දහනවවන ශත වර්ෂයේ අග භාගය ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් වූ සමය.

කන්ද උඩරට රාජධානියේ ප්‍රධාන අගනගරයට මදක් දුරින් පිහිටි අම්පිටිය ගම්මානය. වචනයේ පරිසමාත්ත අර්ථයෙන්ම සුන්දර ගම්මානයක්.

පුංචි කදුගැට උඩින් උදේට හිරු නැගෙන හැටි බලාගෙන ඉන්න ආසා කරන දසුනක්. වර්ෂය පුරාම නොසිඳි ගලා හැලෙන පුංචි දොල පාරවල් ගමේ සෞභාග්‍ය වෙච්චි කුඹුරු යාය අස්වද්දන්න උදව් වෙනවා. ඒ විතරක්ද ගමට මායිම්ව තියෙන මලින් පලින් බරවුනු මහ වනය නොයෙකුත් වන සතුන්ගෙන් පිරිලා. මීමැස්සන්, සමනලයන් මලින් මලට පියාඹමින් පැණි හොයනවා. කුරුළු ගීත අහන්න කවුද අකමැති ඒවා අහගෙන ඉද්දි හැම දුකක්ම අමතක වෙනවා. හරියට භාවනාවක් වගේ. එනමුත් මේ සුන්දරත්වය ඇතුලෙත් සෝකාන්ත නොතිබුනාම නෙමේ.

මේ කියන්න යන කතාව ඒ වගේ එකක්. ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය වෙච්චි මේ ගමේ මැද හරියේ තිබුනා වලව්වක්. මේ වලව්වේ අයිතිකාරයට කවුරුත් කිව්වේ අම්පිටියේ රාළහාමි කියලා. පවුලේ කිහිප දෙනෙක් දන්න රහසක් තිබුනා. ඒ තමයි අම්පිටියේ රාළහාමි සිංහල රාජ පරම්පරාවෙන් පැවතගෙන එන කෙනෙක් බව. ඒ උනත් දැන්නම් සුදු අධිරාජ්‍යවාදි පාලකයන්ගේ අතකොලුවක් වෙලා ආරච්චිල පට්ටමකින් සෑහිමකට පත්වුනු කෙනෙක්. රජයේ බදු නිලධාරියාගේ කාර්‍යයත් පැවරිලා තිබුනෙත් මෙයාටම තමයි.

ආරච්චිලගේ වලව්වේ හිටියේ බිරිඳයි, දියණියයි, නිවසේ වැඩට උදව් කරන බණ්ඩා කියලා මනුස්සයෙකුයි විතරයි. අවුරුදු දාසයක් විතරවුනු දියණිය රූප සෝබාවෙන් අගතැන්පත් වෙලයි තිබුනේ. කුඩා කාලයේම ඇයව බෞතිස්ම කරලා තිබුනු නිසා ඇයට නම යොදා තිබුනෙත් දෝන කැතරිනා කියලා. පාසල් අධ්‍යාපනයත් හොදින්ම හදාරලා තිබුනු ඇයට පියා විසින් දේශීය සටන් කලාවත් උගන්වලයි තිබුනේ. මේ කාලේ වෙද්දි රට පාලනය කරපු විදේශිකයෝ හැම පැත්තෙන්ම ජනතාව පීඩාවට ලක්කරලයි තිබුනේ. ඉඩම් බද්ද, කුඹුරු බද්ද, පුරන් බද්ද කියලා වගා කෙරුවත් නොකෙරුවත් මිනිස්සුන්ට බදු ගෙවන්න සිද්දවුනා. ඒ විතරක්ද ජීවත් වෙනකමට ඇඟ බද්දකුත් ගෙව්වා. ගෙදර සුරතලේට ඇති කරන බල්ලටත් බද්දක්. මොනවා කරන්නද හුගක් මිනිස්සු නිහඬවම මේ හැම බද්දක්ම ගෙවන්න පුරුදු වෙලා හිටියා. ඔය අතර කිහිප දෙනෙක් විතරක් මේකට විරුද්ධව අදහස් ප්‍රකාශ කලා විතරක් නෙමේ ආණ්ඩුවට විරුද්ධව කැරළි ගහන්නත් පටන් ගත්තා.

ආරච්චිලට පැවරිලා තිබුනු තවත් රාජකාරියක් තමයි කැරලි ගහන අය ගැන තොරතුරු හොයලා ආණ්ඩුවට දැණුම් දෙන එක. මොනවා උනත් අම්පිටිය රාළහාමි ඇත්තම සිංහල රාජවංශයේ කෙනෙක් හින්දද කොහෙද තමන්ගෙම මිනිස්සුන්ව පාවලා දෙන වැඩේ කර ඇරියා. මේ ගැන ආණ්ඩුවත් රාළහාමි ගැන අවිශ්වාසයෙන් සැකයෙන් තමයි හිටියේ. දන්නවනේ සමහර මිනිස්සු ඉන්නවා අවස්තාවෙන් ප්‍රයෝජනය ගන්න. ඉතිං ආරච්චිල පට්ටමට ඇහැ ගහගෙන හිටපු මේ ගමේම ජීවත් වෙච්චි තවත් කෙනෙක් ආරච්චිල කැරලි කරුවන්ට සම්බන්ධයි කියලා පරදේශිකයින්ට ගතු කේළම් කියන්න පටන් ගත්තා. සැකයෙන්ම හිටපු ආණ්ඩුවත් මේක ඇත්ත කියලා හිතලා ඔහුව අත්අඩංගුවට ගන්න කටයුතු සැලසුම් කෙරුවා. ආරච්චිලට හිතවත් අයගෙන් මේ තොරතුර ඔහුගේ කණටත් ගලාගෙන ආවා. දැන් ඉතිං මොකක් කරන්නද? ආණ්ඩුවට විරුද්ධ අයට බොහෝ දුරට අත්වුනේ මරණය. දැන් තමන්ටත් වෙන්න යන්නේ ඒ වගේ ඉරණමක් නේද කියලා හිතුනත් රාළහාමිට හාංකවිසියකවත් දුකක් තිබුනේ නෑ. නමුත් තමන් නිසා තමන්ගේ බිරිඳටත්, දියණියටත් කරදරයක් වෙයි කියන බය තමයි තිබුනේ.

වෙනදා වගේම එදත් උදේ ඉර ගල මුදුනෙන් එබිලා බැලුවා. ගම අඩනවද මන්දා වලව්ව පාළු වෙලා. උදේ රැයින්ම වලව්වෙන් දෙන්නෙක් පිටත් වෙලා ගිහින් තිබුනා. ඒ වෙන කවුරුවත් නෙමේ පුංචි මැණිකේ ඒ කියන්නේ දෝන කැතරිනයි සමග අත් උදව්වට හිටිය බංඩයි කියන දෙන්නා. ලොකු මැණිකෙටත් යන්න කිව්වට ඇය රාළහාමිත් එක්කම වලව්වේ නතරවුනා.

දින ගණනාවක්ම රූස්ස කැලැ මැද්දෙන් බොහෝ දුරක් ගෙවාපු පුංචි මැණිකෙයි බංඩයි දෙන්නා මගතොටදි හම්බ වෙන අයට කිව්වේ තමන් තාත්තායි දුවයි කියලා. අවසානෙදි මේ දෙන්නා ඇතුල්වුනේ රෙදි පිරිසිදු කරන රැකියාවන් කරන ගම්මානයකට. මේ බංඩා කුඩා කාලයේ හැදි වැඩුනු ගම් පියසය. සිංහල රජ කාලේ රාජ්‍ය සේවයක් හැටියට සලකපු මේ රැකියා කරන්නන් පසු කාලීනව ආපු පරදේශිකයින් විසින් කුල හීනයින් ලෙස හැදින්වීම නිසා සාමාන්‍ය ජන සමාජය තුලදීත් ඔවුන්ට සැලකුවේ අඩු සැලකිල්ලක්. කොහොමින් කොහොම හරි පුංචි මැණිකේ වලව්වෙන් පිටත් වෙද්දි ඇඳගෙන හිටපු ඇඳුම් මගදි ගලවලා රෙද්දකුයි හැට්ටයකිනුයි සැරසිලා හිටපු හින්දා රදල පෙනුම අයින් වෙලා තිබුනත් කලු පාටට ඉන්න බංඩා මේ තමන්ගේ දුව කියපුවාමනම් රූප සොබාවෙන් අගතැන්පත් මේ යුවතිය ඇත්තටම බංඩාගේ දුවෙක්මද කියලා හැමෝටම තිබුනේ ප්‍රශ්ණාර්ථයක්. ඇගේ අම්මා අසනීපයකින් හදිසියේම මිය පරලොව ගිය නිසා නැවත තමන් ගමට පැමිණි බව තමයි බංඩා මේ ගමට කියාපු බොරුව.

දැන් බංඩයි පුංචි මැණිකෙයි රෙදි හෝදන රැකියාවම කරමින් මේ ගමේම පදිංචි වෙලා වසර කිහිපයක්ම ගෙවිලා ගිහින් තිබුනා. මේ අතරෙදි තමයි ආණ්ඩුව අළුත් බද්දක් පනවන්න තීරණය කෙරුවේ. ඒ තමයි ආණ්ඩුවේ තනතුරු දරණ රදල පවුල්වල හැර අනෙක් සියලු කාන්තාවන් උඩුකය පලදින්නේනම් ඒ සඳහා රජයට බද්දක් ගෙවිය යුතු අතර එසේ නොගෙවන්නේනම් උඩුකය නිර්වස්ත්‍රව සිටිය යුතු බවයි. නියම කර තිබු බදු මුදලත් ඉතා ඉහල අගයක් ගත් බැවින් දුප්පතුන්ට එය මරු පහරක්ම විය. මෙම බද්ද නම් කර තිබුනේ පියයුරු බද්ද යන නාමයෙනි. මේ බද්ද පැනවීමත් සමග බොහෝ කාන්තාවන් නිවස තුලටම සීමාවිය. පාසැල් යමින් සිටි දැරියෝද ඉගෙනුමට තිත තැබුහ.

දෙස් දෙවොල් තබනවා විනා මෙයට විරුද්ධව වචනයක්වත් කතා කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවුයේ ආණ්ඩුවට විරුද්ධවීම බ්‍රිතාන්‍යය රැජිණියට විරුද්ධ වූවා සේ සලකා මරණිය දණ්ඩනයට යටත්වීමට සිදුවන බව හොදාකාරවම දැන සිටි නිසාවෙනි. බදු නිලධාරින් ලෙස පත්කර තිබුනේ සිංහල මිනිසුන් නිසා නීතිය හරියාකාරව සිදුවන්නේදැයි සොයා බැලීමට බ්‍රිතාන්‍ය සොල්දාදුවන් වරින් වර ගම්මාන වලට පැමිණ පරික්ෂා කරන්නට විය. ඒ නිසාම බදු නිලධාරින්ද සතියකට කිහිප වරක් බලප්‍රදේශය තුල පරික්ෂා කර නීතිය උල්ළංගණය කරන අය පිළිබද සොයා බැලීය.

මෙවන් එක් දිනයක දර කැඩීම සඳහා අසල වනයකට ගොස් පැමිණෙන පුංචි මැණිකා හා සම වයස් යුවතියන් පිරිසක් බදු නිලධාරියාගේ මුණටම මුලිච්චිවිය. උඩුකය ආවරණය කර සිටින මෙම යුවතියන් දුටු බදු නිලධාරියා ඔවුන් නවත්වා රටේ පනවා ඇති නීතිය ගැන ඔවුන්ට මතක් කර ඒ මොහොතේම උඩුකය නිරාවරණය කරන ලෙසත් එසේ නොමැතිනම් අදාල බදු මුදල ගෙවිය යුතු බවත් දන්වා සිටියේය. යුවතියන් බිම බලාගත්තා විනා කිසිවක්ම දෙඩුවේ නැත. බදු නිලධාරියා එවර සැර පරුෂ ආකාරයෙන් යුවතියන් ඇමතුවත් ඔවුන් නොවේ හිස එසවූයේ. ඒ නිසාම තමන් සමග සැමදාමත් තනි නොතනියට පැමිණෙන අතවැසියන් දෙදෙනාට ඇමතු බදු නිලධාරියා මේ ස්ත්‍රීන්ගේ උඩුකය වසා ඇති රෙදිකඩ ගලවා දමන ලෙස අණ කලේය. යුවතියන්ගේ මුහුණු ලැජ්ජාවෙන් සලිත වූවාය. චණ්ඩීන් දෙපල යුවතියන් දෙසට ගමන් කරන්නට විය.

පුංචි මැණිකා යුවතියන්ගේ ඉදිරිපිටට පැමිණියාය. එක් චණ්ඩියෙක් මේ යුවතියගේ පපුව දෙසට දෑත් දිගුකලා පමණි සිදුවූයේ කුමක්දැයි කිසිවෙකුටත් වටහා ගන්නටත් පෙර චණ්ඩීන් දෙපලම මහපොලොව බදාගෙන බිම වැතිර සිටියහ. මෙතෙක් බිම බලාගත්වනම සිටි අනෙකුත් යුවතියන් හිස ඔසවා බැලුකල සිදුවී ඇත්තේ කුමක්දැයි වටහා ගනු නොහැකිව උනුන් මුහුණු බලා ගත්හ. හැඩි දැඩි සිරුරෙන් යුක්ත බදු නිලධාරියා එවර පුංචි මැණිකා දෙසට පැන්නාය. එපමණකි බදු නිලධාරියාද බිම හොත්තේය. එවරනම් සිදුවුයේ කුමක්දැයි සියල්ලන්ටම පැහැදිලිය. ඒ හෙල සටන් කලාව ඉහළින්ම ප්‍රගුන කල පුංචි මැණිකා විසින් ක්ෂණික පහර දීමකින් තිදෙනාම දුර්වල කරන්නට සමත්වී ඇති බවය. ඉන්පසු යුවතියන් එම ස්ථානයෙන් පිටත්ව ගම දෙසට ඇවිද ගියහ.

පසුදා පහන් වනවිට පරදේශික සොල්දාදුවන් ගම වටකර පුංචි මැණිකාව සොයා මෙහෙයුමක් දියත් කලහ. අත්අඩංගුවට ගත් පුංචි මැණිකාව කෙළින්ම රැගෙන ගියේ අධිකරණය වෙතයි. ඇයට විරුද්ධව තිබු චෝදනානම් රජයේ බදු පනත්වලට අවනත නොවීම, රාජකාරියට බාදා කිරීම, රාජ්‍ය නිලධාරින්ට පහරදීම, බ්‍රිතාන්‍ය රාජ්‍යයට හා රැජිණියට විරුද්ධවීම. මේ චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ තෝල්ක මුදලි විසින් සිංහලෙන්ම ඈ වෙත ප්‍රකාශ කල අතර නිදහසට කරුණු ඇත්දැයි විමසා සිටියේය.

එයට පිලිතුරු දුන් ඇය සංස්කෘතියට අනුව හැදී වැඩුනු කාන්තාව ලැජ්ජාවට පත් කරන මෙවන් තීන්දූ තීරණ තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, තමන්ගේ සිරුර ගැන තීරණ ගැනීමේ අයිතිය සියළු මිනිසුන්ට එකසේ අයිති බව තමන් පිලිගන්නා එකම මිනිස් දහම බවත්, ගැමි සංස්කෘතික නීතින් හමුවේ තමන් නිවැරදි කාරිය බවත් ව්‍යක්ත ඉංග්‍රීසියෙන්ම කියා සිටියාය. ඇයගේ ප්‍රකාශය හමුවේ අධිකරණ භුමියේ සිටි සියළුම දෙනා පුදුමයට පත්වූයේ දුෂ්කර ගම්මානයක හැදී වැඩුනු ඇයගේ මනා ඉංග්‍රීසි දැණුම පිලිබදවයි. මුලාසනයේ උන් පරදේශික නඩුකාර උත්තමයාටද මෙය පුදුමයට කාරණයක්ම විය. එබැවින් මද වේලාවකට උසාවී කටයුතු නවතා ඇයව තමන්ගේ නිල කාමරය වෙත රැගෙන එන ලෙස ආරක්ෂකයින්ට දැණුම් දුන් ඔහු මුලස්නෙන් බැස ගියේය.

ටික වේලාවකින් ඇය සිටියේ නඩුකාර හාමුදුරුවන්ගේ නිල කාමරයේ මේස ය ඉදිරිපිටයි. ඇය කවුදැයි මුලින්ම ඔහු ඇයගෙන් විමසුවේය. ඊට පිලිතුරුදුන් ඈ තමන් රදල පරම්පරාවකට අයත් කෙනෙකු බවත් තමන්ගේ පියා කැරලි කරුවන්ට එකතුවූවායැයි බොරු චෝදනාවක් නිසා තමන්ගේ පවුලට කරදර විඳින්නට සිදුවූ ආකාරයත් එතැන් පටන් සිදුවූ සියල්ලත් කියා සිටියාය. එපමණක්නොවේ තමන් නිවසෙන් පිටත්වන මොහොතේ පියා විසින් ලබාදුන් රාජ්‍ය ලාංචනය සහිත මුදුවද නඩුකාරයා වෙත ඉදිරිපත් කලාය.

පසුව නැවතත් නඩු කටයුතු ආරම්භ කල අතර නඩු තීන්දුව ප්‍රකාශ කරන මොහොත එළඹියෙන් මුළු අධිකරණ භූමියම මීයට පිම්බාක් මෙන් නිශ්ශබ්දවිය. සියළු චෝදනා වලින් ඇයව නිදොස්කර නිදහස් කරන බවත්, ඇය ජීවත්වන ගම්මානය පනවා ඇති පියයුරු බද්ධෙන් නිදහස් කරන්නටත්, මුළු රටේම බදු නිදහස සඳහා අවශ්‍ය අනුමැතිය ඉල්ලා බ්‍රිතාන්‍ය රජයට ලිඛිතව දන්වා යැවිය යුතු බවත්, එපමණක් නොව ඇය ජීවත් වෙන ගමේ නායකත්වයට ඇයව පත් කිරීම සඳහා බලධාරින්ගෙන් ඉල්ලීමක්ද කලේය. මද කලකට පසු පියයුරු බද්ධ සම්පූර්ණයෙන්ම නිදහස්වුවද කුලහීන කාන්තාවන් දිගු කාලයක් යනතුරුම උඩුකය නිර්වස්ත්‍රව සිටීම පුරුද්දක් කරගත්හ. එබැවින් එය සමාජයේ සාමාන්‍යයක් බවටද පත්විය. (නම් ගම් සමහර සිදුවිම් මනක්කල්පිතය.)

නවතම ලිපි