කව් සිළුමිණේ තියෙන්නෙ ආදර කතාවක්. මේ ආදර කතාවේ ඉන්නෙ රජෙක්. කුස රජ්ජුරුවෝ. කව්සිළුමිණ ලිව්වෙත් රජෙක්. පරාක්‍රමබාහු රජ්ජුරුවෝ.

කව් සිළුමිණේ පළමුවෙනි කවියෙන් කියවෙන්නෙ රජෙකුට වගේ ම ආදරවන්තයෙකුටත් මුහුණ පාන්න සිදුවෙන උභතෝකෝටික ප්‍රශ්නයක් ගැන. දේශපාලනයේ දී මෙන් ම ආදරයේ දී ද මුහුණ පාන්න සිදුවෙන උභතෝකෝටික ප්‍රශ්නයක් ගැන. ආදරවන්තයෙක් වගේ ම රජෙකුත් වුණ පරාක්‍රමබාහු රජ්ජුරුවන්ට මේ ප්‍රශ්නෙ තදින් දැනෙන්න ඇති. රජෙක් වුණ කුස රජ්ජුරුවන්ටත් මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙන්නැති කියලා රජෙක් වුණ පරාක්‍රමබාහු රජ්ජුරුවන්ට හිතෙන්න ඇති. ඒ නිසා ම කුස ජාතකය ම අරන් කව් සිළුමිණ ලියන්න ඇති.

උභතෝකෝටික කියන වචනෙ මෙතෙන්ට හරියනවද දන්නෙ නෑ. ඒත් දේශපාලනයේ දී මෙන් ම ආදරයේ දී ද හරියට නොදන්න වචන පාවිච්චි කරන එක පුරුද්දක් වෙලා තියෙන නිසා ප්‍රශ්නයක් නෑ.

කව් සිළුමිණේ පටන් ගැනීමේ මෙහෙම කවියක් තියෙනවා.

නුවන් බැහැර නහමත්

තමාම නොදක්නේ කිම්

මේ කොටසට මෙහෙම තේරුමක් දීලා තියෙනවා. පිටතට යොමු වෙලා තියෙන ඇස්වලින් පේන්නෙ පිට විතරයි. ඒ පිටට යොමුවෙලා තියෙන ඇස් දෙක ගලවලා එළියට අරගෙන තමන් දෙසට හරවලා තමාම දෙස නොබලන්නේ ඇයි? ඇස් ගලවලා ගන්න තරම් වේගයක් රජෙකුට ඇතිවුණේ ඇයි?

පරාක්‍රමබාහු රජ්ජුරුවෝ දැක්ක හැම දැසක්ම තමා වෙතම යොමුවෙලා තියෙන හැටි. තමාව ම විවේචනය කරන්න ම ලෑස්ති වෙලා ඉන්න හැටි. ඇමතිවරු, අගමැතිවරු, විනිශ්චයකාරවරු, රටවැසියෝ, පූජකතුමන්ලා, වෛද්‍යවරු, ගෑණු, මිනිස්සු, ගැමියෝ, කඩකාරයෝ ඔක්කොම. රජෙකුට වුණත් ඒක දරාගන්න අමාරුයි. ඉතින් රජකෙනෙකුට තියෙන ප්‍රධානම ප්‍රශ්නෙ කව්සිළුමිණෙන් මුලින්ම එළියට එනවා.

‘අනේ දෙවියනේ මං දිහාම බලාගෙන ඉන්නෙ. ඔය ඇස් දෙක ගලවලා අරන් තමන් පැත්තට හරවලා උඹලා දිහෑත් බලාපල්ලකො”

මේක දේශපාලනයේ කේන්ද්‍රීය ප්‍රශ්නයක්. ගල් ගහන්නෙ පිටට. තමන් දෙසට නෙමෙයි. ඉස්සරහා ඉන්න මනුස්සයාව විවේචනය කරන්න සැම විටම ලෑස්තියි. තමා දිහා පොඩ්ඩක් බලන්න ලෑස්ති නෑ. ඉතින් රජෙකුට වුණත් මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න ලේසි නෑ. ඉතින් වේදනාව දරාගන්න බැරිව ආදර කතාවක් අරගෙන කුස ජාතකය අරගෙන කව් සිළුමිණ ලිව්වා.

මේ කතාවේ පබාවතී ජනතාවද? ඒක මන්දන්නෙ නෑ. කුස රජ්ජුරුවෝ පබාවතීට අසීමිතව ආදරය කළා. පරාක්‍රමබාහු රජ්ජුරුවොත් ජනතාවට අසීමිතව ආදරය කරන්න ඇති.

පබාවතී දෑස් එළියට අරන් තමා දිහෑ බැලුවෙ නැතිද? මන් හිතන්නෙ නෑ. එහෙම අවශ්‍යතාවක් තිබුණෙත් නෑ. කුස රජ්ජුරුවෝ පබාවතීව රැවැට්ටුවා. ඒත් පබාවතී ගියාට පස්සෙ කුස රජ්ජුරුවෝ දෑස් එළියට අරන් තමා දිහෑ බැලුවා. බලලා රජකම අතෑරලා පබාවතී පස්සෙන් ගියා.

ඊට පස්සෙ රජෙක් හිටියේ නෑ. වීණා වයන්නෙක් හිටියා. වළං හදන්නෙක් ඒ කියන්නෙ කුඹලෙක් හිටියා. මාල ගොතන්නෙක් ඒ කියන්නෙ මාලාකාරයෙක් හිටියා. කෑම උයන්නෙක් ඒ කියන්නෙ අරක්කැමියෙක් හිටියා. ඒ කෝකියා කෑම ටික කදේ බැදගෙන කර තියාගෙනත් අරගෙන ගියා. රජෙක් හැටියට නෙමෙයි කුඹලෙක් හැටියට කුස රජ්ජුරුවෝ පබාවතීගේ හිත දිනාගන්න බැලුවා.

මේක ඇස් දෙක එළියට අරගෙන තමන් දෙස ම බැලීමක් ද? ඇස් දෙක එළියට අරන් තමන් දිහාම බලපු නිසා ද කුස රජ්ජුරුවන්ට තේරුණේ රජෙක් හැටියට තමන්ගෙන් වැඩක් නෑ කියලා. පරාක්‍රමබාහු රජ්ජුරුවොත් වරින් වර ඒ විදිහට ඇස් දෙක එළියට අරගෙන තමන් දිහාට හරවලා බලන්න ඇති. විශේෂයෙන් රටේ ප්‍රශ්න ඇති වෙන කොට. වැඩි වෙන කොට. එතකොට තේරෙන්න ඇති කුස රජ්ජුරුවොත් කළේ ඒක කියලා. කුස ජාතකේ අරගෙන කව් සිළුමිණ ලියවෙන්නෙ ඒකත් හේතුවෙන්න ඇති.

අන්තිමට අන්තිමට පබාවතී. රූපයෙන් උඩගු වෙලා හිටිය පබාවතීට කුස රජ්ජුරුවන්ගේ බැලමෙහෙවරකම් පෙණුනේ නෑ. රජකම අතෑරලා අරක්කැමියෙක් වෙලා ඉන්නෙ ආදරේ නිසා බව පබාවතීට තේරුණේ නෑ. දැනුමෙන් උඩගු වෙලා ඉන්න ජනතාවට වගේ.

අද තියෙන්නෙ ආදරය නැති දේශපාලනයක්. ඒක පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගෙ කාලෙත් එහෙම වෙන්නැති. පරාක්‍රමබාහු රජ්ජුරුවන්ට ඒක තදින් ම දැනෙන්න ඇති. ඒ නිසා රජෙකුගේ ආදර කතාවක් වන කුස ජාතකය අරන් කව් සිළුමිණ ලිව්වා වෙන්න පුළුවන්.

ඒත් අන්තිමට පබාවතීත් එයාගේ ඇස් දෙක එළියට අරගෙන තමන් දිහා බැලුවා. ඒක පබාවතියගේ ජයග්‍රහණයක්. ජනතාව ලස්සනයි. පබාවතී වගේ. ඒ නිසා ම රජෙකුට ජනතාවගේ හිත දිනාගැනීම සදහා බොහෝ කැපකිරීම් කරන්නට වෙනවා. පරාක්‍රමබාහු රජ්ජුරුවෝ එහෙම කරන්න ඇති. කව්සිළුමිණ ලියැවෙන්න ඇත්තෙත් ඒ නිසා ම වෙන්නැති.

අද ඉන්නෙ කුස රජ්ජුරුවෝ ද පරාක්‍රමබාහු රජ්ජුරුවොද කියන්න මම දන්නෙ නෑ. ඒත් ජනතාව පබාවතී බව මට දැනෙනවා.

නවතම ලිපි