ප්‍රභූ උරුමයේ නිරුක්තිය!

රනිල් වික්‍රමසිංහ විසින් බ්‍රිතාන්‍ය මහා රැජිනගේ මරණය සැල වූ සැනින් ඊට අදාලව සිදු කල

අපරාපරීය ක්‍රියාමාර්ග සහ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම පිළිබඳව පක්ෂව මෙන්ම විපක්ෂවද අදහස් පළවේ. පක්ෂව අදහස් පල කරන අයට අනුව එයට සහභාගී වීම යනු රනිල්ගේ ව්‍යක්ත රාජ්‍ය තාන්ත්‍රිකකභාවය පෙන්නුම් කරන්නකි.

ඔවුන් තවදුරටත් පෙන්වා දෙන්නේ ජේ.ආර්. ජයවර්ධන විසින් වික්ටෝරියා ව්‍යාපෘතියට ආදාර ලබා ගත්තේද මේ ආකාරයට බවය. එසේම මේ අවමංගල්‍ය තුලින් එවැනිම ප්‍රතිලාභයක් ලබා ගත හැකිවේය යන්න ඔවුන්ගේ බලාපොරොත්තුවයි. කෙසේ වෙතත් වික්ටෝරියා ව්‍යාපෘතිය ලංකාව තුළ භාරගෙන තිබුනේ එවැනි කිසිදු ව්‍යාපෘතියක් සිදු කොට නොමැති ඉතාමත්ම ආධුනික බ්‍රිතාන්‍ය සමාගමකි. ලංකාව තුළ එම ව්‍යාපෘතිය සිදුකිරීමෙන්, එය අඩයාලමක් කොට ගනිමින් ලොව පුරා එවැනි ව්‍යපෘති භාරගැනීමට එම සමාගම පසුව සමත්විය. නමුත් එය රැජින හරහා කරවා ගත්තේ කෙසේද යන්න ගැටලුවකි.

 

රැජන1

 

විපක්ෂව අදහස් දක්වන්නට අනුව අවමංගල්‍යයට සහභාගි වීම, සතියක් පුරාවට ජාතික කොඩිය අඩ කුඹු කොට තැබීම, 19වෙනි දින රජයේ නිවාඩු දිනයක් බවට පත්කිරීම යන කාරණා රනිල්ගේ ඇති ගැතිත්වය පෙන්නුම් කරන්නකි. නමුත් පක්ෂව අදහස් පළකරන්නන් හට පිළිතුරු නොමැති වන්නේ අවමංගල්‍යයට සහභාගි වීම, සතියක් පුරාවට ජාතික කොඩිය අඩ කුඹු කොට තැබීම, 19වෙනි දින රජයේ නිවාඩු දිනයක් බවට පත්කිරීම යන කාරණා බ්‍රිතාන්‍ය සමග ඇති රාජ්‍යතාන්ත්‍රික සබඳතා කෙරෙහි බලපාන්නේ කෙසේද යන්නටයි. එනම් ඒ දේවල් එසේ කල බවට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් විසින් බ්‍රිතාන්‍ය ආණ්ඩුව වෙත වාර්තා කල පසුව, බ්‍රිතාන්‍ය ආණ්ඩුව රනිල් කෙරෙහි පැහැදීමක් ඇති කොටගෙන ලංකාව වෙත ආදාර උපකාර කරාවිය යන අර්ථයෙන් ද ? බ්‍රිතාන්‍ය ආණ්ඩුව වැනි ආණ්ඩු තීන්දු තීරණ ගන්නේ ඒ ආකාරයෙන් ද ? එනම් යම් ගැති වීමක්, චාරිත්‍ර විධි ක්‍රම අනුගමනය කිරීමක් ප්‍රාග්ධන තර්කනය කෙරෙහි බලපාන්නේ කෙසේද ?

Queen Elizabeth II, Sri Lanka, Sri Lanka President Junius Richard Jayewardene, Queen's dress designed by Sir Hardy Amies, 22nd October 1981. (Photo by John Shelley Collection/Avalon/Getty Images)

රනිල්ගේ ක්‍රියාකලාපයට පක්ෂව අදහස් දක්වන්නන් හට ඉහත ප්‍රශ්න වලට පිළිතුරු නොමැත. ඔවුන්ගේ පිළිතුරු වල ඇත්තේ රනිල් පිළිබඳව හුදු පුද්ගල අභිනන්දනයක් පමණි.

රැජන3

බ්‍රිතාන්‍ය රජ පවුල කෙරෙහි රනිල්ගේ ඇති මෙම ගැති බව UNPයේම උරුමයයි. UNPයේ නියම කර්තෘවරයා වන ජේ.ආර්. තුළද එය මේ ආකාරයෙන්ම පැවතුනි.

Queen Elizabeth II, Sri Lanka, Sri Lanka President Junius Richard Jayewardene, Prince Philip, Duke of Edinburgh, 22nd October 1981. (Photo by John Shelley Collection/Avalon/Getty Images)

 

මුලින්ම රූපවාහිනියේ විකාශනය කල ලංකාවේ බොහෝ දෙනෙකු නැරඹු වැඩ සටහන වූයේ චාල්ස් සහ ඩයනාගේ විවාහයයි. ඒ 1981 වසරේදීය.

රැජන5

වික්ටෝරියා වේල්ල විවෘත කිරීම සඳහා ජේ.ආර්, විසින් රැජනට ආරාධනා කොට තිබුණි. එය ද පැවැත්වූයේ 1981 වසරේය. ඒ සඳහා සියලු පුවත්පත් තුලින් විශාල ප්‍රචාරයක් ලබා දුන් අතර සියලු ගුවන් විදුලි නාලිකා රැජනගේ ශ්‍රීලංකා සංචාරයේ සියලු අවස්ථා සජීවීව විකාශය කරන ලදී.

 

1981 වසරේ ලංකාව තුළ රූපවාහිනිය නිල වශයෙන් පිහිටුවා නොතිබිණි. නමුත් රැජිනගේ සංචාරයට අදාලව පටිගත කරන ලද වැඩ සටහනක් රූපවාහිනය ඔස්සේ  දිනපතා රාත්‍රියේ විකාශය කරන ලදී. රූපවාහිනිය ඔස්සේ විකාශය කල ප්‍රථම එවැනි වැඩසටහන එය විය යුතුය. බ්‍රිතාන්‍ය මහ රැජන දෙවරක් ලංකාවට පැමිණ ඇති අතර ඒ දෙව‌රෙහිම රාජ්‍ය බලය හිමිව තිබුනේ UNPයටය.

 

රැජන6

 

පෘතුග්‍රීසීන්ගෙන් ආරම්භ වූ ලාංකීය යටත් විජිතකරණය, ධනවාදයේ ආරම්භක රට වන ඕලන්දය විසින් ද ග්‍රහණය කොට ගැනීමෙන් පසුව, කූටප්‍රාප්තියට පැමිණෙන්නේ ඉංග්‍රීසීන් ශ්‍රී ලංකාව යටත් කොට ගැනීමෙන් පසුවයි. ජේ.ආර්. ඇතුළු ඔහුගේ අනුප්‍රාප්තිකයින් සඳහා අවිඥානික වන්නේ මෙම උරුමයයි. එය ඔවුනට පමණක් නොව ඔය මොන කතා කීවද සමස්ත ශ්‍රීලංකාවාසීන් සතුවම යම් යම් මාත්‍රා වලින් ඇත. නමුත් ඒ සඳහා මේ වන විට උග්‍ර ලෙසම හිමිකම් කියනුයේ සහ එය භක්තිමත්ව නියෝජනය කරනුයේ ජේ.ආර්. උරුමයේ අනුප්‍රාප්තිකයින්ය.

 

රැජන7

 

රනිල් බ්‍රිතාන්‍ය රජ පවුල වෙත මෙතරම් ගැතිව ඇත්තේ ඔවුන්ගේ ප්‍රභූත්ව උරුමයේ නිරුක්තිය ඇත්තේ ඒ තුළ බැවිනි. ඔහුට අනුව ලංකාව ගෝත්‍රික ස්වභාවයෙන් මිදී ශිෂ්ටත්වය උරුම කරගත්තේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය හරහාය. එසේම ධනවාදයේ මූලික අඩිතාලම දැමූයේ ඔවුන්ය. එසේ තිබියදී ඔවුනට රජ පවුලට ගැති නොවිය හැකිද ?

 

රැජන8

 

උරුමය පිලිබදව රනිල්ට ඇති හැඟීම් හොඳින්ම සංකේතවත් කරන සිදුවීම වන්නේ රැජිනගේ අවමංගල්‍යට සහභාගී වීම සඳහා රනිල්ගෙන් පසු UNPයේ අනුප්‍රාප්තිකයා ද රැගෙන ගොස් තිබීමයි.

 

රැජන9

 

2001 වසරේ රනිල් අගමැති වරයා බවට පත් වී කල පළමු කාර්යය වූයේ නත්තල සහ 2002 අලුත් අවුරුද්ද වෙනුවෙන් කොළඹ ආලෝකමත් කිරීමයි (කොළඹට හිම නොවැටුනද ඔහු එහි සිරි නරඹන්නට ඇත). නත්තල සහ අලුත් අවුරුද්ද වෙනුවෙන් එසේ කිරීමෙන් ඔහු බලාපොරොත්තු වූයේ මෙරට ගොඩනැගී ඇති සිංහල බෞද්ධ සම්ප්‍රදාය වෙනුවට බටහිර-ක්‍රිස්තියානි සම්ප්‍රදාය නගා සිටුවීමයි. ඔහු එයට එසේ මුලපිරුවේ රට නවීකරණයට තිබූ බාධාව ඉන් ඉවත් වනු ඇතැයි ඔහු සිතූ බැවිනි (නමුත් ඔහුගේ එම ස්ථාවරයම ඔහුගේ පරාජයට හේතු වූ අතර රනිල් බලාපොරොත්තු වූ ආකාරයෙන්ම නොවුනද රනිල්ට අවශ්‍ය කටයුතු සිංහල බෞද්ධත්වය තුළ වඩා හොඳින් ඉෂ්ට කිරීමට රාජපක්ෂවරු සමත්විය). ඉන් පසුව 2002 වසරේදී පෘතුග්‍රීසීන්ට යටත් වී අවුරුදු 500ක් පිරීම නිමිත්තෙන් පෘතුගාලයේ ජනාධිපතිවරයා සහ බ්‍රගැන්සා ආධිපාදවරයා ලංකාවට ගෙන්වා උත්සවයක් පැවැත්වීමට රනිල් විසින් කටයුතු සැලසුම් කරන ලදී. නමුත් එයට එකල ජ.වි.පෙ. සිටි විමල් වීරවංශ ප්‍රමුඛ සිංහල බෞද්ධ පාර්ශ්වයෙන් එල්ල වූ දැඩි විරෝධතා හේතුවෙන් උත්සවය පැවැත්වීමට හැකි නොවීය.

 

රැජන10

යටත්විජිතකරණයේ ඍජු නියෝජනය UNPයයි. අනෙකුත් දේශපාලන පක්ෂ එය නියෝජනය නොකරන බව ඉන් අදහස් නොවේ. එසේම පොදු ජනයා තුලින් ද නියෝජනය වන්නේ එයයි (ප්‍රජාතන්ත්‍රවාදයේ ආත්මය, එනම් විද්‍යාවේ ආත්මය).

 

දැන් කෙනෙකුට විමසිය හැක්කේ මේ සටහන තුළින් පවසන්නේ නැවතත් පෘතුග්‍රීසි යුගයට පෙර පැවතී තත්වය සොයා යා යුතු බවක් පැවසෙන්නේ ද යන්නයි. මේ තුළින් කිසි විටකත් එවැන්නක් අදහස් නොකරයි. එකල පැවතී තත්වය කුමක් වුවද, එහි හොඳ නරක කිනම් ආකාර වුව ද නැවත කිසිවෙකුටත් එම තත්වය සොයා ගැනීමට හෝ එය නැවත ප්‍රතිස්ථාපනය කල නොහැකිය (විමුක්ති දේශපාලනයේ කාර්ය වන්නේ පවතින අධිකාරීත්වයට එරෙහි වීම සහ අධිකාරීත්වය තුරන් කොට දැමීමයි). නමුත් ඉන් යටත් විජිතකරණය කිසි ලෙසකින් සාධාරණීකරණය නොකෙරේ. එසේම එය විය යුතු අනීවාර්යතාවයක් ලෙස ද නොසලකයි. වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදය සංස්ථාපනය වී ඇත්තේ එම ම්ලේච්ඡ, සාහසික, අනුකම්පා විරහිත, කෘර යටත් විජිතකරණය තුළිනි. එනම් වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදයේ සංස්ථාපිතයම යනු අතීත බලහත්කාරයකි.

රැජන11

 

ධනවාදයට එරෙහි බව පවසන වාමාංශිකන් හට රනිල්ගේ ස්ථාවරයට එරෙහි විය හැක්කේ යටත්විජිතකරණය අනීවාර්යතාවයක් ලෙස ඔවුන් විසින් පිළිගත්ත ද නිදහස් සටන ද (ජාතික විමුක්ති ව්‍යාපාර) එසේම අනීවාර්යතාවයක් ලෙස පිළිගැනීම තුළ සහ සමාජවාදය ඊළඟ අනීවාර්යතාවය ලෙස පිළිගැනීම තුළම පමණි. එසේම පශ්චාත් මාක්ස්වාදීන්ට ඔවුන්ගේ ආපතිකත්ව න්‍යාය තුල සිට කුමක් පැවසුව ද ඔවුන්ට ද ඔවුන් විසින් යෝජනා කරන රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශය තුළ අවිඥානික වන්නේ එම අනීවාර්යතාවයයි.

 

රැජන12

 

එම අර්ථය තුළම වාමාංශිකයින්ගෙන් වෙනස්ව රනිල් වඩාත් කැමැත්තක් දක්වනුයේ ඇමරිකානු අතවැසිභාවයට පත්වීමටය. ඔහු 2004 වර්ෂයේ එවකට ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ් මුණගැසීමට ගියේය. ඔහුට බුෂ් වෙතින් ලැබී තිබුනේ විනාඩි 5ක පමණ කාලයකි. එහිදී දැකගත හැකිව තිබූ වැදගත්ම සිද්ධිය වන්නේ ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා අගමැතිවරයාගේ පිටට දෙවරක් තට්ටු කිරීමයි. රනිල් එයට අනුකූලතාවය දක්වමින් යම් පමණකට කොන්ද නවා සහාය දැක්වීය. එය දැකීමේදී සිහි ගැන්වෙන්නේ බල්ලෙකු ඌට පැවරී ඇති යම් කාර්යයක් සාර්ථකව ඉටු කල පසු එම බල්ලාගේ පිටට ගසන ස්වාමියා සහ ස්වාමියා වෙත අනුකූලතාවය දක්වන බල්ලාය.

 

රැජන13

 

@ ස්පාර්ටකස් ලිපි

@spartacus.lk

නවතම ලිපි