විජේ ඩයස්ගෙන් ලංකාවේ දේශපාලනයට ඍජුව එතරම් සාධනීය දායකත්වයක් සිදු වූවා යැයි කිව නොහැක.

ඒ මක්නිසා ද යත් ඔහු නායකත්වය දුන්නේ ඒ වන විටත් දේශපාලන වශයෙන් යල් පැනගොස් තිබූ අදහස් පද්ධතියක් අතිශය ආධානග්‍රාහී ලෙස දරාගෙන තිබූ සංවිධානයකටයි. නමුත් ඔහු ලංකාවේ දේශපාලනයට වක්‍ර වශයෙන් වැදගත් දායකත්වයක් කලේය.

ඒ නව දේශපාලන පරම්පරාවකට බුද්ධිමය -දේශපාලන උත්තේජනය සැපයීම මගිනි. ඒ පරම්පරාව ඔහුගේ දේශපාලන මාවතේ ගමන් කළ වුන්ම නොවීය. එය මගේ පුද්ගලික අත්දැකීම් ආශ්‍රෙයන්ම පැහැදිළි කළ හැකිය. මා විශ්වවිද්‍යාලයට පැමිණි වකවානුවේ විශ්වවිද්‍යාල හා කොළඹ අවට දේශපාලන කතිකාව තුළ තිබූ ඉතා ප්‍රබල බුද්ධිමය කතිකාවක් වූයේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ කතිකාවයි. කම්කරු මාවත හා තරුණ සමාජවාදියෝ යන පුවත්පත් රැගෙන ඒවා විකිනීම සදහා සිසුන් පසුපස හබා යන කේ කේ සමන් කුමාර හා නන්දන වීරරත්න මා විශ්වවිද්‍යාලයට පැමිණි දිනවල ශිෂ්‍ය කේන්ද්‍රස්ථානයේ සුලභ දර්ශනයක් විය. ඒ ව්‍යාපාරයේ සාමාජිකයින් සමග කෙරුණු දේශපාලන සංවාද දේශන ශාලාවල පැවැති වියලි දේශන වලට වඩා බෙහෙවින් සජීවී ඒවා විය.

කීර්ති බාලසූරිය, සුචරිත ගම්ලත් හා විජේ ඩයස් එකල අප දැන සිටි මේ ව්‍යාපාරයේ ප්‍රභලම චරිත තුනයි. මා අයත් ශිෂ්‍ය සංවිධානයේ නායකයා වූ දයා පතිරණ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය කෙරේ යම් ආකර්ශනයක් සහිතව සිටි නිසා එහි සාමාජිකයින් නිතර අප සමග කිට්ටු සබදතා පැවැත්වීය.

කෙසේ වෙතත් නලින් ද සිල්වාට මෙන් ම විජේ ඩයස්ටද මා වහ කදුරු මෙන් විය. ඔහු කිසි දිනෙක මා බැරෑරුම් අදහස් පළ කරන්නෙක් ලෙස සැලකුවේ නැත. ඔහු මා සැලකුවේ එහෙන් මෙහෙන් කෑලි ටිකක් අහුලාගෙන කෑ ගහන කයිවාරු කාරයෙක් ලෙසයි. ඇත්ත වශයෙන්ම එය නිවැරදි නිරීක්ෂණ්‍යක් ලෙස සැලකිය හැකිය.

විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ සිටි මගේ සමවයසේ ක්‍රියාකාරීහු විධිමත් ලෙස මූලික මාක්ස්වාදී සාහිත්‍යය ඇසුරු කළ, හා මාක්ස්වාදී අධ්‍යයන වැඩසටහන් හරහා බුද්ධිමය පරිචයක් ලබා සිටි අය වූහ. මා වැන්නන්ට එවැනි විධිමත් බුද්ධිමය පරිචයක් තිබුණේ නැත. අවාසවානාවකට ඔවුන්ගේ අදහස් සම්බන්ධයෙන් බෙහෙවින් හාස්‍යජනක හැගීමක් පැවැති නිසා ඔවුන්ගේ බුද්ධිමය කතිකාව මට ආකර්ශනය නොවීය. ඇත්ත වශයෙන්ම නලින් ද සිල්වාගේ අදහස මට ඊට වඩා ආකර්ශනීය විය. නලින් ද සිල්වගේ පැත්තට මා තල්ලු වීම වැලකුනේ කුමක් හෝ හේතුවක් නිසා තදින් දෙමළ අරගලයට පක්ෂපාතී විමේ නැඹුරුවක් ඇති වී තිබීම නිසාය.

විජේ ඩයස් කොළඹ විශ්වවිද්‍යාලයට පැමිණි අවස්ථා ගණනාවකදී ඒ සදහා පරිපාලන අනුමැතිය ගැණුනේ මගේ අත්සන යටතේ ය. ඒ ඔහුගෙන් ලැබුණු බුද්ධිමය උත්තේජනය වෙනුවෙන් මා ඔහුට පෙරළා ගෙවූ මිල ලෙස හැදින්විය හැකිය. එහෙත් ඒ හැම අවස්ථාවකම මට ඔහුගෙන් ලුණු ඇඹුල් ඇති බසින් සංග්‍රහ ද ලැබුණි.

1964 න් පසු සමසමාජ පක්ෂ දේශපාලනයේ ට්‍රොස්කිවාදී උරුමය ඉදිරියට ගෙනයාමට අසාර්ථන උත්සාහයක් දැරූ පිරිස් අතර විජේ ඩයස් ප්‍රධාන වේ. තවමත් අප අතර සිටින ටී අන්ද්‍රාදි සහෝදරයා ඒ පුරෝගාමී පරපුරේ ඉතිරි වී ඇති එකම පුරුක විය හැක.

@(මුහුණු පොතෙන්)

නවතම ලිපි