සංවිධානය අළුතින් වර නඟන ප්‍රශ්නය අපට මෙසේ සංයුක්ත කළ හැකි ය. 

සමන් වික්‍රමාරච්චි සමහර දිග වාක්‍යයක් පටන් ගන්න කලින් මෙලෙස තනි වචනයක් ලිය යි; ‘ඇත්ත’. ඇත්ත නම්, අද යුගයේ ආදරය ගැන කතා කිරීම විලාසිතාවක් තරමට වර්ධනය වෙලා තිබීමයි. ඇලන් බදියු කියන දාර්ශනිකයාගේ සිට ‘රෝමාන්තික ප්‍රේමයේ ලාංකේය ගතිකයන් සොයා යාම’ කියන පොත දක්වා සියලු දෙනා ‘ආදරය’ ගැන උගන්වයි.

            ධනේශ්වර සමාජ වර්ධනයේ ප්‍රමිතිගත සීමාවට කිට්ටු වුණ බටහිර සමාජවල ‘ආදරය’ සඳහා මේ වෙනකොට බාහිරින් බාධාවන් නැත. ඩිල්ෂාන් මතු කරපු ගැටලුව මෙහෙම එකකි. ආදරය කරන දෙන්නෙකුට ආදරය කරලා ගෙදර යන්න පුළුවන්. ඒත්, ආදරය අවසන් කරලා; පෝරුවක නැඟලා; ගෙදර ගිහිල්ලා දරුවෝ ඉන්න දෙන්නෙකුට; ගෙයක් ඇතුළේ ආදරය ආරක්ෂා කර ගන්න එක ඉතාම අපහසු දෙයකි.

  21 වැනි සියවසේ ගැටලුව වන්නේ, රොමෑන්තික ආදරය ගැන ප්‍රවාද ගොඩනඟන එක නොව ‘විවාහය’ තුළ ආදරය පවත්වාගෙන යාමට අවශ්‍ය ආකාරයට රාජ්‍ය ව්‍යුහය –  STATE – ගැන හිතන එක ය. ඒ ගැන කවුරුවත් ලේඛකයෝ, දාර්ශනිකයෝ, දේශපාලකයන් හිතලා නැත. අනාගත කොමියුනිස්ට්වාදය කියන්නේ විවාහය ඇතුළේ ‘ආදරය’ න්‍යායගත කිරීමයි. එය පරමාදර්ශවාදයක් – IDEALISM- නොව යථාර්ථවාදයකි.[REALISM]

                උදාහරණයක් ලෙස, අපි අමරසේකරගේ ‘රෝමාන්තික ප්‍රේමය’ ගැන කෞශල්‍ය කුමාරසිංහ ලියූ දේවල් පරීක්ෂා කරමු. කෞශල්‍ය තමන්ගේ විවාහය තුළ ප්‍රේමය යථාර්ථයක් කරන්න ගියා නම් තමන් මේ ආදරය ගැන ලියු දේවල්වල බොළඳ පරාසය අසු වෙයි.

විවාහය දීප්ති 1

ස්ත්‍රියගේ-PAIN IN MARRIAGE.

               

තරුණ, බාල, මහලු සැමදෙනාම විමුක්තිය ගැන සංවාද කරයි. ඒ හැම සංවාදයකම අක්ෂය පවතින්නේ, විවාහයෙන් පිට නිෂ්ක්‍රීය, කාල්පනික අවකාශයක ය. ග්‍රාම්ස්චිගේ න්‍යායන් ලංකාවේ කතා කරන්නේ ඔහුගේ ”අපායක්වන්” විවාහයෙන් පිටත තියාගෙන ය. ග්‍රාම්ස්චි තමන්ගේ බිරිඳගේ නංගි එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් ගනියි. මේ නිසා බිරිඳව මානසික රෝහලකට ගෙනියන්නට සිදු වෙයි. ‘සිරගෙයක සටහන්’ ගැන ලියන අය ඔහුගේ ප්‍රේමය නිසා වේදනාවට පත් වූ බිරිඳ සහ නැගණියන් ගැන ලියන්නේ නැත්තේ කොමියුනිස්ට් සමාජය තුළ ‘විවාහය’ නම් සංස්ථාපිතය අහෝසි වෙයි කියල ද? 

           

මාක්ස්, එංගල්ස් සිට නූතන වාම දාර්ශනිකයන් බහුතර දෙනා ඒ අයගේ ලියවිලිවල දී ‘විවාහය’ යනු යල්පැන ගිය සංකල්පයක් හැටියට සලකයි. විවාහයට සරදම් කරන සිරිමල්ගේ ‘BLACK PORK සමඟ පොල් රොටි’ අවන්හලේ කෑම වියන්නේ, මහන්සි වෙන්නේ ඔහුගේ බිරිඳ ය. සිරිමල්ගේ නිදහසේ පදනම ඔහුගේ චින්තනය නොව ඉන් විගාමික කරන ස්ත්‍රී ශ්‍රමය යි. විවාහය ‘ඇතුළේ ප්‍රේමය සහ පිටත ප්‍රේමය’ සිරිමල්ට නඩත්තු කරන්න අවශ්‍ය අධෝ ව්‍යුහය සපයන්නේ ඔහුගේ බිරිඳ ය. නමුත් ඇය ද ශෙන්තිප්පේ මෙන් අහිංසක, බයාදු ගැහැණියකි. එය සමාජ අසාධාරණත්වය ‘විවාහය’ තුළ ස්වභාවික වී ඇති ආකාරය ගැන හොඳ සාක්ෂියකි.

           

සෝබන පහළ මැද පාන්තික පිරිමියාගේ සහ ගැහැණියගේ විවාහ විරෝධය සංකල්පීය තලයක එළියට එන්නේ මෙසේ ය.

විවාහය දීප්ති 2

විවාහය කියන්නේ සත්තු දාන කූඩුවකි.

           

විවාහය කියන්නේ සත්තු දාන කූඩුවකි. මේ කූඩුව එහි ඇතුළට යන පුද්ගලයාගේ නිදහස උදුරා ගනියි. පෝරුවෙන් බැහැලා, හනිමුන් ගිහිල්ලා දෙවැනි ගමනට පසුව ජෝඩුව යන්නේ හිරගෙදරකට ය. මේ කූඩුව විසින් ඇති කරන ගැටලු විසඳන්න තමයි වෙබරියානු වෘත්තික නිලබල තන්ත්‍රයක් බිහි කරලා තියෙන්නේ. පූජකයා, පොලිස් නිලධාරියා, ප්‍රාදේශීය ලේකම්, වෛද්‍යවරු, මනෝ විශ්ලේෂකයන්, ලිංගික ශ්‍රමිකයන්, කලාකරුවන්, දේශපාලකයන් කියන්නේ විවාහය කියන සිරගෙදර ප්‍රශ්න විසඳන එක වෘත්තියක් කරගත් අය යි. මේ විවාහය නැති කරලා මනුෂ්‍ය වර්ගයාට සැබෑ විමුක්තිය ලබා දෙන්න සමහරු තවත් කාගේ හරි කුටුම්බයක් තුළට රිංගලා ගේමක් දෙන්න උත්සහ කරනවා. විවාහය නම් සංස්ථාපිතය විසින් වැරදිකාර සිතුවිලි, අවිඥාණය, නොසතුට, කවදාවත් ඉවර නොවන කැපවීම් සමූහයක් නිපදවයි. මේ නිසා, විවාහය ආදරයට වෙනස්ව බාහිර කඩා වදින්නන්ගෙන් තර්ජනයට ලක් වෙයි. ආදරය කරන ජෝඩුවක් ඇතුළට බාහිර කෙනෙක් ඇතුල් වීමට උත්සාහ නොකළාට විවාහය තුළට කඩා පනින්න හුඟ දෙනෙක් උත්සාහ කරයි. ‘ආදරය’ තුළ අහිමි විනෝදයක් විවාහය නම් සිරගෙය තුළින් පැහැර ගත හැකි යැයි විවිධ මංකොල්ලකාරයන් අනුමාන කරයි. මේ අර්ථයෙන්, ආදරයට වඩා ‘විවාහය’ බේරා ගැනීමට අපහසු ය.

               

විවාහය’ නම් ආයතනය මුලින් ඉහළ පන්තියට අයත් වූවකි. අමරසේකරට අනුව ලංකාවේ නිදහස හිමි වුණාට පසුව ආදරය මත පදනම් වූ ‘විවාහය’ ආරම්භ විය. නමුත් විවාහයට පසුව ආදරයට සිදුවන ‘වෙනස’ ගැන ඔහු හෝ කරුණාසේන ජයලත් සංවේදී නැත. මෙය ජනප්‍රිය සංස්කෘතියට අදාළ පෙම් කතා වලට ද අදාළ ය. ‘TITANIC’ කතාවේ ආදරය උත්තරීතර වූයේ, අතරමැද අයිස් පරයක හැපී ජෝඩුව වෙන් වූ නිසා ය. එසේ නැතිව, නිව්යෝර්ක් නගරයට නැව සේන්දු වූයේ නම් ‘ජැක්’ නම් කම්කරුවා සහ ‘රෝස්’ නම් ඉහළ මැද පාන්තික ස්ත්‍රියගේ විවාහ ජීවිතය නීරසභාවයක ගිලී යනු ඇත.[ZIZEK] විවාහ වීමෙන් පසු ආදරය වාෂ්ප වී හිස් වීම සම්බන්ධ වී ඇත්තේ ධනේශ්වර රාජ්‍යය නම් සංයුක්ත ගැටලුවට ය. කොමියුනිස්ට්වාදයේ පියවරුන් උපකල්පනය කරන ලද්දේ අනාගත කොමියුනිස්ට් සමාජය තුළ රාජ්‍යය වියැකී ගොස් දේශපාලනය (මිනිසුන් පාලනය කිරීම) අහෝසි වනු ඇති බවයි. ආදරය බාධාවකින් තොරව ඉන්පසු වැඩෙනු ඇත. නමුත් පසුගිය වසර 40 තුළ සිදු වූයේ කුමක්ද?

             

සෝවියට් දේශයේ කොමියුනිස්ට් අදහස බටහිර නිදහස පිළිබඳ දෘෂ්ටිවාදයන්ගෙන් වැසී ගිය පසුව සමාජ විප්ලවය කරන ඒජන්තයා ‘නිර්ධනයා’ යන අදහස අභියෝගයට ලක් විය. මින් සිදු වූයේ, අපට ප්‍රථම පරම්පරාව විශ්වාස කරන ලද ‘විප්ලවවාදී ආත්මය’ පිළිබඳ අදහස ද විසංයෝජනය වීමයි. වැඩ කරන පන්තිය අප බලාපොරොත්තු වූ ලෙස තමන්ට ඉතිහාසයෙන් හිමි කර්තවය ඉටු නො කළේ ය.

           

ලංකාවේ නම් එලෙස සිදු නොවීමට හේතුව ලෙස දුටුවේ, ස්ටාලින් සහ සම සමාජ පක්ෂයේ විවිධ පාවාදීම් ය. ඉන්පසු, විජේවීරගේ විශ්ව-විද්‍යාල ශිෂ්‍ය දේශපාලනය විප්ලවීය ඒජන්තයා යැයි විශ්වාස කරන ලදී. නැතහොත්, දෙමළ ජාතික විමුක්ති ව්‍යාපාරයේ ‘දෙමළ ජනයා’ යන පදය ද ඒජන්තයාගේ අදහසට ආදේශ විය. මේ සියලු ඒජන්තයන් පිළිබඳ අදහස් 2009 ට පසුව වියැකී ගියේ ය.

             

මනෝවිශ්ලේෂණය කරළියට එන්නේ ඉන්පසුව ය. එහි වැරදි පැත්ත අල්ලාගත් අය මෙලෙස අනුමාන කළේ ය. ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන ධනවාදී සමාජ සබඳතා ඉදිරියේ සාම්ප්‍රදායික විචාරක අවි දුබල වෙයි. වැඩ කරන සමාජ පන්තීන් ධනවාදයට ආශා කරන්නේ, ඔවුන්ගේ අවිඥාණක ලුබ්ධි බැඳීම් නිසා ය. මෙම අවිඥාණය විසංයෝජනය කිරීම මනෝවිශ්ලේෂණයේ සමාජ මෙහෙවරයි. එය සායනිකව මිය ගොස් ඇත. අපි හැමෝටම පිස්සු හැදී ඇති නිසා උමතුව / හේතුව දැන් අපට වෙන් කරගත නො හැකි ය. මේ සන්දර්භය තුළ සායනිකව මනෝවිශ්ලේෂණය අදේශපාලනිකකරණය වෙයි.

             

මධ්‍යම පන්තිය නැඟ ඒමත් සමඟ යටගිය මාක්ස්වාදී දේශපාලන-ආර්ථික විද්‍යා අදහස යළි පුනර්ජීවනය කිරීම සඳහා බටහිර මාක්ස්වාදය උත්සාහ කළේ, ඒජන්තයාගේ භූමිකාව යළි නිර්වචනය කිරීමෙනි. ‘නිර්ධන පන්තිය’ වෙනුවට එතැනට ආදේශ කළ හැකි විවිධ සමාජ කණ්ඩායම් ගැන ගවේෂණය කිරීම බටහිර මාක්ස්වාදයේ නිෂ්ටාව විය. එනම්, එතැනට තෙවැනි ලෝකයේ ගැමියන්, ශිෂ්‍යයන් සහ බුද්ධිමතුන්, නිර්ප්‍රභූන්, සමලිංගිකයන් ආදේශ කිරීමට උත්සාහ කරන ලදී.

             

නිර්ධනයන් වෙනුවට වෙනත් සමාජ පන්තීන් ආදේශ කිරීම යූරෝ මාක්ස්වාදය (බලහත්කාරය/ හිංසනය වෙනුවට කැමැත්තෙන් සහ හෙජමොනිය වෙනස් කිරීමෙන් රාජ්‍ය බලය ලබා ගැනීම) වන විට එය ජනප්‍රියවාදය -POPULISM- දක්වා ප්‍රසාරණය විය. සමකාලීන පශ්චාත්-මාක්ස්වාදය යනු, මෙහි උච්චතම ඵලය යි. ශන්තාල් මුෆ් සහ අර්නෙස්ටෝ ලැක්ටෝ මෙම ප්‍රවණතාවයේ මුඛ්‍ය ප්‍රකාශකයන් දෙදෙනා ය. නමුත් මනෝ විශ්ලේෂණය අනුදත් ලැකානියානු-පශ්චාත්-මාක්ස්වාදයට අනුව ධනවාදී කතිකාවට මිනිසුන් ආකර්ෂණය වන්නේ, එහි සංකල්පීය අඩංගුවට (එමගින් යෝජනා වන ප්‍රතිලාභ සහ මානසික අල්ලස්) නොව එමගින් යෝජනා කරන විනෝදයට ය. න්‍යායිකව මේ අන්ත දෙක පසමිතුරු ය. ඒවා එකට යෙදිය නො හැකි ය.

               

‘බෝල්ෂෙවික් විප්ලවය’ අපට උගන්වන ලද විප්ලවීය පාඩම කුමක් ද? ජෝඩුවක් පණ මෙන් ආදරය කර පසුව පෝරුවට නැඟ, සිංහල බෞද්ධ ක්‍රමයට අෂ්ටක කියා මධුසමයට ගොස් පිස්සුවෙන් මෙන් ශරීර වැළඳ ගෙන වෛවාහක නිවසට ගිය විගස එම ගින්න මිය යයි. එලෙසම, ‘රාජ්‍ය බලය’ ලබා ගත් ලෝකයේ සියලුම විප්ලවවාදී බලවේග ඉන්පසුව දේශපාලනිකව සහ සමාජීයව අර්බුදයට යන ලදී. එසේ නම්, විවාහය සහ රාජ්‍ය බලය අතර ඇති දයලෙක්තික විරුද්ධාභාසය – DIALECTICAL PARADOX- කුමක් ද? විප්ලව කිරීමට අපට මිනිසුන් අතර පවතින ‘වියරුව’ (RAGE) යොදා ගත හැකි ය. සමාජයේ ඇති පුළුල් පසමිතුරුභාවයන් තනි එකකට ඌනනය කළ නොහැකි ය.

               

විප්ලවය ඉතිහාස නියාමයන් අනුගමනය නො කරන්නේ නම් හෝ රැඩිකල් ලෙස ‘ඉතිහාසය’ යනුවෙන් දෙයක් නැතිනම් අපගේ ගැටලුව සංකීර්ණ වෙයි. එවිට, ඉතිහාසය විවෘත ක්‍රියාවලියක් වෙයි. ඉතිහාසය අපව පමණක් අර්ථවත් දෙයකට තෝරා ගන්නේ නැත. ඉතිහාසය අපව පමණක් ඒජන්තයා ලෙස සලකන්නේ නැත. එවිට, විප්ලවය විමුක්ති ව්‍යාපාරයක් බවට ඌණනය වෙයි. X කණ්ඩායම තුළ PINK FLOYD කණ්ඩායමේ POLITICAL ROCK ඇසූ අයගේ දේශපාලන විඥාණය පුළුල් නොවී එය ජීවන විලාසිතාවක්/ LIFE STYLE විය. මිචෙල් ෆුකෝ නිසා ලිංගිකත්ව දෘෂ්ටිය විසංයෝජනය නොවී එය පුනර්ජනනය විය. අපේ කකුළට අපම වෙඩි තබා ගත්තේ එසේ ය. නායකත්වය, ‘විප්ලවය’ සහ ‘විමුක්තිය’ ආධිපත්‍යයේ විරුද්ධාභාසය වීමට ඉඩ ඇති බව අපි වටහා ගත්තේ ඊට පසුව ය.

               

තීරණාත්මක දේශපාලනික ගැටලුව කුමක් ද? මාක්ස්ගේ ‘දේශපාලන-ආර්ථික’ විචාරයට නූතන ගෝලීය ආර්ථිකය තුළ තවදුරටත් අදාළත්වයක් තිබේ ද? මාක්ස්ගේ යුගයේ දී ‘ධනවාදය’ පැවතියේ පරමාදර්ශී (IDEALISM) මට්ටමක ය. 19 වන සියවස අග වන විට, මාක්ස්වාදය සහ එහි විවේචකයන් අනුමාන කරන ලද්දේ අනාගත ධනවාදයේ මුහුණුවර ගැන ය. නමුත් දැන් ධනවාදය මිනිසුන්ගේ හිත් තුළ යථාර්ථයක් (REALISM) වී ඇත. ධනවාදී ගතිකය එහි පරම රූප බවට දැන් පත් වී ඇත. මේ මොහොතේ දී අප මෙතෙක් දුටු සියල්ල දයලෙක්තික උඩු යටිකුරු වීමකට භාජනය වී ඇත.

               

ධනවාදය පරමාදර්ශී ස්වරූපයෙන් යථාර්ථයක් දක්වා පත්වන විටම මාක්ස්වාදයේ සීමාවන් ද හෙළිදරව් වීම ආරම්භ විය. මාක්ස් කී දෙය ජයග්‍රාහි වන මොහොතේ ම එහි පරාජය ද සටහන් වෙයි. මාක්ස් සිතූ පරිදි මාක්ස්වාදය තුළ ඊට බාහිරින් පැවති බාධාවන් ඉතිහාසයේ යම් මොහොතකට පසුව අවසන් වී එම බාධාවන් ආත්මීයත්වයන් තුළින් මතු වීම ආරම්භ විය. නැගෙනහිර කරුණා හෝ ජවිපෙ වීරවංශ තම ව්‍යාපාරවල වසර 17ක් ජීවත් වී බාධාව සොයා ගත්තේ තමන්ට බාහිරින් නොව අභ්‍යන්තරයෙනි. මේ මහා අමානුෂික ලෝකය තුළ මට ස්ත්‍රි උණුසුම හෝ සීගිරිය උණුසුම ලැබුණේ නැත. ඔවුන්ගේ බාධාව  වන්නේ, මේ උණුසුම් ව්‍යාපාරවලට පිට පවතින දේවල් නොව ඒවාට අභ්‍යන්තරික තැන ය. ධනවාදයට ඇති බාධාව දැන් ‘අභ්‍යන්තරික’-INTERNAL- යැයි කියන්නේ ඔන්න ඔය අදහසට ය. ඒ කියන්නේ, යම් පරමාදර්ශී අදහසක් යථාර්ථයක් වුණා කියන්නේ එය සංකල්පයට අවශෝෂණය කරන්න පුළුවන් කියන අදහසයි. අප ජීවත්වන යුගයේ දී හේගල් හරහා  දෘෂ්ටිවාදය විචාරය කරන්න පුළුවන් කියලා ජිජැක් කියන්නේ මේ නිසා ය. මේ අදහස වටහා ගැනීම සඳහා සරල රූප සටහනක් පහත දැක්වේ.

විවාහය දීප්ති 3

             

 අපි හිතන දෙයක් බාහිරින් සර්ව සම්පූර්ණ වුණාම ඊට පස්සේ ඒ දෙය වෙනත් දෙයක් බවට පරිවර්තනය වෙයි. ධනවාදය අපට බාහිරින් පවතින දෙයක් වෙලා තිබිලා දැන් එය අපට අභ්‍යන්තරික දෙයක් වෙලා තිබේ. මාක්ස් ඒ ගැන සිතුවේ නැත.

               

දැන් අපට එන්න පුළුවන් උපන්‍යාසය කුමක්ද? අපට දැන් ‘කොමියුනිස්ට් ප්‍රකාශනය’ විසින් හඳුන්වා නොදුන් දයලෙක්තික විරුද්ධාභාසයක් (DIALECTICAL PARADOX) හමු වෙයි. 20 වැනි සියවසේ කොමියුනිස්ට්වාදය තවදුරටත් ඉදිරියට ගමන් කරන්න පුළුවන් අදහසක් නොවේ. නමුත් ධනවාදය කියන ප්‍රශ්නය එහෙමම ඉතුරු වෙලා තිබේ. හැම මිනිසෙකුටම පොදු ප්‍රශ්න ගොඩක් ඉතිරි වෙලා තිබේ. සොබාදහම, අපේම ශරීරය ගැන, සංස්කෘතික වශයෙන් සිදුවන නිර්ධනීයකරණය, අන්ත දරිද්‍රතාවය, සම්පත් බෙදී යාමේ විෂමතාවය යනාදිය අපි බහුතරයක් දෙනාගේ ප්‍රශ්න වේ.

 

විවාහය දීප්ති 4

Sexual Love

                   

විවාහය තුළ ආදරය මිය යන්නේ ඇයි? ආදරය කරන අයට නැති ප්‍රශ්න විවාහකයන්ට තිබේ. දරුවන් හදන්න ඕනේ; ඔවුන්ව පාසල් යවන්න ඕනේ; කන්න බොන්න දෙන්න ඕනේ; විවාහ කරලා දෙන්න ඕනේ; ගෙවල් හදන්න ඕනේ; හොයන්න ඕනේ; රැකියාවට අනිවාර්යයෙන් යන්න ඕනේ; ආදායම් හොයන්න ඕනේ; පවුලටම ඇඳුම් පැළඳුම් ගන්න ඕනේ; ඇවිදින්න යන්න ඕනේ; බාහිර තර්ජනවලින් පවුල ආරක්ෂා කරගන්න ඕනේ වැනි තවත් දහසකුත් ප්‍රශ්න තිබේ. ඒවා සෘජු ලෙස රාජ්‍යයට සම්බන්ධ ගැටලු ය. ආදරවන්තයන්ට රාජ්‍යය පිළිබඳ ගැටලු නැත. ඔවුන්ට බාධාව එන්නේ අභ්‍යන්තරයෙනි. නමුත් විවාහකයන්ට ගැටලු එන්නේ රාජ්‍යය ව්‍යුහයෙනි. මේ නිසා, කොමියුනිස්ට්වාදය කියන්නේ, රාජ්‍ය ව්‍යුහය සහ විවාහය අතර පසමිතුරුභාවය විසඳන එක ය. එසේ නැතිව, මේ මොහොතේ විශේෂඥයන් සහ ජාතිකවාදීන් අතර ගැටුමේ දී විශේෂඥයන්ගේ පැත්ත ගන්න එක නොවේ.

– සාකච්ඡාවට අනිත් අයටත් ආරාධනා ! – 

@ DEEPTHI KUMARA GUNARATHNE

3mana online megazine

නවතම ලිපි