ඔන්න පංච තන්ත්‍රයේ කථාවක්.

හැබැයි ඉතින් කොන්ත නෝනාගේ එක කොන්ත නෝනට ඕනෑ විදියට හිංදා මගේ පෝස්ට් එක මට ඕනෑ විදියට පොඩ්ඩක් වෙනස් කරා.

ඉස්සර කාලේ හිටියලු යකෙක්. ඌ ස්ත්‍රීන් විශ්වාස කළේය නෑලු, ඒකට හේතුව ඒ කාලේ ස්ත්‍රීන් පරිස්සම් කරන්න බැරි ලු පුරුෂයන් ගෙන්.

යකාට ඕනෑ කළේ මැස්සෙක් වත් වහලා නැති පැන්ටසි ස්ත්‍රියක්. ඒ කියන්නේ මේ යකා මානසික ලෙඩෙක්. අර ලකාන් කියාපු රෝග ලක්ෂණය තියෙන ලෙඩෙක්.

යකාගෙ අම්මා යෝජනා කීපයක්ම ගෙනාවලු මූ නෙමෙයි ඒ එකකට වත් කැමති උනේ. බෑම කීවලු. ගෑනු ආරක්ෂා කරන්න මට බෑ කීවලු. බැරිම තැන අම්මා යකා බාස් කෙනෙකුට කියල රත්තරන් කරඬුවක් හදවලා දීල යෝජනාව ක් කරාලු. උඹට ඔය හැටි සැක නම් මනමාලි ගෙනාව දා ඉදල මේ කරඬුව ට දාලා බඩතුරේ ගහගෙන යන්න කීවලු. ඒ පාර යකා හා කීවලු.

ඔන්න ඉතින් යකා මනමාලිට කවල නාවලා පොවලා ඔක්කොම කරලා බඩතුරේ ගහගෙන එහෙ මෙහෙ යනවලු. යකාගෙ විමානෙ තිබුණු කැලේ සෘදි ප්‍රාතිහාර්ය පාන, තාපස වරු හරියට හිටියලු. යකා යනකොට එයාලට පේනවලු අර කරඬුවෙ ඉන්න නෝනා. එයාල ඉතින් එච්චර ගනන් ගන්නේ නෑ. හා බෑරක්ද කියලා අහලා ආපහු භාවනා කරනවලු.

ඔන්න ඉතින් යකා නාන හැටි කියන්න බැරි උනානෙ. ඉස්සරලම නෝනව නාවල කොන්ඩෙ වේලෙන කල් එලියෙ තියෙනවලු. ඒ අස්සේ යකා පස්සෙන් පස්සට ගිහින් විලට බහිනවලු. විල් කීවට ඔය කැනඩාවේ විල් වගේ විශාල ඒවා නොවෙයි නෙ. ලස්සන පොඩි විල්. ඉතින් යාකා පස්සෙන් පස්සට ගිහින් ඒක පාරටම එකක් යට ගිහින් උඩට එනවලු නෝනා කවුරුත් ඩැහැ ගනියි කියලා.

ඉතින් දවසක් ඔය විදියට නනා ඉන්නැද්දි හරි වැඩක් වුනා. ඒ දවස්වල හරියට හිටියලු දැන් වගේම ඔය ධ්‍යාන ලාභී සෘෂිවරුන්. එයාලට අහසින් යන්න පුළුවන් ලු. ඒදා යකා නනා ඉන්නැද්දි ඔය වගේ උඩින් යන සෘෂි වරයෙක් දැක්කලු සීන් එක. දැකපු ගමන්ම රූං ගාලා පහලට ආවා. ආපු ගමන්ම නෝන එයාව කරඬුවට ඔබා ගත්තාලු.ඔය සේරම උණේ යකා යට ගිලිලා ඉන්න නිමේෂයේදී.

යකා ඔන්න නාලා ඉවර වෙලා සුපුරුදු පරිදි කරඬුව බඩතුරේ ගහගෙන ගනවලු. එහෙම යද්දී ගහක් යට හිටපු තාපසයෙක් දැක්කලු යකා එනවා. තාපසතුමා හිනාවෙලා " හා කොහොමද? තුන්දෙනත් එක්ක බෑරක් වගේ " කියල කීවලු. ඒක ඇහුණ ගමන් ඒක පාරටම යකාට තේරුම් ගන්න පුළුවන් වෙලා නෑ. අඩියක් දෙකක් යද්දී මතක් උනාලු ඒ කොහොමද තුන්දෙනෙක් එක්ක අපි දෙන්නයි නෙ. හ්ම්...අහන්න ඕනෑ කියලා ආපහු ගිහින් ඇහුවලු " ඔබ වහන්සේ කොහොමද තුන්දෙනෙක් කීවේ" කියලා.

ඊට පස්සේ තාපසතුමා කියලා තියනවා තමන් දැකපු දෙය. යකා ඒක පාරටම කරඬුව එළියට අරංගෙන බැලුවලු. ඇත්ත නේන්නම්. දෙන්න හොඳට ආදරෙන් ඉන්නවාලු. යකාට පුල් අප්සෙට්. සුවිසයිඩ් කරගන්න හිතුණා ලු. පස්සෙ යකා තේරුම් ගත්තලු ඒ වැඩෙත් හරියන්නේ නෑ කියලා. නෝනට කීවලු යන්න කියලා සෘෂිවරයත් එක්කම.

නෝනත් හරි ආසාවෙන් එකට කැමති උනාලු. බඩතුරේ යනවට වැඩිය හොඳයි නෙ උඩින් යන එක කියලා. ඉතින් ඔන්න සෘෂිවර තෙමේ තම ප්‍රියම්බිකාව ක් කැටුව අහසින් යන්න ලෑස්ති වුනාලු. ගියර් වැඩ කරේ නෑලු. බැලින්නං ධ්‍යාන කැඩිලානෙ බිමට බහින කොටම. ආයෙ පයින් තමයි යන්න වෙන්නෙ. මොනවා කරන්නද පයින් බඩගාගෙන ගියාලු. මොන ලෝකේ ගියාද කියලා නම් දන්නෙ නෑනේ.

දැන් මොකද්ද මේ කතාවෙ තේරුම. ලකාන්ට කලිං පංච තන්ත්‍රය ලියපු සෘෂිවරයා දැන ගෙන හිටියා 'පරිපූර්ණ වූ පැන්ටසි ස්ත්‍රිය,' තැන්පත්ව ඉන්නෙ ලිංගිකව පුරුෂ සංකල්පය ඇතුලේ විතරයි කියන එක. ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන 'මෝඩ සංකල්ප' වලට දාලා බඩතුරේ තියාගෙන ගියත් සංකල්පය යථාර්ථයක් වෙන දවසේ පොළොව පලාගෙන ගන්න වෙනවා කියන එක. අපේ දර්ශන වාදියො විශේෂයෙන් මේ යක්ෂ ගෝත්‍රික කතා කියවා ගන්න ඕනෑ.

ආදර්ශය:

1. ධ්‍යාන නම් කැඩෙන සුළුය.

2. බඩතුරේ තබාගෙන කිසිවක් රැක ගත නොහැකි ය.

3. තාපසතුමාලටත් ඕනෑ නැති දෙයක් නෑය.

 

පංචතන්ත්‍රය ඇසුරෙන්

@Sumana Wijerathne

නවතම ලිපි