අපට අත් හැරීමට නොහැකි වෛරයක් හා ආදරයක් තිබේ. ඒ ආර්. ප්‍රේමදාස මහතා ගැන වන වෛරය හා ආදරයයි.

ඇතැමෙකුට ආර්. ප්‍රේමදාස යන නම මිනීමරුවා යන නමට සමාන වචනයකි. තරුණයන් හැටදාහක් ටයර් සෑයේ යැවුවේ මිනීමරු ප්‍රේමදාසය.

ආර්. ප්‍රේමදාස ගැන එක් පිරිසකගේ ආකල්පය එපමණකි. ඔවුන්ට අනුව ප්‍රේමදාස පල් මෝඩයෙක් ද වේ. ඔහුට රට ගැනවත් ආර්ථිකය ගැනවත් දැක්මක් තිබුණේ ද නැත. ඔහු සාර්ථකව කළ එකම දෙය තරුණයන් ටයර් සෑයේ දැවීම පමණි. ඒ මහතා එල්ටීටීඊ බෝම්බයෙන් මියගිය තැනට ද බල්ලා මැරුණු හන්දිය කියා නම දමනු ලැබිණි. ඇත්තට ම බොහෝ අය තුළ තාමත් ආර්. ප්‍රේමදාස මහතා ගැන ඇති ආකල්පය එයමය. ආර්.ප්‍රේමදාස මහතා එල්ටීටීඊ බෝම්බයකින් මියයාම ගැන අල්පමාත්‍ර වූ හෝ ශෝකයක් දුකක් ඔවුන්ගේ සිත් තුළ නැත. ආර්. ප්‍රේමදාස ගැන ඔවුන්ගේ හෘද සාක්ෂියේ කිසිදු ඉඩක් නැත.

එහෙත් තවත් පිරිසකට විශේෂයෙන් ම රටේ දිළිඳු මිනිසුන්ට එතෙක් මෙතෙක් දුප්පත් මිනිසුන් ගැන සිතූ එකම පාලකයා ආර්. ප්‍රේමදාස ය. පොඩි මිනිස්සුන් ගැන හිතු පොඩි මිනිස්සුන්ට තැනක් ලබාදුන් එකම නායකයා ආර්.ප්‍රේමදාස ය. සයිමන් නවගත්තේගමට රජයේ රැකියාවක් දුන්නේ ද ආර්.ප්‍රේමදාස ය. ඒ මෙම රජයේ කාර්යාලය තුළ දුම්බීමට අවසර ඇත්තේ සයිමන් නවගත්තේගම මහතාට පමණි යන දැන්වීමක් ද කාර්යාලය තුළ සවිකරමිනි.

එය ආර්. ප්‍රේමදාස මහතාගේ නිර්මාණයක් මෙන් ම සමහරවිට සයිමන් නවගත්තේගම මහතාගේ ද නිර්මාණයක් විය හැකිය. සුගතපාල ද සිල්වා මහතා ගෙයක් ඉල්ලීමට හිස නොනැමූ විට සුගතපාල ද සිල්වා මහතාට හිස කෙළින් තබාගෙන ම ගෙයක් ලබාගැනීමට ඉඩ සලසා දුන්නේ ද මේ ආර්. ප්‍රේමදාස ය. මෙබදු කතා බොහොමයක් තිබේ. එනම් මේ රටේ ජන හදවත් තුළ ආදරයක් ඉතුරු කර ගිය දේශපාලනඥයන් ඇත්නම් එතන ඉදිරියෙන් ම සිටින්නේ ආර්.ප්‍රේමදාස මහතා ය.

සජිත් වටා එදා සිට අද දක්වා ගොඩනැගුණු බලය ආර්.ප්‍රේමදාස ජනහදවත් තුළ ඉතිරිකරගිය ආදරයයි. රනිල් වික්‍රමසිංහ නම් ලංකාවේ ශූරතම දේශපාලනඥයාට පවා එය කළමනාකරනය කිරීමට නොහැකි විය. ජීවත්වන රනිල් වික්‍රමසිංහගේ ඉහළ ම දේශපාලන බුද්ධියට ද වඩා ආර්.ප්‍රේමදාස ජන හදවත් තුළ ඉතිරි කරගිය ආදරය ප්‍රබලය.

ජන හදවත් තුළ වෛරයත් ආදරයත් එක සේ ඉතිරිකර ගිය දේශපාලනඥයා ආර්.ප්‍රේමදාස මහතාය. අපේ ජීවිතයේ වෛරයත් ආදරයත් එකට හමුවන තැන ආර්.ප්‍රේමදාස කියා මා කීවේ ඒ අර්ථයෙනි.

ලංකාවේ උදාගම් ව්‍යාපාරය නොවන්නට ගෝටාගෝගම කියා නමක් කවදාවත් හැදෙන්නේ නැත.

ගෝටාගෝගම යන නම එතරම් ආකර්ෂණීය වන්නේ ද නැත. ගෝටාගෝගම යන නම තුළ ආර්, ප්‍රේමදාස ගැන ජනතාව තුළ පවතින ආදරය ද නිදන්ගත වී පවතියි. ගෝටාගෝගම ආකර්ෂණීය වන්නට එය ද හේතුවකි. ප්‍රේමදාස යන්න මිනීමරුවා යන වචනයට සමාන වචනයක් ලෙස සලකන අයට පවා ගැන ඒ ගැන හාංකවිසියක් කල්පනා වූයේ නැත. කල්පනාවූවා නම් ඒ නම තබන්නේ ද නැත.

නහදවත් තුළින් ඉවත් කළ නොහැකි එක්කිරීමක් ආර්. ප්‍රේමදාස මහතා විසින් රට තුළ ඉතිරිකර තබා ගොස් ඇත. මිනිසෙකු විසින් රටක් තුළ ඉතිරිකර යන ආදරය එතරම් ය. අවසානයේ දී ආර්. ප්‍රේමදාස මහතාගෙන් ජීවිතය බේරාගෙන ඉන්දියාවට පලා ගිය නන්දා මාලිනිය හා සුනිල් ආරියරත්න මහතා ද ගෝටාගෝගමට ආවෝය. ඒ තුළ ඔවුන් විසින් ආර්. ප්‍රේමදාස මහතාට සමාව දීමක් සංකේතවත් වන්නේ යැයි සිතමි.

ගෝටාගෝගම තුළ සජිත් ප්‍රේමදාස මහතාට වඩා ආර්.ප්‍රේමදාස මහතා සිටියි. සජිත්ටවත් එය පැරදවීමට නොහැක්කේ ඒ නිසා ය.

නවතම ලිපි