බුකර් සම්මානය හිමිකරගත් ෂෙහාන් කරුණාතිලක විසින් රචිත "The Seven Moons of Maali Almeida" ගැනයි මේ කෙටි සටහන.
මෙහි කතාන්දරය ගොඩ නැගෙන්නේ මරණයෙන් නැවත පිබිදෙන ඡායාරූප ශිල්පියෙකු වටායි. ව්‍යාකූලත්වයෙන් පිරුණු ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධවල සංහාරය නවකතාවෙන් හෙළිදරව් කෙරේ.
 
"The Seven Moons of Maali Almeida" හි අපකීර්තිමත් ප්‍රධාන චරිතය මාලි 1980 දශකයේ සිංහල පියෙකුගේ සහ බර්ගර් මවකගේ පුතෙකි. ඔහු තමන්ගේ විශ්වාසවන්ත "නිකොන්" කැමරාවට ආදරය කරන සංචාරක ඡායාරූප ශිල්පියෙකි. සූදුවේ නියැලෙන්නෙකු මෙන්ම සමලිංගිකයෙකි. එමෙන්ම ඔහු අදේවවාදියෙක්ද විය.
 
නවකතාව ආරම්භයේදීම ඔහු මිය ගොස් අවදි වේ. මරණයෙන් පසු ජීවිතයේ සිට ඔහු මිතුරන්ගෙන් විමසන්නේ මරණින් මතු ජීවිතයේ යුද්ධයේ ම්ලේච්ඡත්වය ගැන එළිදරව් වන, තමන් ගත් ඡායාරූප පිළිබඳවයි.
කෙසේ වෙතත් ඔහු සිතන්නේ මිතුරෙකු දුන් “මෝඩ පෙති” ගිල දමා තමා මායාවක ගිලී සිටින බවයි. එහෙත් එය එසේ නොවේ. ඔහු සැබවින්ම මිය ගොස් ඇති අතර පෙනෙන පරිදි භූගර්භයක සිරවී සිටී. අනෙකුත් ආත්මයන් ඔහු වටකරගෙන සිටින අතර, අවයව කැඩී ගිය අත් පා සහ ලේ තැවරුණු ඇඳුම්වලින් සහ ඔවුන්ගේ ආකෘති පත්‍ර පිරවීම සඳහා විධිමත් ලෙස පෝලිමක් සෑදීමට පවා කිසිවෙකුට එහි හැකියාවක් නැත.
 
මෙම අඳුරු භූමිය තුළ ඔහුට මුණගැසෙන බොහෝ මිනිස්සු 80 දශකයේ දී ශ්‍රී ලංකාව පීඩාවට පත් කළ ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට පත් අය වෙති. සටන්කාමී බෙදුම්වාදී කණ්ඩායමක් වන දෙමළ කොටි සංවිධානය විවේචනය කිරීම නිසා වෙඩි තබා ඝාතනය කරන ලද දෙමළ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙක්ද ඒ අතර සිටී. ශ්‍රී ලංකා රජයට එරෙහිව කැරැල්ලක් දියත් කළ මාක්ස්වාදී කණ්ඩායමක් වන ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් මෙන්ම ඔවුන්ගේ ගොදුරු බවට පත් වුවන්ද කැරැලිකරුවන්ගේ මගට පැමිණ රාජ්‍ය මර්දනයට ගොදුරු වූ වාමාංශික සහ කම්කරු පන්තියේ සිවිල් වැසියන්ද නවකතාවෙන් නිරූපණය කෙරේ.
 
මාලි අල්මේදා යනු ශ්‍රී ලංකාවේ කැරැල්ලේ ම්ලේච්ඡත්වයේ සාක්ෂිකරුවෙකි. පුවත්පත් සහ සඟරා වෙනුවෙන් වැඩ කරන ඔහුගේ අභිලාෂය වන්නේ යුද්ධය නැවැත්විය හැකි සහ ආණ්ඩු වට්ටන ඡායාරූප ගැනීමයි.
ඔහු වෙඩි තබා ඇත්තේ 83 දී ම්ලේච්ඡයන් දෙමළ නිවෙස්වලට ගිනි තබද්දී සහ පදිංචිකරුවන් ඝාතනය කරන විට බලා සිටි රජයේ ඇමතිවරයාටයි. එමෙන්ම ඔහු අතුරුදහන් වූ මාධ්‍යවේදීන්ගේ සහ ක්‍රියාකාරීන්ගේද, බැඳ දමා, ගෙල බැඳ, අත්අඩංගුවේ දී මිය ගිය අයගේ ඡායාරූපද ගෙන තිබේ.
 
එම ඡායාරූප ඔහුගේ පවුලේ නිවසේ ඇඳක් යට සුරක්ෂිතව තබා ඇත. පොළොව යට සිරවී සිටින ඔහුට ගැටුමේ මෘග හා ප්‍රචණ්ඩ ස්වභාවය හෙළි කිරීම සඳහා සිය මිතුරිය වන ජැකී සහ ඇගේ ඥාති සොහොයුරිය සමඟ සම්බන්ධ වීමටත් ඡායාරූප තොගය ලබා ගැනීම සඳහා ඔවුන් පොළඹවා ගැනීමටත් ශ්‍රී ලංකාවේ විශාලතම නගරය වන කොළඹ පුරා ඒවා බෙදා ගැනීමටත් දැන් ඇත්තේ සඳ හතක් සහ සතියක් පමණි.
 
මාලිගේ ආත්මයට පැහැදිලි කර දී ඇත්තේ අතීත ජීවිත සිහිපත් කිරීමට සෑම ආත්මයකටම චන්ද්‍රයින් හතක් අතර සැරිසැරීමට අවසර ඇති බවත් ඊට පසුව අමතක කරන ලෙසත්ය. ඔවුන් ඔබට අමතක කිරීමට අවශ්‍යයයි. මන්ද, ඔබට අමතක වූ විට කිසිවක් වෙනස් නොවේ. එහෙත් සාක්ෂිකරුවෙකු ලෙස ඔහුගේ දායකත්වය අමතක කරවීමට මාලි කැමති නැත.
 
සිය මරණය ඔහුට ජීවිතයේ බිඳෙන සුළු බව දෘෂ්‍යමය වශයෙන් හෙළිදරව් කර ඇත. ඔහුගේ ඡායාරූප රට සඳහා ඔහුගේ උරුමය සහ සාමූහික බැඳීම් වෙනුවෙන් ආරක්ෂාව සපයයි.
 
"The Seven Moons of Maali Almeida"
ශ්‍රී ලංකාවේ එක් අඳුරු පරිච්ඡේදයක් ගැන ලියවී තිබුණද එය උපහාසාත්මක හාස්‍යයයෙන්ද පිරී තිබේ. තවත් කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ උපමාවල විචිත්‍රවත් භාවිතයයි. පුද්ගලයෙකුගේ පහර කෑමට ලක් වූ ශරීරය විස්තර කර ඇත්තේ "කැඩුණු පොල් ගෙඩියක් මෙන්" ඉළ ඇට ඇති" ලෙසය.
 
මෙය සල්මන් රුෂ්ඩි සහ ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේස්ගේ ඉන්ද්‍රජාලික යථාර්ථවාදය සමඟ පැහැදිලි සාහිත්‍ය සැසඳීම් ඇති සෙයකි. මෙහි ඇතැම් අවස්ථා බොහෝ විට විකාරරූපීය. මළ සිරුරු එකිනෙකා සමඟ ආරවුල් ඇතිකර ගනී. එහෙත් එය පාඨකයා පොළඹවාගත හැකි හාස්‍යයකින් සහ ව්‍යාකූලත්වයකින් යුක්තය.
කෙසේ වුවද මෙහි සාහිත්‍ය වටිනාකමට යටින් ඇත්තේ සත්‍ය සහ බිහිසුණු යථාර්ථයකි. එනම් ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධවල සංහාරය‍යි. ම්ලේච්ඡත්වයයි. ෂෙහාන් කරුණාතිලක තම රටේ ඉතිහාසයේ බිහිසුණු කාල පරිච්ඡේදයකට කලාත්මක යුක්තිය ඉටු කර තිබේ.
 
@ මහින්ද රුබසිංහ
"The Guardian" හි පළවූ ලිපියක අනුවර්තනයකි
 

නවතම ලිපි