යාපනේ තල් ගස් යට රෑ හඳ එලියෙ අපි දෙන්න එක සිගරට් එකක් බීවා මතකයි.

ඒ මීට අවුරුදු 20කට කලිං සැප්තැම්බරේ අපි හමු උනු මුල්ම දවස. "මං රක්වානෙ. සෑහෙන කට්ටක් කන්ඩ වෙනව බං කොළඹ ඇවිත් නලුවෙක් වෙන්ඩ. මං මුට්ටත් කර ගැහුව බං කාලයක්. කෝමහරි අපි මේක හොඳට කරන්ඩ ඕනෙ. මේක උබට හොඳ break එකක්. හඳගම එක්ක වෙඩ කරනව කියන්නෙම හෙන චාන්ස් එකක්නෙ බං."

ඔන්න ඔය වගේ ටිකක් ඌ මට කිව්ව මතකයි. 'මේ පාරෙන් එන්න ' කරල අපි කොළඹ ගියා. අපි පාරවල් දෙකක ඒත් එකම ගමනක් ගියා. හමුවෙන හැම තැනම අපිට ඒ මතකය අවදි කරේ හෙන ආසාවෙන්.

පෙරේදා 30 වෙනිදා මනිරත්නම්ගෙ film එක බලල ඉවර වෙලා ටොයිලට් එකට යනකොට මූ ඉන්නව කැප් එකක් දාගෙන සිගරට් එකක් එක්ක. "අම්මෝ ධනා.. සෙට් වෙන්ඩත් බැරි උනානෙ. අපරාදෙ කතරගම වැඩේට මට කතා කරා . මොකක් හරි ප්‍රස්නෙයක් නිසා සෙට් වෙන්ඩ බැරිඋනානෙ. අපරාදෙ බං උබ ඉන්නව කිව්ව නිසා හෙන ආසාවෙන් හිටියෙ සෙට් වෙන්ඩ" ඒ වචන වල තිබ්බෙ හෙන සහෝදර කමක්.

ඌ පට්ට film actor. ඒත් ඌට මුල මතකයි. ඊට පස්සෙ ඌ මගෙන් උදව්වක් ඉල්ලුව. ඒක මෙතන කියන්නෑ මං. ඒත් ඒක ඒ වෙලාවෙම ඌට කරන්ඩ පුලුවං උනු එක ගැන මං සතුටු වෙන්නෙ දැං.

ඒක කර ගන්ඩ බැරි උනානං මං අද මාර විදියට දුක් වෙයි.

"මචං උබෙ නම්බරේ missing බං කියල phone එක අතට ගත්තත් ඌට ඒක දාගන්න phone එක support කරේ නෑ. ලඟ හිටපු කෙනෙක්ගෙන් පෑනක් කොලයක් ඉල්ලං ඌ මගෙ number එක ලියා ගත්ත. දා ගත්ත phone කවරෙ ඇතුලෙ. "ආයෙ සෙට් වෙමු මචං" ඒ අපි බීපු අන්තිම සිගරට් එක. ඌ මාව බදාගන්නකොට මං හිතුවෙ නෑ බං ඒ උඹ මට සදාකාලිකවන සමු දුන්නා කියල. මොකක් හරි හේතුවකට පෙරේදා රෑ උඹව අහම්වෙන් මට මුන ගස්සන්න ඇත්තෙ උබට සමුදෙන්න වෙන්න ඇති.

අපි ආයෙ හම්බෙමු මචං..

මේ සංසාරෙ තව කොච්චර දුරද.

උඹට මට අමතක උනත් අපි අපිව අඳුනගනී බං. යාපනේ තල් ගස් යට අඳුනගත්තෙ කවුරුත් අඳුන්නල දීල නෙවෙයිනෙ.

ධර්ශන් ධර්මරාජ්.

එක මඟ ආ ගමන් සගයෙක්.

මට මාර දුකයි මචං. ඒත් ජීවිතේ කියන්නෙ film එකක් වගේ බං. ඒ සමුගැනීම හරි දුකයි. ඒත් ලස්සනයි.

උඹ පතපු තැනකට පලයං. කොහේ ගියත් අපි ආයෙ හම්බෙමු!

@ ධනා

- Dananjaya Balasooriya

නවතම ලිපි