දුදනා නපුරු කට කතා පතුරුවයි

ඔහුගේ දිව දැවෙන ගින්නකි

(හිතෝපදේශය 16:27)

කුරිරු ගොර සපුන්ගේ දළගෙහි විසය

මදුරු මැසි කැලන්ගේ තුඩගෙහි විසය

රුදුරු නුහුසුවන්ගේ ‍වලගෙහි විසය

නපුරු දුදනන්ගේ සියළ‍ඟෙහිම විසය

සුභාෂිතයේ එන මේ කව කී වරක් නම් අප කියවා ඇතිද? අසා ඇතිද? අප සැමදා පැවසුවේ නපුරු දුදනන්ගේ මුළු ගතෙහිම විස ඇති බවය; වන මෘගයන්ටද වඩා බියජනක බවය. බයිබලයද, සුභාෂිතයද තවත් පොතපත කියවමින්ද, ජීවිත අත්දැකීම්වලින්ද අපි මිනිසා හදාරමින් සිටිමු; කියවමින් සිටිමු. එසේ කරනුයේ අපද විටෙක ඒ මිනිස් සමාජයේම එක් කොටසක් බව අමතක කරමිනි. අප පවසන්නේම අනෙකා දුදනෙකු බවය. එහෙත් අප දැන හෝ නොදැන අප සිත්හි වසන දුදනා, ලෝකයට මෙන්ම තමාටමද වින කරන අයුරු නොදැන සිටීම ඛේදවාචකයකි.

දෙදෙනකු අතර සිදුවන කතාබහ ගැන සිතන්න. ඒ කතාබස් ලෝකයටත්, තමන්ටත් කෙතරම් වැඩදායක වූයේදැයි සිතන්න. එවැනි මෙනෙහි කිරීමකදී එක්කාසු කර ගැනීමට තරම්, මිණි මුතු වන් සුභාෂිතයන් නැතිනම්, ඒ කතාබහේ ඇති ඵලය කුමක්ද? වරක් අන්තර්ජාලයේ සිතුවම් පිරික්සමින් සිටි අවස්ථාවක කාන්තාවන් දෙදෙනකු උද්‍යාන බංකුවකට වී අල්ලාප සල්ලාපයේ යෙදී සිටින සිතුවමක් මා ඇස ගැසිණි. සිත්තරා ඔවුන්ගේ සෙවණැලි වෙනුවට ඇඳ තිබුණේ, උස්ව ගිය සර්ප හිස් සෙවණැලි දෙකකි. විස දළ සහිත ඒ සර්ප හිස් භයංකර විය. එමඟින් සිත්තරා අදහස් කරන්නට ඇත්තේ කාන්තාවන් දෙදෙනකුගේ කතාබහ ලෝකය වනසන විස සහිත වන බවය. එසේත් නැතිනම් කාන්තාවන් විසකුරු සර්පයන්ට සමාන වන බවය.

මනුෂ්‍යයන් ලෙස අප අනෙකාගේ දුර්ගුණ සිතන්නට ප්‍රථම අප ගැනම මෙනෙහි කළ යුතු බව අපගේ හැඟීමය. යමකුගේ ජීවිත කාලයේදී එවැනි සිතා බැලීම්වලට වෙන්වන ඉඩ ඉතා අඩුය. දැනෙන්නේම අනෙකා තමාට විරුද්ධව කරන එදිරිවාදිකම්ය; කෙණෙහිලිකම්ය; හෙළාදැකීම් හෝ අපහාස ගැනය; තමාට වූ අනේක සිත් රිදවීම්ය. එය එසේ නොවුණා යැයි ද මම නොකියමි. මන්දයත්; එවැනි දේට ‍ඔබ මෙන්ම මා ද ගොදුරු වී ඇති බැවිනි. එහෙත් දැන හෝ නොදැන ක්ෂණිකව හෝ සිතාමතා අපෙන් එවැනි දේ සිදුවුණිද නැද්ද යන්න ගැන මෙනෙහි කිරීම යහපත්ය. වැය වන මොහොතක් පාසා ඒ ගැන සිතන්නැයි මම නොකියමි. එහෙත් සතියකට වරක් අපට අප ගැන ස්වයං විවේචනයක්, විචාරයක් තිබිය යුතුය.

මෙවැනි ස්වයං විවේචනයක් කර ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන්නේය. එය යකඩ දණ්ඩක් නමන්නා සේ අසීරු කටයුත්තකි. රබර් බෝලයක් දිය යට ඔබාගෙන ඉන්නා සේ වූ දුෂ්කර කාර්යයකි. අනෙකා තමාට දොස් නඟනු ඉවසනු නොහැකි අපි, අප අපටම දොස් නඟා ගන්නා සැටි කෙසේ නම් දරා ගන්නෙමුද? එය ඉතා අසීරු කාර්යයකි. තමා කළ වරදකට දොස් පවරා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. එවැනි දොස් නගා ගැනීමක කෙළවර විටෙක ඛේදාන්තයකි; විප්‍රයෝගයකි.

ජුදාස්! ඒ චරිතය කෙසේ නම් අමතක කරමුද? රිදී කාසි තිහක්! ඒ කාසි එකිනෙක ඇතිල්ලී නඟන මිහිරි ගෙජ්ජි නාද කෙසේ අමතක කරම්ද? රිදී කාසි තිහෙන් නැ‍ඟෙන ඒ මිහිරි නාදයට ජුදාස් මොන තරම් නම් වශීකෘත වී සිටියේද? ඇළුම් කළේද? එහෙත් අවසානය! සිය ක්‍රියාව ගැන ඔහු තමන්ට කෙතරම් නම් දොස් පවරා ගත්තේද? ඒ රිදී කාසි පොට්ටනිය නායකයාකගේ හදවතට දමා ගැසූ ජුදාස් රිදී කාසි සැලෙන හඬ අසා සිටියේය. එහෙත් නායක පූජකයාට ඒ හඬ නෑසුණේය. ජුදාස්ටම නැවත නැවත ඇසෙන්නට විය. ඔහු තමාටම තදින්, ඉතා තදින් දෝෂාරෝපණය කරගත්තේය. ඒවේලෙහි ලෝකය ඔහුට චෝදනා කළේද නැත. ජේසුතුමාට හෝසන්නා කියූ මුවෙන්ම, “බරබ්බාස් නිදහස් කරනු, ජේසුව මරා දමනු!” යැයි ඔවුහු කීහ. ඒ අනුව එවේලෙහි කිසිවෙක් ජුදාස්ට දොස් නොනැගූහ. එනම් ජුදාස් ගැන කට කතා තබා චෝදනා හෝ එවේලෙහි එල්ල නොවු‍ෙණේය. එසේ නම් කටකතාවලටද අනෙකාගේ චෝදනාවලටද වඩා ප්‍රබල වූයේ ජුදාස්ගේ සිත, ජුදාස්ට විරුද්ධවම නැඟූ දෝෂාරෝපණයයි. ඒ දෝෂාරෝපණය කෙළවර වූයේ මළ තොණ්ඩුවකින්ය.

ජුදාස් එසේ නොකොට “නාස්තිකාර පුත්‍රයෙක්” වූවා නම් කොපමණ හොඳ දැයි මට සිතේ. එසේ නම් ඔහුද අද මුනිවරයෙකි. “ජුදාස් මුනිවරයෙක් වුණි” නම් සාන්තුවරයන්ගෙන් ආදර්ශවත්ම මුනිවරයා ඔහු වනු ඇත. නාස්තිකාර පුත්‍රයා මෙන් ජුදාස්ට ආපසු හැරී එන්නට නොහැකි වූයේ ඇයි? පසුතැවිලි වන්නට නොපෙළඹුණේ ඇයි? ආපසු හැරී එන සිය නාස්තිකාර පුත්‍රයන් ප්‍රේමවන්ත පියාණන් විසින් බඳා වැළඳගෙන, සුවඳ පැනින් නාවා, අගනාම වස්ත්‍ර අන්දවා රාජ භෝජනය හා සරි භෝජන සංග්‍රහ පවත්වනු ලබව බව ජුදාස්ට අමතක වූයේ කෙසේද? ඔව් සැබැවින්ම ඔහුට එය මතක නැති විය. එබැවින් ඔහු සියදිවි තොර කර ගත්තේය. ජුදාස්! ඔහු මුනිවරයෙක් වී නම්; මට තවම සිතෙන්නේ එලෙසය. නාස්තිකාර පුත්‍රයන් මෙන් ඔහු හැරී ආවා නම්, මේ අපටද අපගේ පාවාදීම්වලින් මිදෙන්නට, ජේසු අනුව යාමට පසුතැවිලි වී ජීවිත හදාගැනීමට ඔහු කදිම ආදර්ශයක් වනු ඇත.

ජුදාස් මුනිවරයෙක් වූවා නම් යැයි මගේ යෝජනාවට කිතුනු මිණ පාඨක ප්‍රතිචාරය කෙබඳු වනු ඇතිදැයි මට සිතේ. බොහෝ විට ඔබ ඒ සිතිවිල්ලට එරෙහි වනු ඇත. සැත්තෑ සත්වාරයක් සමාව දෙන ලෙස ජේසු පැවසුවත්, අප ජුදාස්ට සමාව දීමට කැමැති නැත. ඒ අපට ජුදාස් ඒ තරමට පාපිෂ්ඨයකු වන බැවිනි.

කටකතා! කටකතා ‍නමැති දලුලන ගින්නකට මා ජුදාස්ව මැදි කළේ ඇයි? ජුදාස් මුනිවරයකු කරන්නට කිසි දිනෙක සුදුසුකම් නොකියන පාපිෂ්ඨයකු බව, ඔබ සිතන බැවිනි. ඔහු පාවාදෙන්නකු බව ඔබ සිතන බැවිනි. ඔහු පාවා දුන්නේ, අප එකම ඇදහිල්ල වූ ජේසුතුමා බැවිනි. ඉතිං අපට ජුදාස් ඒ තරම්ම පිළිකුල් ය; අප්‍රසන්න ය; භයංකර ය.

කටකතා! ජුදාස්ට වඩා වෙනස්දැයි අපි දැන් මෙනෙහි කරමු. කටකතා පතුරන්නාගේ දිව ගින්නෙන් දැවෙන බව හිතෝපදේශ කතුවරයා පවසයි. ඒ ගින්නෙන් මානසිකව මෙන්ම ශාරීරිකව ද දැවී අළුවී ගිය මිනිස් ජීවිත කොතරම්ද? කටකතා නිසා මැරි මැරී උපදින මිනිසුන් කොතරම් ද? කටකතා නිසා සියදිවි නසා ගත් මිනිසුන් කොතරම් ද? කටකතා නිසා සිත රෝගී වී ඒ නිසාම ගත රෝගීව මියැදෙමින් සිටින මිනිසුන් කොතරම් ද?අපි ඒ ගැන මෙනෙහි කරමු.

එ ගැන 'මෙනෙහි කිරීම' තමන්ට දොස් පවරා ගැනීමට නොවේ. ජුදාස් මෙන් හදිසි තීරණ ගැනීමටද නොවේ. නාස්තිකාර පුත්‍රයකු මෙන් ආපසු හැරී ඒමටය.

@දිනමිණ - කිතුනු මිණ

නවතම ලිපි