ගාල්ල ඒසී මාතර ඒසී

අපි ගොඩේ මිනිස්සු. අපි විතරක් නෙමෙයි මේ රටේ මිනිස්සුන්ගෙන් බහුතරයක් ගොඩේ මිනිස්සු. අපට තියෙන එක ම කම ගොඩේකම.

ගාමිණී පොන්සේකා කොළඹ. දෙහිවල. කොළඹ හතෙත් හිටියා. ඒත් චිත්‍රපටිවල නටනකොට මතුවුණේ ගොඩේකම. ඒක තමයි ගාමිණිගේ ලස්සන. ඒකට තමයි ලංකාවෙන් ම විසිල් වැදුණේ. එංගලන්තෙ නළුවන්ටත් වඩා ගාමිණී චිත්‍රපටයකට අයකරනු මුදල වැඩිවුණේ. ඒක තමයි ගොඩේකමේ වටිනාකම.

මං ගොඩේ කියන්නේ ඉස්සර ම පත්තරවල වායුසමීකරණය කළ ඡායාරූපශාලාව කියලා දාලා තිබුණා ම මට හිතාගන්න බැරි වුණා මොකක්ද මේ වායුසමීකරණය කියලා. ගොඩක් දැන්වීම්වල ඒ පම්පෝරිය දාලා තියෙන කොට මොකක්ද කියලා හිතාගන්න බැරි වුණත් මේක මොකක් හරි ලොකු එකක් කියලා තේරුණා.

මං වායුසමීකරණය කියලා මොකක්ද කියලා ඉස්සෙල්ලා ම දැනගත්තෙ සමහර විට කොළඹ රීගල් එකෙන් වෙන්නැති. අර වෙන චිත්‍රපට හෝල්වල නැති සිසිලක් එද්දි මං දැනගත්ත ආ ඒක තමයි එයාකන්ඩිෂන් කියන්නෙ කියලා. ඉතින් ඊට පස්සෙ තමයි මං පුරුදු වුණේ චිත්‍රපටි බලන්න විතරක් නෙමෙයි ඒසී විඳින්නත් හෝල් එකට එන්න.

අපි පොඩි කාලේ කාර්වලට එයාකන්ඩිෂන් ඕනැ නෑ. තිබුණ ද කියලත් දන්නෙ නෑ. ඕනෑ ම කාර් එකක් ඒ කාලේ සුඛෝපභෝගීයි. ඉස්ලේල ම අපි ගියේ එයාකන්ඩිෂන් කාර්වල නෙමෙයි එයාකන්ඩිෂන් බස්වල. ඔපිස්වල නාට්‍ය හෝල්වල ඒ කාලෙ කැරකුණේ ෆෑන්. මිනිස්සු නාට්‍ය බැලුවේ දාඩිය පෙරාගෙන. එච්චරට සෙනග.

කොහොම හරි අන්තිමට එයාර්කන්ඩිෂන් කරපු කරවලත් ආවා. එයාර්කන්ඩිෂන් වීමේ දී මං දන්න තරමට වෙන්නේ වාතයේ තියෙන ජලවාෂ්ප ඉවත්කිරීම සමේ තියෙන ජලවාෂ්ප උරාගැනීම.. එතකොට ඇඟට සීතල දැනෙනවා. ඒ නිසා එයාර්කන්ඩිෂන් එකේ ඉන්නවා නම් දවසකට වතුර බෝතල දෙකක්වත් බොන්න ඕනැ වගේ කතාවකුත් ආවා. මාළු මැරිලා නිසා උන්ට වතුර බොන්න බැරි නිසා එයාර්කන්ඩිෂන් එකේ දාලා තිබ්බාම කරවල වෙනවා.

කොහොම හරි අන්තිමට ඔපිස්වල ඒසීවලට හුරුවුණ අයට ගෙදරටත් ඒසී නැතිව බැරිවුණා. ඒක වුණේ ලොකු පඩි ගන්න අයට තමයි. කොහොම හරි අන්තිමට ගෙරදත් ඒසී තියෙන එක තමන්ගේ තත්වයේ සංකේතයක් වුණා.ඒසීවලට මුල් කාලේ අදටත් වඩා ලොකු විදුලියක් වැයවුණා. ඒත් තත්වය වෙනුවෙන් ඒ වියදම දරාගත්තා. ඒසී නින්දක සැප ඕනැ වුණා. හෝටලේක වගේ ගෙදරත් නිදාගන්න වුණා. මේවා මේ අපි පොෂ් නැති නිසා කියන කතා. ඒත් ලංකාවට ඩොලර් නැති වුණා. විදුලි බලාගාර දුවන්න ඩීසල් නැතිවුණා. ඒසී කරපු කාමර අවන් වගේ එහෙම නැතිනම් ගිනිඋදුන් වගේ වුණා. කොළඹ හතේ නෝනලත් ප්‍රථමවතාවට අරගලවලට ආවා.

මේ අරගලයට අපහාස කිරීමක් නොවෙයි. ඒත් ඒසී කියන එකත් මං දකින්නේ අපි හදාගෙන තියෙන සිස්ටම් එකේ අවුලක් හැටියට. මේ වගේ වචන පාවිච්චි කෙරුවේ නැත්නම් අපි ආයෙත් ගොඩේ කියලා හිතනවා. ඒත් ඒ වගේ වචන පාවිච්චි කරන එක මටනම් තාමත් අවුල්.

රජයේ කාර්යාල ගොඩනැගිලිවල කාමර ඒ්සී නැතිව ඉන්න විදිහට හදන්න ඕනැ දිවාකාලයේ විදුලි එළිය නැතිව සූර්ය එළියෙන් වැඩකරන්න පුළුවන් විදිහට හදන්න ඕනැ කියලා කතිකාවක් ආවත් ඒක මහා කතිකාවක් වුණේ නැහැ. මං හිතන්නේ අදට වුණත් මේ නිවාස හා කාර්යාල ඒසීකරණය නිසා රාජපක්ෂ හොරාකන තරම් සල්ලි රටට අහිමි වෙන්නෙ නෑ.

චම්පික පරිසර ඇමති වෙලා ඉන්න කාලේ පරිසර අමාත්‍යංශ්‍ය සඳහා අර බැද්දගානේ හන්දිය කිට්ටුව තියෙන ගොඩනැගිල්ල හැදුවේ ඒසී නැතිව ඉන්න පුළුවන් විදිහට කියලා මට අහන්න ලැබුණා. මං හිතන්නෙ චම්පිකගේ කාලේ එහෙම තිබුණා. ඒත් ඊටපස්සෙ ඇමතිමාරුවකින් අනුර ප්‍රියදර්ශන පරිසර ඇමති වුණාලු. ඇමතිතුමාගේ නෝනා පුද්ගලික ලේකම් කාර්යාල කාමර පරීක්ෂාකරන්න ඇවිල්ලා අපොයි මේක ගඩොල් ගඩොල්නේ කියලා ඒ්සීත් නෑ කියලා ඒසී කරන්න නියෝග කරාලු. දැන් ඒ ගොඩනැගිල්ලත් ඒ්සී වෙන්න ඔ්නැ. මං දන්නෙ නෑ. දන්න අය කියන්න. මේක චම්පික වෙනුවෙන් ලියපු එකක් නෙමෙයි. මං සිහළ උරුම කාලේ ඉදලා චම්පිකගේ විරුද්ධ පැත්තෙ. මේ කතාව මට කීවේ සංජීව වෙන්නත් පුළුවන්.

කොහොම නමුත් මං හිතන්නෙ ඒසීකාමරවල සැමදා නිදාගැනීම ශරීර සෞඛ්‍යයට මෙන් ම රටේ ආර්ථික සෞඛ්‍යයටත් හොඳ නෑ. අවුරුදු හතළිහකට පනහකට ඉස්සර ඒසී නෑ කියලා රටේ මිනිස්සුන්ට නින්ද නොගිහින් තිබුණෙත් නෑ. ඒසී ලැබුනා කියලා රජයේ සේවය කාර්යක්ෂම වුණෙත් නෑ. ඒසී නොතිබුණ කාලේ වුණත් රජයේ සේවකයෝ වැඩට ඇවිත් හොඳට නිදාගත්තා. ඒසී චින්‍රපට හෝල් නොතිබුණේ යුගයේ හැත්තෑවේ දශකයේ තිබුණ ආදරණ්‍යී සිනමාව මේ ඒසී යුගයේ ඇත්තෙත් නෑ. දැන් නම් උපන් දා ඉදලා, දන්න දා ඉදලා ඒසී කාමරවල ජීවත්වෙන ළමයිනුත් ඇති. ඒත් මට හිතත්නෙ අපි හිතන අනාගතය උදාකරන්න නම් රාජපක්ෂලාගේ හොරකම් පමණක් නොවෙයි ඒසී නින්ද සහ දවල්ටත් විදුලි එළිය ඕනැ කාර්යාල සංස්කෘතිය නිසා රටට අහිමිවන මුදලුත් නතර කළ යුතුයි. මේක අපි ඔක්කොම එකතු වෙලා කරන හොරකමක්. ඒසී සහ දවල් ලයිට්.

අනිත් එක මේ ඩොලර් අර්බුදය සමනය වෙන තුරු නිවාසවල AC පාවිච්චිය හැකි සෑම විටකම අවම කරනවා නම් ඒක මාස දෙකතුනකින් අපේ රටේ ජනතාවට උදාවෙනවා කියන සාගත තත්වය වළක්වාගැනීමටත් උපකාර වෙයි. සහෝදර ජනතාව ගැන හිතනවා කියන්නෙ අරගලයට එන එක පමණක් නොවෙයි ඒසී නැතිව නිදාගන්න ඉගෙනගන්න එකත් කියලා ලොකු නෝනලා මහත්තුරු හිතන්න ඕනැ. ජීවිතයට අරගලය ගේනවා කියන්නෙ ඒකයි.

අනිත් එක පැට්‍රල් ගණං ගියා කියලා මෝටර්සයිකල් ගමනවත් අඩුවුණ බවක් පේන්නේ නෑ. තමන්ට පෙට්‍රල් වියදම් දරන්න පුළුවන් වුණත් මේ මොහොතේ රටට පෙට්‍රල් ඩීසල් වියදම දරන්න අමාරු බව හිතන්න ඕනැ. කාර් එකේ යන කෙනා බස් එකේ වැඩට යනවා කියන එකම ලොකු ඉතිරියක්. අනිත් එක බස් එකේ යන එක හිතට ලොකුම සැනසිල්ලක්. ටිකක් රස්තියාදු වෙනවා තමයි. ඒත් මේක රට වෙනුවෙන් අපි කරන්න ඕනැ අරගලයක්. අපි ඉතුරු කරන හැම සතයක් ම රාජපක්ෂ හොරකම් කරනවා කියන එක වෙනම කතාවක්. අපි ඉතුරු කෙරුවත් නැතත් රාජපක්ෂ හොරාකනවා. ඉතින් ඒ නිසා අපිවත් ඉතිරි කෙරුවේ නැත්නම් රටට ඉතිරියක් ඇත්තෙම නෑ. රටම අමාරුවේ.

මැතිඇමතිවරු පුච්චන ඩීසල් පැට්‍රල් ගැන කියන්න ඕනැ නෑ. ඇත්තට ම සුඛෝපභෝගී වාහන උමතුව රටට බෝකෙරුවේ ඇමතිවරු. ඉස්සෙල්ලම ජේආර් ඕක පටන්ගත්තේ පළාත්සභා මන්ත්‍රීවරුන්ට පැජරෝ දීලා. කොහොම නමුත් මැතිඇමතිවරු වගේ රටකන්නෙ නැතිව ඉන්න නම් අනිත් රටේ ධනවත් පුරවැසියෝ අධික ලෙස ඩීසල් පැට්‍රල් වැයවන වාහන භාවිතය හැකිතරමකින් අවම කරන්න ඕනැ. ඔබට පුළුවන් තමයි. ඒත් රටට මේ මොහොතේ ඒකට වත්කමක් නෑ. පොඩි ළමයින්ට ඕනැ බෙහෙත් ගන්නවත් සල්ලි නෑ. දේශීය වෙද මහත්වරුත් මේ අවස්ථාවේ වෙන කාලයකට වඩා සක්‍රීය වෙන්න ඕනැ. පරාක්‍රම සමුද්‍රය හදපු කාලේ පිටරටින් මෙච්චර බෙහෙත් ගෙන්නුවේ නෑ.

ඩීසල් පමණක් නොවෙයි ආහාර හිඟයකුත් අතළඟ. යුරෝපයේ බයිසිකල් පුරුදු අපේ රටට එන්න තව අවුරුදු සීයක්වත් යයි ද දන්නෙ නෑ.

අරගලය තියෙන්නෙ අරගල බිමේ පමණක් නොවෙයි ජීවිතයේ. ඒ අරගලය රාජපක්ෂ කළෙත් නෑ. ඒ නිසා ම අපි කරන්නෙත් නෑ. ඔය කොහොම කීවත් අපිත් පොඩි පොඩි රාජපක්ෂලා.

නවතම ලිපි