මේක එතරම් ලස්සන කතාවක් නොවෙයි. ඒත් මේ වෙලාවේ මේ වගේ දේවල් අපට පාර කියනවා.

අහඹු සිදුවීමක්. දින දෙකකට කලින් එංගලන්තයේ පාසලකට ගිය ලාංකිකයෙක් එහි පිළිගැනීම් අංශයෙන් විමසීමක් කරනවා.

 "මම ඩොක්ටර් ...... ලංකාවේ සිට මීට දවස් දෙකකට කලින් අපි ආවේ" කියලා පටන් ගත්තේ. ඔහුගේ දරුවන් දෙදෙනා පාසලට ඇතුලත් කර ගැනීමයි අරමුණ. ඔහු සමග ඔවුන් දෙදෙනාත් බිරිඳත් තවත් කාන්තාවකුත් එහි සිටියා.

පාසලේ රිෂෙප්ෂන් එකත් කාර්යාලයත් එකමයි. මාද ඒ අවස්ථාවේ යම් අවශ්‍යතාවක් වෙනුවෙන් එහි ගොස් සිටියා. වෙනත් කතා බහකට කන්දීම එතරම් හොඳ දෙයක් නොවුණත් එය ඇසීමෙන් වැළකී සිටීමේ හැකියාවක් මට තිබුණේ නැහැ.

අදාළ සංවාදයේදී ලාංකිකයෙකු වූ මට ලජ්ජාවක් දැනුනු දෙයක් තිබුණා. අදාළ දරුවන්ගේ පියා පාසලේ නිලධාරිනියගෙන් කරුණු විමසීම් කරන අතරතුර සහ තොරතුරු දැනුම්දීමේදී තුන් හතර වතාවක් හිතාමතාම "I am Doctor…./ Doctor—-) යනුවෙන් කියනු ඇසුනා. එය ඔහුගේ අවශ්‍යතාව වෙනුවෙන් මේ රටේ කිසිසේත්ම අදාළ නොවන්නක්.

ඔහුට එහෙම කියන්න හේතු වුණු කරුණු කිහිපයක් තිබෙන්න පුළුවන්. තමන්ගේ තත්ත්වය කුමක්ද කියලා පෙන්වන එක, එසේ කීමෙන් ලංකාවේ මෙන් වැඩි සැලකිල්ලක් ලැබෙතැයි සිතීම, නැත්නම් එසේ කීමට ඇබ්බැහි වී සිටීම, ලංකාවේ එහෙම කළත් දියුණු රටක මෙවැනි කරුණකදී පුද්ගලයාගේ තත්ත්වය හෝ තරාතිරම කිසිසේත් අදාළ නොවන බව නොදැනීම ඒ අතර වනවා.

හැම තැනම නැතත් ලංකාවේ ඇතැම් පාසල්වල තවමත් ලොකු මිනිස්සුන්ට හා ළමයින්ට සලකනවා. වෛදවරුන්ගේ හෝ ඉහළ තනතුරු දරන අයගේ දරුවන්ට ජනප්‍රිය පාසල් ලැබෙන්නේ සේවා ස්ථානය සැලකිල්ලට අරගෙනම නොවෙයි. 

රාජ්‍ය ආයතනවලදි ලොකු පොඩි අයට දෙවිදියකට සැලකෙන අවස්ථා ඕන තරම්. පොලීසිය ගැන කතා කරලා වැඩක් නැහැ. දිනක් මා තංගල්ල සිටිනාමළුව ප්‍රදේශයේදී අපරීක්ෂාකාරි ලෙස ඕවර් ටේක් කළ බව කියා ඇල්ලුවා. දඩයක් ලිව්වා. පස්සේ කතා බහේදී මගෙන් බොහෝ විස්තර ඇහුවා. වැඩකරන තැන කිව්වම "අයියෝ සර් කලින් කියන්න තිබුණනේ" කිව්වා. ඔවුන් දෙවිදියකට සලකන්න බලන හැටි.

ලංකාවේ කෙනෙක් වෙනත් රටකට ගිහින් හුරු වනතුරු ඒ රටේත් එසේ වනවා යැයි සිතනවා ඇති. එසේත් නැත්නම් යම් වෘත්තිකයන් කොහේ ගියත් එක වගේ වෙන්නත් පුළුවන්. මේ කියන ඩොක්ටර් එහෙම කෙනෙක්ද කියන්න දන්නේ නෑ.

කෙසේ නමුත් ලංකාවේ යැයි දැනගත් නිසා මා ඔහු සමග කතා කළා. මා සමග වුණත් ඔහු ටිකක් උඩින් සිට කතා කළ බවයි මගේ තේරුම් ගැනීම. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරන ඔහු ශිෂ්‍යාධාරයක් මතයි එංගලන්තයට ඇවිත් තිබෙන්නේ. ඔහු මෙය දැන ගෙන කවරක් සිතුවත් ගැටළුවක් නැහැ. මේක මගේ නිරීක්ෂණය.

අප තවමත් අසමාන ලෙස වරප්‍රසාද ලැබීමේ ජන්ම පුරුද්දක් ඇති අය බව වෙනත් රටකට ගියද මෙවැන්නකින් පෙන්නුම් කෙරෙනවා.

එහෙත් මෙවැනි රටකදී බොරිස් ජොන්සන්ගේ දුව පුතාටද ලංකාවේ ජනාධිපතිගේ පුතාටද කසළ සෝදන්නාගේ පුතාටද හිමි වන්නේ එකම සැලකිල්ලක්. මුදලෙන් හෝ තරාතිරමෙන් වැට පැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. තමන්ගේ තරාතිරම කුමක් වුවත් සිස්ටම් එක ඇතුලේ කිසිවෙකුට අසාධාරණයක් සිදුවීමට ඉඩක් ඇත්තේද නැහැ. ලංකාවේ අරගලය නිමාව දැකිය යුතු තැනක් වන්නේද එතනයි.

නවතම ලිපි