කෙල්ලෙක් සිකැරට්ටෙකක් බොන එක මොකෙක් හෝ ඉස්මාට් ෆෝන් එකකින් වීඩීයෝ කර බුකියේ දැම්මේය.
සෝසැල් මීඩියා වලින් කීයක් හෝ හොයාගන්නා, අධි මන්දපෝෂණයෙන් පෙලෙන ජඩමාජ්ජවේදීන්, බව්වාට මස් කට්ටක් දැම්මා සේ දැන් එය රස කර කර බුදිමින් සිටි.
 
දැන් ඒ කෙල්ල සොයා විශාල මෙහෙයුමක් දියත් කොට ඇති අතර, වීඩියෝ එකේ පෙන්නන හයිය හා ගට, කෙල්ලට තිබුනේ නැත්නම්, කෙල්ලගේ බොඩිය හෙට අනිද්දාට හමු වූවා කියා හෙඩින් එකක් දමා අත පිසදාගෙන පාංශූකුලය දෙන්නේත් අර ජඩමාජ්ජවේදියෝමය. ඔවුන්ගේ පරමාර්තයත් එයමය. එවන් අවස්ථා අප පසුගිය කාළයේ අනන්තවත් දැක ඇත්තෙමු.
 
මෙවන් නාලිකා ප්‍රධානින්, කත්තුරුවරුන්, යූ බටයෝ, මාධ්‍ය ආචාර ධර්ම තබා, ඉස්කෝලයකට ගිය උන්දෝ යන සැකයක් මට ඇති වී බොහෝ කල්‍ය. බුකිය යනු සමාජ මාජ්ජයක් නිසා ඒකේ ඉන්නා පට්ට ගෝත්‍රිකයින් කෙරේ අනුකම්පා කොට, බ්ලොක් කර දැමිය හැකි වුවත්, මේ 1/4 කන්නින්ට එදිරිව කළ හැකි කිසිවක්ම නැත.
මේ ගම් කබර ගෝත්‍රික හැද්ද වෙල් කබරු වාගේ කුණු වෙච්චි මළකුණු රස කර කර බුදිනා නරුමයින් වී අවසානය. ඒවා නියාමනයට එකෙක් හෝ පත් කිරීමට කිසිඳු රජයකට උවමනාවක් ඇත්තේත් නැතිය.
 
අජ්ජාපනයෙන් වුවද අපට තාමත් ඇත්තේ මිෂනාරි අජ්ජාපනයේ භෂ්මාවශේෂය. ඒවා අපි දොහොත් මුදුන් දී වඳිමින් පුදමින් දිගටම පවත්වාගෙන යමින් සිටිමු. මේවාට ගිය සිසු දරු දැරියෝ වයස 70-80 ගතවී මිය යන තෙක්ම පාසල් යන්නෝ වෙති. බුකියේ මෙන්ම පාසල්වල තත්වයද එසේමය.
 
කාළයක් නිළ ඇඳුම හැඳ පැලඳ පාසල් යන මොන්ටිසෝරී ආතල් එකකුත් උපරිමයෙන්ම ගත්තේය. මේවායේදී අපි අධ්‍යයනය කල යුත්තේ, ඉහළ පන්ති වලට ගිය, උසස් අජ්ජාප්ණයේ උපාධියද රැගෙන උසස් තනතුරුවල උන්නද, බුද්ධිය තවම ඇත්තේ මොන්ටිසෝරී පන්තියේ බවය. ඔවුන් පාසල බබලවන්නෝ නොව, පාසල නිසා බැබලෙන්නෝ බවය.
 
පාසල් අජ්ජාපනය ලංකාවේද යම් පමණක දියුණුවක් අත්පත්කරගෙන ඇති මුත්, ඒ සංස්කෘතිය ඇත්තේ ජාත්‍යන්තර පාසල් තුල පමණි. ඒවායේ බොහෝ දරුවන් 9-10 වසර වන විට විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීම සඳහා සුදුසුකම් ලැබ විදෙස්ගත වනාතර, කොතරම් දක්ෂ සිසුවකු වුවත් රජයේ පාසල් වලට යන දරුවකුට ඒ අවස්ථාව උදාවන්නේ නැත.
 
නිළ ඇඳුම එහෙමමය. දරුවන්ට ඇති සරළ ඇඳුමක් ඇඳ පාසලට ඒමට අදටත් ඉඩක් ඇත්තේ නැත. මෙයින් වඩාත් අපහසුතාවයට පත්වන්නේ දිළිඳු ජනතාවමය. ආන්ඩුවෙන් රෙදි නොමිළේ දුන්නාට මහන්නට සල්ලි දෙන්නේ නැතිය. ඉදින් උන් ගෙදරටත් අඳින්නේ සුදු කමිසය හා කලිසමය. සුදු ගවුමය. මේවා ඉතා ඉක්මනින් කිලුටු වීම පුදුමයක් නොවේ. ඉන්පසු දරුවන් ගුටිකන්නේ කිළුටු ඇඳුම් ඇඳගෙන ආවා කියලාය.
කලන්තය දමා ඇඳ වැටුනත් අව්වේ හිටවා පැයක් පමණ පච ඇද අරිනා රැස්වීම තියන්නම ඕනාය. හමුදා ආධිපත්‍ය දරුවන්ට පෙන්විය හැක්කේ එතනදීය.
 
මිෂනාරි ක්‍රමයේ භෂ්මාවශේෂයන් වන පිරිමි පාසල් , කාන්තා පාසල්ද තාමත් එසේමය. එහෙත් දියුණු රටවල ඇත්තේ මිශ්‍ර පාසල්‍ය. මධ්‍ය මහා විජ්ජාලවලට. ගමේ මිශ්‍ර පාසලකට ගිය වුන්ට ඔය වාගේ සිද්දීන් මැජික් නම් නොවේ.
කෙල්ලන් කොල්ලන් අතර පෙම් සබඳත, සිප ගැනීම්, ගල් ලෝඩ් බෑම්, සිගරට් බීම්, ඕවා සාමාන්‍ය දේවල්‍ය. දියුණු රටවල නිවසින් කොන්ඩම් පවා දෙන්නේත්, දරුවන්ට ලිංගික අජ්ජාපනය කුඩා කළ සිට ලබා දෙන්නේත් ඒ නිසාමය.
එහෙත් දරුවන් කියන්නේ දරුවෝය. ඔවුන්ට මේවා මැජික් වේ. මේ සියල්ල අත්හදා බැලීමටත්, ඒවාට අනුගත වෙමින් වීරයන් වීරවරියන් වීමටත් උත්සාහ කරනා කාළයයි.
 
එවන් කාළයක දරුවන්ට අවවාද කොට ඒවායේ හොඳ නරක කියා දෙනවා මිස, ඔවුන් අපකීර්තියට පත්කොට අපහාස කොට පරිභව කොට සමාජයෙන් ඉවත් කිරීමට පියවර ගැන්ම, ශිෂ්ඨාචාරයක් ඇති ශිෂ්ඨසම්පන්න මිනිසුන්ට කළ හැකි දෙයක්වත්, කළ යුතු දෙයක්වත් නොවේ..
අප මේ ගෝත්රික ගතිගුණ වලුන් මිදෙන්නේ කවදාද?

නවතම ලිපි