මොකක්ද ඒ ඇත්තටම සිද්ධ වුණේ? ආර්ථික අර්බුදය තවමත් එහෙමමයි. තෙල් පෝලිම් එහෙමමයි.

ජීවන වියදම තවමත් වැඩියි. නමුත් ඒවා නිසා ඇති වුණාය කියන අරගලය කියන දෙය අවසාන වෙලා තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ පමණක් ජනාධිපති ධූරයෙන් ඉවත් වී තිබෙනවා. එතකොට ප්‍රශ්න කිසිවක් හෝ විසඳිලාද? නැහැ. සිස්ටම් චේන්ජ් එකක් වෙලාද? නැහැ. තිබුණ සිස්ටම් එක එහෙමමයි. නමුත් අරගලය ඉවරයි.

අරගලයේ පාර්ශවකරුවන් එකින් එකා අකුලගෙන යනවා. අරගලයේ නායකයන් රටින් පැනලා යනවා. ගෝල්ෆේස් එක වේලෙනවා. කොළඹට ආව දහස්ගණනක් චණ්ඩයන් ගල්බිල්ලෝ වගේ ඉන්නවා. කළු කොඩි දාගෙන හිටපු ප්‍රොෆයිල් එකක් හොයාගන්න නැහැ ආසාවට. නිර්මාල් දේවසිරි වැනි අරගලයේ නායක පූජකයන් “ජනතාව මොකක්ද එතකොට කියන්නේ” කියලා කල්පනා කරනවා. ඇත්තටම මොකක්ද ඒ වුණේ? හැකි තරම් කෙටියෙන් මම පැහැදිලි කරන්නම්. මේක හරිම විනෝදජනකයි.

මිනිස් සමාජයේ තියෙන එක්තරා ප්‍රාථමික දෘෂ්ටිවාදී හැසිරීමක් තමයි “බිලි” දීම. ඉංග්‍රීසියෙන් sacrifice (සැක්රිෆයිස්) කියනවා. බිලිදීම කියන දෘෂ්ටිවාදය අප්‍රිකාවෙන් එළියට එන්නත් පෙර සිටම මිනිසා විසින් හදාගෙන තිබුණු පරිණාමයට උදව් වෙන චර්යාවක් විය යුතුයි. ලෝකය පුරා විවිධ ශිෂ්ටාචාරවල වසර දහස් ගණනක් තිස්සේ මේ බිලිදීම සිදුවුණු බවට සාක්ෂි තිබෙනවා. කැමති අය හොයලා බලන්න. වේදික භාරතයේ යාගවලදී වෙන්නේ මේ බිලිදීම. විවිධ අචේතනික වස්තූන් මෙන්ම සචේතනික සතුන් ගින්නට දමා හෝ වතුරේ ගිල්වා හෝ කරන්නේ එයයි. එය බොහෝ විට දෙවියෙකුට කරන පූජාවක් වැනි දෙයක්. ලොකුම බිල්ල තමයි මිනිස් බිල්ල.

බිලිදීමෙන් කිසියම් ප්‍රතිලාභයක් ලැබෙන බව බිලිදෙන්නන් විශ්වාස කරනවා. මේ ප්‍රාථමික චර්යාව නූතන ආගම්වල පවා ඕනෑතරම් දකින්න පුළුවන්. කුකුළන් බිලිදෙන බලිතොවිල් අදටත් අපේ රටේ වෙනවා. හපනා නවකතාවේ තුන් කුළුඳුල් බිල්ල මතකද! කන්‍යාවන් බිලිදෙන කාම කල්ලි ගැන බටහිර රටවලින් විටින් විට අපට අහන්නට ලැබෙනවා. කතෝලික ක්‍රිස්තියානි ඉස්ලාම් වැනි ඒබ්‍රහමික ආගම්වල බිලිදීම මුලසිටම එබ්බිලා තියෙනවා. ඒබ්‍රහම් තම පුත්‍රයා බිලිදෙන්න හදන්නේත් අවසානයේ ජේසුස් ක්‍රිස්තුස් කුරුසය මත තමාවම බිල්ලට දෙන්නෙත් දෙවියන් වෙනුවෙන්. මුසල්මානුවන් තම නිවසේදීම අහිංසක හරකෙකුගේ බෙල්ල කපා කරන්නෙත් ඒ බිලිදීමම තමයි. බිලිදීම කියන්නේ ප්‍රාථමික ආගමික දෘෂ්ටිවාදයක්. පැරණි භාරතයේ මේ චර්යාව අඩු වෙන්නේ අවිහිංසාවාදය මුල් කරගත් බුද්ධ ධර්මය වැනි ඉගැන්වීම් ප්‍රචලිත වීමෙන් පසුවයි.

ඔබට දැන් වැටහෙන්න ඕනා මොකක්ද ඇත්තටම වුණේ කියා. ලංකාවේ අතිමහත් බහුතරයක් මිනිස්සු ඇත්තටම ඉතාම ප්‍රාථමික දෘෂ්ටිවාදයන් විසින් මෙහෙයවන අය බවට මේක ප්‍රබල සාක්ෂියක්. ආර්ථික අර්බුදය ඇතිවීමට ඉතාම විද්‍යාත්මක තාර්කික හේතු තිබුණා. ඒ ගැන අප ඕනෑතරම් පැහැදිලි කළා. එය ජනපති ගෝඨාභය හෝ කිසිදු එක් අයෙකු හෝ කණ්ඩායමක් විසින් හෝ ඇති කළ අර්බුදයක් නොවෙයි. නමුත් ජනතාවට එය වැටහුණේ නැහැ. අතීතයේ දුර්භික්ෂයක් ඇති වුණාම එයින් ගැලවෙන්න ඒ දේශයේ මිනිස්සු කොහෙට හරි ආගමික ස්ථානයකට රැස්වෙලා තමන්ගෙන් කෙනෙකු තෝරා අල්තාරයක් මත ඝාතනය කර දෙවියන්ට බිලිදෙනවා වගේ වැඩක් නේද මේ සිද්ධ වුණේ.

හොඳින් කල්පනා කරන්න. අරගලකරුවන් හැසිරුණේ කිසියම් ජන සන්නියකින් වගේ නේද. ඉංග්‍රීසියෙන් කියනවා mass hysteria කියලා. එදා ගෝඨාභයව අල්ලා ගත්තා නම් අනිවාර්යෙන් ඒ අරගලකරුවන් ඔහුත් සමග මන්දීරය ගිනි තියනවා. හරියට මිනිස් බිල්ලක් දෙනවා වගේමයි. අරගලයේ වැඩිපුර පේන්න හිටියේ ක්‍රිස්තියානි සහ ඉස්ලාම් භක්තිකයන් වීම අහම්බයක් නොවෙයි. එය ඔවුන්ගේ ආගමික විශ්වාසයන් මත ඇතිවෙන චර්යාවක්.

ගෝඨාභය ඉවත් වීමත් සමගම මොකද වුණේ? අර ජන සන්නිය එකපාරටම හොඳ වුණා වගේ නේද! අරගලය කියන එක අවසන් වෙන්නේ රනිල් වික්‍රමසිංහගේ මර්ධනයක් නිසා නොවෙයි. අරගලය කියන යාගය ඉවරයි. බිලි පූජාව ඉවරයි. දැන් අරගලකරුවන් හිතන්නේ අර්බුදය ඉවරයි කියලයි. ඒ නිසා ඔවුන්ට දැන් තෙල් පෝලිම වුණත් අර ඉස්සර වගේ ගැටලුවක් නොවෙයි. අර්බුදය ඇත්තටම විසඳුනේ නැතත් ජනතාව විශ්වාස කරනවා විසඳුනා කියලා. ඒ විශ්වාසය විසින් ඔවුන්ගේ වත්මන් චර්යාව මෙහෙයවනවා. කොපමණ කාලයක් මේ තත්ත්වය තියෙයිද කියන්න නම් බැහැ. සමහර විට තවත් බිල්ලක් දීලා බලන්න තරමට සන්නිය නැවත හැදෙන්නත් පුළුවන්.

මේකේ මම කැමතිම දේ තමයි ඔය නූතන විද්‍යාවේ සහ තාක්ෂණයේ පට්ට පොරවල් වගේ පෙන්වා ගන්න සංජීව වීරවර්ණ, හර්ෂ සුබසිංහ, හර්ෂ පුරසිංහ වැනි මා දන්නා චරිත මේ අන්තිම ප්‍රාථමික ආගමික දෘෂ්ටිවාදය විසින් මෙහෙයවනු ලැබීම. ඔවුන් තමයි කොළඹ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් සමග ගෝඨාභය කියන බිල්ල දෙන්න මූලික වෙච්ච අය. අර්බුදයට ඔවුන්ගේ එකම විසඳුම වුණේ ගෝඨාභය ඉවත් කිරීම. හරියට මුහුද ගොඩ ගලන කොට විහාරමහා දේවිය මුහුදට බිලි දුන්නා වගේ තමයි. ඔවුන්ගේ විද්‍යාත්මක චින්තනය සහ තාර්කික ප්‍රවේශය කෙතරම් දුර්වලද කියා අපට හොඳින් පෙනුණා. ඒක ඉතාම වැදගත් නිරීක්ෂණයක්.

ඒ වගේම මම ඉතාම කැමති නිරීක්ෂණයක් තමයි නිර්මාල් දේවසිරි මේ ප්‍රාථමික ආගමික දෘෂ්ටිවාදයේ ප්‍රමුඛ චරිතයක් වීම. ඉතාම විද්‍යාත්මක සහ තාර්කික අයෙකු ලෙස පෙන්වන්නට ඔහු කෙතරම් උත්සාහ දැරුවත් ඔහු අර ජන සන්නියේ එකෙකු පමණක් නොවෙයි ඒ බිලි පූජාවේ ප්‍රමුඛ පූජක චරිතයක් බවටත් පත් වුණා.

බොහෝ විශ්වවිද්‍යාල ඇදුරන් සහ සිසුන් මේ දෘෂ්ටිවාදයේ ගොදුරු.විද්‍යාත්මක චින්තනය ගැන දේශනා කරන සන්නස්ගලත් එයට මුලින් අහුවුණත් මා හිතන්නේ ඔහු ඉක්මණින් එයින් ගැලවුණා. සන්නා බුද්ධිමත්. නලින් ද සිල්වාගේ අවිද්‍යාත්මක විශ්වාසවලට කෝචෝක් කරන නිර්මාල් දේවසිරි ඉතාම ප්‍රාථමික ආගමික දෘෂ්ටිවාදයක් විසින් මෙහෙයවීම නම් හරිම හාස්‍යජනකයි.

මේකේ තවත් මම ආසම චරිතයක් තමයි රසික ජයකොඩි. මිනිහා තමයි අර දුර්භික්ෂ යකා එනවෝ එනවෝ… අහස කඩාගෙන වැටෙනවෝ වැටෙනවෝ… කියමින් ඉස්සරහින් දුවපු ගෝත්‍රිකයා.

අවසාන වශයෙන් මම කැමතිම නිරීක්ෂණය තමයි අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ මහා උගතුන් මෙන්ම පුබුදු ජාගොඩ වැනි මාක්ස්වාදීන් පවා මේ ප්‍රාථමික ආගමික දෘෂ්ටිවාදයේ ගොදුරු බවට පත් වීම.

ලංකාවේ ඊනියා වම කියන්නේ අන්තිම ගෝත්‍රික සමාජයක්. “ගෝඨාභය යවලා මොකද කරන්නේ?” කියලා අහපු ප්‍රශ්නයට හරිනි අමරසූරියට පවා උත්තර නැති වීම පමණක් නොවෙයි, උත්තරයක් අවශ්‍ය නැතැයි ඔවුන් දැඩිව විශ්වාස කිරීමම ඒ දෘෂ්ටිවාදයේ අනුකම්පා සහගත ප්‍රකාශනයයි. මේක කිසිසේත්ම විප්ලවයක් ලෙස සැලකිය නොහැකියි. මෙය සරල ජන සන්නියක් සහ බිලි පූජාවක් ලෙස පැහැදිලි කළ හැකියි. ඒ නිසයි එය මේ ආකාරයෙන් අවසන් වෙන්නේ. ධර්මය අපට මග වේවා!

2022 ජූලි 29

නවතම ලිපි