මං පුංචි කාලෙ ඉඳන් හොයපු දෙයක් තමයි ලෝකයේ ”හොඳ මිනිස්සු”සහ ”නරක මිනිස්සු” කියල වෙන් වෙන් වශයෙන් දෙකොට්ඨාශයක් ඉන්නවද කියන කාරණය.

මොකද, මගේ කුඩාකාලයේ වැඩිහිටියෝ බහුතරයක් දෙනා, ලෝකෙ සමහරක් උදවිය හොඳ මිනිස්සු විදිහටත්, තවත් සමහරක් උදවිය නරක මිනිස්සු විදිහටත් නාමකරණය කරනව මං දැකල තිබුණ.

සාමාන්‍යයෙන් ළමාවියේ දී, දරුවන් තමංගෙ හිත්වල ගැටළු විසඳගන්නේ සාපේක්ෂ අරුත්වලින් නෙවෙයි. ළමයින් තමංගෙ ගැටළු විසඳගන්නෙ නිරපේක්ෂ අරුත්, විනිෂ්චයන් සහ නිගමනයන්වලින්. ඒ කියන්නේ කවුරුහරි ”හොඳ නම් හොඳයි, නරක නම් නරක ම තමයි”.

මං මේ හෙළිදරව් කරන්නට යන්නේ, රටක වැඩිහිටි රටවැසියින්ට ළමා ගතිගුණ පිහිටා ඇති කල, ඒ රට ගොඩදමා දෙන්නට සිටින සැබෑ සුවිශේෂී පෞර්ෂයන්ට ඒ පොදු රටවැසියන් විසින් සිද්ධ කරන අලකලංචි ගැන යි.

බලන්න, ...

දේශපාලනය තුළ හෝ දේශපාලන නියෝජිතයින් තෝරා ගැනීමේ දී හෝ සිරි-ලංකාවේ ඉන්න ජීව-විද්යාත්මකව වැඩිහිටි මහජනතාවත් සංස්කෘතිකව ගත්කල මේ පොඩි ළමයි වගේ තමයි. කවුරුහරි හොඳ නම් හොඳයි, නරක නම් නරක ම තමයි. මෙහිදී ඔවුන්, දේශපාලනයෙහි යෙදෙන්නට, සාපේක්ෂ විමසුමක් ඇති සමබර සහ සමාන්තර කියවීමක් අනුගමනය කරන්නේ නැහැ.

ලක් කොදෙව්ව ඇතුළේ මේ දක්වා ”කැපුවත් කොල”, ”කැපුවත් නිල්” සහ ”කැපුවත් රතු” වැනි සංකල්ප සහ ඊට අදාළ බොළඳ දේශපාලන භාවිතා ද බිහිවී විහිද-විසිර-පැතිරී පවතින්නේ, යම් දේශපාලනයක් නියෝජනය කිරීමේ දී හෝ අනුමත කිරීමේ දී, ඊට අදාළ දේශපාලකයින් සහ බහුතර ජනයා ළමුන් සේ නිරපේක්ෂ මානසිකත්වයකට ඇදවැටෙන දේශපාලන සංස්කෘතියක් රට තුළ අධිනිෂ්චය වී, කාලයක් පැවතී තිබීම නිසයි.

මේක මේ රටේ සාමාන්ය නූගත් බහුතර ජනයා අතර විතරක් පැවතුන සහ පවතින භාවිතයක් නෙවෙයි. ඉංජිනේරුවන්, වෛද්යවරුන්, නිතිවේදීන් හෝ වෙන මොනයම් නූතන වෘත්තියක නියැලිලා ඉන්න අයෙක් වුණත්, තම වෘත්තීය වැඩකටයුතු කරද්දී ඉතා තාර්කිකව සහ විෂයානුබද්ධව තම වැඩකටයුතුවල නියැලිලා, පසුව දේශපාලනයට අඩිය තියපු ගමං, අවිඥානිකව ම අර කියපු අතාර්කික වූ ”කැපුවත්” නැමති නිරපේක්ෂ ළමා මනෝභාවයට ඇදගෙන වැටෙනවා. මෙය මිනිසාගේ භවය ඉහළට එසවීමක් නෙවෙයි, පහළට ඇදගෙන වැටීමක්.

 aravinda3

ඒ නිසා ලක් කොදෙව්ව ඇතුළේ”දේශපාලනය” කියන විෂය සහ ”දේශපාලකයා” කියන අනන්යතාවය සම්බන්ධයෙන් පොදුජන විඥානය තුළ පවතින චෛතසික චිත්රය හැමවිටම ”අතාර්කික, අවිද්යාත්මක සහ අසංස්කෘතික” දිසාවට බරවුණු විනිෂ්චයන් සහිතව නිර්මාණය වුණු සහ පවත්වාගෙන යනු ලබන්න ප්‍රපංචයක්.

ඒ නිසා තමන්ගේ පක්ෂයේ නායකයා අමූලික වැරැද්දක් කළත්, ඒක මධ්යස්ථව විවරණය කරගැනීමේ පොදු දේශපාලන සංස්කෘතික භාවිතයන් ශ්රී ලංකාව තුළ අදටත් අවම යි. ඉතිං දේශපාලකයින් ජනතාවගේ ළමාකම හුරතල් කරන අතර, ජනතාව දේශපාලකයාගේ වැරදි ඉදිරියේ එයාව ළමයෙක් ගාණට සලකා දිගින් දිගට ම සමාව දෙමින් හුරතල් කරමින් පවතිනව. මේ අවභාවිතය සමාන්යකරණය වී ඇති නිසා, එය ප්‍රශ්න නොකළ යුතු සාමාන්ය තත්වයක් විදිහටයි, රටේ දේශපාලන කේන්දරේ මත ලියැවිලා තියෙන්නේ.         

මේක දේශපාලන නායකයින් විසින්  ම පටන් ගත්තු අවභාවිතයක් විතරක් ම නෙවෙයි. මේක දිගු කලක් තිස්සේ රටේ පොදු-ජනතාවගේ සහජාසය තුළින් ම ගොඩනැංවිලා අවිත් සදා-සමරනු ලබන්නා වූ ද, රටෙන් භාහිර ලෝකයේ ජනයාට අරුමසහගත වූ ද අමුතු ම ප්‍රපංචයක්. සංවර්ධිත ලෝකයට පොදු වූ නූතන හෝ නව-නූතන දේශපාලන විෂයන්ට අනුබද්ධව ගත්කල, මේ ”කැපුවත්” නැමති ලාංකීය භාවිතය පිස්සුවක්. ඒ වුණාට, ඒක තමයි මේ කොදෙව්වේ ”රියල් එක” සහ ”සාමාන්ය එක” වුණේ සහ වෙමින් පවතින්නේ. ”කැපුවත්” සංකල්පය සහ එහි භාවිතය යනු ලාංකේය දේශපාලන සංස්කෘතිය ඌන-සංවර්ධිතව පවතින බව අපට ප්රක්ෂේපනය කරදෙන නියත පිළිඹිබුවක්.

ඉතිං ඒ නිසා කවුරුහරි යහපත් දේශපාලකයෙකුට හෝ යහපත් චන්ද-දායකයෙකුට මේ ”කැපුවත් කොලිටිය” නිසා සමාජය තුළ ඇති කරන තත්වය(Social-Condition) පිටුදකින්නට, එරෙහිව යන්නට හෝ ප්රතික්ෂේප කරන්නට උවමනා වී එය ක්රියාවට නැංවුවහොත් එහෙම, ඒක ද්‍රෝහීකමක් විදිහටයි පොදුජන සිත්-සතන් විසින් කියවාගන්නේ. නමුත් මේක ද්‍රෝහීකමක් කියා මතයක් තමන් තුළ තහවුරුවෙන්නට පෙර, අර ”කැපුවත් කොලිටියේ” සාමාජ දේශපාලනික හරය කුමක්දැයි විමසිය යුතු බව පුරවැසියාගේ මතකයට එනවාද?..

නෑ!!!, ...

මේ බහුතර ජනයාට අර ”කැපුවත් කොලිටිය” කියන පාට කණ්නාඩියෙන් එහා පේන්නේ නැහැ. ඒ නිසා කවුරුහරි මේ කැපුවත් කොලිටියට එරෙහි පෞර්ෂයක් විදිහට දේශපාලනය ඇතුළේ වැඩකටයුතු කළොත්, බහුතර ජනයා එක්කෝ අන්දුන්කුන්දුන් ස්වභාවයකට පත්වෙනවා. නැත්තං නොදැනීම සහ නොදැනුවත්කම නිසා ම ඇත්තට ම ස්නායු නෑ වගේ ”ඔහේ අතහැරල දාල” ඉන්නව. එහෙමත් නැත්තං එය ද්රෝහිකමක් විදිහට සලකල චෝදනා කරනව.

ඒ නිසා ශ්රී ලාංකාවේ බහුතර ජනයා තම ජීවන හරයෙන් ම සැබෑ ”යහපත් දේශපාලනය” සහ සබෑ ”යහපත් දේශපාලකයා” කියන සංකල්ප සහ ඒවාට අදාළ ක්රියාකලාප ගැන අවිඥානික යි. ඒ හින්දා, ජනතාව හැමවිට ම චන්දය දෙන්නට පෙර කියූ යහපත් දෙය නෙවෙයි, චන්දය පාවිච්චි කිරීමේදී කරන්නේ. දේශපාලකයා ද චන්දය පවත්වන්නට පෙර කියූ යහපත් දේවල් නෙවෙයි, චන්දයෙන් පසුවට කරන්නේ. ඉතිං  මේ දෙගොල්ලෝ ම එකම කාසියේ දෙපැත්ත.

මෙහිදී මංගල සමරවීර කියන මිනිසාගේ දේශපාලන සංස්කෘතිය සහ භාවිතයට අදාළ ඉම් පෙදෙස, ලාංකීය පොදු-සමස්ත දේශපාලන සංස්කෘතියට අයත් බහුතර දෙනෙකුට අවිඥානික යි. ඔහු කළේ කුමක්දැයි ඔවුන්ට තවමත් හසුවී නැහැ. ඒ නිසා ඔහු කළ කී දේවල් වලින් එහෙන් මෙහෙන් පහුරුගාගත් ඇබිති කොටස් තම තමන්ට අවැසි පරිදි පුරුද්දාගෙන හදාගත් විවිධ විකාර අදහස් සැකසුම් තමයි හාත්පස පවතින්නේ. ඒකට හේතුව මංගල පිළිබඳ සමස්ත චිත්රය ලක් ජනයාට සහ දේශපාලකයින් බහුතරයකට අවිඥානික වීම.

ඒ නිසාම ඔහු සුරක්ෂිතයි!      

aravinda5

 

මොකද, මීට පෙරදිනයක ඒ බව ජනයාට සවිඥානික වුණා නම්, සමහරවිට මංගලට මැරෙන්න සිද්ධ වෙන්නේ ස්වභාවිකව නෙවෙයි.

ඒකට හේතුව වන්නේ, ලක් දේශපාලනය තුළ සිදුවිය යුතු ගතිකත්වයට එරෙහිව පවතින ”කැපුවත්” ස්ථිතිකත්වය විසින් ජීවවිද්යාත්මකව ප්රචන්ඩ වූ ඇඞ්රිනලින් සාරය ගැලීම නියෝජනය කිරීම යි.

මගේ කල්පනාවෙ හැටියට ඩඞ්ලි සේනානායක, එන්. එම් පෙරේරා, සර් ජෝන් කොතලාවල, ජේ.ආර්. ජයවර්ධන, රෝහණ විජේවීර කියන්නෙත් මෙන්න මේ ”කැපුවත්” කියන ඌන-සංවර්ධිත දේශපාලන සංස්කෘතිය පයිසෙකට ගණන් නොගෙන අත්හදා බැලීම් කරන්න හදපු දේශපාලන පෞර්ෂයන්.

මේ අතරින් ජේ. ආර් ජයවර්ධන කියන්නේ, එකී ”කැපුවත්” කොලිටිය තම දේශපාලන ජය උදෙසා නිර්දය ලෙස යොදාගන්නට තරම් උපායශීලී වූ සහ රටේ බහුතරයකගේ හිත්වලට අදටත් විසඳගන්න බැරිව පවතින්නා වූ නවීකාරක උභතෝකෝටික පෞර්ෂයක්.

ජේ.ආර්ගේ උපායශීලීත්වය කූටප්රාප්තියට පත්කරපු රනිල් වික්රමසිංහ කියන්නෙත් ”කැපුවත් ශ්‍රිලනිප” කොලිටිය සහ ”කැපුවත් එජාප” කොලිටිය බලූකරමින් මෑතකදී පාරලිමේන්තුව තුළ චන්දයකින් ශ්‍රිලනිප ඡන්ද බහුතරයක් යොදාගෙන ජනාධිපති වෙලා ජන හිත්වලට තෙරුම් ගැනීමට අසීරු උභතෝකෝටිකයක් බවට පත්ව සිටින දේශපාලන පෞර්ෂයක්. සමහර විචාරක උදවිය සහ දේශපාලන විරුද්ධවාදීන්ට අනුව නම්, රනිල් කියන්නේ ඌරගෙ මාළු ඌරගෙම ඇඟට තියල කපන ජාතියේ හෘදසාක්ෂියක් නැති නූල්සූත්තරවාදියෙක්. නැතිනම් බලයට කෑදරව හදිසියේ තනතුරු භාරගන්නා අසැබි පුද්ගලයෙක්.

 

aravinda4

 

මේ රටේ බහුතරයක් උදවිය (විශේෂයෙන් ගැමියො) තම සිත් සතන්වලට උභතෝකෝටික වන  ඕනෑ ම නායකයෙකුගේ නායකත්වය අත්විඳින්නට සිදුවූ කල්හි, ඒ නායකයාගේ පෞර්ෂය ගැන හදාරා උභතෝකෝටිකය විසඳගන්නට වෙහෙසෙන්නේ නැහැ. මේ රටේ බොහෝ වැසියෝ කරන්නේ, තමන්ට උභතෝටික නායකයින්ට ලේබල් එකක් අලවල, එහෙමත් නැත්තං ඒ නායකය විසින් කරනු ලබන සම්මතයට පටහැනි ක්රියාකලාපයක් පමණක් හුවාදක්වමින් අපකීර් තියට පත්කරල, එහෙමත් නැත්තතං ඒ නායකයගේ පුද්ගලික මනුස්ස දුර්වලතාවක් එළියට ඇදල, මොන නෙයියාඩමකින් හරි ඒ නායකයව රිජෙක්ට් කරන මාර්ගයක් පාදගන්න එක යි. ඒ හරහා මේ ජනතාව ඒ නායකයාව සමබරව විශ්ලේෂණය කරගන්න තියෙන තම සමාජ වගකීමෙන් නිවාඩු යයි.

මේ අවක්රියාව නිසා ඔවුන්ට ඒ නායකයාගේ සමස්ත ජීවන පෞර්ෂය මගහැරී යයි. ඉතිං ඒ නායකයට විරුද්ධව වැඩකරන්න ගිය විටත් විෂය අනාගැනීමට සිදුවෙයි. පෙරදා ජවිපෙට ජේ.ආර් සහ රන්ජන් විජේරත්න සම්බන්ධයෙන් වැළඳී තිබූ, වත්මන් ජවිපෙට රනිල් සම්බන්ධයෙන් අදටත් වැළඳී තිබෙන රෝගය  ඕකයි. ඒ නිසා ජවිපෙ එදා ජේ.ආර් ට පැරදුනා, රන්ජන් විජේරත්නටත් පැරදුනා. අද රනිල්ටත් පැරදෙමිනුයි පවතින්නේ. (ඒ යථාව වෙනස් කරගන්න  ඕන නම් මේ ලිපයෙන් කියැවෙන යටිපෙල අල්ලගන්න අනුර කුමාරයෝ.)

ඒ නිසා රනිල්ගේ කැපුවත් පාක්ෂිකයින් නොවන රටේ ප්රධාන දේශපාලන පක්ෂ සහ පොදු ජනයාට අනුව, රනිල් කියන්නේ රාජපක්ෂලාගේ අතකොලූවක් හෝ රනිල් නොවන ”වෙනත් යමක්”. රනිල්ගේ කැපුවත් පාක්ෂියන්ට අනුව රනිල් තමයි රටේ මාර ම එක.

සාමාන්ය නොදැනුවත්කම කියන තත්වයට හසුු වූ  ඕනෑ ම හීනමානයෙන් පෙලෙන මිනිහෙකුගේ හිත නැඹුරු වෙන්නේ, තමන්ට නොතේරෙන  ඕනෑ ම පෞර්ෂයක්, එම පෞර්ෂය ”නොවන යමක්” ලෙස හුවා දැක්වීමට යි. ඒ හරහා අදාළ පෞර්ෂය විශ්ලේෂණය කරගැනීමේ අසීරු වගකීමෙන් ද ගැලවී පලායාමට ඒ නොදැනුවතාට ඉඩ සැලසෙයි. අත්වැරැද්ද ගොඩනැංවෙන්නේ, ඒ ”නොවන යම” ඇත්තක් ලෙස ජනයාට කියාදෙන මිනිසාට අනෙක් මිනිසුන් ඇහුංකන්දීමෙනුයි. රටක බහුතරයක් දෙනා ”නොවන යමක්” ඇසූ සැනින් එය ඇත්ත යමක් ලෙස හිතේ පැලකරගන්නා උදවිය වන විට, එයින් යටකී ”නොවන සංකල්පය” මහා කතිකාවක් (Discourse) ලෙස ස්ථාපිතවීම ඉක්මන් කරවයි. අදාළ විෂයට විරුද්ධ කතිකා හිස එසවීමෙන්, ඒ අනුව සිතන්නට යන මිනිසා තම අනාගතය පරාජය කරගනීි.

ඉතිං මේ විදිහට බලපුවහම සිරිලංකාව කියන්නේ අතිශය මායාමතික රටක්.

කතන්දර ලෝකවල ජීවත් වෙන සහ ඒ කතන්දර අනුසාරී මතවාදවලින් ආතුර වූ මිනිස් ශරීර රොත්තක්.

ඒ අනුව පන්සිය පනස් ජාතක කතා ඇතුළු අනෙකුත් කටපාඩමින් කියවන ආගමික කතා ද, කුකුළ කොටන සේ පොත පතින් එහෙන් මෙහෙන් අහුලාගන්නා කතා ද, රාම රාවණා ගැන හිතූ මනාපේ ගොඩනගපු කතාද, එපිසෝඞ් දාහ දෙදාහ ඉක්මවා යන ටෙලි කතා ද, ලෙනින්ගේ වෙළුම් දොලහ අනුව කටපාඩමින් ගොතාගත් සැබෑ සමාජවාදය නොවන සමාජවාදී කතා ද,  යුරෝපේ හෝ වෙනයම්  ඕනෑම රටක විද්වතෙකුගේ න්යායන් කට පාඩමෙන් හදාගන්නා කතා ද, පරිවර්තන සාහිත්යය කියවීමෙන් පසුව ඒ රටවල දේ මේ රටට ඈඳා පරිකල්පනයෙන් හිතේ ඇඳගන්නා කතාද, දේශපාලන වේදිකා, මාධ්ය හමු සහ යූටියුබ් වීඩියෝවල කරන කියන කිව්ව නාහන කතා ද, පාරලිමේන්තුවේ, අමාත්යාංශයේ, දෙපාර්තමේන්තුවේ, සංස්ථාවේ සහ අනෙකුත් රැකියා ස්ථාන සහ ආගමික ස්ථානවල කතා ද, බස් එකේ, කෝච්චියේ, මහපාරේ හෝ වෙනත්  ඕනෑම කාණුවක් බොක්කුවක් ගාණේ කිය කියා යන අවලං කතා ද, හිතූ මනාපෙට එවලෙට ගොත ගොතා ෆේස්බුක් එකේ ඔඩුදුවවන වැල්වටාරම් කතා ද යනාදී මෙකී නොකී විෂය-විරෝධී සහ යථා-විරෝධී කතාවලින් ගොඩනගා දෙන සිතිවිලි මළ-නහුතයකින් හිත් පුරවගත්තු ආතුර මිනිසුන් බහුතරයක් ඉන්න රටකුයි මේක.

සිතීම පැහැදිලි නැති රටකට පරාජය උරුම වීම සාමාන්ය දෙයක්! පැහැදිලිව හිතද්දීත් පරාජය උරුම වෙනව නම් තමයි ඒක අසාමාන්ය වෙන්නේ. මගේ කල්පනාවේ හැටියට අරගලය කියන ජන රැස්කෑම පැරදී යාම සාමාන්ය දෙයක්! මොකද ඒක පැහැදිලිවට හිතල කරපු දෙයක් නෙවෙයි.

ඒ නිසා මේ වගේ රටක වස්තුමූලික(Objective) හෙවත් අරමුණක් පෙරදැරිකරගත් සංවාද අවමයි. තියෙන්නේ වරු ගණන් දිග්ගැස්සෙන සංවාදයි. එනම් පොඩි ප්රායෝගික ප්රශ්නයක් විසඳගන්නත් වරු ගණන් සංවාද කරන්න වෙන රටක් මේක. මොකද, ජනතාවගෙන් එකෙකුට යමක් කිව්ව ගමං ඒකේ වස්තුමූලික යථාව (Objective reality) එකවර ඔළුවට යන්නේ නැහැ. මොකද හිත ඇතුළේ කකියන මල-නහුතයක් කතාවලින් අර්තකථනය කරගත් අනවශ්ය වියුක්ත ත ර් ක සහ ප්රශ්න කෙලකෝටියක් එළියට වමාරන ජන සන්නිපාතයකුයි රටේ නාගරික ඉම් පෙදෙස්වල පවා දිවි ගෙවන්නේ.

aravinda10

 

ඉතින් ගැමියෝ ගැන කුමන නම් කතාද?

ඒ නිසා, විෂය දත් අයෙකුට යමක් පැහැදිලි කර දෙන්නට උවමනා නම්, පළමුව අර කියපු වියුක්ත ත ර් ක සහ ප්රශ්න කිරීම්වලට උත්තර දීල හෙම්බත් වෙන්න සිද්ද වෙනව. බොහෝ අය එකපාරකට වඩා මේ වැඩය කරන්න යන්නේ නැහැ. රටේ අල්පතරව සිටින ශාස්ත්රඥයෝ සාමාන්ය වැසියෙක් හමුවුණා ම අව්ව වැස්ස ගැන විතරක් කතාකරල සීරුවෙන් මාරු වෙන්නේ මෙන්න මේ ඇබැද්ධියෙන් ගැලවෙන්නට යි. ඉතිං කවදාවත් විධිමත් ශාස්ත්ර ඥානය සාමාන්ය ජනයා වෙතට කාන්දු වෙන්නේ නැහැ.

මොකද එයාල ඔක්කොම දන්න උදවියනේ. ඒ වගේ අයට කියල දීල වැඩක් නැහැ. එයාලගෙන් ඉගෙන ගන්න තමයි තියෙන්නේ.

මොනවද එයාල දන්නේ?

අර නහුතයක් තරම් කතා ...

ඉතින් පිරුණු බඳුනක් නැවත පුරවන්න බැහැනේ.

ඒ අරුතින් අර කියපු සුළුතර ශාස්ත්රඥයෝ නිවැරදි යි.

ඒත් රටේ සංවර්ධනය පැත්තෙන් ගත්කල මේ සිද්ධ වෙන්නේ නොපෙනෙන ඇක්සිඩන්ට් එකක්.

ප්රශ්න විසඳගන්නවාට වඩා ප්රශ්න ගැන අම්බානක අනවශ්ය දෑ කතාබහ කරමින් කාලය කාදමන කාලකණ්ණි රටක් බවට මේ රට පත්වෙලා තියෙනනේ ඒ නිසයි. ඒ නිසා මිනිස්සු ඉන්නේ හැටහුටාමාරකට බෙදිල. ඒක හින්ද ලෝකේ ලියාපදිංචි දේශපාලන පක්ෂ වැඩිපුර ම තියෙන්නෙත් මේ රටේ වෙන්න  ඕනි. උදාහරණයකට බලන්න, ඝෝටා අගමැතිකම දෙන්න හදනකොට මේ දේශපාලන පක්ෂ ටික හැටහුටාමාරක් කෙස්පැලෙන තර්ක පතුරු ගහමින් පිස්සු කෙලපු හැටි. ඒ වෙලාවෙ ගත්ත නම් දැන් මොනවහරි දෙයක් දිනාගන්න තිබුණනෙ. ඒ වෙලාවෙ අගමැතිකම රනිල්ට යන්න හැරල දැන් පොලිසි ගානෙ යනව ඇප ගන්න.

ජනතාවගේ හිත් එතරම් ම බෙදිලයි තියෙන්නේ.

ජනයා හිතින් මෙතරම් ම බෙදිල ඉන්නේ එතරම්ම හදාරපු අය හින්ද ද?

නැහැ!

එහෙනම්?

පවතින අනදාළ කතන්දර ලෝක නහුතයෙන් තමන් තෝරගත්තු කතා සෙට් එකට අනුව අනික් සෙට් තොරගත්තු අය එක්ක බෙදිලයි මේ ඉන්නෙ.

මොකද සවිඥානිකව කෙස් පැලෙනකම් කතා කරන්නේ දේශපාලන විෂයේ හෝ ආර්-ථික විෂයේ වචන වෙන්න පුළුවන්. ඒත් අවිඥානිකව හිත ඇතුළින් කතාව දිග්ගස්සන්නේ අර කතන්දර මළ-නහුතය.

 

aravinda11

 

ඒ නිසා මේ මිනිස්සුන්ට කියල දෙන්න තියෙන්නේ හරිම පටු ක්රමවේද විතරයි. එකක් තමයි මොකුත් නොකියාම කලින් තේරුන එකා වැඬේ ඉවර කරල දැමීම.(රනිල් කළේ එහෙම එකක්). දෙවෙනි එක තමයි අවබෝධ කරවන්න නොගිහින් ආගමක් විදිහට කටපාඩ ම් කරවීම.(රට තුළ වම සමාජවාදය ස්ථාපිත පකරගත්තේ අන්න එහෙම.)’ එහෙමත් නැතිනම් මුළු අධ්යාපන පද්ධතිය ම ඇමරි-යුරෝ පන්නයකට මුළුමනින් ප්රතිව්යුහගත  කරගන්න වෙනව. එහෙම කරගන්න බෑනෙ.... මොකද රාවණා ඇවිත් එපා කියනවනේ. හැබැයි රාවණාට ගෝලීයකරණය තේරෙන්නේ නැහැ. ඒ නිසා රාවණා බෙල්ලෙ එල්ලගෙන කට්ටිය බඩගින්නේ ඉන්නව.  

මගේ කල්පනාවේ හැටියට, මේ කතන්දර ලෝක මළ-නහුතය ම දැඩි විසංකාරයක් හරහා කුඩුසංසාර කර දමා, ඒවාට ප්රායෝගික ලෝකයෙන් බැහැර කෞතුක අස්ථානයක් සමාජය තුළ හිමිකරදෙන තුරුම, ප්රජාතන්තරවාදය මේ බහුතර ජනයාට ලබාදීමේ තෙරුමක් නැහැ. මොකද එය අනතුරුදායකයි. මොකද කතන්දර ලෝකවල ඉන්න අය ප්රජාතන්තරවාදය පාවිච්චි කරන විනය දන්නෙ නැහැ.

මන්ද ඔවුන් ප්රජාතන්තරවාදය යොදාගන්නෙත් අර ඔළුගෙඩි ඇතුළෙ නලියන සහ කකියන කතන්දර ලෝක සමරන්න විතරයි. අපේ රටේ ෆේස්බුක් එකට ගියොත් මේ අවිධිමත් සිතිවිලි භාවිතය හොඳින් කැඩපත් කරගත හැකි යි. මොන විනයගත දේශපාලන වාද-විෂයක්(Issue) ගැන වුණත්, කිසිදු විෂය හැදෑරීමක් නැතුව අර කතන්දර  ලෝක නහුතයට අනුව හිතට එන තිස්තුන්කෝටියක් කයිකතන්දර අදහස්(Story-telling ideas) තම ”කැපුවත්” කොලිටිය රැකගැනීම වෙනුවෙන් ම විතරක් ප්රකාශ කරන බව තමයි පේන්නේ.  

මේ තත්වය මේ රටේ බහුතරයකට නෝමල් එකක් හින්ද, පොදු ලෝකයට ඇබ්නෝමල් වන බව කාටවත් තේරෙන්නේ නැහැ. ඒකයි අපේ රට පිටරටවල්වලට ජෝක්වීමේ උපරිමයට ගිහිං තියෙන්නේ. සංවර්ධනය වූ රටකට ගිය ලාංකිකයන්ට මේක අහුවෙනව. ගෝලීයකරණය වගේ ප්රායෝගික ක්රියාකාරීත්වය ගැන මෙන්න මේ කතා නහුතය අනුසාරයෙන් පිස්සු කියවන්න ගිහින් කට්ටිය එෆ්බී එකේ මතවාදීව ඇනගන්නව දකිනකොට, වස්තුමූලිකව(Objectively) ගණුදෙනු කරන්න පුරුදුවෙච්ච  ඕනම රටක  ඕන ම කෙනෙකුට අපි කෙලවගෙන ඉන්න බව තේරී, අපිට එය නොතේරීම ද හැඟී, හිනා යනව. මොකද, ගෝලීය ඇල්ගෝ-රිදමයන් අපේ මේ පොදු-ජන ඇටිටියුඞ් එක ඇබ්නෝමල් එකක් බව දත්ත මිලියන ගාණක් ඇසුරෙන් මේ වෙනකොටත් විශ්ලේෂණය කරගෙන හමාරයි. ඔබ ෆේස්බුක් එකේ දාන සියළු දේ පලකරන ෆේස්බුක් පිටු, රටක ජන මනස විශ්ලේෂණය කරගන්නා ඇමෙරි-යුරෝවාදී හෝ චීනවාදී අකාබනික ඇල්ගෝ-රිදමයකට හොඳ තොරතුරු තිප්පොලක් බව දන්වාද? ඔබ අන්තර්ජාලය හරහා ලෝකය තේරුම් ගැනීමට උත්සහ කරන්නේ කොතරම් ද, ඊට සමාන්තරව අන්තර්ජාලය විසින් ඔබ ගැනත් තොරුතුරුත් එතරම් ම රැස්කරගන්නවා. මෙය කරන්නේ අකාබනික ඇල්ගෝ-රිදමයන් විසිනුයි.

තමන්ට ඇහෙන කියවෙන කතාවක් විද්යානුකූලව විග්රහ කරගැනීම බොරු විගඩමක් විදිහට සලකන, ඒ නිසාම දිනපතා දැන හෝ නොදැන හදිසි ජීවන අනතුරු රාශියකට මුහුණ දී දුක්විඳින සහ වෙහෙසකර වන, ඒ අතරතුර අර කතා ම තම ජීවිතය බවට පත්කරගෙන දිවියේ කාලය නාස්තිකර දමා නිස්කාරණේ පොළවට පස්වෙන මිනිස් ශරීර නෙවීද මේ රටවැසියන්ගෙන් බහුතරය? ... 

ඇල්ගෝ-රිදමයන් මෙය නොදන්වනවා කියා ඔබ සිතනවාද?

මංගල කියන්නෙත් ඒ වගේ ජනතාවට නිවැරදිව විශ්ලේෂනය කරගන්නට බැරිවුණු කෙනෙක්. මංගල කියන්නේ මැරෙන තුරුම ”මංගල නොවන යමෙක්” විදිහට බහුතර කොදෙව්වැසි උදවිය විසින් වරදවා වටහාගත් අනන්යතාවක්. නූගත්-පොදු-ජන-ගැමි-විඥානයේ ගොදුරක් බවට සහ නගරවැසියා තුළ පවා උභතෝකෝටිකයක් බවට පත්ව, ඒ නිසාම වැරදි අර්තකථනවලට ලක්ව සිටිය දී මියගිය වටිනා විරල පෞර්ෂයක් මංගල.  

 

මංගි1   

දැන් අපි මේ සැකිලි-දැක්ම පසුබිමෙහි තියාගෙන මංගලගේ ජෙනුයින් පෞර්ෂය කියවමු!

අපි කවුරුත් නොකිව්වට දන්න දෙයක් තමයි, ලංකාවෙ බොහෝ දේ සිදුවෙන්නේ ප්රමිතිගත විෂයන් නොතකා රුවිතෙට බව. රුවිතෙට යාම තමයි මෙහෙ නෝමල් එක. 1994 වසරේ මංගලගේ ලාංකේය දේශපාලන ආගමනයත් එසේ රුවිතෙට සිද්ධවූවක්. එසේ වන්නේ, මංගල කියන පුද්ගලයාහට සිදුවූ මගහැරීමක් නිසා ම නෙවෙයි. එසේ වන්නේ, 1956දී ශ්රීලනිපය විසින් එතෙක් තිබූ සිලෝන් එකේ එංගලන්ත ආර්ථික ඉතිහාසය ම රුවිතෙට යැවීමෙහි අතුරු- ඵලයක් විදිහට යි.

බලන්න, මංගල ලංකාවට එන්නේ එංගලනතයේ නාගරික සංස්කෘතියෙන් හික්මිච්ච චරිතයක් විදිහට.  මංගල කියන්නේ එංගලන්තයේ ඉන්න කාලයේ, ලංකාවේ අතිදක්ෂ බැලේ නර්තන ශිල්පියෙකු වූ චන්ද්රි පීරිස්, බණ්ඩාරනායකගේ දුවණිය වූ චන්ද්රිකා සහ තවත් එබඳු උදවිය සමඟ සාමකාමී යුරෝ-සංස්කෘතිකයට නැඹුරු දිවිපෙවෙතක් ගතකළ අවිහිංසක මිනිසෙක්.

ඉතින් මේ ඈයො එහෙ ජීවත් වුණේ, මෙරටේ පොදුජනයාට සාපේක්ෂව යමක් කමක් තියෙන ”එංගගන්ත සංස්කෘතිය තුළ ලාංකිකයින්” විදිහට යි. ඒ නිසා මොවුන් ගතකළේ කමින්, බොමින් සහ රසවිඳිමින් ගෙවන නිදහස්වාදී සහ රස-වින්දනකාමී දිවිපෙවෙතක්. මංගලගේ මේ නූතන වින්දනවාදී ජීවන භාවිතයේ හරයට අනුව නම්, මංගල දේශපාලනය සඳහා කෙලින්ම එන්න තිබුණේ යූඇන්පියට යි. (මගේ කල්පනාවේ හැටියට හරිනම් තම පියා වූ බණ්ඩාරනායකගේ භාෂාවාදී සහ වරිගවාදී දේශපාලන න්යායපත්රයට ප්රතිපක්ෂ ක්රියා කිහිපයකට අතපෙවූ චන්ද්රිකා පවා එන්න තිබුණේ යූඇන්පියට යි.)

ඒත් 88-89 ජවිපෙ පරාජයත්, තම ජීවවිද්යාත්මක පියාගේ උරුමයත් පදනම් කරගෙන චන්ද්රිකා එන්නේ යූඇන්පී විරෝධී දේශපාලන කඳවුරක පෙරමුණ ගන්නට යි. ඒ සඳහා ඇය තෝරගන්නේ තමන්ගේ සැබෑ ජීවන සංස්කෘතියට නොගැලපෙන වරිගවාදී ශ්රීලනිපය යි. 1971කේ හිටපු ජවිපෙ රැඩිකල් සාමාජිකයෙක් වෙච්ච ෂේලටන් පයාගලට අනුව නම් මෙලෙස එන්නේ දේශපාලනය තුළ 88-89යේ බිහිවූ මලමිනී විකුණගෙන කන්නට යි. ඒත් චන්ද්රිකා කෙසේ වෙතත් මංගල ලංකාවට ඇවිත් ශ්රීලනිපයට සෙට් වෙන්නේ, දේශපාලනමය නොවූ වෙනත් සංස්කෘතික මිනිස් සබඳකමක් නිසයි.

මොකක් ද ඒ?

ඒ තමයි චන්ද්රිකා!

චන්ද්රිකා ආවෙත් ශ්රීලනිපයට හින්ද මංගලත් ආවා.

චන්ද්රිකා ඔහුගේ ළඟ මිතුරියක්.

චන්ද්රිකා සහ මංගල කියන්නේ මුලදී සෟජුව දේශපාලනික නොවන සංස්ස්කෘතික ලෝකයක සබඳකම් පවත්වමින් දිවිගෙවූ හොඳ යාළුවන්.

ඉතිං පුද්ගලික හේතුවකට සමාජ තීන්දු ගන්නේ කලාකාරයෝ මිස දේශපාලකයෝ නෙවෙයි.

 මංගලගේ මේ තීන්දුව පුද්ගලිකයි.

බලන්න, එංගලන්තකයො ලංකාවට පැමිණීම හේතුවෙන් රටේ වරදානලත් ලාංකිකයින්ට එංගලන්තයට යෑමට අවස්ථාව ලැබුණා. මෙසේ යෑමේ ප්රතිඵළයක් ලෙස ලංකාව තුළ බිහිවුණු සමසමාජ සහ කොමියුනිස්ට් පක්ෂ කියන්නේ, ලක් කොදෙව්ව යුරෝ-යටත් විජිතයක් වෙන්න කලින් තිබුණු රාජසභා-වරිගසභා දේශපාලනයට ප්රතිපක්ෂ, එංගලන්තීය කාර්-මික විප්ලවානුකූල නූතන ධනවාදී දේශපාලනාර්-ථික  සංවර්ධනය මතවාදීව පිළිගත් ලාංකීය වමේ පක්ෂ දෙකක්. එයින් කොමියුනිස්ට් පක්ෂයේ කැපී පෙනෙන සාමාජිකයෙක් වූ මංගලගේ පියා වන මහානාම සමරවීරගේ අනුප්රාප්තිකකමවත් 1994දී මංගල ශ්රිලනිප දේශපාලනයට තෝරා ගැනීමට ගත් තීරණය සඳහා අදාළ කරගෙන නැහැ.

ඒත් බලන්න මේ  ප්රතිවිරෝධී බව දිහා!

යූඇන්පිය කියන්නේ, කාර්-මික විප්ලවානුකූල එංගලන්තකයින් ලංකාවට බිහිකර දී ගිය ආර්-ථිකවාදී ඩොමීනියන් පක්ෂය යි. ශ්රිලනිපය කියන්නේ, ඒ ආර්-ථික අක්ෂය මුළුමනින් නොතකා අත්තනෝමතික ලෙස සිංහල භාෂාව රාජ්ය භාෂාව කරමින් මායාමතික වරිග දේශපාලනයක් කරලියට ගෙන ඒමෙන් බිහිවූ ආර්-ථික නොවන තනි-වරිග පක්ෂය යි. ඉතිං ”එංගලන්ත සංස්කෘතිය තුළ ලාංකිකයෙක්” වූ, යූඇන්පී ජානයක් සහිතව සිටි මංගල ශ්රිලනිපයේ දේශපාලනයට ඒම මහා ඓතිහාසික නොගැලපීමක්. මෙය කවරනම් දිනක දී කෙසේ හෝ නිවැරදි වී සැබෑ තත්වයට පත්වීමට නියමිතව තිබූ ඓතිහාසික දේශපාලනාර්-ථිකයක සංසකෘතිික අක්ෂයක්.

 

මංගි5

 

අනුර බණ්ඩාරනායකට යූඇන්පියට ඒමට සිදුවීමත් එවැනි ම වූ සංසිද්ධියක්. එලෙස ම එජාපය තුළ පේ්රමදාස බලවත් වෙනකොට ජේ.ආර්. මං ”මැතිනිට දෙනවා” කියා ප්රේමදාසට බැනවැදීමත්, ශ්රිලනිපයේ මහින්දගේ ප්රචන්ඩ වරිග අත්තනෝමතිකත්වයට එරෙහිව චන්ද්රිකා විසින් රනිල්ට ප්රසිද්ධියේ ම උදව් දීමත් මීට සමාන පද යි.

ඉතිං ඇයි එහෙම වෙලත් චන්ද්රිකා සහ මංගල ශ්රිලනිපයට ආවෙ?  

88-89 කාලයේ ජවිපෙ මර්ධනය කිරීම පදනම් කරගෙන යූඇන්පියට විරුද්ධව පැවති මහා ජන මතයෙන් දේශපාලන වාසි ලබා ගන්නටයි චන්ද්රිකා ආවේ. මංගල ශ්රිලනිපකාරයෙක් වුනේ චන්ද්රිකා සමඟ යාළුකම විශ්වාස කරලයි. නැතිනම් මොවුන්ගේ සැබෑ දේශපාලන ජානය ගොඩනැගුණේ එංගලනත්තක ජීවන ප්රමිතීන්වලට අනුගතව යි.

ඒ නිසා, 1994දී මංගල ශ්රිලනිපයට ඒමට ගත් තීන්දුවට තුඩුදුන් සංස්කෘතිය ද, 1970-1977 කාලයේ දී වාමාංශික එන්.එම් පෙරේරා සිරිමා බණ්ඩාරනායකගේ ආණ්ඩුවට සෙට්වීමෙන් බිහිකළ නව-ලාංකේය-සිංහලවාදී-වාමාංශික හවුල් දේශපාලන සංස්කෘතිය ද යන දෙක අතර අන්තර්ගතික සමානත්වයක් නැත.

එතකොට  මොකක්ද මේ අලකලංචිය?

මංගලගේ මේ දෙබිඩි තත්වයේ හෝ තෙබිඩි තත්ත්වයේ තීන්දු තීරණ,  හුදු තීන්දු තීරණ නොවන්නේ නම්, ඒවා කුමන පසුබිමක් පදනම් කරගෙන පැමිනියේදැයි සොයන එක වටී. ඒ පසුබිමේ හරය හසුවන්නේ සෘජු නග්න දේශපාලනාර්-ථික විෂයක් තුළින් ම නෙවෙයි. ඒ පසුබිම හසුවන්නේ දේශපාලනය ඇතුළු විෂය හැදෑරීමට සමාන්තරව මේ ප්රභූ දේශපාලකයාගේ ජීවන සංස්කෘතිය හැදෑරීමෙනුයි. මොකද මංගල යනු චන්ද්රිකාගේ සම-සංස්කෘතික මිතුරෙක්. 

පුද්ගලික මිතුරුකම අනුව සමාජ තීන්දු ගන්නේ දේශපාලකයො නෙවෙයි, කලාකාරයෝ.

ඒ නිසා ඒ ගැන තොරතුරු ඇසිය යුත්තේ දේශපාලකයෙක්ගෙන් නොව කලාකාරයෙකුගෙනි. ඒ නිසා අපි මේ සංස්කෘතිය ගැන අසනි දසුනක් එළිදරව් කරගැනීමට මංගලගේ අතිජාත මිත්ර බැලේ නර්තන ශිල්පී චන්ද්රි පීරිස් දිහාවට හැරෙමු.

aravinda1

 

විට්නි හූස්ටන් නැමති ලෝ පතල අති-උච්ච-ස්වරානුසාරී කටහඬ හිමි ගායිකාව, මත්ද්රව්ය පමණ ඉක්මවා ගැනීම නිසා පරලොව ගිය පසු, ඇයගේ අවමංගල දින කතාව කරන්නේ සංගීතයට සම්බන්ධ තවත් ගායන ශිල්පියෙක් හෝ සංගීතඥයෙක් නෙවෙයි. ඇය ගැන ඒ ආවේගාත්මක අවමංගල දින කතාව කළේ, ඇය හා එක ම එක සිනමාටයක රඟපෑ, ඊටත් පෙර කුඩා කල සිට ඇය සමඟ එක ම කිතුනු පල්ලියක කලා සංස්කෘතියක් තුළ හැදී වැඩුණු හැඟවුම්කරණීය හොලිවුඞ් නළුවෙකු වූ කෙවින් කොස්ට්නර් විසිනුයි. ඒ අවමංගල කතාවත් සමඟ විට්නි ගැන සංගීත ලෝකයේ සමකාලීනයන් නොදත් වෙනත් ජීවන සංවේදන පදාස එළිදරව් වුණා.

ඒ වගේ ම මංගල පෘථිවිය හැරයාමත් සමඟ චන්ද්රි පීරිස් ඬේලි මිරර් පුවත්පතට ලියූ ලිපියෙන් දේශපාලනය තුළ මංගලව දන්නා බොහෝ උදවිය නොදන්නා මංගලගේ ඒ මසිලිටි කලා රසකාමී ආත්මයේ මහා පදාසයක් පිලිබඳ ඉසියුම් වූ සුළු ඉඟි කිහිපයක් ඉංගිරිසියෙන් කියවන ලක් පොදුජන මනස තුළ සළකුණු කෙරුණා.

aravind3

”ඊට පස්සෙ එයා දේශපාලනයට ගියා. ඒ එක්ක ම අපේ ජීවන මංපෙත් දෙපැත්තකට බෙදුනා. වෙනත් ලොකු හේතුවකටත් නෙවෙයි එහෙම වුණේ. මම මෙහෙ ලන්ඩනයේ නැවතුනා, එයා ලංකාවේ දේශපාලනය තුළ කඩිමුඩි වුණා. එයා ඇමති කෙනෙක් වුණාට පස්සෙ අපිට බොහොම කලාතුරකින් හමුවන්නට වීම හරි ම අරුම දෙයක්. ඒත් එයා, එයාගේ ඇමති බල රාමුවෙන් ගැලවුනු හැමවෙලාවක ම වාගේ එයා මාව හමුවුණා සහ අපි එකිනෙකා හා කොක්හඬලා සිනහ පිරුවා. මම කවදාවත් එයා එක්ක දේශපාලනය කතා කරන්න ගියේ නැහැ. එයත් ඒකට ගරු කෙරුවා. බෙක්සිට් පිළිබඳ අපේ කතාබහවල් පැවතුනෙත් මිනිත්තුවක තරම් කාලයක් විතරයි. ”ඔයා එකඟද” ඔහු මගෙන් ඇහුවා. ”මම ත්රිල් එකේ ඉන්නේ”, මම කිව්වා. අපි කොක් හඬ ලා සිනාසුනා. ඉතිං අපි මිතුරන් ගැන, පොතපත ගැන, සිනමාපටි ගැන සහ මරක්කේෂ්වල ගතකළ ඒ පිස්සු හැදෙන නිවාඩුකාලය ගැන දිගින් දිගට ම කතාබහ කළා.” - චන්ද්‍රි පීරිස්

මංගල ඇසුරු කළ සහ ඔහුගේ අවමංගල සංවත්සරය සමරන්නට පැමිණි බොහෝ දේශපාලකයින්ට අනුව මංගල ගැන චන්ද්‍රි හෙලිදරව් කරන ජීවිතය අප්රධාන එකක්. මගේ කල්පනාවෙ හැටියට නම්, මංගලගේ දේශපාලන ජීවිතයේ ආත්මීය හරය, වෙනත් සම්මත දේශපාලකයෙකුගෙන් වෙනස් වන්නේ චන්ද්රි වැන්නවුන් හරහා දිගහැරෙන ඔහුගේ මේ සෞන්දර්යකාමී ජීවිතය නිසයි. (සරත් අමුණුගම ගැනත් මේ හා සාමානුරූපී විග්රහයක් කළ යුතුව පවතිනවා.)

තනි වාක්යයකට අරන් කිව්වොත්, ලාංකේය ලිබරල් දේශපාලනය දේශීයාකාරයෙන් සෞන්දර්යකරණය කිරීමේ පූර්ණ හැකියාව තිබූ අවසන් ප්රායෝගික මිනිස් භවය මංගල.

ඒ කියන්නේ මංගලගේ අභාවය රටට ලොස් එකක්!

 

aravinda13

ජීවිත ඉතිහාසයේ කලාත්මක ආභාශ අත්දැකීම් තිබුණ ද, ජීවන විලාසයේ ප්රධාන හරය දාර්ශනික ඉම් පෙදෙසකට යොමුකරගනිමින් ගොඩනැංවුණු නව-ලිබරල්වාදී රනිල් වික්රමසිංහගේ ජීවිතයට සමාන්තරව ගත්කල මංගල සමරවීර යනු කුමක්ද?  මංගල යනු රනිල්ට තම අභ්යාසයෙන් මගහැරුනු කලාරසකාමී සංස්කෘතික අර්ධය අවිඥානික ලෙස දේශපාලනයෙන් පුරවා රනිල්ට දුන් කාබනික මනුෂ්ය සම්බන්ධතාව යි.

ඒ නිසා රනිල්ගේ දාර්ශනික යොමුවෙන් මංගලවද මංගලගේ කලා-සෞන්දර්ය යොමුවෙන් රනිල්වල ද අන්තර්පෝෂණය වූ ව්යූහයක් හැදෙන්නට පටන් ගත්තේ මංගල එක්සත් ජාතික පක්ෂ දේශපාලනයට ඇතුළුවීමෙන් පසුවයි.

මෙය ඊට බොහෝ පෙර සිදුවිය යුතුව තිබූ සබඳතාවක්.

ඒත්   සිරි-ලංකාවේ හොඳ සබඳකම් ඇතිවෙන්නෙත් රුවිතෙට සහ අකාලෙට. රනිල් සමඟ වෘත්තීය සම්බඳතාවක් වෙතට මංගලව තල්ලූ කරවන්නේ මංගලගේ ස්වයංතීරණය විසින් නෙවෙයි. එය තීරණය කරන්නේ දේශපාලන අහම්භයක් විසිනුයි. රනිල් සමඟ සම්බඳකමක් වෙතට මංගලව තල්ලූ කරන්නේ, මහින්දගේ ආන්තික පවුල්වාදී සහ වරිගවාදී අත්තනෝමතිකත්වය යි. එතනදී මහින්ද රුවිතෙට ගිහිං නොදැන හෝ යහපත් වැඩක් කර ඇති බවයි පෙන්නුම් කරන්නේ. ඒක හරියට යක්ෂයාට අතපසුවීමෙන් කෙරුනු යහපත් දෙයක් වගෙයි. (එලෙසම මහින්දගේ දේශපාලන ජීවිතය මේ ගෙවෙන මොහොතේ අත්විඳින විනාශකාරී ඛේදවාචකයට අදාළ මුල් ඓතිහාසික හැරවුම්-සන්ධිය(Conjuncture) වන්නේ මහින්ද  විසින් මංගලව අහිමිකරගත් ඒ අදේශපාලනික මොහොත යි.)   

ඒ නිසා මංගලගේ රසකාමී සහ සෞන්දර්-යානුසාරී දේශපාලනය අවිඥානිකව රනිල් තුළට පුරවාලීම හෙවත් මංගල හරහා රනිල්ට මානුෂීය පහසුකම් සැලසීමේ අර්ධය ඉටුවීම, අද මංගල නැතිකමින් රනිල් තුළ හිස්වගොස් ඇත. අද එබඳු මානුෂීයත්වයන්ගෙන් හිස්ව තනිවී නව-ලිබරල් දේශපාලනය කරන්ට යන රනිල්ට මේ අසීරු මොහොතේ දීත් අන් කරවරදාකටවත් වඩා මංගලව වැඩි වැඩියෙන් දැනෙනවා ඇති. ප්රභූ-මානය නිසා ඒ හිස්කම බැහැරට නිරාවරණය නොකළ ද රනිල්ගේ අභ්යන්තර සිත මෙය හොඳින් දන්නා දෙයකි.

මංගලට සාපේක්ෂව ගත්කල සෞන්දර්ය කලා රස සංස්කෘතියක මානුෂිකත්වයෙන් හීන වූ දේශීය පූර්ව-වැඩවසම් වලව් ප්රභූවාදියෙක් වන සාගල රත්නායක වැන්නෙකුට පිරවිය නොහැකි නියත විෂයාභ්යාසී සහ සතත අභ්යාසී හිස්තැනකි එය. මං මේ කිය දේ රනිල්ට ඉතා හොඳින් තේරෙන මුත් සාගලට ඒ ගැන මොලෝ සංසසාරයක් තේරෙන්නේ නැති අතර එය අමුතු සහ අනදාළ දෙයක් ලෙස තේරුම් යාමට හෝ වරදවා වටහා ගැනීමට බොහෝ සේ ඉඩ තියෙනව.

aravinda2 

මංගල තම පෞද්ගලික ලිංගිකත්වයෙන් සම-රිසිවරයෙක් වුව ද රනිල්ගේ සුරතලෙක් හෝ ඔඩොක්කු කුක්කෙක් වූයේ නැත. මංගල යනු දේශපාලනය සහ ජීවිතය තුළ රනිල්ගේ හිස් විෂය අර්ධයක් පුරවාලූ අන්තර්-සම්භාෂකයා(Inter-locuter) ය. දේශපාලනය තුළ ඉහළ මධ්යම-පංතික ධනේෂ්වර සංස්කෘතික අක්ෂයේ අත්දැකීම් නියෝජනය කරන මේ වගේ සංකීර්ණ ජීවන සංවාද අනුර කුමාර, කුමාර් ගුණරත්නම් සහ ජෝසප් ස්ටාලින් ඇතුළු සමහර වාමාංශිකයින්ට සහ පූජකයින්ට නම් ”චිකේ ඊයියා” සංවාදයන් ය. එසේ ම ශ්රිලනිපය සහ එජාපයේ නියෝජනය කරන මධ්යම-පංතියෙන් පහළ සංස්කෘතියක හැදී වැඩුනු බහුතර සාමාජිකයින් ට ද මේ සංකීර්ණ ජීවන සංවාද ඊට වෙනස්ව දැනේනේ නැත.

මන්ද ජීවන සංවාද කොයිතරම් සංකීර්ණ වුවත්, මායාමතිකව ගොඩනැගූ කතන්දර නහුතයකින් හදන පටු මතවාදවලින් මුසපත්ව සිටින බහුතර ජනයා, පේන දේ හිතූමනාපෙට අර්තකථනය කරගන්නා අයාලකාමී පිරිසක් මිසක, ප්රමිතිගත විෂයන් කැඩපත් කරගෙන සැබෑව ”දකින” උදවිය වීම විරල ය.  

ඒ නිසා මංගල ගැන ”කතාවට නොගත් කථාන්දරය” හෙළිදරව් කරගැනීමට අපි නැවතත් චන්ද්රි පීරීස්ගේ ජෙනුයින් මනස වෙත එබෙමු.

”මම දන්නා මංගල දේශපාලනයෙන් තොර මිතුරෙකි. ඔහු දේශපාලනය නම් වූ අපායට ඇතුළු වූයේ, දැන් අපායක් වී ඇති ශ්රී ලංකාව මම අතහැර යන කාලයේදී ය. දෙහිවල නගරයේ පිහිටි ආණ්ඩුවට අයත් ෆ්ලැට් එකක ඔහු ජීවත් වෙන කාලයේ ඉඳන් මම මංගලව හොඳින් දැන සිටියා. ලන්ඩනයේ සාන්ත මාටින් මධ්යම විලාසිතා පාසලේ ඉඳන් ලංකාවට පැමිණි අලූත ම ඔහුගේ පළමුවන විලාසිතා දැක්ම වූ ”පෝස්ට් නියුක්ලියර් ෆ්ලෝ ශෝ” සැලසුම් කරමින් අපි දිවා රාත්රීන් ගතකෙරුවේ මේ නිවසේ යි. ඒ විලාසිතා දැක්මේ අංගචලන නිර්මාණ සැලසුම් කිරීම සහ ප්රදර්ශනය කිරීම පැවරුණේ මට යි.

ඉතිං මට ඔහු ගැන මතකයන් ගොඩක් තියෙනවා. මද්දහනේ කින් රොස් බීච් එකට ගිහිං මූදෙ නානකොට මංගල කිඹුලෙක් වගේ රඟපාපු හැටි, එහි කොනක තිබුණ කෑම සාප්පුවකින් බත් පාර්සල් ගිනිත්දී කඩසාප්පු හිමියත් එක්ක ඔහු විහිළු තහලූ කරපු හැටි, යාළුවො සෙට් එකත් එක්ක ආට් සෙන්ටර් ක්ලබ් එකේ දිගින් දිගට ම ගතකරපු වල්වැදුනු රාත්රීන්, රිදී තිරයේ සිනමා තාරකාවන් මෙශමන්ට් දෙන්නට පැමිණ සාදකතාලතාවේ යෙදුන කොල්ලූපිටියේ ෆවේලාහී තිබුණ අමතක නොවන ඇඳුම් මහන සාප්පුව තුළ ගතකළ දවස් යනාදිය ඒ මතකයන්ගෙන් සමහරක්.

අපි මඩකලපු පන්නයේ සරම් අරගනෙ, ඒවායින් කමිස මහගෙන, ඒවා නිසා අපිව මාරෙට කැපී පෙනෙනවා ඇතැයි සිතුවෙමු. මංගලට ව-ර්-ණ ගැන මනා සංවේදීතාවක් තිබුන අතර මම ඒ සංවේදීතාව ඉගෙන ගන්නට සහ කොපි කරන්නට මහත් උත්සහයක් දැරුවෙමි. ඒ කාලේ අපි දෙන්නට ම මහ සල්ලියක් නොතිබුණාට, අපි ඒ දවස්වල බොහෝ සෙයින් කොක්හඬලා සිනාසුනු අය වූවෙමු. අපි ඒ ගත කළේ එක්තරා ආකාරයක අවිහිංසක බවේ යුගයක්. ඒක මංගලගේ අවිහිසංකකම බව මා දැන සිටියෙමි. අවිහිංසකකම ඔහුගේ විලාසිතා මුද්රාව යි.” -

චන්ද්රි පීරිස්

 

aravinda6

 

දේශපාලනය තුළ රනිල්ට පහසුකම් සැලසීමේදී මංගලගේ අවිහිංසකවාදී සහ සටකපට බවෙන් තොර ප්‍රවේශය බිහිවන්නේ මංගලගේ දේශපාලනය තුළින් නොව ඔහුගේ කලා සංස්කෘතික සහ පුද්ගලික ජීවන ඉතිහාසය තුළිනුයි.

සිරි-ලංකාව 1956න් පසු සිංහල ජාතිය පමණක් මූලික කරගෙන කෘතිම ලෙස සිංහල බෞද්ධ ජාතික රාජ්යයක් හදන්න තටමන්නට කලින්, ශ්රී ලංකාව තුළ ඊට වඩා ඉසියුම් ජාතිකවාදී සෞන්දර් කලා ප්රවනතා ඇතිවුණා. ඒක මූලිකව සිද්ධවුණේ ශ්රීලංකාවේ සියළු ජාතීන්ගේ ජනකලා, ඉන්දියාවේ සුභාවිත කළා සහ යුරෝපයේ ක්ලැසිකල් කලාවන්වල ක්රමවේද හදාරා ඒවායේ ටෙක්නික්ස් පමණක් උපුටගෙන රටට ආවේනික ලක්ජන-ජාතික-සෞන්දර්ය-කලාවක් හදාගන්නට උත්සුකවීම හරහා යි. මෙය සිදුවුණේ ඉන්දියාවේ නිදහස් සටනට අනුරූපීව තාගෝර් මූලික කොටගෙන බිහිවුණු බෙංගාලි පුනරුදයට සමාන්තරව යි.

ඉන්දියාවේ තාගෝර් තම පුද්ගලික ධනය වැයකරමින් මේ නව ඉන්දීය ජාතික ප්රවනතාවට මුලපිරූ අතර, ලංකාවේ ලයනල් වෙන්ට්ඞ් ද ඔහුගේ ධනය දියකරහරිමින් සහ තවත් උදවියගේ පුද්ගලික ධනය ද දියකර යැවෙද්දී මේ නූතන ලාංකේයට ප්රවනතාවය පෝෂණය කළා. හොරණ ශ්රී-පාලිය, කොළඹ සෞන්දර්ය කලා ආයතනයේ මුල් ව්යූහය, ලයනල් වෙන්ට්ඞ් කලාගාරය, බෙයාෆුට් ආයතනය කොළඹ ගාල්ල සහ නුවර නම්වූ අනෙක් කොලෝනියල් නගරවල පැවති ඉහළ-මද්යම පංතික නොනිල සංගීත සංගම් සහ කලා සංගම් වගේ ව්යුහයන්ගෙන් පිළිබිඹු වන්නේ නාගරික ජාතික කලාවක් බිහිකරගන්නට කරන ලද ඒ නිර්වයාජ ප්රයත්නය යි.

1956න් පස්සේ මේ කලාකරුවන් ගැමි සිංහලකරණයකට භාජනය කරන්නට ගිහින් එම ප්රවනතාවයේ ලෝක දැක්ම ජාතිවාදයකටත් වඩා පටු වරිගවාදයක් තුළට ගාල් කෙරුනා. ඒත් අර ලයනල් වෙන්ට්ඞ් ආශි්රත නාගරික කලා භාවිතයන්, 1956යේ ගෙනා සිංහල ඔන්ලි ග්‍රාම්‍යකරණයට මුළුමනින් ම හසු වුණේ නැහැ. චන්ද්‍රි පීරිස් කියන්නේ ඌෂා සරවනමුත්තු කියන බැලේ ගුරුවරියගෙන් පටන්ගෙන ලයනල් වෙන්ට්ඞ් ආ ආශ්‍රිත කලා සංස්කෘතිය තුළ හැදී වැඩුණු කොළඹ සාන්ත තෝමස් විද්යාලයෙන් අධ්යාපනය ලද බැලේ නර්තන ශිල්පියෙක්. ඒත් ඔහුගේත් සංස්කෘතික දැක්ම හුදු යුරෝපීය හෝ රුසියානු බැලේ නර්තන කලාවට පමණක් සීමා වුණෙ නැහැ. ඔහු කෙසේවත් බණ්ඩාරණායකගෙන් පසුව බිහිවුණු සිංහල ගැමි වරිගවාදී කලා ප්රවනතාවන්ට හසුවූ කලාකරුවෙක් නෙවෙයි. චන්ද්රිගේ අතිජාත මිතුරෙක් වුණ ඇඳුම් නිර්මාණ ශිල්පී මංගල සමරවීර ද එවැන්නෙකි.

ඔවුන් තාගෝර්ට, ගාන්ධිට සහ නේරුට ගරු කළ අතර බන්ඩාරයකගේ සිංහල-ඔන්ලියට හසු වුණේ නැති ලාංකීය ජාතික කලාකරුවන් ය. ඒ නිසා මංගලගේ ජාතිකවාදය යනු බණ්ඩාරණායක, නලින් ද සිල්වා සහ චම්පිකගේ වරිගවාදයට වෙනස් ඉසියුම් භාවිතාවකි. ජෝජ් කීට් ජීව විද්යාත්මකව ලංකාවේ ජානයකින් උපන්නෙක් නොවුණත් කලා සංස්කෘතියෙන් ගත්කළ, ඔහු යටකී බෙංගාලි පුනරුදයට සමාන්තර ලාංකේය අනන්යතාවක් සහිත චිත්ර කලාවක් සොයන්නට අත්හදා බැලීම් කල ශ්රේෂ්ට චිත්රශීල්පියෙක්. ඔහු ලංකාවාදියෙක් හෙවත් සිලෝන්වාදියෙක්. ඒත් ඔහු සිංහල ඔන්ලි වරිගවාදියෙක් නෙවෙයි.   

”මංගල ලෝකයේ විවිධ ඇඳුම් විලාසිතාකරණ සමඟ ගැඹුරු සම්බන්ධකමක් නඩත්තු කළ අතර, ඔහුගේ ඇඳුම් විලාසිතාකරණ බොහොමයක් ලංකාවේ නිෂ්පාදිත නූල් සහ රෙදිපිළි කෙන්ද්රීයව නිර්මාණ සැලසුම් කෙරුණු ඒවා යි. මංගල විසින් කළ තම නිර්මාණ සැලසුම් ඉදිරියේ ඇහිබැම උස්කරගත් උදවියට, පූගොඩ විලාසිතා නිර්මාණ-සැලසුම් තරඟාවලියට යොමුකළ ඔහුගේ ඇඳුම්-නිර්මාණ-සැලසුම්(Dress-designing) හරහා ලබාදුන්නේ කණේ පාරක්. ඔහු පැය ගණනන් අසීරු-ශ්රමය යොදමින් දේශීය නූල් වලින් නිෂ්පාදිත නව-නිෂ්පාදනයන් හරහා හඳුන්වාදුන්නේ මොනවාදැයි කියා ඒ තරඟාවලියේ සිටි අවදැනුමැති විනිෂ්චය මණ්ඩලයටවත් හාන්කවිසියක් තේරුණේ නැත. ඔුවන් ඒවා විදේශීය නූල්වලින් සිදුකළා යැයිි මනංකල්පිත වී මංගලව නුසුදුස්සෙක් බවට පත්කරන්නට මාන බැලූහ. මංගල කිීවේ, ඉන්දියානුවන්ගේ යහපතට සහ අධිරාජ්යයක් පන්නා දමන්නට ගාන්ධි ඉන්දීය සළුපිළි ප්රමෝට් කළා නම්, මට මේ රට ඇතුළෙත් ඒ දේ ම කරන්න පුළුවන් වෙන්න  ඕනි, කියලයි.” - චන්ද්‍රි පීරිස්

ඒ හින්ද මංගල තම ඇඳුම් විලාසිතාකරණය තුළින් ගෙන එන්නට උත්සහ කළ දේශීයත්වය යන්න, 1956දී සිංහල ඔන්ලි ගැමි බයියවාදයෙන් පැන නැගි ප්රපංචයක් නෙවෙයි. එය යටත්විජිතවාදයෙන් පසුව ඉන්දීය නිදහස් සටනට බද්ධ බෙංගාලි පුනරුදවාදයට සමාන්තරව බිහිවුණු ලක් රටේ ඊළඟ නූතනවාදී ඇඳුම් විලාසිතාකරණය ඇතිකරවන්නට ගත් ඉසියුම් දේසීය ජාතික මතවාදී මූලයකින් හටගත්තකි.

1956යේ බණ්ඩාරනායකවාදී වරිගවාදයේ අනියම් දේශපාලන පුත්රයා වූ චම්පිකගෙන් ඉගෙනගත් වරිගවාදය තම   ප්රකාශිත දේශපාලනය බවට පත්කරගත් ලාංකේය පොල්-මුදලාලි-ටයිප් දේශපාලන   ප්‍රතිරූපය වූ මහින්ද රාජපක්ෂ විසින් ලක් වාමාංශික ඉතිහාසයේ නීචම දේශපාලන පාවාදීම කළ විමල් වීරවංශගේ කේලාම් ඇසීම මත, මංගල සහ ශ්‍රීපති ඉල්ලා අස්වෙන්නටත් පෙර ම ඒ බව විමල් නම් ජුදාසයාගෙන් දැනගෙන ඝෝටා-බැසිල්-චමල් වෙනුවෙන් මංගල සහ ශ්රීපති ඇමති පදවිවලින් ඉවත් කළේය. එවිට, එසේ ඉවත්කරනු ලබන මංගල සමරවීර, ඉන්දීය බෙංගාලි පුනරුදවාදයට සමාන්තර ලාංකේය සෞන්දර්ය කලා සංස්කෘතියෙන් එන පෞර්ෂයක් බව මහින්ද හාන්කවිසියක්වත් දැන නොසිටියේ ය. ඒ මහින්ද පොත පත නොකියවන, උඩබාගේ හිස් වූ, සටන් නොකර ගෝරි දාගන්න පනනයේ ප්රාථමික ගම්මුලාදෑනි චරිතයක් වන නිසාවෙනි.    

ඒත් මංගල එංගලන්තයේ ඞ්රෙස් ඩිසයිනිං උපක්රම සහ ක්රමවේද හදාරා ලංකාවට එන්නේ, ලංකාවේ එංගලන්තමය කාර්-මික විප්ලවානුකූල ආර්ථිකය සිංහල වරිගවාදයට පාවාදුන් නායකයා වූ බණ්ඩාරනායකගේ නිර්මාතෘත්වයෙන් බිහිවූ භාෂාවාදී සහ ආර්-ථික විරෝධී ශ්රිලනිප ය තුළ දේශපාලනය කරන්නට ය.

එය නොගැලපෙන ආයුධ දෙකකින් සටන් කරන්නට වුණා වාගේ වැඩකි. ඒ නිසා දේශපාලනාර්-ථික ඉරණම අනුව කවදා හෝ මංගල එජාපය හා සම්බන්ධ වීමට  බැඳිසිටියේ ය. ඒ නිසා මංගල මිය යනවිට එක්සත්-ජාතික-පක්ෂ දේශපාලනයහි නියුතුව හිඳීම අහම්බයක් නොවේ.

මංගල ශ්‍රිලනිපයට ඇතුළු වීමෙන් පසුව ශ්‍රිලනිපයේ එතෙක් පැවති ව්‍යූහයට සහ ආකල්පවලට නොගැලපෙන ක්රියාකලාපවල නියැලූනේ ය.

1994 වසරට පෙර කිසිදා සිස්ටම් එකට වැද්ද නොගත්, ජවිපෙ දේශපාලන සංස්කෘතියට අයත් උදවිය ද, 80 දශකයේ කලාව සහ සමාජ-විද්යාව පදනමිකව පැනනැගි අයාලකාම සංස්කෘතිය නියෝජනය කළ උදයවිගෙන් සමහරක් ද නිදහසින් පසු පළමු වතාවට සෘජුව හෝ වක්රව රාජ්ය ආයතනවලට ඇතුළත් කෙරුණි. ඔවුන්ටත් වැඩ පෙන්වන්නට ඓතිහාසික අවස්ථාවක් උදාවුනි. මොවුන් අතරින් බොහොමයක් අවිධිමත් අධ්යාපනය හරහා දැනුම එකතුකරගත් කල්ලිවාදීන් ය.

මෙම සංස්කෘතික මහපාර රාජ්ය ආයතනගත කළේ මංගල සහ රුවන් දෙබෑයන් ය. එයින් පළ නෙලාගත් සංස්කෘතියක් ඇති පුද්ගලික චරිත මංගලගේ කාබනික ශරීරයේ අභාවය ගැන  ප්රසිද්ධියේ මොනවා හෝ කනගාටුවක් පල කිරීම හැදියාවයකි.

නමුත් 1956න් පසු ගැමි-සිංහලකරණයවී අයිස් ගහන ප්රජාවෝ වැඩිවී සහ පාඩු ලබමින් තිබූ රටේ අමාත්යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ අනෙකුත් සුළු රාජ්ය ආයතන තුළට මොවුන් ඇතුළු වූ පමණින් මහා වෙනසක් සිද්ධ වූයේ නැත. ඊට මූලික හේතු දෙකක් දැක්විය හැකිය.

1. මේ මහපාරේ තරුණ ප්රජාවන් ද 1956යේ බණ්ඩාරනායකගේ සිංහල ඔන්ලි ප්රතිපත්තියෙන් ගැලවී නොතිබුණු හෙයින් මොවුන්ගේ ඉංග්රීසි දැනුම එකී ආයතන තුළ සිටි කැඩිච්ච ඉංගිරිසි කතාකරන නිළධාරීන්ටත් වඩා පහළ මට්ටමක පැවතීම.

2. ආයතන තුළ ක්රියාපටිපාටීන්(ආයතන සංග්‍රහය) හදාරා ඒවා ක්‍රමයෙන් වෙනස් කරන්නට මේ ප්‍රජාවන්හට පොදු ක්රියා-රාමුවක් (framework) තිබුණේ නැත. ඒ නිසා ආණ්ඩුව මහින්ද අතට පත්වෙද්දී මේ මහාපාරේ ප්රජාවෝ බහුතර බයිය සේවකයින්ගේ කේලාම් කීම්වලට ගොදුරුවී වාෂ්ප වී ගියහ. තවත් සමහරුන් තිබුණ අගතිගාමී පිළවෙතට ම අනුගත වී නව-ආරකට කේලාම් කියන අගතිගාමීන් බවටම පත්වූහ.

 

aravinda 9

මංගල-රුවන් දෙබෑයන් විසින් මහපාර රාජ්ය ආයතනගත කිරීමෙන් යම් ඵලදැරීමක් අත්කරගත්තේ නම් ඒ එක්ස් කණ්ඩායම සහ ජවිපෙය පමණි.

 

88-89 ජවිපෙහි පරාජය පාමුල ඇතිවූ දේශපාලන මතවාදී හිස්තැන තුළ රිප්ලේස් වුණු එක්ස් කණ්ඩායම මංගලගේ ප්‍රාග්ධනය හරහා තම දැනුම මුද්‍රිත අක්ෂර බවට පත්කරගෙන රාජ්ය ලේඛනාරක්ෂක ආයතනය තුළ තම අනන්යතාව අතහුවුරු කරගෙන තම දැනුමට නිළ මුද්‍රාවක් ලබාගත්තේ ය. එතෙක් නගර කේන්ද්රීය ක්ෂූද්‍ර සංස්කෘතික සඟරා කිහිපයක් හරහා එහෙන් මෙහෙන් ද, නිරන්තරව කොළඹ පැවති රාජ්ය නොවන ව්යූහයන්වල සහ මහපාරේ ඇදගන්නා සංවාද ලෙස ද පැවති මේ දැනුම, මංගල-රුවන් දෙබෑයගේ මුද්රිත ප්රකාශ හරහා නාගරිකව කරක්ගහන සුළුතර ජන කොටසක් වෙත ජනගතවීම සිදුවිය. ඒ සමඟ ම 88-89 පරාජයෙන් වල්මත් වී සිටි සුළු තරුණි තරුණයන් පිරිසකට තාවකාලික මානසික නවෝදයක් උදාවූයේ ය. නමුත් මංගලගෙන් සහ රාජ්ය ආයතනික සම්බන්ධයන්ගෙන් ඈත්ව කලක් ගිය පසුව මේ එක්ස් පකණ්ඩායම දෙකඩවී, තෙකඩවී, හතරකඩවී කැබිලිති වී සතුරු කැබලිති පාර්ශව බවට පත්වී කෙලවාගත්තේ ය.(ඊට අදාළ භාහිර සහ අභ්යන්තර හේතු මේ ලිපියේ සංදර්භයට අනදාළ නිසා ඉදිරි දවසක ලියමි.)

ජවිපෙ  ඡන්ද දේශපාලනය තුළ තීරණාත්මක බලවේගයක් ලෙස ඡන්දයෙන් ඡන්දයට තම පාරලිමේන්තු මන්ත්රී ආසන ගණන වැඩිකරගනිමින් ඉදිරියට එමින් සිටි තත්වයක් තුළ, රටේ දේශපාලනය වෙනස්වී චන්ද්‍රිකා රනිල්ට මහ චන්දයකින් පැරදී බලූවෙමින් සිටි මොහොතක, මංගල-රුවන් දෙබෑය හරහා ජවිපෙ සමඟ පූට්ටුවී රනිල්ට විරුද්ධව යලි මහ චන්දයකින් දිනුවේ ය. ශ්‍රිලනිපය ප්‍රමුඛ බලවේගය තුළට ගාල්වී ඡන්දෙ ඉල්ලපු ජවිපෙ මන්ත්රී ආසන ප්‍රමාණය කෘතිම ලෙස තිබුණටත් වඩා වැඩිවී සුළුකාලයකට ඇමතිකම් ද දරන්නට අපායේ ඉන්ටවල් එකක් ලැබුණි. නුමත් චන්ද්‍රිකා මෛත්රීපාල ඇතුළු ශ්‍රිලනිපයේ වරිගවාදී ප්‍රහාරයන්ට ගොදුරුවූ ජවිපෙ ඇමතිකම් අත්හැර දෙවන වරටත් රනිල්ට සහ චන්ද්‍රිකාට විරුද්ධව මහින්දට උදව්කරන්නට තීරණය කරන තැනට සුළු වූහ. ඉදින් මහින්දගේ ආගමනයත් සමඟ මොන ඇමතිකමක හෝ වරප්රසාදයක් නොලබා ම තමන්ට සිටි ආකර්ශණීය ප්රකාශකයා වූ විමල් වීරවංශව ද ජුදාස් කෙනෙකු බවට පත්වන තැනට වැඩකටයුතු සිදුවී, පක්ෂය ද දියාරුකරගෙන කෙලවාගත්තෝ ය.(ඊට අදාළ භාහිර සහ අභ්යන්තර හේතු මේ ලිපියේ සංදර්භයට අනදාළ නිසා ඉදිරි දවසක ලියමි.)

නමුත් එක්ස් කණ්ඩායමට මුද්‍රිත අක්රෂමය සංකේත බලයකුත් සහ ජවිපෙට ඉන්නේ ආමාත්යාංශයක වැඩ මෙහෙයවන්නට පුළුවන් අයවළුයි කියන අදහස් සමාජය තුළ ස්තාපිත වීම සමඟ ආ සංකේත බලයකුත් සමඟ, එක්ස් කණ්ඩායම සහ ජවිපෙ පෙරට වඩා රාජ්යයට ලංකරවන්නට මංගල-රුවන් දෙබෑයන්ට හැකිවුණි. රටේ ජනයා අතර ශිෂ්ටත්වය පිළබඳ පිළිවෙතක්  බිහිකරගත යුතුයි යැයි දෙවිදිහකට පොරටෝක් දුන් මේ දෙපාර්ශවයේ ම උදවිය, මංගල මියගොස් දැනට වසරක් ගෙවී ඇතත්, ඒ ගැන සුළු මාධ්ය ශෝක ප්‍රකාශයක්වත් නිකුත් කර නැතිවීම ඉතා හැඟවුම්කරණීය ය.

ඒ නිසා දේශපාලනය තුළ ශිෂ්ටත්වය සහ කුහකත්වය වචනික භාවිතාවක සිට  ක්රියාන්විත භාවිතාවක් බවට පත්කරගැනීම තවමත් අරගලයේ කොටසක් බව තවදුරටත් ඔප්පු වෙමින් පවතී. තවදුරටත් මහා චරිත ආත්මික වානරයින් ලෙස බලූවෙමින් පවතී.

මේ සියල්ල හරහා අද වනවිට දේශපාලනය කරන කොයි-කාටත් හොද්දට නැතිවම බැරි ලූණු වගේ චරිතයක් වූයේ රුවන් ෆර්ඩිනැන්ඩස් ය. රුවන් ෆර්ඩිනැන්ඩස් යනු මංගලගේ දේශපාලනය තුළ ප්‍රසිද්ධියේ නොකියවෙන තිරය පිටුපස ගොඩනැගිල්ලෙහි ගෘහනිර්මාණ ශිල්පියා ය.

 

aravinda15

 

මංගලගේ සංස්කෘතික ජීවිතයෙන් පරිබාහිර අමු දේශපාලන උපායමාර්ගයික සංදර්භයකදී රුවන් නැතුව මංගලවත්, මංගලගේ සංස්කෘතික ජීවිතයට අභ්‍යන්තර මානුෂීකකරණීය සංදර්භයකදී මංගල නැතුව රුවන්වත් අර්ථ දැක්විය නොහැකි තරමට මේ දෙපල සංදර්භ දෙකක් හරහා එකිනෙකාට යාවූ සුවිශේෂී සහ ආදර්ශරූපී මිනිස්-සම්බන්ධයක් නඩත්තු කළ මිතුරන් දෙබෑයකි. ඔවුන් දෙපල ලංකාවට බිඳ නොවැටෙන දේශපාලන මිතුරුකමක් පිළිබඳ නිහඬ ආදර්ශයක් පලකර ඇත. ඒගැන කවුරුත් කතා නොකරන්නේ, ඔවුන්ට එසේ වන්නට තරම් ආත්ම ශක්තියක් නැති නිසාවෙනි. හැමෝම කොතැනකදී හෝ තම හොඳම මිතුරාට සුළුවෙන් හෝ කෙලවා ඇති නිසාවෙනි.

ඒත් මේ දෙන්නා හවුලේ රැකගත් රහස් ගැන කුතුහලයෙන්, කුමක් හෝ මල්ලෙන් එළියට පනින පූසෙක් සොයමින් පසුපසින් පන්නාගෙන ආ කිසිවෙකු ඔවුන් දෙදෙනාගෙන් උපුටාගත යුතු සැබෑ සාරය හසුකර ගත්තේ නැත. ඒ නම් ඔවුන් තමන්ලා අතරින් එකෙක් මිය යන තුරුම බිඳ නොවැටෙන දේශපාලන මිතුරුකමක් නඩත්තු කලේ කෙසේද යන කාරණාව ය. මා දන්නා තරමින් භාතිය-සන්තුෂ් දෙදෙනාත් තම වෘත්තීය සම්බන්ධය කල් අල්වා ගත්තේ නීතිමය කරදාසියකට අත්සන් කිරීමෙන් පසුවය.

මන්ද අවිධිමත් කතන්දර නහුතයක ගිලී සිටින ජන සමාජයක් තුළ බෙදීම පිළිබඳ මිස එකමුතුවීම පිළිබඳ ආදර්ශරූප(Prototypes) විරල නිසාය.  

රුවන් මංගල කෙරෙහි ඉතා ස්ථිතික තනි-ව්යූහික විශ්වාසපක්ෂ බවක් දැක්වූවෙකි. රුවන් මංගල කෙරෙහිත් මංගල රුවන් කෙරෙහිත් තිබූ විශ්වාසපක්ෂකම, මංගල මියයන තුරුත් මුළුමනින් බිඳගත්තේ නැත. ඒ නිසා කුමන හේතූන් මත හෝ ඞී.එස්ව දමාගිය බණ්ඩාරනායක ද, එන්. එම්ව දමාගිය පිලිප් ගුණවර්ධන ද, රෝහණ විජේවීරව දමා ගිය ලයනල් බෝපගේ ද, සෝමවංශ අමරසිංහව දමාගිය විමල් වීරවංශ ද, අනුර කුමාරව දමාගිය කුමාර් ගුණරත්නම් ද, දීප්ති කුමාරව දමා ගිය නිර්මාල් දේවසිරි ද, වික්රමබාහුව දමාගිය වාසුදේව ද වැනි වූ පාවාදීම පැත්තට ඇදවැටී සබඳකම් බිඳවැටී ගිය පාත්‍රවර්ගයන්හට මංගල-රුවන් දෙපලගේ ලාංකීය භාවිත මිතුරු-දේශපාලනය තුළ ඉගෙන ගන්නට පාඩම් 03ක් ඇත.

1. මංගල ඉහළ මධ්යම පංතික සංස්කෘතිය තුළ ජෙනුයින් වීම.

2. ගෙවෙන නිමේෂයේ ලාංකීය දේශපාලන දැළ එලෙන ස්වරූපය හසුකරගැනීමට රුවන්ට තිබූ තක්කඩි ඉව.

3. මේ දෙදෙනාට ම තම තමන්ගේ ශ්‍රම කලාප ගැන තිබුණ අන්තර්-අවබෝධය.

 

සාමාන්‍යයෙන් මංගලගේ සමාජ පංතියේ කෙනෙක් රුවන්ගේ සමාජ පංතියේ කෙනෙකුව තම ජීවිතයේ සීරියස් දේවල් සඳහා යොදාගන්නේ නැත. එහෙත් රනිල්ට සජිත් සම්බන්ධයෙන් නොතිබූ සහ ජේ.ආර්ට ප්‍රේමදාස සම්බන්ධයෙන් තිබූ විවෘතභාවයක් මංගලට රුවන් කෙරෙහි තිබුණේ ය. එහිදී මංගල ජේ.ආර් ද ඉක්මවා රුවන් කෙරෙහි හැඟවුම්කරණීය මානුෂිකත්වයක් දැක්වූ මහා මිනිසෙකි. රුවන් ද සාමාන්ය-මධ්‍යම පංතිකයෙකුගේ සිට හුදු ප්‍රේමදාස කෙනෙකු නොවී සියළු පංති සහ සමාජ ස්ථරවලට විවෘත වීම මගින් මංගලට දේශපාලන පාර කැපීමට දායකවූ ජීවන මිතුරෙකි. රුවන්ගේ මේ ගුණය එක පැත්තකින් ඔහුගේ ජීව-විද්යාත්මක පවුලේ පීතෘක-ආරෙන් පැමිණි සුවිශේෂකත්වයක් නිසා අත්කරගත්තක් බව අනුමාන කළ හැකිය. අනෙක් පැත්තෙන් 88-89 කාලයේ තම සහෝදරයකු ද අහිමිකරගනිමින් දේශපාලනය නිසා මාතෘ පවුලේ පුද්ගලික ජීවිතය ඛේදවාචකයකට ගොදුරුවීමෙන් ලැබූ පන්නරය නිසා අත්කරගත්තක් බව ද අනුමාන කළ හැකිය.

රුවන් තමන්ට අදාළ නිර්දය චරිතයට පන පොවන්නට කොහෙත් ම පසුබට වන පෞර්ෂයක් නොවේය. එහිදී ඔහු ජේවීපීකාරයෙකුටත් වඩා දියුණු ජේවීපීකාරයෙක් වීමට වගබලාගත්තේ ය.

රුවන් දේශපාලනයේ දී මේ කතා කරන මොහොතේ ව්‍යූහය තව සුළු මොහොතකින් කඩා බිඳ දමා නව-ව්‍යූහයක් හදන්නට දෙවරක් සිතන්නෙකු නොවේ. ඒ නිසා තනි-ව්යූහාත්මකව තනි මානයකින් ජීවිතේ ගෙවන, හෘදසාක්ෂිය බිඳවැට්ටවීම නිසා හිත රිදෙන යම් අයෙකු වේ නම්, ඔහු හෝ ඇය දේශපාලනයේ දී රුවන්ව ඇසුරු කිරීම අනතුරුදායක ය. එය රුවන්ගේ වරදක් නොවේය. දේශපාලනයේදී රුවන් යනු පුද්ගලයෙකු නොවේ. දේශපාලනයේදී රුවන් යනු ගෙවෙන මොහොතේ ලාංකීය දේශපාලන ව්‍යූහය (Structure) ”පසුකර යන ව්‍යූහය” යි(Post-structure). ඔහු ඔබ හා දේශපාලන කාරණාවක් සම්බන්ධයෙන් ගිවිසගත් පොදු-ව්යුහයක් හදාගන්නේ ම, ඒ ව්යූහය පසුකර යා හැකි පසු-ව්යුහය ද සාක්කුවේ තබාගනිමිනි.

 

aravinda12 

ඔහු මේ දේවල් කරන්නේ ඩෙරීඩාගේ පසු-ව්යූහවාදය විද්යානුකූලව ඉගෙන ගෙන නොවේ. ඔහු මේ දෙවල් කරනුයේ සංවේදනය ඉක්මවා ගිය පූර්ණ ”සබුද්ධික සංජානනයක්” (Rational Perception) අනුගමනය කරමින් ද නොවේ. ඔහු මේ දේවල් කරනුයේ මුළුමනින් ධනේෂ්වර නොවූ අනුභූතික (Empirical) දැනීමකින් සහ ගෝත්රීක ඉවකිනි(instinct). ඒත් ඔහු කරන දේ කරන්නට මේ දක්වා ලංකාවේ වෙන කිසිවෙක් බිහිවී නැත. ලංකාවට මංගල සමරවීරලා හිටියේ එක්කෙනෙක් ම නම් රුවන් ෆර්ඩිනැන්ඩර්ස්ලා ඉන්නේ ද එක්කෙනෙකි.

ඔහු ඩෙරීඩාව නොදැන හො නොහදාර මෙසේ ප්රායෝගික පසු-ව්යුහය ගැන න්යාය උගත් බෝහෝ උදවියට පවා ඉදිරියෙන් සිටීම මැජික් එකකි. බොහෝ සබුද්ධික දේශපාලනඥයින්ට රුවන් නැතුව ම බැරිවන්නේ මේ නිසා ය. මන්ද ලාංකේය පොළවේ දේශපාලන නූල්සූත්තරවාදයේ පියා රුවන් ෆර්නැන්ඩස් වන බැවිනි. තමන්ට එන දහසක් විවේචන හිතට වද්දා නොගෙන තමන් යොමුගතවී සිටින වැඩෙහි අවසානය දක්වා නියුතුවීම ඔහුගේ නිර්ලාංකික ගුණයකි.  එහිදී සටකපට නූල්සූත්තරවාදියෙක් ලෙස ප්රකට රනිල් වික්රමසිංහ පවා සිටිනුයේ රුවන්ට පසුපසිනි. රුවන් තම ”කැපුවත්” කොලිටිය හිත යට සඟවා  එය මංගල කෙරෙහි පමණක් තබා ගන්නටත්, ඊට සමාන්තරව අනෙක්  ඕනෑ ම ව්යූහයක් කපා කොටා නැවත හදමින් යන්නටත් තරම් වන ජීවන ධාරිතාවක් හිමි තීක්ෂණ භවයකි.

මංගල ද රුවන්ගේ මේ නොනිල සහ ප්රශස්ත සමාජ සබඳතා දැළ කෙරෙන් පැමිණෙන කිසිවක් ප්රසිද්ධ දේශපාලන ටේබල් එකට ගෙන ආවේ නැත. ඊට තරම් වූ හික්මවීමක් මංගල තුළ තිබුණි. දේශපාලන නූල්සූත්තරවාදයේදී රුවන් විසින් මංගලව මෙහෙයවීමත්, ප්රභූ සංස්කෘතික ලෝකය හා ගණුදෙනුවේදී මංගල විසින් රුවන්ව මෙහෙවීමත් දෙදෙනා විසින් දෙදෙනාට ම අවිඥානිකව කරගත්තා වූ අන්තර්-පෝෂණයකි.

ඒ නිසා මේ දෙදෙනාගේ අභ්යන්තර ලෝකයේදී ඔවුන්ගේ චරිත යට පවතින ”කැපුවත් කොලිටිය” භාහිර දේශපාලන ලෝකයේ දී පිටතට පැමිණීම කොතරම් අවමද කීවොත්, බැහැරට පෙනෙන්නේ මේ දෙන්නා සාමාන්ය ජීවිත ගත කරන දෙදෙනෙකු විලසට ය. නමුත් රුවන් ගන්නා හදිසි දේශාපලන තීන්දු නිසා ඔහු සමඟ කටයුතු කරන ඔහුට හිතවත් අය පවා හදිසියේ තම දේශපාලන ෆෝකස් එක ඔරේමන්දම් වී යාම නිසා ඔහු සමඟ නිස්කාරනේ තරහවෙති. මොකද ඔහු කරන දේවල් අවබෝධ කරගන්නට බැරුව දෙබින්න් හෝ තෙබින්න මානසිකත්වයකට ඇදවැටුන කැපුවත් කොලිටියේ අයෙකුට ඔහුව දැනෙන්නේ මහා භයානක මිනිසෙකු විලසට ය. ඉතිං මෙලෙස රුවන්ගේ ව්යූහයට  තුළ ඇති හෘදසාක්ෂියක් නැති අදිසි ක්රියා පසුපස යාන්තරණය හසුකරගන්න බැරිවුණ ගමන්, සාමාන්ය ජනයා නම් කරන්නේ රුවන්ට කාඞ් ගැසීම ය.

මුලින් ජවිපෙ සාමහාජිකයෙකු වූ රුවන් ෆඩිනැරන්ඩස්ව මංගලගේ වැඩකටයුතු කළමණාකරණය කරගන්නට තොරාගත්තු මුල් මොහොත ගැන තොරතුරක් මට දැනගන්නට ලැබී නැති මුත්(රුවන් ඒ ගැන පවා ඇත්ත නොකියන්න ඉඩ තියෙන නිසා මම ඇසුවේ නැත), මංගල විසින් රුවන්ව තෝරා ගනිද්දී ම, අදටත් ලාංකීය දේශපාලනය තුළ පොළෝ මට්ටමේ ව්යූහය ජවිපෙ යැයි අවම තේරුම්ගැනීමක් හෝ මංගලට තිබී ඇත.

රුවන් ෆර්ඩිනැන්ඩස් කියන්නේ උතුරේ දකුණේ සියළු පක්ෂ, ආයතන කල්ලි කන්ඩායම් ඇතුළු සමාජ ව්යූහයන් බහුතරයක සමඟ එකවර සම්බන්ධකම් පැවැත්වීමේ හැකියාව ඇති, කිසිවෙකු සමග තරහ වන්නේ නැති, ප්රමාණයෙන් ගත්කල සාපේක්ෂව විශාලතම නොනිල දේශපාලන සම්බඳතා ජාලයේ ලාංකේය හිමිකරුවා ය.

ඒ නිසා රුවන් කා සමඟ සාකච්ඡාවකට හිඳ ගත්තත්, තමන් හා සාකච්ඡාඡාකරන අනෙකාට අවිඥානික පදාසයක් ගැන සවිඥානිකව සිටින චරිතයකි. ඒ නිසා රුවන් යනු හුදු පුද්ගලයෙකු නොව, ගෙවෙන මොහොතේ සාකච්චාව තුළ අනෙකාගේ ව්යූහය(Sructure) පසුකර යන පසු-ව්යූහය යි(Post-Structure).

 

යුරෝපයේ බිහිවූ පසු-ව්යූහ-විද්යා (Post-Structural Sciences) දැනුම දේශපාලනයට ආදේශ කිරීම පිළිබඳ ලක් න්‍යායාචාරීන් විසින් මේ කියන දේ ගැන වල්ගෙ පාගාගෙන හරියන්නේ නැත. එයාලාටත් ඒ න්යායේ ප්රැක්ටිකල් එක කරගන්න උවමනා නම් රුවන්ගේ ලැබ් එක හොයාගෙන එන්න වනු ඇත. ඒත් ඔහු කිසිවක් උගන්වන්නෙක් නොවේ. ඔහු උදාසීනව බලාසිටිමින් ක්රියාකාරීව චෛතසික හසුරුවන්නෙකි.

රුවන්ට න්‍යායාචාරීව අභියෝගයක් නොවන්නේ, ඔවුන් රුවන් එක්ක එකට හිඳගන්න සාකච්චාවන් යට, ඔවුන්වත් නොදන්නා දත්ත සහ තොරතුරු ප්රමාණයක් හැමවිට ම රුවන් සතුව පවතින බැවිනි. ඒ දත්ත සහ තොරතුරු විශ්ලේෂණය කර ගැනීමේ දී රුවන් තවමත් 19 සහ 20 ශතවර්ෂවල දිවි ගෙවෙන ජවිපෙ සාමාජිකයෙකු ම වන්නේය. ඒත් ඒ දත්ත තොරතුරු අන් අය ලඟ නැත. ජවිපෙ ලඟ ද නැත. රුවන්ගේ මැදිහත්වීමෙන් ඇතිකෙරෙන අවසන් දේශපාලන ප්රතිපලය ඉදිරියේ ජවිපෙ පවා ඇහිබැම ලොකු කරගන්නේ මේ නිසා ය.

මන්ද රුවන්ට මෙය එදිනෙදා ජීවිතය ය.

ඒත් රුවන්ගේ සිතියම නොදන්නා කෙනෙකුට එය තම අවිඥානය හෙවත් නොදත් දෙය යි.  

ඒ නිසා තීරණ ගන්නා සංවාදයකදී ඒ සංවාදයට සහභාගීවන දෙපාර්ශවයට ම මතුපිටින් පෙනෙන ව්යූහය පරිදි ම රුවන් විසින් සාකච්චා මෙහෙයවාගෙන ගිය ද, ඒ හැම මොහොතක ම සාකච්චාවට යටින් සැහැල්ලූ ට්රම්ප් කාඞ් එකක් හෝ වල් කොලයක් ගසා අවස්ථාව තමන් වෙත ජයග්රහණය කරගැනීමේ වැඩි සම්භාවිතාව ඇත්තේ රුවන්ට ය.

ඉදින් කල් ගතවී යම් දිනෙක හෝ පසු-ව්යූහ-විද්යාවේ න්යායික පදනම හදාරන තුරු ම, රුවන් කියන්නේ තම විශ්ලේෂණ ඥානය කෙසේ වෙතත් දත්ත සහ තොරතුරු බහුතරයක් කළමනාකරණය කරගැනීම අතින් ලක් රජයේ දේශීය බලප්රදේශය තුළ පවතින ජාතික-කාබනික-ඇල්ගෝ-රිදමයක් හා සමාන මනුස්ස අනුරුවකි. ඒක තමයි මංගලගේ දේශපාලනය තුළ රුවන්ව ජාතිකක් ප්රාග්ධනයක් වන ලක්ෂය. මම මේ කියන දෙය ද රුවන්ට තේරෙන්නේ අනුභූතිකව මිසක විද්යානුකූල සබුද්ධිකත්වයක් තුළ නොවේ.

රුවන් අදාළ වැඩයක නූල්සූත්තරවාදී පාට් එක කරගහගෙන ඉන්න තරමට, මංගලට තම දේශපාලන ප්‍රතිරූපයේ සූධීමත්භාවය සීයට සීයක්ම බව ලොවට මවා පෙන්විය හැකි විය.

කවුරුත් හිතං ඉන්නා ආකාරයට දේශපාලන බලය යනු රුවන්ව ආරක්ෂා කර දෙන  ප්‍රධාන සාධකය නොවේ. රුවන්ගේ පසු-ව්යුහාත්මක භාවිතය යමෙකුගේ දේශපාලන බලය ලබාදීම සහ පවත්වාගෙන යාම හෝ ආකරක්ෂා කිරීම කෙරෙහි බලපාන  ප්රධාන සාධකය යි. ඒ නිසා මහින්ද රාජපක්ෂගේ මාරාන්තික වරිගවාදී දේශපාලන භාවිතය සහ සාගලගේ බටකොල-ආච්චීමය යටිමගඩිවාදය නොවන්නට මංගල මිය යන්නේ අවම තරමින් රටේ අගමැති විදිහට ය.  

එතකොට රුවන් යනු සර්ව-කාලීන ව්යුහයක්දැයි යම් විද්යානුකූල සිතන්නෙකුට මගෙන් අසන්නට සිතෙනු ඇත.

නැත!!!

ජාතික රාජ්යයක දේශීය බල- ප්රදේශ සිමාව තුළ පවතින ලොව  ඕනෑ ම මනුෂ්යවේශී කාබනික ඇල්ගෝ-රිදමයක්, ජාතික බල- ප්රදේශ සීමා මායිම් මකන ගෝලීය දේශාපාලනාර්ථික පද්ධතියකින් ක්රියාන්විත වන අකාබනික ඇල්ගෝ-රිදමයන්වල මිලියන ගණන් දත්ත සහ තොරතුරු විශ්ලේෂණ ක්රියාදාමායට වඩා ප්රමාණාත්මකව සේම ගුණාත්මකව ද ඇබිති ය. ඒ නිසා ගෝලීය අකාබනික ඇල්ගෝ-රිදමයන් ඉදිරියේ රුවන් යනු ඇබිත්තයෙකි.

ඒ නිසා කාර්-මික විප්ලවයේ සොයාගැනීම් අනුව වේගයෙන් රෙදිවිවීම කළ හැකි නූතන කාර්-මික විවීම් යන්තරය බිහිවීමත් සමඟ එතෙක් පැවති අතින්(Manual) රෙදි වියන වැඩවසම් යන්තරය පරිවාරයට විසිව ගියේය. එසේ ම, නව-නූතන තාක්ෂණයෙන් පිලිපන් අකාබනික ඇල්ගෝ-රිදමයන් විසින් මෙතෙක් සිටින රුවන් නැමති කාබනික ඇල්ගෝ-රිදමය පසෙකට විසිකර දැමීම ඉදිරි දශකයක කාලය පිළිබඳ ප්රශ්නයක් විතර ය. එයින් පසුව ගෝලීය අකාබනික ඇල්ගෝ-රිදමයන් විසින් රුවන්ටත් වඩා හිතක් පපුවක් නැති ගානට මේ දේශපාලන නූල්සුත්තරවාදය රටේ දේශපාලනය සිදුකරනවා ඇත.

උදාහරණයක් විදිහට, මනුස්ස රියදුරන් නැතිව ඇල්ගෝ-රිදමයන්ගේ මෙහෙයවීමෙන් කාර් ධාවනය කිරීම ලොව ප්රධාන ප්රවාහන භාවිතය වන්නට නියමිතව ඇතුවයා සේ ය. දැනට ලොව පුරා ඉන්න මනුස්සයින් වාහන ධාවනය කිරීම නිසා දවසකට සිදුවන හදිසි අනතුරු සංඛ්යාව මිලියන 1.3කි. නමුත් වාහන පැදයාමේ වගකීම මිනිසුන් කෙරෙන් ඇල්ගෝ-රිදමයන් වෙත මුළුමනින් බාර දෙනු ලැබුවොත්, අර හදිසි අනතුරු මිලියන 1.3න අවම වී යනවා ඇත.  එහෙත් එයින් කාර් රියදුරුලාගේ රස්සා බිලියන ගණනක් අහිමි වී මහා රැකියා ප්රශ්නයක් ඇතිවීමට නියමිත ය. කාර්-මිකකරණයෙන් බිහිවූ ”මනුස්ස ධාවන කාර්”, අකාබනික ඇල්ගෝ-රිදමයන් විසින් ධාවනය කරන ”තාක්ෂණික කාර්” බවට මාරුවීම ඉදිරියේ, අර මනුස්ස ධාවන කාර් මුළුමනින් අවලංගු වී යනු ඇත.

මේ සියල්ල කාලය පිලිබඳ ප්රශ්නයක් විතරය.

රුවන් නැමති ව්යූහයට ද කාර්මික කාර්වලට වූ දෙය ම සිවනු ඇත.

ඉතිං උපාය-මාර්ගයික මනුෂ්යවේශී කාබනික ඇල්ගෝ-රිදමයක් ලෙස ක්රියාන්විතව පවතින රුවන්ගේ මොළය ප්රධාන ස්නායු පද්ධතියෙන් ව්යුත්පන්න මැනුවල් ”ව්යූහය” අවුට්ඬේටඞ් වී, ගෝලීය අකාබනික ඇල්ගෝ-රිදමයන් ඔහු පසුකර යන පසු-ව්යූහය රටට සපයා දෙනු ඇත. එවිට ගෝලීය ප්රාග්ධනයෙන් සපයා දෙනු ලබන මෙකී පසු-ව්යූහය ඉදිරියේ රුවන් නැමති ව්යූහය වැඩකට නැති ඉවතලීමක් බවට පත්වනු ඇත.                                                                                                          දැනටමත් ඇල්ගෝ-රිදමයන් විසින් මේ කොදෙව්ව තුළ සැටලයිට් තාක්ෂණයට යටත් සයබර් අවකාශය විසින් කැඳවනු ලැබූ මහා ජන අරගල ඇතිකරන්නටත්, ඉන්දියාව හරහා රටේ ජනාධිපති කවුදැයි යන ඇමෙරි-යුරෝ තීන්දුව ලබාදීම වැනි ක්රියාන්විතවීම් සිදුකරන්නටත් පටන්ගෙන හමාර ය. ඒ කියන්නේ ඇල්ගෝ-රිදමයන් විසින් ලක් රටේ නාගරික මැදපංතියේ සිට ඉහළ පංතිය දක්වා ජනයා මෙහෙයවන්නටත් පටන් ගෙන හමාරය. මේ කියාදෙන දෙය, සයිබර් අවකාශය පරිභෝජනය කරන ජනයාට පවා අවිඥානක නිසා එසේ නැතැයි පවසා පැස්බරා සේ ඔළුව සඟවාගෙන පලක් නැත.

මෙය සිදුවනවා ම ය.

පසු-ව්යුහ-විද්යාව හැදෑරීම සහ නව-නූතන තාක්ෂණෂයේ ඇල්ගෝ-රිදමයන්වල ටෙක්නික්ස් අනුසාර කරගැනීම හරහා රුවන්ට පුද්ගලිකව වත්මන් නොනිළ වෘත්තියේ ස්වභාවය යුගයට සාපේක්ෂව ව්යූහාත්මකව ඇජස් කරගැනීම කරගතහොත්, උවමනා නම් තම රැකියාව නියෝ-මෝඞ් එකකට හරවාගැනීමෙන් එක්සපයර් වීමෙන් බේරිය හැකිය.

 එහෙත් ඔහු මේ ගෙවෙන මොහොත තෙක් පවත්වාගෙන ගිය පෙර-නූතන සහ නූතන ව්යූහ සියල්ල ම ඉදිරි දශක එකහාමාර තුළ අවලංගුවී යනවා ඇත. එතකොට රුවන්ගේ කාබනික ශරීරය ද මීට වඩා වයසින් අසීරු තත්වයක වී පැවතිය හැකි නිසා, ”නූල්සූත්තර අදිමින් මනුස්ස හිත් ගණන් නොගෙන හිටියාට වඩා, සාමාන්ය විදිහට ඉඳිමින් මනුස්ස හිත් රන්දගන්නට තිබුණා නම් හොඳ නොවෙදැ”යි වැනි පසුතැවිලි සිතක් රුවන් නැමති මනුෂ්යයා තුළ ඇතිවෙන්නට පුළුවන.

එහෙත් එසේ සිතීම භෞතික විසඳුම නොවන අතර, ඊළඟ තාක්ෂණික ඇල්ගෝ-රිදමික ලෝකය තුළ යලි-ස්ථාපිත(Re-establish) වීම සි දුකළ යුතුබව ඔහු තෙරුම්ගත යුතුය. නගුලක් අරන් හාන්න කඹුරට බැස්ස ගොවියෙක් ආපසු හැරී බැලිය නොයුතු යැයි ජේසුස් කියා ඇත.

ඉදින් රුවන්ගේ බිරිඳගේ සිට ඔහුට සමීපතම ගැහැනු පිරිමි පාත්රවර්ගයෝ බහුතරයකට මේ මොන මලදානයක්වත් තේරෙන්නේ නැත. මංගල නැති ලොවක රුවන්ට ඇත්තේ අන් අයට කියාගන්න බැරි රහස් කතා නහුතයකින් සැදි දේශපාලන උපායක් සමඟ තනිවීමකි. එතනදී මහා ජනකායක් ඉදිරියේ දී වුවද මංගල නැති ලොවක රුවන්ට දැනෙනුයේ මහා දේශපාලන තනිකමකි. 

ඒ අතින් කලින් පෘථිවිය හැරදා යන්නට ලැබීම නිසා නිසා මංගල වාසනාවන්ත වී ඇත.

ඊයේ පෙරේදා ෆේස් බුක් පිටුවක මංගලගේ පින්තූරයක් සමඟ දමා තිබූ පෝස්ට් එකකට ප්රතිචාර දක්වමින් මා දුරස්ත මිතුරු අජිත් කුමාරසිරි මංගලව හඳුන්වා තිබුණේ ”මගේ අත්දැකීමට අනුව තක්කඩියෙක්” යන සටහනකිනිි.

සමාජ දේශපාලනයට පිවිසෙන  ඕනෑම ලාංකිකයෙකුට යම් කිසි හෝ සටකපට වැඩ කරන්නට වෙන බව හැබෑ ය. දේශපාලනයට වඩා සටකපට වැඩ පවතින්නේ සාමාන්ය ජන ජීවිතයේ ය. දේශපාලනය තුළ එය වැඩියෙන් හුවාදැක්වී පෙනෙනවා ය. ඒ නිසා ජනයා බය නැතුව දේශපාලකයාගෙන් හෙළිදරව් වූ සටකපටකම පමණක් අනුව ඔහුට ”තක්කඩියා” යැයි පවසමින් තමන්ගේ තක්කඩිකම ෂේප් එකේ වසාගන්නවා ය.

මට පැහැදිලිව අජිත් වෙත එක දෙයක් කිව හැකිය. අජිත් විසින් නිෂාන්ත ගම්මුදුවත්තට කළා වාගේ දේවල් නම් මංගල විසින් චන්ද්රි පීරිස් වැනි මිතුරෙකුට කිසිම දවසක නොකරන බව මට ටක්කෙට ම කිව හැකිය. සෞන්දරය කලාවේ අයාලකාමී පාදඩ අක්ෂය සහ සෞන්දරය කලාවේ ඉහළ-මධ්යම පංතික අක්ෂය අතර මානුෂීයත්ව වෙනස ඔයාගේ ප්රකාශයෙන් පිළිබිඹු කරදෙනව. 

මං පුංචි කාලෙ ඉඳන් හොයපු දෙයක් තමයි ලෝකයේ ”හොඳ මිනිස්සු”සහ ”නරක මිනිස්සු” කියල වෙන් වෙන් වශයෙන් දෙකොට්ඨාශයක් ඉන්නවද කියන කාරණය. මොකද, මගේ කුඩාකාලයේ වැඩිහිටියෝ බහුතරයක් දෙනා ”හොඳ” සහ ”නරක” පිළිබඳ එබඳු නිරපේක්ෂ අදහසක් තමයි මට කියල දුන්නේ. පස්සෙ තමයි මට තේරුණේ, සාපේක්ෂ අදහස් ඉගෙන ගන්නා තුරු හැම දරුවෙක් ම නිරපේක්ෂව හිතනව කියල. ඉතින් වැඩිහිටි වෙත්දි මට හමුවෙච්ච දැනුමින් මම සාපේක්ෂව හිතන්න පටන් ගත්ත. ඒත් මටත් වඩා වැඩිමහල් අජිත් මංගලව විනිෂ්චය කිරීමේදී ළමාවිය වැළඳගෙන ....

 

නවතම ලිපි