ටික කළකට පෙර අතිශයින් ජනප්‍රිය වූ, එමෙන්ම ඉහළ සාමූහික බලමුළුගැන්වීමේ හැකියාවක් සහිතව පැවැති සිංහල-බෞද්ධ ජාතිකවාදයේ දේශපාලන ශක්තියට වුනේ කුමක්ද?

දැනට රාජපක්ෂවරුන්ට විරුද්ධව ගොඩ නැංවී ඇති රැල්ල පැහැදිළි ලෙස ම සිංහල-බෞද්ධ ජාතිකවාදයට විරුද්ධ පිරිස්වල ග්‍රහණයට හසු වී පැවැතිය දී ඊට එරෙහිව ප්‍රති බලමුළුගැන්වීමක් කිරීමට සිංහල-බෞද්ධ ජාතිකවාදයට නොහැක්කේ ඇයි?

මීට හේතුව වන්නේ පොදුජනයා අතර සිංහල-බෞද්ධ ජාතිකවාදීන් සහ ජාතිකවාදයට විරුද්ධ ජනයා යනුවෙන් කොටස් දෙකක් නොසිටීමයි. 2019 දී පැවැති ජාතිකවාදී රැල්ල හා අද රාජපක්ෂවරුන්ට විරුද්ධව ගොඩනැංවී ඇති රැල්ල පොදුජන දේශපාලන විඥානයේම පැති දෙකක් නියෝජනය කරයි.

දෘෂ්ටිවාදයක් ලෙස ජාතිකවාදය කෙරේ වූ නැඹූරුව හා ජාතිය පිළිබද අදහසට නියෝජනය කිරීමට නොහැකි සාමූහික දේශපාලන අභිලාෂ ලෙස ද්වීඛණ්ඩණයක් ඇති වී ඇත. 1990න් පසුව මේ ද්වී ඛණ්ඩනය දේශපාලන වශයෙන් තීරණාත්මක සාධකයක් ලෙස දක්නට ලැබේ. 1994 දී ජාතිකවාදී නොවන නැඹුරුවක් සහිතව චන්ද්‍රිකාට ඡන්දය දුන් සිංහල-බෞද්ධ ජනයාම 2005 2010 සහ 2019 දී දෘඩ ජාතිකවාදී නැඹුරුවක් සහිතව රාජපක්ෂවරුන්ට ඡන්දය දුනි. දැන් ඒ පිරිස්ම ජාතිකවාදී නොවන සාමූහික දේශපාලන අභිලාෂ මගින් මෙහෙයවෙමින් සිටී. මේ දයලෙක්තිකය තේරුම් ගැනීම දැන් ඇති වෙමින් තිබෙන දේශපාලන රැල්ල තේරුම් ගැනීම සදහා බෙහෙවින් වැදගත්ය.

දැන් ජාතිකවාදයට හමුදාව අහිමි වූ සෙන්පතීන් පිරිසක් බවට පත් වී ඇත්තේ හමුදාව අනිත් පැත්තට ගමන් කරමින් සිටින නිසාය.

පොදුජන දේශපාලනයේ මේ දයලෙක්තිකය තේරුම් ගැනීමට නොහැකි වීම නූතන සිංහල-බෞද්ධ ජාතිකවාදයේ දාර්ශකිකයා වූ නලින් ද සිල්වාගේ දේශපාලන චින්තනයේ මූලික සීමාවයි.

කොමියුනිස්ට් නැඹුරුවක් සහිතව වර්ධනය වන්නේ පොදුජන දේශපාලන විඥානයේ මේ ජාතිකවාදී නොවන අර්ධයයි.

නලින් ද සිල්වා සිතුවේ විසිවන සියවසේ සමාජවාදයේ පරාජය මේ පොදුජන දේශපාලන විඥානයේ මේ අර්ධයේ අවසානය කියාය. ජාතිකවාදය සදාතනික දේශපාලන ජයග්‍රහණයක් ලබා ඇතැයි ඔහු උදම් ඇනීය. මේ අභයෝගයට පත්වෙමින් තිබෙන්නේ ඒ පටු දේශපාලන චින්තනයයි.

නවතම ලිපි