පවතින මජර දේශපාලන සංස්කෘතිය ඇති කළේ ජේ.ආර්. ය.

ලංකාවේ එතෙක් පැවති දේශපාලන සංස්කෘතිය ඉතා අගනේයැයි ඉන් අදහස් නොවේ. එයද දුගඳ හමමින් තිබූ මී කුණකි. එහෙත් ජයවර්ධන යුගය ආරම්භ වීමත් සමගම එය තිරිහන් අශ්වයෙක් මෙන් දෙපයින් නැගී සිටියේය. එයට වගකිව යුත්තේ ජේ.ආර්ය. නමුත් ජේ.ආර්. නරක නැත...! එයට හේතුව ජේ.ආර්. ඔහු විසින්ම බිහිකළ නිහීන ක‍්‍රමයෙන් අඩුම ප‍්‍රතිලාභ ලැබූ විධායක ජනාධිපතිවරයා වීමයි.

JP1

ජේ. ආර්. තමාට හිතේසිවන්ත ගෝනවල සුනිල්ට ජනාධිපති සමාවක් දුන්නේය. එයින් නොනැවති තම සම්ප‍්‍රදායේ උත්කෘෂ්ඨ භාවය කියන්නට මෙන් ඔහුට දිවයිනටම බලපාන සමාදාන විනිසුරුකමක්ද දුන්නේය. සුනිල්ට තිබූ චෝදනාව වූයේ දැරිවියක් දූෂණය කිරීමේ සාපරාධි චෝදනාවකි. නමුත් ජනාධිපතිවරයාට හිමි විශේෂ වරප‍්‍රසාද යටතේ ඔහු නිදහස් විය. එසේම සිපෙට්කෝ ආයතනය සතුව තිබූ තෙල් ප‍්‍රවාහනය ඔහු සුනිල්ට ලබාදුන්නේය. එතැන් පටන් කොලොන්නාවේ, සපුගස්කන්දේ තෙල් පිරිපහදුවල තෙල් නල ‘‘හිල්වීම’’ ඇරඹිනි. ඉඳහිට පොලිසිය ඒවා අල්ලා උසාවි දැම්මේය. නමුත් පිරිපහදුවේ ලොක්කන් උසාවියට පවසන ලද්දේ තම තෙල් ධාරිතාවන්හි අඩුවීමක් නොමැති බවය. මේ නිසා තෙල් හොරකමක් හෝ කාන්දුවක්ද සිදුව නැත..! නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේය...!! එබැවින් එය දිගටම සිදුවිය.

ජේ. ආර්. ද පෞද්ගලික ඉදිකිරීම්කරුවන් ගැන විස්වාස කළේය. එයට දේශිය නියෝජිතයන් පත් කර ඔවුන් හරහා ස්කස්කා වැනි ඉදිකිරීම් සමාගම්වලට පැමිණිමට බිම් පළස එලූවේය. අවසානයේ ඉංජිනේරු සංස්ථාව නිකම්ම නිකම් පඩි ගෙවන අම්බලමක් බවට පත් විය. ඉදිරිකිරීම් සමාගම්වල නියෝජිතයෝ අතින් කටින් රත්තරන් පෙරන තරම් පොහොසත් විය. එසේ වුවද සොයාබැලීම් වලදී ඒවායේ සැලකිය යුතු විගඩම් සිදුවී නැත.. එබැවින් එය නිවැරදි ක‍්‍රමයක් බව රටම පිලිගත්හ. ‘‘ආණ්ඩුවෙ ආයතනවලට දුන්නහම වැඩ අතගානවා.. හොර ගුහාවල්...ඊට වඩා පුද්ගලික ඉදිකිරීම් ආයතනවලට දුන්නහම වැඬේ ඉක්මනින් කෙරෙනවා...’’ ආදි වශයෙන් මතයක් ජනගත විය. එය බොරු කරන්නට හෝ එයට අභියෝග කරන්නට කිසිවෙක් ඉදිරිපත් නොවීය. ඒ නිහඩතාවය මගින් නොකියා කියැවුනේ ජේ.ආර්. නිවැරදි බවය.

JP3

විවෘත ආර්ථිකය යටතේ කෘෂිකාර්මික නිෂ්පාදන එක පෙළට ලංකාවට ගලාගෙන ආවේය. එහිදී තෝරා බේරාගෙන, රටට අවශ්‍ය දේ කුමක්ද, රටේ තියෙන දේ කුමක්ද, ආදි වශයෙන් සොයන්නට අවශ්‍ය නොවීය. මේ නිසා කෘෂිකාර්මික පළාත් වූ උතුරු පළාත තුළ අතීතයේ පටන් මෝදුවෙමින් තිබූ ගිනිකන්ද පුපුරා ගියේය. ආර්ථික, සාමාජීය හා දේශපාලනික වශයෙන් විදු වූ අනන්ත අප‍්‍රමාන අසාදාරණකම් රැසක් පුපුරා ගියේ ජාතිවාදි ලේබලයකිනි. ජේ.ආර්. සිරිල් රණතුංග මහතාව යාපනයට යැව්වේ පොටැස් බම්බු අතට ගත් කොල්ලෝ කුරුට්ටෝ මෙල්ල කරන්නටය. එහෙත් එය පහසු නොවීය. අවසානයේ යුද්ධයක් සමග ජීවත් වීමට තරම් සාමාන්‍ය ජනතාව හුරු විය.

ජේ. ආර්ගෙන් පසුව ප්‍රේමදාස බලයට ආවේය. ඔහුට මහා ලොකු කාලයක් තිබුනේ නැත. එහෙත් ඒ කෙටි කාලයේදී ජනාධිපති ආර්යාව සිංදු කිව්වාය. ටෙනිස් ගැහුවාය. ‘‘සර්... සර්ගෙ පවුල සිංදු කියන්න ඇවිල්ලා ගම කනවා සර්...’’ යනුවෙන් එච්. ආර්. ජෝතිපාල ප්‍රේමදාස මහතාගේ මුහුණටම කීවේය. ඒ ජෝතිපාලගේ හැටිය. කට කෑවත් කියන්න කියන දේ කියන්නේය. ප්‍රේමදාස මහතාද සූක්‍ෂම දේශපාඥයෙකි. ඒ නිසා ඔහු සිනාවකින් එය දරාගත්තේය.

JP5

ඞී.බී. විජේතුංග පැමිණියේ ඉන් පසුවය. ඔහුටද මහා ලොකු දෙයක් කරන්නට කාලයක් නොතිබිණි. එහෙත් ඔහු පේ‍්‍රමදාස යුගයේ දළු ලා තිබූ පාතාලය නිහඩ කරන්නට කටයුතු කළේය. ඒ එක්කම තමුන්ගේ ගජ මිතුරන්ට රාජ්‍ය දේපොළද ලබාදුන්නේය. රුහුණු සිමෙන්ති කම්හල ඉන් එකකි. එයද ජාතික තලයට ආ මහා ලොකු දේවල් නොවීය. හරියට කැළණි පාලම යටින් පොල්ලෙල්ලක් ගියා සේය.

චන්ද්‍රිකා මැතිණිය ආවේ ඉන් පසුවය. ‘‘තරුණයනි, හෙට නොව, අදම මේ රට ඔබ භාරගන්න’’ යනුවෙන් උදම් අනා, වහසි බස් දොඩා, ඉගසුග නලවා, පැමිණි ඇය දිගට හරහට රාජ්‍ය දේපොල විකිණුවාය. විකුණුවාටත් වඩා තම ජග මිතුරන්නට මංකොල්ලකෑමට ඉඩ දුන්නාය. අතිශයින් ලාභ ලබමින් රජය මුදල් උත්පාදනය කළ රාජ්‍ය ස්කාගාර සංස්ථාව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වැනි ආයතන පවා ගජ මිතුරන්ට නොමසුරුව ලබාදුන්නාය. ඇය තම ධූර කාලය අවසන් කළේ ඉතාම අපකීර්තිමත්, චෞර පාලිකාවක් වශයෙනි. මහින්ද රාජපක්ෂ යුගය ඇරඹුනේ ඉන් පසුවය. ඔහුගේ අතීතය ඉතාම පෙරළිකාරය. ජනතාවාදීය. සමාජවාදයටත්, ආගමටත්, ජාතියටත්, රටටත් හිතැතිය. මේ නිසා ඔහු නූලෙන් හෝ ජනාධිපති විය. එතැන් පටන් යුද්ධය අවසන් කිරීම දක්වාම ඔහු වීරයෙක් විය. ඒ වීරත්වය දුටුගැමුනුට හෝ ලං විය නොහැක්කකි. බුද්ධිමත්ව කටයුතු කළා නම් ඔහුට අසහාය නායකයෙක් වශයෙන් ඉතිහාස ගතවන්නට අවස්ථාව තිබිණි. නමුත් ඔහු අතින් එය ගිලිහුනේය. දොඩම් ගොඩම බදාගන්නට යාම නිසා කිසිවක් ඉතුරු නොවන තරමට ඔහු පීචං විය.

JP6

 

එදා ප්‍රේමදාස ආර්යාව සිංදු කියන විට මහින්ද හිනාවුනේය. එහෙත් ඔහුගේ ආර්යාවද සිංදු කිව්වාය. ඒවා නිකම් සිංදු නොව, භක්ති ගීය ය. එසේම ඔහුද ජේ.ආර්. පිලියෙල කළ කෑම මේසයෙන් හිතේ හැටියට සප්පායම් විය.

ඉන් පසුව ආවේ මෙත්පල් රජ්ජුරුවෝය. නහයෙන් ඇඞීම ප‍්‍රධාන කාර්යය කරගත් ඔහු ඊළගට තම පරපුරට අවශ්‍ය දේවල් එකතු කරගත්තේය. නොමසුරුව දූ පුතුන්ගේ දෑත් ශක්තිමත් කළේය. අන්තිමට නැග්ග ඉනිමගට පයින් පාරකුත් ගසා නැවතත් මහින්ද ලගට ගියේය. ඔහු කළ වැදගත්ම කාර්යය වූයේ තරුණියකගේ කෙස් වැටියෙන් අල්ලා, මුහුණ බිත්තියේ ඇණ ඇයව මරා දැමූ තරුණයාට ජනාධිපති සමාව දීමය. එය අගනේය...! කෙතරම් අගනේද කිවහොත් ගෝනවල සුනිල් වලේ සිට සිනාසෙන්නට ඇත...!!

දැන් අපි ගෝඨාභය යුගයට ප‍්‍රවේශ වී සිටින්නෙමු. අදද අපි ජේ.ආර්.ගේ කාර් එකේ උමතුවෙන් ගමන් කරන අවදානම් ගමනක යෙදෙමින් සිටින්නෙමු. ජේ. ආර්. හැරෙන්නට හිටපු කිසිම ජනාධිපතිවරයෙක් ඒ කාර් එකට කැමති නැත.. ඒ කාර්එකට සියලූ ජනාධිපතිවරු පස්පඩංගුවේ බැන වැදුනහ. නමුත් බොහොම අලංකාර ආකාරයට ඔවුන් අදද ගමන් කරන්නේ ඒ කාරයේය...! එදා ජේ. ආර්.ගේ යුගයේ ලීක් වුන තෙල් බට වෙනුවට තෙල් නැව් පිටින්ම ගිලින්නට තරම් අද මකරුන්ගේ කට ලොකුය. සියලූ ඉදිකිරීම් වනාහි තවත් කෙනෙකුගේ ගිණුමක් වර්ධනය කරවන තරමට අති දියුණුය.

JP4

නැතිබැරි අයට පිහිට වෙන්නට ස්ථාපිත කළ ජනාධිපති අරමුදලෙන් ඒ කාලයේ අනුර බණ්ඩාරනායක වගේම රනිල් වික‍්‍රමසිංහ මහතාද සුළු සුළු ගණන් ලබාගත්තේය. බැලේ පංති යන්නට, අතට බෙහෙත් ගන්නට ආදී වශයෙන් ඒවා නොසලකා හැරිය හැකි තරම් සුළු දේවල්ය. ඒත් අනුන්ගේ දුම්මැහි අතගාන්නට, ඒ තට්ටුවෙන් මේ තට්ටුවට පනින්නට ගොස් අඩු කඩාගෙන ඒවාට බෙහෙත් බඳින්නට වියදම් වූ කෝටි ගණන් මුදල් නොවේ. එසේ වුවත් ඒවා ජනතා මුදල්ය. පනස් දාහක් ගත්තත්, කෝටි පහක් ගත්තත් වැඬේ කෙරී ඇත්තේ හැන්ද අතේ ඇති කෙනාගේ මනාපය අනුවය. ඒ නිසා සියල්ල බැලූ විට හිතෙන්නේ ජේ. ආර්. නරක බවය. එහෙත් ඔහු ඔහුට පසු ආ අනුප‍්‍රාප්තිකයන් ගැන සළකන විට නරකම නැත..!!

නවතම ලිපි