දැන් දෙසතියකුත් ඉක්මවා අරගලය දිගටම ක්‍රියාත්මක වෙනවා. මේ අරගලයට සමාන්තරව රාජපක්ෂලාත් තමන්ගේ ආරක්ෂණ යාන්ත්‍රණ හැඩගසාගන්නවා.

මුලදී දකින්න තිබුනු වල්මත් බව වෙනුවට රාජපක්ෂලා යම් ඔරොත්තු දීමේ හැකියාවක් ගොඩනගාගෙන ඉන්න බවත් පේනවා. කැබිනට් මාරු කරමින්, අලුත් ප්‍රවෘත්ති හදමින්, තවමත් ගෝටාබය සහ මහින්ද තමන්ගෙ තනතුරුවල රැඳී ඉන්නවා.

අපි හිතන්නෙ අරගලයෙ රාජපක්ෂලාට අභියෝගයක් වෙන පැත්ත විතරයි. නමුත් අරගලය විසින් අරගලකරුවන්වමත් අභියෝගයට ලක්කරනවා.

රාජපක්ෂලා විසින්  මුලින්ම සාකච්ඡා පිණිස නායකත්වයක් විමසූ තැනදි අරගලයට සිදු වුනා තමන් වෙනුවෙන් කතා කරන්නෙ කවුද කියල තීරණය කරන්න. එතනදි එක පැත්තකින් නායකත්වයක් නැති විමධ්‍යගත අරගලයක් හැටියට තමන්ව හඳුන්වාගන්න අරගලකරුවන්ට පුළුවන් වුනු අතරම ප්‍රායෝගිකව යම් පිරිසක් නායකත්ව ස්වරූපයක් දැරිය යුතුයි කියන එකත් ඒ අය තේරුම් ගත්තා.

නමුත් යම් කෙනෙක් සමූහය වෙනුවෙන් අදහසක් පළකරන සෑම තැනකදීම තවත් පිරිසක් ඊට විරුද්ධ වෙන තත්වයක් පැවතුනා.

අසංවිධිත බව පවත්වා ගනිමින්ම සංවිධිත බවක් නිර්මාණය කරගැනීම ලේසි කටයුත්තක් නෙමෙයි. විශේෂයෙන්ම ලංකාවෙ බහුතරයකට පවතින අනන්‍යතා අර්බුද, ඊගෝ ප්‍රශ්න අරගලය ඇතුලෙ හොඳටම ප්‍රකට වෙන්න ගත්තා.

අරගල බිම ඇතුලෙ සාමූහික ආදර්ශ ගම්මානයක් නිර්මාණය වුනා. මේ ගම්මානයෙන් යම් යම් දේවල් බැහැර කරන්න/ ප්‍රතික්ෂේප කරන්න පටන් ගත්තා.

රාජපක්ෂලා අරක්කු බෙදීම සහ එමගින් වියවුල් ඇති කිරීමට උත්සාහ කිරීම කියන සැකය මත අරගල බිමේ අරක්කු තහනම් වුනා. කුඩා ළමයින් සහ කාන්තාවන් අරගලයට ගෙන්වා ගැනීමේ උවමනාව නිසාම අරගල බිමේ ඇතැම් සටන් පාඨවලට භාෂාමය තහංචි පැනවුනා.

ස්වයං විනය මත පැවතීම තහවුරු කිරීම වෙනුවට පිටතින් ඇතිවන සාම්ප්‍රදායික අභියෝග ඉස්සරහ අරගලකරුවන්ටත් පැවැත්ම වෙනුවෙන් සාම්ප්‍රදායික තහංචි පනවන්න සිද්ද වුනා.

ඊට පස්සෙ ටිකෙන් ටික අරගල බිම තුල වෙළඳාම තහනම් වුනා. බීම බෝතල් විකුණන අයටත්, ‘මේවා විකුණන එක සහගහනවා’ වගේ ප්‍රකාශ නිකුත් කරන මුග්ධ වාමාංශිකයන් තැන තැන ‍පෙරමුණ ගත්තා.  

සමහර ප්‍රසංග අරගල බිම ඇතුලෙ වාරණය වුනා. ලොකු ස්ටේජ් ගැසීම, කානිවල් මුහුණුවර ආදී නොයෙක් චෝදනා මත මේ වාරණයන් ගෙන ආවත් අවසානයේදී ඒ වාරණයන් පැනවුනේ රාජපක්ෂවාදී චෝදනාවලින් ගැලවෙන්නයි.

අරගලයකදි විය හැකි නරකම තත්වය සතුරාට ප්‍රතිචාර දක්වන මට්ටමට වැටීම කියලයි මං හිතන්නෙ. ඒ වෙනුවට නිතරම සතුරා අපට ප්‍රතිචාර දැක්වීමේ ආස්ථානයේ හිරකර ගැනීම වැදගත්.

මේ අත්පත් කරගත් අරගල බිම වැදගත්ම වෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය අභ්‍යාස කරන අවකාශයක් විදිහටයි. ලංකාවෙ ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනය තිබුනට, ඒ අයිතීන්, නිදහස සම්බන්ධ කාරණා ව්‍යවස්ථාවල තිබුණට අපේ  මිනිස්සු විසින් මේ පොලොවෙ  ප්‍රජාතන්ත්‍රවාදය පුහුණු කරලා නෑ. ඒ අයිතීන් දිනාගෙන නෑ. ඒ නිසාම ඒ කිසි දේක වැදගත්කමක් ජීවිතවලට දැනෙන්නෙ නෑ.

නමුත් අරගල බිමේ ජනතා ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම, ජනතා අධිකරණයක් පවත්වාගැනීම, සාකච්ඡා මාර්ගයෙන් සැමගේම අදහස් නිරූපණය වන පරිදි තීරණ ගැනීමේ ක්‍රමවේද සකසා ගැනීම ආදී වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්ම කාරණා අභ්‍යාස කරන්න ලැබෙනවා.

ජනතාව පළවෙනි වතාවට ප්‍රතිපත්ති සම්පාදනයේ ලා තම තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් ලබනවා. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට අපි නැවත ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ ඉඳන් පටන් ගන්නවා.

අරගලය සම්බන්ධයෙන් වැදගත්ම ලිපියක් අරවින්ද හෙට්ටිආරච්චි විසින් ලියලා තිබුන. එතනදි අරගලයට සාපේක්ෂව විපක්ෂයේ පක්ෂ  නව නූතනවාදයට ප්‍රවිශ්ට වීමේ අවශ්‍යතාවය අරවින්ද මතු කරලා තිබුන. විශේෂයෙන්ම යූඇන්පිය සහ ජවිපෙ කියන පක්ෂ දෙක තම තමන්ගේ ව්‍යූහයන් තුල නව නූතනවාදයට ඇතුල් වීම අරගලය ජයග්‍රහණය කිරීම විෂයෙහි වැදගත්ම කාරණයක් වෙන බව ඒ ලිපිය පැහැදිලි කරනවා.

මෙතනදි යූඇන්පිය සහ ජවිපෙ කියන්නෙ එකිනෙකට ප්‍රතිවිරුද්ධ පාර්ශ්ව දෙකක් හැටියෙන් පෙනුනත් ඒ දෙක ප්‍රතිවිරෝධයන් හැටියෙන් දියුණු විදිහට ක්‍රියාත්මක වීම සමාජ සංවර්ධනයට වැදගත් වෙනවා. යූඇන්පිය ආර්ථික පැත්තෙන් වඩා ඉදිරිගාමී සහ පරිණත වෙද්දි ජවිපෙ කියන්නෙ ලංකාවෙ ජන මනස හැසිරවීමේ ලා තීරණාත්මකම බලවේගය වෙනවා. 

නමුත් අවාසනාවට අරගලයේ උවමනාවන් වටහා ගැනීමටත්, ඒවාට අවශ්‍ය විසඳුම් යෝජනා කිරීමටත් මේ පක්ෂ දෙකටම පුළුවන්කමක් නෑ. ඒ පක්ෂ තවමත් අරගලයේ අභිලාෂයන්ගේ වපසරිය නියෝජනය කරන්නෙ නෑ.

මේ අරගල බිම බැලුවොත් එතන දරුණු ජාතිකත්වයේ සිට ඉතාම ලිබරල් අන්තර්ජාතිකත්වය දක්වා පිරිස් ඉන්නවා. වමේ සිට අන්ත දක්ෂිනාංශය දක්වා අය ඉන්නවා. රණවිරුගායෙ සිට රණවිරු භීතිකාව දක්වාත්, ධනවාදයේ සිට උග්‍ර මාක්ස්වාදය දක්වාත් පිරිස් මේ බිමේ එකට ඉන්නවා.

පොදු හතුරා වන රාජපක්ෂ විසින් මේ සියල්ලන් එකට බඳවා තබාගන්නවා. රාජපක්ෂ සාධකය නොමැති වටපිටාවක මේ අය නැවත තම තමන් අතර ප්‍රතිවිරෝධතාවයන්ට ලඝු වෙනවා.

මෙතනදි මතුවෙන අවාසිදායක තත්වය වෙන්නෙ රාජපක්ෂ නම් ඇති පුද්ගලයන් පැන්නීම හැරුනු කොට රාජපක්ෂ මතවාදය පැන්නීමට මේ අරගලයේ සියල්ලන්ට අවශ්‍ය නොවීම. වෙන විදිහකින් කිව්වොත් ඒ ඇතැමෙකුත් රාජපක්ෂ මතවාදයම නියෝජනය කිරීම. සියලු ජාතීන්ට, සියලු ආගම්වලට, සියලු ලිංගිකත්වයන්ට සම අයිතිය ලැබෙන බිමක් පිළිගැනීමට අරගල බිමේ සියල්ලන් එකඟ කරගැනීම කියන්නෙත් අරගලයේ ලොකු ජයග්‍රහනයක් වෙනවා. තාමත් එතන ‍එහෙම නෑ කියලයි මට හිතෙන්නෙ.

මෙන්න මේ නිසා තමයි දේශපාලන මතවාද මේ බිමෙහි ක්‍රියාත්මක වීම වැදගත් වෙන්නෙ. ඒ මතවාද විසින් අරගලකරුවන් දැනුවත් කිරීමත්, යම් දේශපාලනමය හැඩයක් ලබාදීමත් සිද්ද වෙන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදය හුරු කිරීම පැත්තෙන් ඒ දේ අගය කළ යුතු තරමකට සිද්ද වෙමින් තියෙනවා. නමුත් අන්තරේ මහා සෙනග දුටු මතින් ඇළලී යන, වන්දනා කරන මානසිකත්වයකුත් අරගලය තුල තියෙනවා.

අන්තරේ විසින් අවශ්‍යම වෙලාවක විශාලම ශක්තියක් රැගෙන අරගලයට ආපු එක අගය කළ යුතුයි. නමුත් අන්තරේ කියන්නෙත් හමුදාවක් වගේම පුහුණුවෙන්, අණින් හික්මවන ලද පිරිසක්. ස්වයං තීරණ ගැනීම අහිමි වුණු පිරිස් ගොනුවක්.

ඒක බලයක් තමයි. ඒත් රාජපක්ෂලාට තිබුනෙත් ඒ හා සමාන බලයක්.

ලංකාවෙ අධ්‍යාපනයේ නිදහස සම්බන්ධයෙන් බොහෝ අවස්ථාවලදි අන්තරේ මේ පිරිස් බලය විසින් රට ආපස්සට ඇද දැම්මා. ඒ වගේම නවක වධය ආදී ඉතාම නරක ක්‍රමයන්ගෙන් තමයි අන්තරේ මේ  පුහුණුව ලබාදෙන්නෙ. නැතුව නිදහස් චින්තනය මාර්ගයෙන් නෙමෙයි.

නැවත කියන්නෙ, අන්තරය විසින් මේ සටනට ලබාදෙන සහයෝගය විශිෂ්ටයි. ජනාධිපති කාර්යාලය ඉස්සරහ බැරියර් එක මේ තරම් කාලයක් අල්ලගෙන ඉන්න හයිය ලැබුනෙ අන්තරේ හින්දයි.

නමුත් ව්‍යූහයක් විදිහට අන්තරේ පරණයි. ඒක නූතනවාදය කරා යන පාරක් නෙමෙයි. අරගලයේදී තමන්ගේ ශක්තිය පිණිස අරගලයේ යෝජනාවලටම එරෙහි මධ්‍යගත, බහුතරවාදී, හමුදාමය ආකෘතීන් වන්දනා කරන්න වෙලා තියෙනවා. මං ඒකයි කිව්වෙ අරගලයම අරගලයට අභියෝගයක් වෙනවා කියල.

මේ අරගලය ගැන මට බොහොමයක් සුබ බලාපොරොත්තු තියෙනවා. දැනටමත් ඒ විසින් බොහොමයක් දේ දිනා දී තියෙනවා. නමුත් අරගලයට සමාන්තරව ඊට දිශානතියක් දිය හැකි දේශපාලන මතවාදයක් පිටත නොපැවතීම ලොකු හිස්තැනක් හදනවා.

සියලුම පක්ෂවල පිරිස් මේ ඉතාම අවදානම්කාරී මොහොතේදීත් තමන්ගේ නායකත්ව සිහිනයන් මත තීරණ ගන්නා වග පැහැදිලියි. අරගලයේ පීඩනය මතින් බලය තමන් වෙතට පෙරලා ගැනීම තමයි පක්ෂවල පැත්තෙන් දකින්න තියෙන දේශපාලන පෙළඹීම.

 නව නූතනවාදී ආකෘතියකින් දේශපාලනය යළි නිර්මාණය කිරීම පැත්තකින් තියල ඉතාම පසුගාමී පටු දැක්මකින් පරණ බල ව්‍යූහයන් තමන් සතු කරගැනීමේ ගේම් එකක් ඒක.

අනිත් පැත්තෙන් අරගලය නැවත  ධනවාදය පෙරලා දැමීම වැනි සිහින විශ්වාස කරන, සමූහවාදී බොළඳ වාමාංශික තැනකට කාලයත් එක්ක තල්ලු වෙන්න  පුළුවන්.

දැනට ඊට අවශ්‍ය දේ සම්පාදනය කරදෙන පාර්ශ්වයන් ටිකෙන් ටික හති වැටුනොත්, පැරණි දුෂ්කර සාම්ප්‍රදායික අසාර්ථක අරගල රාමුවට මේ සියල්ල පසුබසින්න  පුළුවන්. මේ දෙපැත්තෙන්ම සිද්ද වෙන්නෙ රාජපක්ෂලාගේ පැවැත්ම නොදැනුවත්වම තහවුරු කරදීමයි.

ඒ නිසාම අරගලය පැත්තෙනුත්, විපක්ෂයේ දේශපාලන පක්ෂ පැත්තෙනුත් අපිට ගැඹුරු විශ්ලේෂණයක්, කියවීමක් අවශ්‍ය වෙනවා. අපිට අපේ මතවාදය, ස්වාර්ථය මෙතරම් ව්‍යසනයක් ඉදිරියේ හෝ මඳකට පසෙකින් තැබිය නොහැකි නම් අරගලය අපි පරාදයි.

නවතම ලිපි