ඔන්න ආයිත් ගෙවතු වගාව අරඹන්නලු...! කතා එපාලු...!! වවන්නලු...!!! හොඳ අදහසක්.... ගෙවතු වගාව ඉතාම වැදගත් තමයි.

ඒකේ තර්කයක් නැහැ. ඒත් මේක අතීතයේ ඉඳලම විහිලුවක් වුනා. විහිලුවක් වුනාටත් වඩා පැවති ආණ්ඩු සියල්ලක්ම විසින් ඒක විහිලුවක් කළා. ඒ ප‍්‍රතිපත්තියක්, තිරසාර අදහසක් නැතිකම තුළින්. කොණ්ඩෙ රැවුල ඇරෙන්න කිසිම දෙයක් ආත්ම විශ්වාසයකින් වවන්න බැරි තරමට මිනිසුන්ට වගාව එපා කළේ ඒ ඒ කාලවල පැවති ආණ්ඩු විසින්...!

හැමදාම සාමාන්‍ය මිනිස්සුන්ට ‘‘වවාගෙන කන්න... පටි තද කරගන්න’’ කියන පාලකයෝ තමයි අපිට හිටියේ. වතාවක් ඩඩ්ලි සේනානායක ආණ්ඩුව මුළු හෝර්ටන් තැන්නම එළි කරලා අර්තාපල් වැව්වා...! ඊට පස්සේ මැතිණිගේ යුගය ආවා. ඒ කාලේ ගුවන් විදුලියේ ප‍්‍රවෘති විකාශයේ තේමා වාදනය පවා ඩඩ්ලිව උහාසයට ලක් කළා. ‘‘අල බතල හිටවන්න යමු ඩඩ්ලි යමු ඩඩ්ලි ’’ යනුවෙන් තමයි එහි අනුවාදනය සැකසුවෙ. එය කේමදාස මාස්ටර් විසින් අපූරුවට කරපු අනුවාදනයක්. මේ අතරේ ආණ්ඩු පක්ෂයේ ජනතාව ‘‘මැතිණි අපිට කියනව නං පිදුරු වුනත් අපි කන්නං ’’ කියලා පෙළපාලි ගියා. තරුණ පරපුර පරපුර වගාවට ගියේ නැහැ කියල මැතිණි වගා සංග‍්‍රාමය කළේ ගුවන් විදුලිය හරහා. සනත් නන්දසිරි ‘‘ගමේ කෝපිකඩේ දෙන්නා දෙපැත්තේ’’ කියල භාවමය ගීත කියද්දි අන්ටන් රොඩ්‍රිගෝ ‘‘ආසිරි මංගල ගීත ගයා අපි ’’ වගේ ගීත තුලින් වගා සංග‍්‍රාමයට ෆුල් බකප් එකක් දුන්නා. ඒකට සිසිර කුමාර මානික්කආරච්චි නං කිව්වෙ ‘‘ රේඩියෝ එක ඇතුළේ ගොයම් පැළවෙනවා විතරයි’’ කියල.

ඔන්න ඊට පස්සෙ ජේ.ආර්. ප්‍රේමදාස හවුල ‘‘වප් මගුල’’ කියල එකක් පවත්වලා වගාවට බැස්සා. දෙන්නා හරකා බාන අරගෙන කුඹුරට බැහැලා පොටෝ එහෙමත් පත්තර වල දැම්මා. ඒකෙදි තමයි ඊ.ඇල්. සේනානායක මහත්තයා කැන්වස් සපත්තු දෙක පිටින්ම කුඹුරට බැස්සෙත්. ඔය ඩලස් අලහපෙරුම කියන දේශපාලඥයා සුන්දර පත්තරකාරයෙක් වෙලා හිටපු කාලේ ඔය ගැන අපුරුවට ලක්මිණ පත්තරේට ලිව්වා මට මතකයි...!

ඉන් පස්සේ ඉතිං මොන මොන තරම් දේවල් වුනාද..? හැබැයි වගාවය කියල වෙච්ච කෙංගෙඩියක් නැහැ. ගොවියා හැමදාම අස්වැන්න දෙකපහට විකුණාගන්න අතරමැදියො පස්සේ ගියා. බැරිම තැන වස බිව්වා. එල්ලිලා මළා. ගොවිතැනෙන් මිනිස්සු ඈත්වුනේ ගොවිතැනට අකමැති හින්දා නෙමෙයි. ගොවිතැන කරල අනාගතයක් දකින්න බැරි හින්ද. ගොවිතැන විතරක් නෙමෙයි වැවිලි ක්‍ෂෙත‍්‍රයටත් වුනේ මේ දේමයි. පොල්වතු, රබර්වතු, අක්කර පිටින් එළි පෙහෙළි කරලා මිනිස්සු ලෑන්ඩ් සේල්වලට වික්කා. මොකද ඒ වගාවන්ගෙන් ලාභයක් ලබන්න බැරි හින්ද. ඔන්න ඔහොමයි වගාවට, ගොවිතැනට වුනේ. මෑත කාලයේදි පොහොර ගැන, අස්වැනු අලෙවිය ගැන, බෙදාහැරීම් සහ මිළදීගැනීම් ගැන, ගොවි ණය ගැන එහෙම කතා කරන එකේ තේරුමක් නැහැනෙ. මොකද ඒක හැමෝම දන්න දෙයක්.

ඉතිං තාමත් අපි පරණ තැටියම ගහන්න බලාපොරොත්තු වෙනව නං අලුතින් ඔය තරුණ ගායක ගායිකාවො අල්ලාගෙන සිංදු හදවලා, ඒවා විඩියෝ කරවලා සල්ලි නාස්ති කරන්න ඔින නැහැ. පරණ ඒවා ගුවන් විදුලියේම ඇති... නැත්තං කියන්න... මටත් පුලුවන් ටිකක් හොයලා දෙන්න... සල්ලි එපා... නිකම්ම නිකං...!

මේක ලිව්වේ හැමදේම විවේචනය කරකර ඍණාත්මක අදහස් වපුරන්න නෙමෙයි. පරණ තැටියම යළි යළිත් රොටියක් වගේ ඒ පැත්ත මේ පැත්ත හරවනවා නං ඒකට එච්චර මහන්සි වෙන්න එපා කියන්න.

නවතම ලිපි