රිශී සුනක්...
ඇයි ඒ ගැන මොකුත් නොලියන්නෙ මිත්‍රයෙක් මගෙන් අහනව.
මේ වෙද්දි රිශීගෙ වයස.. අධ්‍යාපන සුදුසුකම් විතරක් නෙවේ ප්‍රකෝටිපතියන් වූ එයාගෙ දෙම්ව්පියො ගැනත්
ධන කුවේරයන් වූ එයාගෙ නැන්දයි මාමයි ගැනත් මුළු ලංකාවම දන්නව. ඒ නිසා ඒ ගැන ලියන එක තේරුමක් නෑ.
එහෙම නම් මේ වගේ සිද්ධීන් හරහා අපි තේරුම් ගත යුත්තේ මොකද්ද..? පලවෙනි කාරණය ජාතියක් විදිහට ලාංකිකයන් සිටින්නෙ කොතැනද කියන එක.
 
වහළුන් විදිහට දාසය වන.. දාහත් වන සියවස් තුල අප්‍රිකාවෙන් ඇමරිකාවට අරගෙන ගිය කළු ජාතිකයන්ගෙන් පැවත එන බැරැක් ඔබාමා එක්සත් ජනපදයේ ජනාධිපති වෙනව.
ගෘහස්ත සේවයට.. වෙළඳාමට ඇමරිකාවට සේන්දු වුනු ඉන්දියානු සම්භවයක් ඇති කමලා හැරිස් ඇමරිකානුවන්ගෙ උප ජනාධිපති බවට පත්වෙනව.
ඇමරිකා එක්සත් ජනපදය කියන්නෙ සුදු ජාතික ආධිපත්‍ය සම්භන්ධයෙන් බොහෝම චෝදනා වලට ලක් වෙන රටක්.
ඊ ලඟට සුදු ජාතික ආධිපත්‍ය ලොව වටාම පතුරවපු මහා බ්‍රිතාන්‍ය තමන්ගෙ අගමැති විදිහට ඉන්දියානු සම්භවයක් ඇති රිශී සුනක්ව පත් කර ගන්නව.
 
පරම්පරා තුනකට කලින් බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වෙන සුනක් පවුල ධනවතුන් වගේම උගතුන්.
නමුත් බර්ගර් හෝ දෙමළ නායකයෙක් ලංකාවෙ බිහි වෙන්නෙ නැත්තෙ ඇයි කියන ප්‍රශ්ණය ඇහුවත් චෝදනා විතරක් නෙවේ අපහාස පවා විඳින්න වෙනව ලංකාවෙ සමාජයේ. සමාජයේ විතරක් නෙවේ සමාජ මාධ්‍යයේ පවා අපහාස විඳින්න සිද්ධ වෙන්නෙ ජාතිද්‍රෝහීන් විදිහට.
 
හත වසර සමාජ අධ්‍යයනය පොතේ අපිට උගන්වනව ව්‍යවස්ථාවේ සඳහන් නොවුනත් ලංකාවේ ජනාධිපති වීමට ඔහු හෝ ඇය අනිවාර්‍යයෙන්ම සිංහල බෞද්ධයෙකු විය යුතුයි කියල. ( අනූ ගනන් වල පාසැල් පෙල පොත්).
මුස්ලිම් හෝ ක්‍රිස්තියානි නායකයෙක් ලංකාවෙ බිහි නොවන්නෙ දක්ශකම අඩු නිසා නෙවේ නමුත් කුඩා කාලෙ ඉඳල ශක්තිමත්වෙන මේ ආකල්ප හරහා ලැබෙන මානසික මට්ටම් නිසා නෙවේද කියල මට හිතෙනව.
ඒ පලවෙනි කාරණය.
 
දෙවැන්න බ්‍රිතාන්‍ය නායකයන් හෝ අගමැතිවරුන් තමන්ගේ පරාජයන්.. නොහැකියාවන් හෝ අසමත්කම් පිලිගෙන ඉල්ලා අස්වීම හෝ ඉල්ලා අස්වීමට සිදුවීම පිලිගැනීම.
තෙරේසා මේ. Theresa May -තෙරේසා තමන්ට අවශ්‍ය බලය හෝ කැමත්ත නැති බව දැනගත් ගමන් තමන්ගෙ තණතුරෙන් අයින්වෙනව . ( 2016- 2019)
 
බොරිස් ජොන්සන්- Boris Johnson වසර තුනකට පස්සෙ ඉල්ලල අස්වෙනව. ( 2019 ජූලි 2022 සැප්තැම්බර්).
ලිස් ටෘස් - Liz Truss( 2022 සැප්තැම්බර් 6 - ඔක්තෝබර් 25 )
ටෲස් නෝනාට ඉල්ලා අස්වෙන්න සිද්ධ වෙනව මාසයකුත් දවස් දහ නවයක් තුල.
 
මේ නායකයන්ගෙන් කවුරුවත් ඉල්ලා අස්වීම ප්‍රථික්ශේප කරාද.. තැනින් තැන හමුදා කඳවුරු වලට ගිහින් හැංගුනාද..? මහ රැජින පස්සෙන් ගිහින් වැඳවැටුනද අයින් වෙන්න දෙන්න එපා කියල.?
ආච් භිශොප් හෝ පූජකයන් ‍රැස් කරගෙන අපේ හාමුදුරුවනේ කියල වැලපුනාද රට රකින්න ඉඩ දෙන්න කියල.
නැහැ... ඒ කිසි දෙයක් නෑ... පරාජය භාර ගත්ත.. ඉල්ලා අස්වුනා.
 
තෙරේසා මේ නෝනගෙ මල්ලි හෝ අයියා අගමැති කම ගන්න පොර කෑවද.... බොරිස් ජොන්සන්ගෙ සහෝදරයා ආවද රට බාර ගන්න... ලීසා ටෲස් එයාගෙ තාත්ත හෝ අම්මව එක්කන් ආවද තණතුර බාර දෙන්න.?
නැහැ... තාත්තගෙන් පුතාට... අයියගෙන් මල්ලිට යන වැඩවසම් ක්‍රමය බ්‍රිතාන්‍ය පාලකයන් අනුගමනය කරන්නෙ නෑ අඩුම තරමෙ දේශපාලනයේදිවත්.
 
කැටයම් දාපු බිග් බෙන් කුළුණ හෝ ලෝකයම යටත් කරගත් හිරු නොබසින අධිරාජ්‍ය.. අපේ උරුමය කියල මරහඬ දෙනව වෙනුවට ඒ මිනිස්සු වැදගත් විදිහට අයින් වෙනව.
මේ තමයි අපි ඉගෙන ගත යුතු දේ.
තවත් වැදගත් කාරණයක් තමයි මේ හැම නායකයෙක්ගෙම වයස. මේ හැමදෙනාම වයස අවුරුදු හැටට අඩු අය. රිශී සුනාක්ට වයස අවුරුදු 42 ක් වුනා විතරයි.
දෙපැත්තෙන් සහායකයො තියාගෙන වැඳ වැටෙමින්.. ගාට ගාට යන වයසක මිනිස්සු වෙනුවට ඒ අය තෝරගන්නෙ තරුණ නායකයො.
 
මොනවද රිශී සුනක් මහත්තයා ඉදිරියේ තියන අභියෝග.
 
පලවෙනි දේ ආර්ථික කඩා වැටීමට එයා විසඳුම් හොයන්න ඕනෙ. මේ ආර්ථික අර්බුධය නිර්මාණය වෙන්නෙ ලංකාවෙ වගේ වංචා හා දූශණ හේතුවෙන් නෙවෙයි. (බ්‍ර්රෙක්සිට්... කෝවිඩ් හා රුසියානු ආක්‍රමණය මත මේ තත්වය ඇතිවූ බව පිලිගත් කාරණයක්.)
බ්‍රිතාන්‍යයේ මුළු ණය ප්‍රමානය පවුම් බිලියන 2500 කට ආසන්නයි. (£2,427.5 billion)
ඒ සඳහා ගෙවිය යුතු පොලිය බිලියන 7.7 ක්. ඒ කියන්නෙ ගිය අවුරුද්දට වඩා බිලියන 2.2 ක වැඩි වීමක්.
බ්‍රිතාන්‍යයේ උද්ධමනය පසුගිය වසරකට සාපේක්ශව 10 % කට වඩා ඉහල යද්දි ප්‍රංශයේ හා අයර්ලන්තයේ එම ප්‍රථිශත 6.2% ක් හා 8.2% ක් වෙනව. ( ඒ ඉලක්කම සඳහන් කරේ බ්‍රිතාන්‍ය අසල්වැසියන් හා සංසන්ධන්‍ය කිරීම සඳහා)
ගෑස් හා ඉන්ධන මිළ 75% ක ප්‍රමාණයකින් ඉහල යනව. මේ තත්වය ප්‍රංශය හෝ අයර්ලන්තයට වඩා ඉතාම ඉහලයි.
ආර්ථික ප්‍රථි සංස්කරණ වගේම බලශක්ති අර්බුධයටත් විසඳුම් හොයන්න සුනාක් මහත්තයාට සිද්ධ වෙනව.
අනිත් කාරණය බ්‍රෙක්සිට්.
බලශක්ති අර්බුධයේදී වගේම වෙළඳාම සම්භන්ධ ගැටළු වලදිත් යුරෝපා සංගමය එකතු වෙලා විසඳුම් හොයද්දි බ්‍රිතාන්‍යයට සිද්ධ වෙනව තනියම උත්තර හොයන්න.
විශේෂයෙන්ම ස්කොට්ලන්තයේ ප්‍රශ්ණ වලට පිලිතුරු දෙන්න බ්‍රිතාන්‍ය පාලකයන්ට සිද්ධ වෙනව. අමතක කරන්න නරකයි ස්කොට්ලන්තයට ඕනෙ වුනේ යුරෝපා සංගමය තුල රැඳී සිටින්න. 64% ක ස්කොට්ලන්ත ජාතිකයන් බ්‍රෙක්සිට් වලට විරුද්ධව ඡන්දය දුන්නෙ යුරෝපා සංගමයේ රැඳී සිටීම වෙනුවෙන්.
 
තුන්වන කාරණය …සමහර රැකියාවන් සඳහා ශ්‍රමිකයන් ලබා ගැනීමට බ්‍රිතාන්‍යයන්ට අලුත් මාර්ග සෙවීමට සිදුවීම. යුරෝපා සංගමයෙන් ඉවත් වීම සමගම අඩු වැටුපට රැකියා කරන පෝලන්ත.. රුමේනියානු හා බල්ගේරියානු ශ්‍රමිකයන් ලබා ගන්න බ්‍රිතාන්‍යයට පහසු වෙන්නෙ නැහැ. යුරෝපා සංගමය තුලදී වීසා ගැටළුවට මුහුණ දීමකින් තොරව මේ අය රැකියා කරා.
නමුත් බ්‍රෙක්සිට් සමගම ලක්ශයකට අධික පිරිසක් මේ රැකියා ගැටළුවට මුහුණ දෙනව.
ට්‍රක් රථ රියදුරන්.. වෙළඳසැල් සේවකයන්.. හෝටල් හා භෝජනාගාර සේවකයන් වගේ විශාල රැකියා ප්‍රමාණයක් සඳහා පුරප්පාඩු ඇති වෙමින් තියනව.
( ඉන්දියානු.. පාකිස්ථාන හෝ ලාංකික ශ්‍රමිකයන්ට වැඩි රැකියා අවස්ථා ලැබීමේ ප්‍රවණතාවයක් දකින්න පුළුවන් වේවි).
 
මම ඉන්දියානුවෙක්... මගේ උරුමය අහවල් රටේ.. මගේ ඉතිහාසය මෙහෙමයි කියමින් උත්සව පවත්වන්න රිශී සුනාක් වගේ දක්ශයින් පෙළඹෙන්නෙ නැහැ.
එයා ඉදිරියේ ලොකු විශාල වගකීමක් තියනව.
ඒ වගකීම තේරුම් ගන්න බැරි වුනොත් අනිත් අයට වගේම එයාටත් වෙන්නෙ ඉල්ලා අස්වෙන්න.
හේතුව බ්‍රිතාන්‍ය දේශපාලනය කියන කුණාටුවේ ඒ අය හොයන්නෙ දක්ශ නායකයෙක් මිසක් අප්පච්චි කෙනෙක්.. ඩැඩී කෙනෙක් හෝ දියසෙන් කුමාරයෙක් නෙවේ. වැඳ වැටෙන්න කෙනෙක් හොයන පැරණි බ්‍රිතාන්‍යන්ට වයසක චාර්ල්ස් රජතුමා සිටීම අස්වැසිල්ලක් වේවි .
 
@ Malcolm Sang

නවතම ලිපි