ධර්මපාල තුමා, බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ, දහනම වැනි සියවස අගදී ඇති වූ නූතන බෞද්ධ පුනරුදයේ පුරෝගාමීයෙකි.
ධර්මපාලතුමා ගැන කෙටියෙන් ම හඳුන්වන්නේ නම් එතුමා ථෙරවාදී බුද්ධාගම ලෝකය හමුවට ගෙන ගිය ධර්මප්‍රචාරකයෙකි. එම ව්‍යායාමය ලංකාවේ ඵල නොදරන්නට බලපෑ හේතු කාරණා අතර ප්‍රධාන වූ ලක්වැසි සමාජයේ අවිචාරය අද, එදාටත් වඩා දරුණුය. තවත් වැදගත් හේතුවක් නම් එතුමාගේ ව්‍යායාමය ලක්පොළොවේ දේශපාලනයට සම්බන්ධ නොවීමයි. බ්‍රිතාන්‍ය පාලනය තමන් වෙත අත්පත් කර ගන්නට පමණක් කල්පනා කළ ‘කළු සුද්දන්’ හෙවත් ‘ප්‍රභූ පැළැන්තිය’ ඉදිරිගාමී දැක්මක් නැති පුස්සන් කල්ලියක් වීමත් ධර්මපාලතුමාගේ ව්‍යායාමය හුදෙකලා වීම කෙරෙහි බලපෑවේය.
 
ඉන්දියාවේ හින්දු පුනරුද ව්‍යාපෘතිය බලගැන්වීමට මූලික වූ ස්වාමි විවේකානන්දගේ මැදිහත්වීමට වටිනා අගයක් ලැබීම ගැන මෙහිදී සසඳා බලන්නට හැකිය. ඉන්දියානු ජාතික කොන්ග්‍රසය ප්‍රමුඛ ඉන්දියාවේ ප්‍රභූ පැළැන්තියත් මහත්මා ගාන්ධිගේ දේශපාලන සටනත් බෙංගාලයේ බුද්ධිමය මැදිහත්වීමත් නූතන ඉන්දියාව ගොඩනඟන ඉදිරිගාමී දැක්මකින් එකපෙළට සිටගත් නිසා ස්වාමි විවේකානන්දගේ උත්සාහය අපතේ ගියේ නැත. හින්දු ආගම ගැන යුරෝපයට දැනගන්නට සැල්ස්වූයේ 1893 දී අමෙරිකාවේ විකාගෝ නුවර පැවති ලෝක ආගම් පිළීබඳ දෘෂ්ඨි සම්මේලනයට ස්වාමි විවේකානන්දගේ සහභාගීත්වයයි. බුදුදහම ගැන යුරෝපයට පළල් පණිවිඩයක් ලැබෙන්නේ ද එම සමුළුවට සහාභාගී වන ධර්පාලතුමාග් මැදිහත්වීම නිසාය. එහෙත් ධර්මපාල තුමාගේ උත්කෘෂ්ඨ බලාපොරොත්තුව වූ මහන උපසම්පදාව සියම් නිකායෙන් ප්‍රතික්ෂේප කිරීමට තරම් ලංකාවේ බෞද්ධයන්ට එතුමා නොවැදගත් විය.
 
බෞද්ධ සංස්කෘතියෙන් හැඩගැසුණාය කියන ලක්වැසි සමාජයේ අවිචාරයට සහ එහි පිළිබිඹුවක් වන ලංකාවේ දේශපාලන නායකත්වයට, ධර්මපාලතුමා වටිනා චරිතයක් ලෙස දැනෙන්නේ නැත. එම අවිචාරය ගැන ධර්මපාලතුමා දැන සිටියේය. එහෙත් සුද්දාට (බ්‍රිතාන්‍ය පාලනයට) එරෙහි සටන සඳහා ජනප්‍රියවාදීව ගත්, ‘ශිෂ්ටාචාර ලකවැසියා ( සිංහල බෞද්ධ සමාජය) විනාශ කළේ සුද්දා’ යන සටන් පාඨය හිස් අවකාශයට මුසුව ගියේ ලක්වැසි අවිචාරය ම තහවුරු කරමිනි. තම දියුණුවට බාධාව සුද්දාය යන අදහස, තම සතුරා අනෙක් ජාතියක්ය, තමා ළඟම අනෙකාය යන ජාතික චින්තනය තවදුරටත් තහවුරු කිරීමයි ධර්පාලතුමාගේ ව්‍යායාමය අවසානයේ රටට ඉතිරි කරන්නේ.
 
ධර්මප්‍රචාරකයකු ලෙස එමෙන්ම යටත් විජිත පාලනයට එරෙහි වූ සටන්කාමියකු ලෙස ධර්මපාලතුමා ගැන දුටු දේශපාලනය නායකයකු සමකාලීනව හමුවෙයි. ලක්වැසි අවිචාරය විචාරශීලී මඟට ගැනීම පිණිස සැමට අධ්‍යාපනය ලබන්නට හැකි සර්වජන අධ්‍යාපනය සඳහා සිංහල ජනනායකයන් අතර ප්‍රමුඛයා වූ එම චරිතය දොන් බාරොන් ජයතිලක වේ. අවසානයේ සර්වජන අධ්‍යාපනය ද ලක්වැසියා යොදා ගත්තේ අනෙකා පරදවන තරගය සඳහා පමණි. කෙසේ වෙතත් ධර්මපාලතුමාගේ ආගමික සටන්කාමී මඟ හා බාරොන් ජයතිලකගේ දේශපාලන බුද්ධීමය මැදිහත්වීම එක වේදිකාවකදී මුනගැසුණේ නැත.
 
එය ලංකාවට විශාල මඟ වැරදීමකි. එවැනි මඟඇරීම් ගණනාවක් දිගින් දිගට පසුකරමින් පැමිණි රට ධර්මපාලතුමාගේ 158 වැනි සැමරුම් අවස්ථාවේ දී බංකොලොත් රාජ්‍යයක් ලෙස නම් වී සිටියේය. ලක්වැසි බහුතරය බ්‍රිතාන්‍ය පාලන සමයටත් වඩා අවිචාරයකින් යුතු විය. ධර්මපාල තුමාටත් බාරොන්ටත් දෙදෙනාට දෙදෙනා මඟඇරිණි.
 
@ලක්ෂමන් පියසේන

නවතම ලිපි