මංගල කියන්නෙ ලංකාවෙ මෙතෙක් බිහිවුණු අසාම්ප්‍රදායිකම දේශපාලකයා.

වැඩිපුර ව්‍යවහාර වෙන වචනෙන් කිව්වොත් රැඩිකල්ම දේශපාලකයා. මොකද අපි ලංකාවෙ රැඩිකල් කියන තරමක් කියන්නෙ සාම්ප්‍රදායික ග්‍රාම්‍ය දේශපාලනයට. මංගල පක්ෂ අතර දේශපාලනය විතරක් නෙමෙයි ඊට වඩා ලොකු සංස්කෘතික දේශපාලනයක් කළා. ඒකට ප්‍රධාන හේතුව විදිහට මං දකින්නෙ මංගලගේ සමලිංගික නැඹුරුව. සමලිංගික ප්‍රජාව අතරත් මංගල රැඩිකල් චරිතයක්. එයා විශ්වාස කළේ නෑ සමලිංගිකයන්ට විවාහ වීමේ අයිතිය අවශ්‍යයි කියල. එයා හිතුවෙ ඒක විෂම ලිංගිකයන්ව කොපි කිරීමක් කියල. සමලිංගිකයන් විසින් ඔවුන්ගේ සංස්කෘතියක් නිර්මාණය කරගත යුතුයි කියල.

‘ලේ උරාබොන කූඩැල්ලෙක් වෙනවට වඩා සමනළයෙක් වීම මට ආඩම්බරයක්’

මේ වෙනස් ලිංගික නැඹුරුව හින්දම මංගල ලංකාවට ගැලපුනේ නෑ. එයා ප්‍රධානවම ගැටුනෙ ලංකාවෙ ලොකුම අවුල එක්ක. ඒ තමයි සිංහල බුද්ධාගම. සිංහල බෞද්ධ කියල කියන්නෙ. දේශපාලනය ඇතුලට ආගම ඇතුල් වීම නිසා දේශපාලනයත් ආගමත් දෙකම අර්බුදයට යනවා කියල මංගල දැක්කා. එයාට බුද්ධාගම ගැන තිබුණා ආධ්‍යාත්මික දර්ශනයක් හැටියට ලොකු ගෞරවයක්. ඒත් දේශපාලන කොන්ත්‍රාත් කරන චීවරධාරීන් එක්ක තිබුණ ලොකු තරහක්. මේ ගැන මංගල ලියපු බෞද්ධයාගේ විලාපය මං හිතන්නෙ මෑතක එලිදැක්වෙනවා.

එයා සියලු අන්තගාමීත්වයන්ට විරුද්ධ තැනක දේශපාලනිකව පිහිටන්න උත්සාහ කළා. ඒකට කිව්වෙ රැඩිකල් මැද කියල.

‘සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.. මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ’

ලංකාවෙ දේශපාලනයෙදි මංගල වැදගත්ම වුනේ එයා සෑම විටකම පාලමක් වුනු නිසා. මංගල දේශපාලන තාප්පයක් නෙමෙයි. මේ වෙලාවෙ මංගල හිටියා නම් කියලා ගොඩක් අය කියන්නෙ ඒ හින්ද. එයාට පක්ෂ අතර, පුද්ගලයො අතර එකඟතා ගොඩනගන්න පුළුවන්. ඒ එකඟතාවය ගොඩනැගෙන්නෙ විශ්වාස කළ හැකි කෙනෙකුගේ මැදිහත්වීම උඩ විතරයි. මංගල එවැනි විශ්වාසයක්, විවෘතභාවයක් දිනාගෙන තිබුණ. අරගලයෙදි මංගලගෙ අඩුව දැඩිව දැනෙන බව ඇත්ත.

මංගලට තිබුණ ඉතාම දියුණු සංස්කෘතික ජීවිතයක්. මං වඩාත්ම ආශක්ත එතනට. කියවන පොතපත, ඇසුරු කරන කලාවන් ව‍ගේම කන බොන ජීවත් වෙන විදිහ ගැන ඉතාම සියුම් සෞන්දර්යයන් තැවරුණු ආර්ට් එකක් එයාට තිබුණ. එයාට වටිනා දේ වුනේ විඳීම, අත්දැකීම, නැත්තං එක්ස්පීරියන්ස් එක. භෞතික මිළ මුදල නෙමෙයි.

දේශපාලකයෙකු තුල තිබිය යුතු අසහායම ගුණය විදිහට මං දකින අසා සිටී‍මේ ගුණය මං ගැඹුරින්ම දැක්කෙ මංගලගෙන්. මේසයක් වටේ ඉන්න බුද්ධිමතාගේ ඉඳන් අන්තිම මුග්ධයා දක්වාම එකම ගෞරවයකින්, ඉවසීමකින් අහන් ඉන්න පුළුවන් විශිෂ්ට ගුණයක් එයාට තිබුණ. හැම කෙනෙකුගේම අදහස මේසෙට එන්න ඕන කියල විශ්වාසයක් තිබුණ. කිසි කෙනෙක් සර්ලා හෝ මැඩම්ලා නෙමෙයි අපි වගේම සමාන පුරවැසියො කියන එක එයාගෙ දේශපාලනයේ තිබුන.

මං හිතන්නෙ මංගලගේ දේශපාලනයෙන් අපිට තේරුම් ගන්න තියෙන වැදගත්ම දේ මේ අසා සිටීමේ ගුණය කියල. විශේෂයෙන්ම මේ වැඩිපුරම ගැඹුරෙන් අසා සිටිය යුතු වෙලාවක් නිසා.

(ඡායාරූපය @Prageeth Rathnayake ගෙ පිටුවෙන්)

නවතම ලිපි