ෂෙඩ් එකේ පෝලිම්වල කාර්, ත්‍රීවිලර්, බයික් තියෙන්න පුළුවන්.

ඒත් බස්, ලොරි නොතිබිය යුතු බව මගේ අදහසයි. ඩීසල්වලට ප්‍රමුඛත්වය දී රට පුරා ඩීසල් හිගය නැතිකිරීමට රජය ප්‍රමුඛත්වය දිය යුතුයි.

එතකොට ළමුන්ට පාසල් යන්න පුළුවන්. සේවකයන්ට පෙට්‍රල් නැති වුණත් වැඩට යන්න පුළුවන්. ඒත් ඉලක්කම් සෙල්ලම් ආදිය සමගින් රජයේ තවමත් ප්‍රමුඛතාව තියෙන්නේ පෙට්‍රල් ප්‍රශ්නය විසදීමට බවක් පේනවා. රජයට පමණක් නොව ජනතාවටත් ඔිනෑ ඩීසල්වලට වඩා පෙට්‍රල් බව පේනවා.

ඒත් ඛනිජතෙල් ඇමතිතුමා කියන විදිහට ලබන අවුරුද්දේදීවත් මේ ප්‍රශ්නය විසදෙන්නේ නැහැ. එසේනම් රජයේත් රටේත් ප්‍රමුඛතාව ඩීසල්වලට ලැබිය යුතුයි.

ඩීසල් කියන්නේ මගි ප්‍රවාහනය පමණක් නොවෙයි. භාණ්ඩ ප්‍රවා‍හනයත් ඩීසල් මත රැදෙනවා.ඩීසල් නැත්නම් නුවරඑළියේ එළවළු‍, මොනරාගල වට්ටක්කා කුණුවෙන්න පුළුවන්. ඒ වගේ ම ඉදිකිරීම් කර්මාන්තය මෙන්ම තවත් බොහෝ කර්මාන්ත ද ඩීසල් මත රදාපවතිනවා. ඒත් ඩීසල් ප්‍රශ්නය විසදීමට ප්‍රමුඛතාවක් ලැබී ඇති බවක් පේන්න නැහැ. එසේ ප්‍රමුඛතාවක් ලැබී ඇත්තම් දවස් ගණන් බස් රථවල පෝලිම්වල රැදී තිබෙන්න ක්‍රමයක් නැහැ.

එක බස් රථයකට ඩීසල් ලබාදීම දළ වශයෙන් කාර් පණහකට, මෝටර් බයිසිකල් සීයකට පෙට්‍රල් ලබාදීම හා සසදන්න පුළුවන්. ඇත්තටම එය ඊටත් වැඩියි. කාර් එක දවසකට යන්නේ ගමන් වාර දෙකක් පමණයි. උදේ යනවා. ‍හවස එනවා. මෝටර් බයික් එකත් එහෙමයි. ඒ අනුව ගත්තාම බස් රථ එකකට ඩීසල් ලබාදීම කාර් දෙතුන් සීයකට හෝ ත්‍රීවිලර් හාරපන්සියකට පෙට්‍රල් ලබාදීම හා සම කළ හැකියි.

හැමෝටම ඇති වෙන්න පෙට්‍රල හා ඩීසල් ලබාදෙන්න රටට හැකියාවක් තිබෙනවා නම් කමක් නැහැ. එවන් තත්වයක් නැති නම් කළ යුත්තේ ඩීසල්වලට ප්‍රමුඛතාව ලබාදීමයි.

පොදු ප්‍රවාහන සේවාව ශක්තිමත් කිරීම ගැන හැමදාම කියනවා. මේ අර්බුදය ඊට අවස්ථාවක්. ඇත්තටම පොදු ප්‍රවාහන සේවාව ශක්තිමත් වුවහොත් පාරේ ගතකරන්නට ගතවන කාල සීමාව අදට වඩා අඩු කරන්න පුළුවන්. පැය ගණන් පාරේ හිරකරවන මේ ට්‍රැපික් එක වුවමනාවට වැඩියෙන් කාර් භාවිතා කිරීමේ ප්‍රතිඵලයක්.

එය කාල නාස්තියක් වගේ ම ධන නාස්තියක්. මේවා ගැන හැමදෙනාම දන්න නිසා හා ලියැවී ඇති නිසා ඔ්නෑවට වඩා කියා වැඩක් නැහැ. එහෙත් අප හිතන්නේ මෙවරත් අංක විද්‍යාවෙන් හා ඉන්ධන බලපත්‍රයෙන් ගොඩයාහැකි බවයි. ඇත්ත විසදුම ඇත්තේ පොදු ප්‍රවාහන සේවාව මතයි. පෙට්‍රල් වෙනුවට ඩීසල්වලට ප්‍රමුඛතාව දීම මතයි.

නවතම ලිපි