බයිසිකල් නැවතත් ජනජීවිතයට ඇවිත් කියල මහාචාර්ය නිර්මාල්ගේ පෝස්ට් එකක් දැකල මේක ලියන්න හිතුනෙ.

ඇත්තටම ඒක කොච්චර හොඳ දෙයක්ද! මම අදත් බයිසිකල්වල වැඩට ගිය තරුණ විධායක මට්ටමේ කියල හිතන දෙතුන් දෙනෙක් පාරෙදි දැක්කා. බයිසිකල් මංතීරු නැති නිසා මේ අය අවදානමක් ගත්තත් පරිස්සම් වෙලා පාරෙ ගියොත් ප්‍රශ්නයක් නැහැ.

ලංකාවේ බයිසිකල් ගෙවල්වල පිළිකන්නට දැම්මුවෙ වම්මු. ඒ, බයිසිකලය දුප්පතාගෙ හිතවතා කියල ලේබල් කරල ඒකට තියෙන සමාජ තත්වය පහත හෙළීම හරහා. එතනින් පස්සෙ මිනිස්සු ක්‍රමයෙන් බයිසිකලය අතහැරිය. විශේෂයෙන් ලංකාවේ කාබාසිනියාකාර මධ්‍යම පන්තිය බයිසිකල් පදින්න ලැජ්ජ වුණා. වාමාංශිකයින් ඇති කරපු ඒ හීනමාන තත්වය ලංකාවේ ඉතා කාර්යක්ෂම ප්‍රවාහන මාධ්‍යක් වුන බයිසිකලය පැත්තකට දාලා ධනේශ්වරයේ අනුහසින් ලංකාවට ආපු මෝටර් බයිසිකල් අනියමින් ප්‍රවර්ධනය කිරීම කොතරම් උත්ප්‍රාසජනක ද බලන්න. ඒ හරහා විශාල ලෙස දියවැඩියාව කොලස්ටරෝල් ලෙඩ්ඩුත් හැදුවා.

සබරගමුවේ හිටිය මුල් ම කාලෙ මට මවුන්ටන් සයිකලයක් තිබුණා. ක්වාටස් එකේ ඉඳල පීඨයට ආවෙ ඒකේ. ඒ කියන්නෙ 2004-5 වගේ කාලෙ. එකදිගට ලයිට් කපපු ඒ කාලෙ ක්වාටස් එකේ ඉස්සරහ දාලා තිබුණ ඒක හොරු ගත්තා. එතනින් පස්සෙ ආපහු බයිසිකල් ගත්තෙ නැහැ. ඒ බයිසිකලය එක්ක බැඳුණු කතාවක් තමා සබරගමු විශ්වවිද්‍යාලයීය ගීතය. ඔය බයිසිකල් එකේ මම හැමදාම හවසට ව්‍යායාම සඳහා සමනල වැව පැත්තට යනවා. වැව ගාවට යන කල්ම පල්ලම. දෙපස කැලේ. ජපන්නු හදපු කාපට් පාර. ඒ පල්ලමේ යන ගමන් එම ගමනේ රිද්මයට තමා මම, අදත් සබරගමුවේ භාවිත කරන විශ්වවිද්‍යාල ගීතය හැදුවේ.

සමනල වැව පිපි නෙළුම් නෙලාගෙන

ගිරිකුළු වනරද මතින් ගලායන

ජීවිතයේ කඳු මුදුන් සොයාගෙන

හාගල කන්ද නගින්නේ...

මේ ඔබේ සවියයි

සබරගමුව සරසවියයි //////

සිරිපා පහනින් එළිය ලබාගෙන

මනරම් විදුණැන අකුරු දරාගෙන

කළුගං පතුලේ රුවන් සොයාගෙන

උඩුගං බලා ඇදෙන්නේ...

දෙරණේ උරුමය ලොවට බෙදාගෙන

සිප් කගගින් රුදු අඳුර නසාගෙන

ඔබෙත් මගෙත් හීනය කල එළිවන

දිනය උදාවන්නේ....

මේකට සංගීතය එකතු කළේ මහාචාර්ය සංගීත් රත්නායක. මම ඔහුට කිව්ව යම් රළු තනුවක්. ඒ අර බයිසිකල් එක පල්ලමේ හැල්මෙ යන රිද්මය. ඔහු ඒක වැඩිදියුණු කළා. ‍

ඒ කොහොම වුනත් මේ අර්බුදය මැදින් නව ජීවන රිද්මයකට අපට යන්න වෙනවා. ඇස් නිලංකාර කරවන, සෝබනකාරි ජීවන තමාෂා ගැන අපට විතරක් නෙමෙයි ලෝකයටම හිතන්න වෙලා. අද ලෝකෙ හැම තැනම උද්ධමනය ඉහළ යෑම් නිසා ජනතා විරෝධතා. හැබැයි ජනතාව විරෝධතා කරල වැඩක් නැහැ. ජනතාවමයි මේ පරිභෝජනවාදයේ නිර්මාතෘවරු. ඒ කියන්නෙ වෙනස් විය යුත්තෙ වෙන කවුරුත් නෙමෙයි අපිමයි. ඩෙරිඩා ඔහුගේ Letter to a Friend කියන ජපන් ජාතික මහාචාර්ය ඉසුසුට ලියන ලිපියේ විසංයෝජනය පැහැදිළි කරන හැටි බලන්න. ඊට අනුව අපට කවුරුත් විසංයෝජනය කරන්න බැහැ. I deconstruct it කියන්න බැහැ. විසංයෝජනය කියන එක ස්වයං සිද්ධ වෙන දෙයක්. Self deconstruction ඔහු ඉහළට ගන්නෙ ඒකයි. වෙනසත් එහෙමයි.

නවතම ලිපි