොට් ගිව් යූ අ ෆේස් ටු ඉන්ටවිව්, යූ ජස්ට් වර්යිට් ඩවුන් ද ක්වෙෂන්ස් ඇන්ඞ් බ්රිං දෙම් ටු මී, අයි විල් ව්රයිට් ඩවුන් ද ආන්සර්ස් බැක්” කියල.(මම දැන් වයසයි. ඒ නිසා මම මුහුනට මුහුණ සාකච්ඡාවලට සම්බන්ධ වෙන්නෙ නැහැ, ඔයා ප‍්‍රශ්න ටික ලියාගෙන එන්න, මමත් උත්තර ලියල දෙන්නම්).

 ඉතිං මම හිතුවෙ”ඇයි මේ මනුස්සයා මට ගෙදෙට්ට අඬගැහුවෙ, මට ඉන්විව් එක කරන්න දෙන්නෙත් නැත්තං? ඇයි මට ඊමේල් කරන්න නොකිව්වෙ?”

 ඕන එකක් කියල මං ගියා ලෙස්ටර් හමුවෙන්න!

ගිහයම ලෙස්ටර් නෙවෙයි ඉස්සරහ හිටියෙ සුමිත‍්‍රා. ”කම් කම්” කියමින් ඇය මට පස්ස හරවගෙන ගෙට ගිහිං ලෙස්ටර්ගෙ කනට කොඳුරල, මම ඇවිදින් බව ඔහුට සන් කළා. ලෙස්ටර් ඇවිත් මදසිනාවක් පා මං ලඟින් හිඳගෙන, මගෙන් ප‍්‍රශ්න ලියපු කොලේ ඉල්ලූව. මමත් දුන්න. මට උත්තර ලියල දෙන්නම් කියපු ලෙස්ටර් මෙන්න මටත් ඇහෙන්න මං ලියන් ආපු ප‍්‍රශ්න කියවනව. ආයෙමත් ඒවට උත්තරත් කියනව.

මම නිරුත්තර වුණා.

එකවරක් එතනින් ගිය සුමිත‍්‍රාට වැඬේ තේරුණා.

ඇය මට ඉඟියෙන් කිව්ව  ඕක රෙකෝඞ් කරගන්න කියල. මට ඇය කියපු දේ තෙරුණේ නැහැ. මම ඇයට මද සිනා පා නැවත ලෙස්ටර්ගේ කටහඬට ඇහුම්කන් දෙන්න ගත්ත.

මේක බලන් හිටපු සුමිත‍්‍රා අප ඉන්න තැනට ම ඇවිත් මට මද සිනහවක් පාලා, ”හී විල් නොට් සෙන්ඞ් යූ ද ආස්වර්ස්, ජස්ට් රෙකෝඞ් ඉට් නව්!” .....කීවා ...

ලෙස්ටර්, මදක්  ඔළුව උස්සල ඒකට ප‍්‍රතිචාර දක්වන්නෙ නැතුව මගේ ප‍්‍රශ්න ඉතිරි කියවමින් ඒවට උත්තර ද කියාගෙන කියාගෙන ගියා. ලෙස්ටර්ට තියෙනක ගරුත්වය නිසා සහ මම කලින් ලෙස්ටර් එක්ක එකඟ වුණේ වෙන දෙයකට නිසා මම ඉතිං රෙකෝඞ් කරගන්න ගියේ නැහැ.

ඊට පස්සෙ මං කිහිප වතාවක් ලෙස්ටර්ට කතා කර උත්තර ටික ඉල්ලූව  පත්තරේ පලකරන්න. ඔහු විවිධ සුළු හේතු දක්වා සිහින් විහිළු ද කියමින් ඒක කල් දැම්මා. ඒ ඉන්ටවිව් එක ජීවිතේට පත්තරේක පල වුණේ නැහැ.

”කෝ ඉන්ටවිව් එක” කියල මගේ චීෆ් එඩිටර් මගෙන් අහද්දි මට මතක් වුණේ  සුමිත‍්‍රාව!

සුමිත‍්‍රා ඔයා පෘථිවිය දාල ගියා කියන පුවත දැනගත්තු වෙලේ මට මතක් වුනේ ලෙස්ටර්ව. මාත් එක්ක කළ නොපල ඉන්ටවිවී එකක් කරපු ලෙස්ටර්ව. ලංකාවට ලෙස්ටර් කෙනෙක් ලබා දෙන්න ලෙස්ටර් ගැන ඔයාට තිබුණු ඉසියුම් අවබෝධය කෙතරම් නම් ඉවහල් වෙන්න ඇතිද? ඒත් පසුපස හිඳ ශ‍්‍රමය දෙන කෙනාව ලෝකයේ කවදාවතක් ලියවෙන්නේ නැහැ.

ඒකනෙ මං කිව්වෙ, සුමිත‍්‍රා කියන්නෙ ස්ත‍්‍රියට යහපත් ලෝකයක් හිමිකර දෙන්න පිරිමින් ගැන දයාවෙන් සිනමා ගීතිකා නිර්මාණය කරපු ස්ත‍්‍රියාවක්ය කියල.

ලක් සිනමාවේ පුනරුද ස්ත‍්‍රි සුමිත‍්‍රා, ඔයා වෙනුවෙන් හඬන්න තරම් ලංකාවෙ වර්තමාන ස්ත‍්‍රියට කඳුළුත් නැහැ, වෙලාවකුත් නැහැ.

ඒත් ඔයා වෙනුවෙන් හැබෑවට ම හැඬිය යුත්තේ ගැහැණු නොවේ පිරිමි. ඔයාගේ සිනමා පට බලල ගැහැනිය ගැන හදකම්පා කරගෙන ඇයට ඇත්තට ම ශිෂ්ට ලෙස ආදරය කරන්න ඉගැන්නූ ගුරුතුමියක් නිසා ඔයා වෙනුවෙන් හැඬිය යුත්තේ පිරිමි.

මට එහෙම ඉගැන්නුවට ඔයාට ස්තුතියි!

ඔයාට සුභ රාත‍්‍රියක්!

@අරවින්ද හෙට්ටිආරච්චි 

නවතම ලිපි