සිස්ටම් චේන්ජ් කියන්නෙ බුකියෙ බහුලව භාවිතා වෙන/අවභාවිතා වෙන වචනයක්.

වචනෙ භාවිතා කරන කවුරුත් ඉල්ලන්නෙ පවතින සිස්ටම් එකේ වෙනසක් තමයි. හැබෑට මොකක්ද සිස්ටම් චේන්ජ් කියන්නෙ? කොහොමද සිස්ටම් එක චේන්ජ් කරන්නෙ?

සුගතපාල සිල්වාගෙ මරාසාද් නාට්‍යය සිස්ටම් චේන්ජ් කරන හැටි කියනවා මෙහෙම.

"වැදගත්ම දේ මෙන්න මේකයි,

තමාගේම කෙස් වැටියෙන් අල්ලා ඇද

කොට්ට උරයක් මෙන්

සිරුර කණපිට පෙරළා

අළුත් ඇහැකින් ලෝකය බලන එකයි".

 

MARA1

 

ඉන්දියාව මේ වගේ සම්පූර්ණ කණපිට පෙරළීමකට, සිස්ටම් චේන්ජ් එකකට, ගියා 1991දි.

1991දි ඉන්දියාව හිටියේ දැවැන්ත ආර්ථික අර්බුදයක. කඩා වැටීමක මුවවිට. එක අතකින් විනයක් නැතුව වියදම් කරලා, ණයවෙලා, විශාල අයවැය හිඟයක් එක්ක ඉන්දීය රජය හිටියෙ විශාල පැටලීමක. අනෙක් අතට දිගින් දිගට අපනයන ආදායම ඉක්ම වූ ආනයන වියදම නිසා බාහිර අංශයත් තිබුනෙ හොඳ මට්ටමක නෙවෙයි. මේ හරියටම අපි දැන් මුහුණ දෙන අර්බුදයේ මුල් ලක්ෂණම තමයි. අපිට කෝවිඩ් නිසා පිටරට රැකියා කරන අයගෙන් ලැබුන ඩොලර් හිඟ වුනා වගේ ඉරාකය විසින් කුවේටය ආක්‍රමණය කිරීම නිසා මැදපෙරදිගින් ලැබුන ඩොලර් උල්පත් හිඳිලා ඉන්දියාව උග්‍ර ඩොලර් හිඟයක හිටියෙ.

එවකට ඉන්දීය අගමැති නරසිම්හ රාවෝ සහ මුදල් ඇමති මන්මෝහන් සිං ඉන්දියාව කණපිට හැරවීමේ ව්‍යායාමයට බැස්සෙ එතකොටයි. ඒ සමස්තය කණපිට හරවන ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා.

මරාසාද් 1

 

ආර්ථික ප්‍රතිසංස්කරණවල මුදල් ඇමති නරසිම්හ රාවෝ පාර්ලිමේන්තුවට කියා තිබුනෙ මෙහෙමයි.

"ඉන්දියානුවන්ගේ ජීවිතවල ගුණාත්මක වෙනසක් ඇතිකිරීම සඳහා, ඵලදායී රැකියා වැඩිකීරීම සඳහා, ආදායම් මට්ටම් ඉහළ නැංවීම සඳහා, ජනතාව දිළිඳුකමේ සාපයෙන් මුදාගෙන ඔවුන්ට වඩා හොඳ ජීවන තත්වයක් ලබාගැනීම සඳහා ඉහළ සහ අඛණ්ඩ ආර්ථික වර්ධනයකට අප යා යුතුයි. එවැනි ආර්ථික වර්ධනයක් සාක්ෂාත් කරගන්නට නම් ආයෝජන ඉහළ නැංවිය යුතුයි. ගොවිපලවල්, පාරවල්, වාරිමාර්ග පද්ධතීන්, කර්මාන්ත, විදුලිය වැනි සියළු අංශ සඳහා ආයෝජන ඉහළ නැංවිය යුතුයි. ඒ සියල්ලටම වඩා අපේ ජනතාවගේ ශක්‍යතාවයන් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ආයෝජන ඉහළ නැංවිය යුතුයි. සාර්ථක සහ දිගුකාලීන සංවර්ධනයක් සඳහා අපේ ප්‍රාග්ධනයේ, අපේ ඉඩම්වල, අපේ ශ්‍රමිකයන්ගේ ලදායීතාවය ඉහළ නැංවිය යුතුයි".

මන්මෝහන් සිං තවදුරටත් කියනවා

"අපි සිටින්නෙ එවන් ඉහළ ආයෝජනයක් ගෙන්වා ගැනීම සඳහා උචිත පරිසරයක නෙවෙයි. අපේ ආර්ථිකයේ හැම අස්ස මුල්ලකටම ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන්නේ ඒකයි. ආයෝජකයන්ට හිතකර පරිසරයක් සකස් කරන්න අවශ්‍ය වන්නේ ඒකයි".

එහෙම ඇරඹි ප්‍රතිසංස්කරණ අංග තුනකින් සමන්විත වුනා. ඒ ලිහිල්කරණය (Liberalization), පෞද්ගලිකකරණය (privatization) සහ ගෝලීයකරණය (globalization).

එතැන් සිට අද දක්වා ප්‍රතිසංස්කරණ මාර්ගය ඔස්සේ ඉන්දියාව පැමිණි ගමනත්, ලබාගත් ජයග්‍රහණත් ඉතිහාසගතයි. සිස්ටම් චේන්ජ් එකක් කියන්නෙ ඒකයි.

අපිටත් සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍ය නම් යන්න ඕනෙ, යන්න තියෙන්නෙ ඉන්දියාව ගිය පාර තමයි.

හැබැයි ඉන්දියාවට, වාසනාවකට, ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න නරසිම්හ රාවෝ, මන්මෝහන් සිං ඩබල හිටියා. අපිටත් එවැනි නායකයන් අවශ්‍යයි.

රනිල්ගෙ දේශපාලන කුහකකම්, අඳබාලකම්, මෝඩකම්, නොපනත්කම් අපමණයි. නමුත් කොට්ට උරේ අනෙක් පැත්ත හරවන්න, ඒ කිව්වෙ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න, ඔහුට සරිලන කෙනෙක් පාර්ලිමේන්තුව ඇතුලෙ නම්, 225 ඇතුලෙ නම් නෑ.

 

@ susantha.ariyaratne fb page

(කාටූනය අන්තර්ජාලයෙනි. අනවසරයෙනි).

නවතම ලිපි