මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපති වීමෙන් පසුව ජනාධිපති තනතුර ලිබරල්කරණය විය.

එතෙක් ඒ ගැන සිතීමටවත් බිය වූ බොහෝ දෙනා ඉන් පසුව සිතන්නට ගත්තේ "මෛත්‍රීපාලට හැකිනම් මට බැරි ඇයි" කියාය.

මේ වන විට ජනාධිපති සිහිනය ඇතිව බැරෑරුම්ව වැඩ කරනා අය අඩුම ගන්නේ දහයක්වත් ඇත. මේ අතුරින් යම් හෝ ප්‍රයෝගික ඉඩකඩක් ඇති පිරිස සලකා බලමු.

රනිල් වික්‍රමසිංහ මේ ගෙවී යන පරිච්ඡේදය යම් හෝ සාර්ථකත්වයක් ඇතුව නිම කළහොත් මීළඟ වාරයක් සඳහා ද උත්සාහ කරනු ඇත. එජාප සහ පොහොට්ටුව පාර්ශවයෙන් මේ වන තෙක් වෙනත් යථාවාදී අපේක්ෂකයෙක් මතු වී නැත. නාමල්ට මොන තරම් සිහින තිබුනත් තවම වේලාසන වැඩිය. අනෙක් අතට ඔහු දැනට ගත කරන්නේ අන්තිමටම පිරිහෙළන ලද කාල පරිච්ඡේදයක්ය. මේ අනුව එම පිලේ දැනට සිටින අයගෙන් යම් විභවයක් තිබෙන්නේ යයි අපේක්ෂා කල හැක්කේ රනිල් වික්‍රමසිංහටම පමණි.

ඩලස් ජනාධිපති තනතුරට අඳින්නේ කලක සිටය. නමුත් පසුගිය පරාජයෙන් පසුව ඔහු තාර්කික අවසානයකට පැමිණි බව මගේ හැඟීමයි. ඩලස්ට විශේෂ පෞරුෂයක් නැත. රටේ අර්බුධය පිලිබඳ කිසිදු අදහසක්ද නැත. ඔහුට දැන් දේශපාලන බලයක්ද නැත. තමන්ටම කියා සංවිධාන ජාලයක්ද නැත.

සජිත් ප්‍රේමදාසගේ ජනපති ආශාව දුක හිතෙන තරම් අනුවේදනීය ය. ඔහු ඒ වෙනුවෙන් කිරීමට සූදානම් නැති දෙයක් නැත. නමුත් ඇත්ත වශයෙන්ම ඔහු කල යුතුව ඇත්තා වූ එකක්වත් කරන්නේත් නැත. ඔහුට දුර්වල වෙමින් පවතින දේශපාලන බලයකුත් සංවිධාන ජාලයකුත් ඇතත් කිසිදු අදහස්මය ප්‍රාග්ධනයක් නැත. එවැන්නෙකුට අනාගතය හිමි නැත.

අනුර කුමාර දිසානායක මේ සියලු දෙනාටම ඉදිරියෙන් සිටින්නෙකි. ඔහුට රටේ ප්‍රශ්න ගැන යම් සැලකිය යුතු අදහසක් තිබේ.එවැනි අදහස් තිබෙන යම් විශාල පිරිසක්ද ඔහු වටා සිටිති. සමස්ථ ජවිපෙ කථනය තුල රට ගොඩගන්නේ කෙසේද යන්න පිලිබඳ මේ වන තෙක් සංයුක්ත අදහසක් ප්‍රකාශ වී නොතිබුනත් එවැන්නක් ඉදිරියේදී සම්පාදනය කරගැනීමේ විභවයක් හෝ තමනට ඇති බව ඔවුන් විසින් පෙන්වා දී තිබේ. ජවිපෙ සංවිධාන ජාලය සහ පක්ෂපාති අනුගාමිකයන් ගැන අමුතුවෙන් කිව යුතු නැත. එතරම් බලවත් භෞතික සංවිධාන ජාලයක් වෙනත් කිසිම පක්ෂයකට නැත.

විමල් වීරවංස, මෛත්‍රිපාල සිරිසේන, ඩඩ්ලි සිරිසේන, ධම්මික පෙරේරා වැනි තවත් බොහෝ චරිත සිටියත් ඔවුන් ගැන එක්කෝ දැන්ම කතා කිරීමෙන් පලක් නැත. නැතහොත් මේ වන විට කතා කිරීමෙන් පලක් නැත. (එක්කෝ තවමත් මෝරා නැත. නැතහොත් මේ වන විට පරවී ගොසිනි)

මීළඟ සැරිසරන්නා චම්පික රණවකය. ඔහුට රටේ අර්බුධ පිලිබඳ පමණක් නොව, සමස්ථ රාජ්‍ය පාලනය ගැනම ඉතාම සංවිධිත විස්තරාත්මක මෙන්ම විදග්ධ අදහසක් තිබේ. විශේෂම කාරණය නම් ඔහුගේ ජනපති සිහිනය මෛත්‍රිපාල සිරිසේන විසින් ජනපති තනතුර ලිබරල්කරණය කිරීමේ මොහොතට වඩා බොහෝ පැරණි වීමයි. චම්පික රණවක රටේ නායකත්වය ඉලක්ක කරන්නේ අඩුම තරමේ 2010 සිටය. නැතහොත් එය ඊටත් වඩා පැරණිය.

රටේ සියලු සාම්ප්‍රදායික බලවේග මේ වන විට එක තැනකට එකතු වී සිටිති. ඔවුන්ට එදිරි පිලේ සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ පමණි. මේ කරුණ ගැන මීට පෙර ලිපි ගණනාවකින් පැහැදිලි කලෙමි. ඒ අනුව ඉදිරි කාලයේදී රටේ ඉතිරි වන්නේ කඳවුරු දෙකකි. එකක් ජනතා විමුක්ති පෙරමුණ විසින් නායකත්වය දෙන වාමාංශික (හෝ සුභ සාධක රාජ්‍ය මාදිලි) කඳවුරයි. අනෙක නම් දැනට පවතින සියලු ධනේශ්වර බලවේග අඩංගු අනෙක් කඳවුරයි.

චම්පික රණවකට වාමාංශික කඳවුරේ ඉඩක් නැති බව පැහැදිලිය. නියත වශයෙන්ම ඔහුට ස්ථානගත වීමට සිදු වන්නේ ධනේශ්වර කඳවුර තුලය. මේ සඳහා ඔහුට තිබෙන අවස්ථා මොනවාද? මම ප්‍රධාන අවස්ථා තුනක් දකිමි. පළමුවැන්න නම් ඉතාම සරල ලෙස රනිල් වික්‍රමසිංහ ගේ සර්වපාක්ෂික ආණ්ඩුවට එකතු වී ඇමතිකමක් ගෙන හැකි උපරිමයෙන් එය කර පෙන්වීමයි. නමුත් මෙය "ශූන්‍ය එකතු " (zero sum game ) ක්‍රියාදාමයකි. වැඩේ සාර්ථක උනොතින් හරියටම හරිය. නමුත් එසේ නොමැති නම් බිංදුවටම වැටෙනු ඇත. දෙවැනි තේරීම නම් විපක්ෂයේ සිටින තෝරාගත් පිරිසකට දැන් තබා නායකත්වය දීමයි. මෙහි පළමු පියවර විය යුත්තේ එවැන්නන් සමග නිතර දෙවේලේ එකට පෙනී සිටීමය. මේ සඳහා සුදුසු චරිත දහයක් පහළොවක් පමණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, පක්ෂ එකොළහේ සහ ඩලස් පාර්ශවයේ සිටිති. නමුත් මෙවැන්නකට මුල පිරීමද පහසු නැත. ඊයේ පෙරේදා එවැනි පෙනී සිටීමක් දෙකක් දකින්නට පුළුවන් වුවද එය ඉදිරියට යන බවක් දුටුවේ නැත. අවසන් තේරීම නම් දැනට තිබෙන 43 සේනාංකය තව තවත් ප්‍රසාරණය කොට ඒ වටා මැතිවරණ දේශපාලන බලයක් ගොඩ නැගීමයි. කරන්නට තිබෙන දේ අතුරින් දුෂ්කරම නමුත් ශක්තිමත්ම දේ මෙයයි.

මගේ තක්සේරුව නම් මේ පළමුවැනි සහ තුන් වැනි තේරීම් වලට සමාන සම්භාවිතාවයක් තිබෙන බවය. දෙවැන්නට තිබෙන්නේ සීයට දහයක පමණ අඩු සම්භාවිතාවයකි. එවිට අනෙක් තේරීම් දෙකට සීයට හතලිස් පහක් පමණ දැමිය හැකිය. චම්පික රණවකට ඕනෑ නම් පළමු වැන්න සහ තුන් වැන්න එක විටම වුව කල හැකිය .

යම් දිනෙක අනුර කුමාර සහ චම්පික රණවක ජනාධිපතිවරණයකදී අභිමුඛ වුවහොත් ඇත්තටම එය අසිරිමත් සිදුවීමක් වනු ඇත

නවතම ලිපි