මගේ ආදරණීය ජනතාවනි,

මේ ලියන ලියමන ඔයාලගේ වටිනා සටන්කාමීත්වය අවතක්සේරු කරන්න එහෙම නෙවෙයි.

මේ ලියන ලියමන ඔයාල සටන් කියල හිතාගෙන වැරදි විදිහට ගෝරි දාගන්නව නම්, ඒකෙන් ඔයාලව වෙනත් සතුරු බලවේගයකට ගොදුරුවෙන්න තියෙන ඉඩකඩ ඔයාලට පෙන්වාදීල, ඔයාලව ඒ අනතුරින් ගලවගන්නයි.

රට ඇතුළේ දරුණු ආර්ථික අරාජිකත්වයක් ඇතිවෙලා තියෙන බව හැබැයි. ඒකෙන් මිනිස්සුංගෙ දවසේ ජීවිතය පවා අඩමාන, අසීරු සහ අවදානම් තත්වයකට පත්වෙලා තියෙන බවත් හැබැයි. ඒ හින්ද ඒකට විරුද්ධව ජනතාව සංවිධානාත්මක විදිහකට බුද්ධිමය ප්‍රතිචාර දක්වන්නට උවමනා බවත් හැබැයි. ආණ්ඩුව ඒ ප්‍රතිචාර පිළිගන්නේ නැති නම්, ජනතාව විධිමත් සංවිධානාත්මක ජාතික සහ අන්තර්ජාතික සටන් මගකට යාම පවා කළ යුතු බව ද හැබැයි.

ඔයාල දන්නවද දන්නෙ නැහැ, ලෝකේ ලොකුම රට රුසියාව. ඒ රට ගැන හිත්ද්දි අපි නිකං අබ ඇටයක් වගේ රටක්. එක්දහස් නවසිය ගණන්වල ඒ රටෙත් ජනතාව පීඩාවට පත් කරන සාර් රාජ පෙළපතක් තිබුණු කාලෙක, ඒ රටේ ජනතාවගේ මූලික උවමනා එපාකම් ඉදිරියේ සාර් රජ්ජුරුවෝ කන් ඇහෙන්නෙ නෑ වගේ ඉන්නකොට, ජනතාව තමන්ගෙ හිතූ මනාපෙට අසැබි ලෙස කැරලි ගැහුවා. ඒ කැරලි හැම එකක් ම පැරදුනේ එක්කෝ කැරලි නායකයන්ව එල්ලා හෝ වෙඩි තියල මරන ගමන් සාමාන්‍ය මිනිස්සුත් දහස් ගාණක් මැරිල හෝ අංගවිකල වෙලා.

ඉතිං ඒකෙන් රුසියාවෙ ජනතාව හිටියටත් වඩා තවත් අසීරු අඩියකට වැටුනා. අනික් පැත්තෙන් සටන් කරල වැඩක් නැහැ කියන බලාපොරොත්තු සුන්වීමට ද ලක් වුන හින්ද, කැරැල්ලක් පරාදවෙලා සෑහෙන කලක් යනකං ආයෙ මිනිස්සු පාරට බස්සවගන්න අසීරු වුණා. ඒත් සාර්ගේ පීඩනය නැවතුනේ නැහැ. ඉතිං මිනිස්සුංට සටන් කරන්නේ කොහොමද කියන එක ගැන නව දැනුමක් උවමනා වුණා.

R7
ඔන්න ඔය කාලෙ තමයි, ලෙනින් කියල හාදයෙකුට, තමන්ගේ වැඩිමහල් සහෝදරයා කැරැල්ලකට නායකත්වය දී පැරදී ප්‍රසිද්ධියේ මරා දමනවා දකින්නට ලැබෙන්නේ. ලෙනින් තමන්ගේ සහෝදරයාගෙ මරණයෙන් කම්පාවට පත් වුණත්, තමන්ගේ රුසියානු ජනතාව මහා අසීරු දවසේ ජීවිතයක් ගතකරන බව දැකලා හිත රිදිල හිටියත්, ඒකට ප්‍රතිචාර විදිහට තුවක්කුවක් අරං ගිහිං, හොර රහසේ එන ගරිල්ලා ස්නයිපර් කෙනෙක් වගේ සාර්ගෙ පැලැන්තියට ම වෙඩි තියාගෙන තියාගෙන ගියේ නැහැ.

එයා තමන්ගේ ආවේග සහ හැඟීම් ටික පැත්තකින් තියල, මෙහෙම එක දිගට ම කැරලි පරදින්නට ප්‍රධාන හේතුව හෙව්ව. එතකොට එයාට තේරුනා, ඉස්සෙල්ල කරන්න ඕන බුද්ධිමය සටන සිද්ධවෙලා නෑ කියල. ඒ හින්ද එයා මෙච්චර කල් සාර්ට විරුද්ධව කරපු සටන් සහ සටන්වලට පාදක වුණ හේතු සහ ඵල හැදෑරුවා. මහන්සිවෙලා ඒවායේ ඉතිහාසය හැදෑරුවා.


සටන් ඇතිවෙන්න සහ සටන් පරදින්න හේතුව තිබුණේ, මේ ගෙවෙන මොහොතේ නෙවෙයි. සටන් ඇතිවෙන්න සහ සටන් පරදින හේතුව තිබුණේ රුසියාවෙ ආර්ථික ඉතිහාසයක් ඇතුළේ බව ලෙනින් මහන්සිවෙලා හදාරලා දැනගත්තා. ඒ හින්ද තමන්ගේ ම සහෝදරයා පවා කරගෙන ගිය, ගෙවෙන මොහොතේ ආවේගයට ප්‍රහාර එල්ල කරන සාංසිද්ධික ජන කැරලි ගැසීම් ලෙනින් ප්‍රතික්ෂේප කෙරුවා.

ලෙනින් මේකට න්‍යායක් ඉදිරිපත් කෙරුවා. ඉතිහාසයක් හදාරන්නේ නැතුව, ගෙවෙන මොහොතේ පෙනෙන දකින දේට නාහෙට නාහමින් ඔහේ වලි දාගෙන යෑම, එහෙමත් නැත්නම් ගෙවෙන මොහොතේ දේවල් අල්ලාගෙන පමණක් දේශපාලනය කිරීම ත්‍රස්තවාදයට සමාන බව ලෙනින් ප්‍රකාශ කළා. ඒ දෙකේ ම අවසන් ප්‍රතිපලය තමන් විසින් තමන්ගේ ම ගෙල සිරකර ගැනීම බව ලෙනින් රුසියානු බුද්ධිමය ප්‍රජාවන්ට කිව්වා. ලෙනින් මේක කිව්වේ කෙටි න්‍යායික වාක්‍යය කිහිපයකින්.


“සාංසිද්ධික දේශපාලනය හා ත්‍රස්තවාදය අතර වෙනසක් නැත. මේ දෙකේ ම අවසන් ප්‍රතිථලය ස්වයං-විනාශය යි.”


ඒ හින්ද සිරිලක් රටේ මගේ ආදර ජනතාව එකක් ඉගෙන ගත යුතුයි. සටන් සහ ගෝරි කියන්නේ දෙවර්ගයක්. ගෝරි කියන්නේ හිතූ මනාපෙට එවලෙ හැඟීමට සහ ආවේගයට වලි දාගෙන තමන්වත් කැමරාවලට හෙළිදරව් කරගැනීම. සටන් කියන්නේ හැඟීම් ආවේග ගෙදර උදවිය එක්ක පමණක් සමරන්න තියාගෙන, විධිමත් බුද්ධිමත් ඓතිහාසිකවාදී සහ මානවවාදී මතවාදයකින් සහ දැක්මකින් පොහොසත්වෙලා, සංවිධාන රාමුවක් හදාගෙන අවශ්‍ය තැනදී අවශ්‍ය ඉලක්කයට ප්‍රතිචාර දැක්වීම.


''සටන් සහ ගෝරි අතර ලොකු වෙනසක් තියෙනව''


ඒ හින්ද සටන් සහ ගෝරි අතර ලොකු වෙනසක් තියෙනව, මගේ ආදර ජනතාවෙනි.

R8
බෲස්ලීගේ ගුරුවරයකු විදිහට සැලකෙන ඉප්මෑන් කියන්නේ චීන සටන් කලාවක කෙළ පැමිණි දියුණු මිනිසෙක්.



දැන් බලන්න ආසියාවෙන් ම මේකට ප්‍රබල උදාහරණ තියෙනව. බෲස්ලීගේ ගුරුවරයකු විදිහට සැලකෙන ඉප්මෑන් කියන්නේ චීන සටන් කලාවක කෙළ පැමිණි දියුණු මිනිසෙක්. ඒත් එයා බොහොම සරල නිහතමානී ජීවිතයක් ගත කරපු ආදරවන්තයෙක් සහ පියෙක්. එයාගේ සටන් පුහුණු පන්තියකට ආපු කඩප්පුලි තරුණයෙක් “සෙන්සෙ, මං එක පාර 10 දෙනෙක්ට ගහගන්නෙ කොහොම ද?” කියල ඇහුව. ඉප්මෑන් ඒකට නිහඬව සිටියා.

ඒ පාර ගෝලයා ආයෙත් ප්‍රශ්නය පොඩ්ඩක් වෙනස් කරල ඇහුවා. “එකපාර 10 දෙනෙක් මට ගහන්න ආවොත් මං මොකද කරන්නේ ?” ඉප්මෑන් උත්තර දුන්නා, “දුවන්න!” තරුණයාට තරහ ගියා, “දුවන්න??? ඒ ඇයි???” ඉප්මෑන් උත්තර දුන්නා “ඔව්, අඩුම තරමින් 7-8දෙනෙක්වත් වෙහෙසවෙලා අතරමග හති අරිමින් නවතිනකම් දුවන්න පුරුදු වෙන්න!”

ගෝරිවලට හිත හදාගත්තු ශරීරය ඉස්සර කරගත්තු මනස සහ අධ්‍යාත්මය නඩත්තු නොකරන කෙනෙකුට ඉප්මෑන් සටන්කරුවාගේ මේ කියමන ඇහුනට තේරෙන්නේ නැහැ.

ඒ හින්ද ගෝරි අසංවිධානාත්මකයි, සහ අනතුරුදායකයි, සහ ස්වයං-විනාශකාරීයි, සහ වෙන තක්කඩියෙකුට ඒකෙන් ඵල නෙලාගන්න ලේසියි. ඒත් සටන් සංවිධිධානාත්මකයි, සහ අනතුරු අවමයි, සහ ජනයාට ම ඵල නෙලාගන්න ලේසියි.

ඒ හින්ද මොකක් හෝ දාර්ශනික පදනමක් නැති සහ විධිමත් සංවිධානාත්මක පදනමක් නැති විරෝධයන් පරදිනවා ම තමයි. ලෝක ඉතිහාසයේ ඒකට ගොඩක් උදාහරණ තියෙනවා.

මගේ ආරණිය ජනතාවෙනි,

කෙටිකාලීන හැඟීම් සහ ආවේගය නිසා දීර්ගකාලීනව පැරදී වන්දි ගෙවන්නට සිදුවෙන විදිහට සතුරාට වාසි වෙන ආකාරයේ ගෝරි දාගන්නවද?, එහෙමත් නැත්නම් බුද්ධියට, හැදෑරීමට සහ දැනුමට මුල්තැන දී පියවි සිහිබුද්ධියෙන් නිවැරදි සටන් මගකට බහිනවද? පළමුවෙන් හිතන්න වෙනව.

 බලන්න, දැනටමත් ජනතාවගේ ආරක්ෂාවට කියල තෙල් සැපයුම්හලවල් වලට හමුදාව දාන්න පුළුවන්කම ඇතිවෙලා තියෙනව ඔයාලගෙ මේ ගෝරි නිසා. ඉදිරියේදී හදිසි අවස්ථාවක් පැනෙව්වොත්, නියපොත්තෙන් කඩාගන්න තියෙන දේ පොරවෙන්වත් කඩාගන්නවත් බැරි වෙනව.

පහුගිය දවස්වල ගොඨාගේ ආර්ථික විරෝධී දේශපාලනයට විරුද්ධව රටේ ඇතිවෙමින් තිබුණ හැම පාරට බැසීක ම තිබුණේ මේ වගේ තාවකාලික සාංසිද්ධික දේශපාලන උවමනා එපාකම්. ඒවා ඉතිහාසය හදාරලා නොකරපු සටන් නිසා ම ඉතිහාස විරෝධී සටන්.

ඒ කිසි ම කෙනෛකුට ඊළඟ මැතිවරණය එනකම් තියෙන අවුරුදු කිහිපය ඇතුළේ දී වෙන්න යන ආර්ථික විනාශයට මුහුණ දෙන හෝ සටන් මගට බහින විදිහක් ගැන අදහසක් තිබිලි නැහැ. එහම නම් දෙවෙනි සටන් දියත් කිරීම ඊට වඩා සංවිධානාත්මක වෙන්න එපැයි. ඒ හැමෝට ම තිබිල තියෙන්නේ පුද්ගලික ඇජෙන්ඩාවන් විතරයි.  


ඒත් මේ ඇතිවෙලා තියෙන්නේ ඊට වඩා අමුතු අදිසි අවතාරමය ගෝරි තත්වයක්. මොකද මේ ගෝරි ඉබේ ඇතිවෙලා තියෙනව වගේ පේනව විතරයි. ඒ ගෝරි නියෝජනය කරන සංවිධානයක් හෝ පුද්ගලයෙක්ව පෙන්නවත් නැහැ.


ඉතිං එක්කෝ මේ ගෝරිවලට තවම නායකත්වයක් නැතුව අහසේ පාවෙනව. එහෙම නැත්තං කවුරුහරි සංවිධානයක් හෝ පුද්ගලයෙක් අවතාරයක් වගේ නොපෙනී ඉඳගෙන මේ ගෝරි මෙහෙයවනව.

පළමුවන තත්වය අනුව නායකත්වයක් සහ සංවිධානයක් නැතුව ගෝරිය අහසේ පාවෙනව නම්, ආණ්ඩුවට තම මර්ධන හස්තය දාල ඕක එකවර නවත්වන්න ලේසියි. ඒත් කවුරුහරි අවතාර මිනිසෙක් හෝ අවතාර සංවිධානයක් මේක මෙහෙයවනව නම්, ඒ මිනිසා හෝ සංවිධානය ප්‍රසිද්ධියේ එළියට එන්නේත් නැතිනම්, එයා පැහැදිලිවම ජනතාවගේ වේදනා සහ අමාරුකම් දඩමීමා කරගෙන බලයට එන්න හදනවා ම යි. එහෙමත් නැත්තං ජනතාවගේ වේදනා සහ අමාරුකම් දඩමීමා කරගෙන බලය රඳවගන්න උත්සහ කරනවා ම යි.


ඒත් පාරට බැහැල පොලිසියෙන් ගුටිකාල, ලේ හලාගෙන යන හෝ වෙඩි පාරට ලක්වෙලා මියෑදෙන ජනයාට අහන්න ශුද්ධවූ අයිතියක් තියෙනව, “කවුරුහරි අපිව මෙහෙයවද? ඒ කවුද කියන්න! පාරට බහින්න කලින් අපිට දැනගන්න ඕන. එහෙම කවුරුත් නැතිනම්, අපි සංවිධානය වෙන්න ඕන. නිකං පරදින්න සහ ඉල්ලගෙන කන්න ගෝරි දාගන්න ඕන නැහැනේ. අපිට ඕන බාහිර ලෝකයට පේන සංවිධානයක් සහ නායකයෙක් අපිව මෙහෙයවනවා දකින්න. අපිට බෑ නොදන්න අවතාර හින්ද ලේ හලාගන්න, මැරිල වැටෙන්න!”

මෙන්න මේ ටික කියාගන්නවත් ඔයාලට පුළුවන් නම්, එන්නට නියමිත අනතුර තරමක් අවම කරගන්න පුළුවන්.

බලන්න, එකක් පැහැදිලියි. ඒක්කෝ මේක හුදු එවලෙට වෙච්ච ඇවිස්සීමක්. නැත්තං කවුරුහරි අවතාර මිනිසෙක් හෝ සංවිධානයක් විසින් ජනතාව මහපාරට බැහැල පාරට දියකරල හරින දුක් සෝ සුසුම් කන්දරාව හරහා තමන්ට දේශපාලන ඉඩක් හදාගන්න හදනවා. ඒ හින්ද පරිස්සම් වෙන්න කියල වැඩක් නැහැ. සිහිය එළවගන්න.

තමන් තුළ ආවේගයට සහ හැඟීමට දෙන ඉඩකඩ සහ අවසරය ම බුද්ධියටත් දීල බලන්න! එක්කෝ අපි සංවිධානයක් නැති නිසා ඕන වෙලාවක බිමට සමතලා කරල දාන්න පුළුවන් ගෝරි කාරයෝ ටිකක්. නැතිනම් අපි කාගෙ හරි අතකොලුවක්.


විමසන්න! තව තවත් විමසන්න!


මේ දෙකම ඕන නෑනේ. එක්කෝ සංවිධානයක් ඇවිදින් ප්‍රසිද්ධියේ අපට නායකත්වය දෙන්න ඕන. එහෙමත් නැත්නං අපි ම සංවිධානයක් හදාගන්න ඕන. මේ දෙකම පේන්න නැති වුණහම, මහ දිස්ටියක් වැහුණ ගතියක් නැතිනම් ජනාධිපති පුටවුට හෝ වෙනත් බල ආසාවකට අනුව ක්‍රීයාත්මක වෙන මල පෙරේත දෝසයක් ද මේ පිටිපස්සේ තියෙන්නේ කියල හිතන්න වෙනව. එහෙම නොකළොත් මහා අනතුරකට වැටෙන්න වෙනව ම යි.

මගේ ආදරණීය ජනතාවනි,

මේ රටේ සමහර දේශපාලකයෝ, විශේෂයෙන් ජාතිකවාදී දේශපාලකයො, තමන් හොඳ සිහි බුද්ධියෙන් ඉන්න ගමන්, ගෝරි වැරදි සාංසිද්ධික දේශපාලනයක් බව දැන දැනම ජනතාවගේ සිහිය අවුල්කර, ඔවුන් ලවා හොර රහසේ ගිනි අවුලවා, ඒක වැරදියි කියා දැන දැනමත් ජනයා එවලෙට තව තවත් උසිගන්වා, හදිසි ප්‍රචන්ඩ දේශපාලනයට යොමුකරවා නොමග යවා, ඒ තාවකාලික දේශපාලනයෙන් ඇතිවන ජනයාගේ ලේ සහ මලමිනී උඩින් බලයට එන්න හදන ශූර තක්කඩි.

ඒ එක් අවදානම් කලාපයක්.  

R9
පහුවෙලා තමයි ජර්මන් පාර්මේන්තුවට ගිනි තබ්බවල තියෙන්නේ හිට්ලර්මයි කියල හොයා ගන්න පුළුවන් උනේ



බලන්න, තවත් අවදානම් කලාපයක් තියෙනව. සමහර සටන් වගේ පෙනෙන ගෝරි ඇතිකරවන්නේ තමන්ගේ සතුරා විසින් ම යි.    

දැන් අපි නිකමට 1933නේ පෙබරවාරි මාසය කාලයේ තිබුණ ජර්මනිය වෙතට හැරිල ඉගෙන ගනිමු.

1933 කියන්නේ රුසියානු විප්ලවය සිද්ධවෙලා දශක දෙකක්වත් ගෙවිල නැති කාලයක්. හින්ද ඒ ප්‍රබෝදයකූත් එක්ක ජාතිවාදයට එරෙහිව ජර්මන් කොමියුනිස්ට් පක්ෂය ජනප්‍රිය වෙලා තිබුණ ජර්මනියේ.

ඒ කාලෙ ජර්මනියෙ සිද්ධ වෙච්ච රෙයිච්ස්ටැග් ගිණි තැබීම හරිම ආන්දෝලනයට ලක් වෙච්ච සිදුවීමක්. 1933 වසරේ පෙබරවාරි මාසයේ ජර්මනියේ රෙයිච්ස්ටැගය හෙවත් ජර්මන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගිනි තිබ්බා. ඒත් ඒ කඩාකප්පල්කාරී ක්‍රියාවට නායකත්වය දුන්නේ කවුද කියලවත් කවුරුවත් දනේ නැහැ. දැන් අපේ රටේ මේ සිද්ධවෙනවා වගේ ම යි. බලන්න, කවුරුත් මොනව වෙනවද කියල අගක් මුලක් දන්නේ නැහැ. හරි ම සාංසිද්ධිකයි. හරි ම තාවකාලිකයි.


හැබැයි අලුතින් පත්වුණ පාර්ලිමේන්තු චාන්සල්වරයා වූ නාසිවාදී සහ ජාතිවාදී ඇඩොල්ෆ් හිට්ලර් මේ ගිනි තැබීමේ වගකීම මුළුමනින් ම කොමියුනිස්ට් පක්ෂයේ කරපිටින් දාල මුළු ජර්මනියේ මුළු පරම දේශපාලන බලය ම ඇල්ලුවා. ඒකෙන් තමයි හිට්ලර්ගේ නාසි රෙජීමය පිහිටුවගන්න එයාට පුළුවන් උනේ. ඒකෙන් තමයි යුදෙව් ජනයා බිලියන ගාණක් ගෑස් උඳුන්වල දමා මරා දමන්න පුළුවන් උණේ. ඒ හින්ද තමයි රුසියාවට තම හමුදාවෙන් වැඩි ප්‍රමාණයක් බිල්ලට දීල  ඒ යුද්ධය නවත්තන්න සිද්ධ වුණේ.

පහුවෙලා තමයි ජර්මන් පාර්මේන්තුවට ගිනි තබ්බවල තියෙන්නේ හිට්ලර්මයි කියල හොයා ගන්න පුළුවන් උනේ. ඒත් එතකොට යුදෙව්වන් මිලියන 6ක් මියැදී ගොස් අවසන්. සෝවියට් සොල්දාදුවන් මිලියන 8.6ක් මියැදී ගොස් අවසන්. ගොංකම හින්ද හිට්ලර්ගේ හමුදාවට බැඳුන ජර්මන් නාසි හමුදාවත් මිලියන 5.3ක් මියැදී ගොස් අවසන්. යුරෝ හමුදා සහ ඇමරිකා එක්සත් ජනපද හමුදා ඇතුළු ලොව හමුදා සියල්ලෙන් සහ සාමාන්‍ය ජනයා අතරින් මිය ගිය මුළු ගණන මිලිය 50ත් 56ත් අතර ප්‍රමාණයක්. ඒක ඒ කාලේ මුළු ලෝක ජනගහනයෙන් සියයට 03ක ප්‍රමාණයක්. ඉතිං මේ සාර ජන ඝාතන සිද්ධ වුනාට පස්සේ ඒවා ආපහු හරවන්නයෑ.

ඉතිං තම දරුවන් අහිමි වූ අම්මල මිලියන 50 දාහකට වැඩි දෙනෙකුගේ කඳුළින් මුළු පෘථිවිය ම තෙත් වුණා.


ජර්මන් පාර්ලිමේන්තුවට ගිනි තියනකොට ඒ ගිනි තැබීමේ සැබෑ නිමවුම්කරුවා කවුද කියල හොයල බලන්න ජර්මන් ජනතාවට පොඩි හෝ ඉවසීමක් සහ පියවි සිහියක් තිබුණ නම්, මේ සාර කඳුළු ගංගාවකින් පොලෝ මාතාව තෙත් වෙන්නේ නැහැ.  


ඒ නිසා ගෝරි දාගන්නකොට ඉතා පරිස්සම් විය යුතුයි නේද මගේ ආදරණිය ජනතාවනි? අඩුම තරමින් වැඩිහිටියන් විදිහටවත් මේ ගෝරිය ඇත්තට ම මෙහෙයවන්නේ කවුද කොතනින්ද කියල අහල විතරක් මදි, හොයල බලන්නට තරම් වගකීම්සහගත විය යුතුයි ඔයාලා.

 රටේ මොකක්හරි ඉතිහාසයක් තියෙන හැම පක්ෂයක් සංවිදානයක් ම මේ සටන් පිටුපස තමන්ලා නොමැති බව ප්‍රසිද්ධියේ කියල තියෙන මොහොතක “කවුද මේ අපේ දුක දඩමීමා කරගෙන හැංගි හැංගි වෙස් බඳින අමනයා” කියල හිතල මතල හොයල බලන්න උවමනයි මගේ ජනතාවෙනි.  

සටන් කරන ජනතාවක් මේ කොදෙව්වට ඉන්නව නම් ඒක අපිට ආඩම්බරයක් තමයි ජනතාවෙනි. ඒත් ඒව සටන් නොවන හුදෙකලා ගෝරි හෝ කවුරුන් හරි හොරාට මෙහෙයවන අවදානම්සහගත ප්‍රචන්ඩ ගෝරි නම්, ඒවායින් ලැබෙන අවසන් ප්‍රතිඵලය විනාශය.

බලන්න සිරිලංකා ඉතිහාසය දිහා.


1980 දශකය වෙනකොට එල්ටීටීය හරිම කුඩා හුදෙකලා ත්‍රස්ත කණ්ඩායමක් විතරයි. පොදු දෙමල ජනයා ඒල්ටීටීය ගණන් ගතතේ නැහැ. එල්ටීටීය කියන්නේ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරණායකගේ “සිංහල පමණයි” ප්‍රතිපත්තියෙන් ඇතිවුණ සිංහල ජාතිවාදය නිසා, ඒක අනෙකා කරගෙන බිහි වෙච්ච දෙමල පමණයි අන්තවාදයේ අවසන් ප්‍රචණ්ඩ ප්‍රතිඵලය.


ඒත් සිරිලකේ බහුතර දෙමල ජනයා මුලදී මේ කල්ලියව පිළිගත්තේ ම නැහැ. එයාලට ඕන වුනේ සාමකාමී ජීවිතයක්. ඒ හින්ද මේ ප්‍රචන්ඩ එල්ටීටීඊ කල්ලියට ඉතිරු වෙලා තිබුණේ, තමන්ට අවශ්‍ය වාසි මොහොතක් එනකං කල් බලන එක විතරයි . ඒත් වාසි අවස්ථාව මතු කරගන්න එයාල එක එක වැඩ කළා. මුළින් ම යාපනේ දෙමල නගරාධිපති දොරේ අප්පාව මරල ජනයාව බය කෙරුවා. ඊට පස්සේ සිංහල ජාතිවාදය චූන් කරන්න 1983නේ යාපනේ දි සිංහල හමුදා සොල්දාදුවන් 07 දෙනෙක් මැරුවා.

මේකෙන් ප්‍රයෝජනය ගන්න බලන් හිටපු සිංහල ජාතිවාදී දේශපාලකයෝ තමන්ගේ තගාලව දාල කොලඹ සහ රට පුරා සාමාන්‍ය දෙමල ජනයාට හිරිහැර කරමින් ඒක බහුතර සාමකාමී සිංහල ජනයාගේ සටනක් බව මවා පෙන්නුවා. ඒකෙන් හමුදා සොල්දාදුවන් 07 දෙනාගේ හිලව්වට නිරායුධ සාමාන්‍ය දෙමල ජනයා 3000කට වැඩි ප්‍රමාණයක් මරාදැමුවා. සමහර ස්ත්‍රීන්ව දූෂණය කොට මරා දැමුවා. සමහර සම්ප්‍රදායික දෙමල ස්ත්‍රීන් දූෂණය වීමට අකමැත්ත නිසා සියදිවි නසාගත්තා.

R10
වහාම මේ අවස්ථාව දඩමීමා කරගත්තු එල්ටීටීය අන්තර්ජාතික ලෝකයට පණිවුඩයක් යැවුවා, පොදු සාමකාමී සිංහල වැසියා තමන්ගේ සුළු ජාතීන්ට සලකන්න දන්නේ නැති, මරා දමන සහ දූෂණය කරන විදිහේ මිනිස්කම තුළ අෂිශ්ට ගෝත්‍රික ජාතියක් කියල ප්‍රචලිත කළා. පහර කෑ දෙමල ජනයාගේ ඥාතීන් සහ හිත මිතුරන්ට එල්ටීටීය ගොඩනගන මේ අන්තවාදයට වඩා හොඳ විකල්ප දේශපාලනයක් තෝරාගන්න එල්ටීටීයේ ප්‍රචන්ඩ වෙයාමුව ඉඩදුන්නේ නැහැ. අවසානයේ ඒක ඉවර වුණේ වසර 30ක් පුරා දෙපාර්ශවයෙන් අති විශාල ජනපිරිසක් මරා දැමුණු යුද්දෙකින්.

බලන්න අපේ ඉතිහාසය දිහා. 1971 වසරෙදි 20,000ට වැඩි ප්‍රමාණයක් මියැදුනා. 1989දි 60,000 වැඩි ප්‍රමාණයක් මියැදුනා. කී දාහක් අම්මලාට තමන්ගෙ කුසින් බිහිකරපු දරුවන් නැති වුනාද? ඒ අම්මලාගේ හඬ දේශපාලන වේදිකාවෙන් අතුගෑවිලා ගිහින් තිබුණට, ඒ අම්මලාගේ කඳුළුවලට මිලක් නැතිද?


ඊට අමතරව පොදු දේපලවලට කොච්චර නම් හානි සිද්ධ වුණාද? බස් එකක් ගිනි තියනකොට ට්‍රාන්ස්ෆෝමර් එකක් කඩල බිඳග ගිණිබත් කරනකොට, බැංකු බිල්ඩිමකට ගුවන්තොටුපලකට බෝම්බ දානකොට, ඒ විනාශ කරන්නේ මේ රටේ ම සථාවර ප්‍රාග්ධනය ම නෙවෙයිද? දුකක් හිතල බලන්න තිබුණා නේද ඔයාලා. ඊට පස්සේ ඒවාට අලුතින් වියදම් පියවන්න ගිහින්, ඊළඟට බලයට එන කෙනාට මීටත් වැඩියෙන් ඔයාලව අමාරුවේ දාන්න වෙනවා නේද?

අපි අපේ නොදැනුවත්කම නිසා නොදන්න ගෝරි දමාගෙන ඒවා මාරාන්තික ගෝරි බවට පත්වෙලා තව කොයිතරම් නම් වන්දියක් ඉදිරිය කාලයට ගෙවන්නද?
මේ ගෙවල තියෙන මහා වන්දිය ම මදිද?


ඒ හින්ද අපි මීට වැඩිය පියවි සිහියෙන් සටනට සංවිධානය විය යුතුයි. හිතේ හැඟීමට සහ ආවේගෙට අසංවිධානාත්මක සටන්වලට සහභාගී නොවිය යුතුයි. අපි සහභාගීවන අසංවිධානාත්මක පාරට බැසීම් පිටුපස අපිට හොරා මොනයම් ආකාරයේ සංවිධානාත්මක බලල් අතක් ඉන්නවද කියල සොයා බැලිය යුතුයි. අනෙක් පැත්තෙන් අපි තොරාගෙන තියෙන සටන් මාර්ගය ගෝලීය ආර්ථිකය තුළ රට ජයගත යුතු ඊළඟ ඉලක්කයන් එක්ක කොච්චර දුරට ගැලපෙනවද කියලත් හොයල බැලිය යුතුයි.

''දැන් අපි ජීවත් වෙන්නේ හුදු ජාතික ආර්ථිකයක් ඇතුළේ විතරක් නෙවෙයි''


දැන් අපි ජීවත් වෙන්නේ හුදු ජාතික ආර්ථිකයක් ඇතුළේ විතරක් නෙවෙයි. දැන් අපි ජීවත් වෙන්නේ ජාතික-කලාපීය-ගෝලීය ආර්ථිකයක් ඇතුළෙ. රටේ අඹ තියෙන ප්‍රදේශයක ගහකින් කඩන අඹ ගෙඩියක් මේ රටේම වෙනත් කෙනෙකුට නිදහසේ මිලදී ගන්නට තවදුරටත් බැහැ. ඒක ප්‍රවාහනය කරන්න තෙල් තිබිය යුතුයි. තෙල් ගේන්න රටේ මූල්‍ය සංචිතවල ඩොලර් තිබිය යුතුයි.

සංචිතවල ඩොලර් ඉවර වෙලා නම් රට, ඇතුළෙ මොනව හෝ ව්‍යාපාරවලට ආයෝජනය කරල ලාභ ලබල ගෙවන ඉල්ලලුමට ණයක් ගන්න ගෝලීය ආර්ථික ආයතනයකින් හෝ බැංකුවකින් ණයක් ඉල්ල ගත යුතුයි. ඒ ණය ලබන්නට සුදුස්සන් වන්නට නම්, අපිට අපේ ස්ථාවර ආර්ථික ප්‍රතිපත්තියක් හා බැඳි ව්‍යාපාර සැලැස්මක් ඒ ගෝලීය බැංකු වෙත ඉදිරිපත් කළ යුතුයි. ඊට පස්සේ ඒ සැලැස්ම අනුමත විය යුතුයි. ඒක අනුමත වෙන්නත් රට සාමකාමී බව ඔප්පු කළ යුතුයි.

R11
දැන් බැසිල් අයිඑම්එෆ් ආයතනයට යොමු කරල තියෙන සැලැස්ම අනුමත නොවුණොත්, ඒක කරවගන්න තරම් කලාපීය සහ ගෝලීය ක්ෂේත්‍රයේ පිලිගැනීමක් තියෙන විද්වත් නායකයෙක් වන රනිල් වික්‍රමසිංහව යොදවා හෝ එය කරගත යුතුයි.


ජනාධිපති ඝෝඨාව පුටුවෙන් ඉවත් කිරීම කළ යුත්තක් බවට කිසිදු තර්කයක් නැහැ තමයි. ඒ උදවිය ගෝලීය ආර්ථික-විද්‍යාව තියා ජාතික ආර්ථික-විද්‍යාව ගැනවත් මෙලෝ හසරක් දන්නේ නැති අඳ බාලයෝ බව මහින්දගේ ඉඳන් නාමල් දක්වා මුළු මැදමුලනය ම මේ වෙනකොට ඔප්පු කර හමාරයි.

ඒත් ජනාධිපතිගේ ධූර කාලය ගෙවී අවසන් වෙන්න තව වසර කිහිපයක් තියෙනව. ජනාධිපති මිත්‍යාමතික ඥානක්කාගෙන් උපදෙස් ගන්න ගමන් රාජ්‍යතාන්ත්‍රික කටයුතු මෙහෙවයන භින්න උන්මාදයෙන් පෙලන මනෝ-ව්‍යාධිකයෙක්ද කියන කතිකාවද ගොඩනැගෙමින් පවතිනව බව හැබැයි.

පන්නනවා නම් ඝෝඨා නොව මුළු මැදමුලනය ම පැන්නිය යුතු බවත් හැබැයි.

ඒත් ඒක කරන්න වෙන්නෙ ව්‍යවස්ථාවට අනුකූලව මිසක් ව්‍යවස්ථා විරෝධී හුදෙකලා සටන්වලින් නෙවෙයි. හුදෙකලා සටන් දිට ම ක්‍රියාත්මක වුණොත්, ඒක මැදමුලනයෙ වාසියට හැරවෙනවා.

විධායක ජනාධිපති කෙනෙක් ගෙදර යවන්න වැඩකටයුතු කළ යුත්තේ ව්‍යවස්ථානුකූලව. එහෙම ව්‍යවස්ථානුකූල පිළිවෙලක් රටේ තවමත් තියෙනව.

එහෙම නොකළොත්, දැන් ඉන්න පිස්සු ඝෝඨා වාහේ ඒ සේනාධිනායක බලය පාවිච්චි කරල ආර්ථික ප්‍රශ්නෙ මැදට මිලිටරි ප්‍රශ්නෙකුත් ගෙනාවොත්, රට කොහේට යන්නද? මගේ ආදරණීය බහුතර ජනයා ඒ බව තේරුම් ගත යුතුයි.

විඳ ගැනීමට අමාරු තරමේ ප්‍රශ්න තියෙන බව ඇත්ත තමයි. ඒත් ඒකට විසඳුම හොයන්න කලබලවෙලා ස්නායු අවුස්සගෙන හරියන්නෑ නේද? ඒ හින්ද අසංවිධානාත්මක සහ අරාජිකවාදී ප්‍රචණ්ඩත්වය මේ ගෙවෙන මොහොතට විසඳුම නෙවෙයි. ඒක තේරුම් ගන්න!

ස්ථාවර ජාතික-කලාපීය-ගෝලීය විසඳුමක් යූඇන්පිය විසින් නව-නූතන ආකාරයට සකසමින් සිටින බව තේරුම් ගන්න. යූ ඇන්පිය ජනතාව හුදෙකලා කරල තමන්ගෙ අතක් බලන් ඉන්නව නෙවෙයි. ඔබ වෙනුවෙන් වේගයෙන් වැඩ කටයුතු කරමින් ඉන්නවා මේ ගෙවෙන මොහොතේ මහන්සි නොබලා.

ඒ අතරේ සජිත් ප්‍රේමදාස තාවකාලිකව අටවගත්තු කෝන්තරවාදී සජබෙ කියන බයිලා සංවිධානයේ ඉන්න සමහර උදවියට සජිත්ගෙ ගොංකං තේරී දැන් දැන් රනිල් කියන ඒවම පුනරුච්චාරණය කරමින් යලි යූඇන්පියට එන්න මාන බලනව. මොකද සජබේ සමහර දේශපාලනඥයින්ගේ බුද්ධිමත්කං ගොං-සජිත්ට තේරෙන්නෙ නැති හින්ද.

මොකද සජිත් මේ වෙනකොටම අන්තර්ජාතික මාධ්‍යවේදීන් ඉදිරියේ ආර්ථිකය ගැන වැල් බයිල කියාල බලු වෙලා ඉන්නේ. අත්තනෝමතික විදිහට ජ්‍යෙෂ්ට සජබෙ සාමාජිකයන්ට සැලකමින් තමන් විතරක් පොර වෙන්න හැදීම නිසාත් මේ වෙනකොටත් මණ්ඩලේ ඇතුලෙ කචල්.

ඒ වගේ ම එක එක කාලෙට එක එක වෙස් මුහුණු පෙන්නගෙන දේශපාලනය කරපු ප්‍රචණ්ඩත්වයට ප්‍රිය චම්පික රණවක, තමන් හදපු පක්ෂයත් කඩාගෙන එතන ඉඳං එකදිගට දැකපු දැකපු පක්ෂ කඩ කඩා තමංට පුද්ගලික දේශපාලන ඉඩක් හදාගන්න කරපු දීර්ඝ අවස්ථාවාදී උත්සහයන් වලට දිට්ට ධම්මවේදනීය කරුමය පලදීල මේ වෙනකොට අම්බලමෙන් අම්බලමට ගිය දේශපාලන හිඟන්නෙකුගෙ තත්වයට පත්වෙලා. එයාගේ බල පරක්‍රම ලොං හැලිල දේපාලනික වශයෙන් අවතැන් තත්වයකට පත්වෙලා.

එයා උත්සහ කරන්නෙත් පරණ අළු ගසා දමා “මට ප්‍රාදේශීය මන්ත්‍රීකමක්වත් ඕන නෑ අප්පා, මට බය මේ රටට යන්න වෙන දේ ගැන” කියමින් කිඹුල් කඳුළු හෙමින් වෙනත් වටයකින් යූඇන්පිය හෝ මොකක්හරි බිහිවන පොදුජන බලවේගයකින් උපරිමය ජනාධිපති පුටු ගොදුරට ඉව අල්ලන්න, බැරි උණොත් ඇමති කෙනෙක් හරි වෙන්න..

මේ සියල්ල අස්සේ අනුර කුමාර ජනාධිපති සිහිනයෙන් ඩෝප්වෙලා දත්ත ගණනාවකින් කට පුරෝගෙන හිටියට ලෙනින් කියූ “කළ යුත්තේ කුමක්ද?” කියන තැනදි හිරවෙලා ප්‍රේමදාසට සහ ගොං-සජිත්ට පස්සේ ගම හදල රට හදන්න ලෝකෙ කොහෙවත් නැති “ගමෙන් පටන්ගෙන ආර්ථිකය හදන සමාජවාදයක්” ගැන නන් දොඩවනව. ධනවාදයේ තියා වැඩවසම්වාදයේවත් නැති විදිහට නගර හැදීම පැත්තක දාල ගම හදන අලුත් ම පන්නයේ මනෝමූලික ග්‍රාම්‍ය සමාජවාදයක් ගැන නූගත් ගැමි ජනයාට දෙසමින්, ගම්මුලාදෑනිවාදී සමාජවාදයක් ඉදිරිපත් කරමින් විජේවීරටත් වඩා බඹ ගාණක් පසුගාමී වෙලා ඒ හරහා ජනාධිපති කෙනෙක් වෙන්න හදන බව ඇස් පනාපිට පේනව.

මෙයා විප්ලවීය නායකයෙක් නම්, මුළින්ම කළ යුත්තේ රටේ තියෙන පූර්ව-ධනේෂ්වර ගතානුගතික ව්‍යූහ කුඩුපට්ටම් වෙලා පූර්ණ-ධනේෂ්වර ව්‍යූහ ඇතිවීමට කටුයුතු කිරීම බව පිළිගන්නට එපැයි මයෙ අම්මපා.

තවම කාර්මික විප්ලවයේ නිෂ්පාදන ක්‍රමවල (නිෂ්පාදන උපකරණ වල) කෑලිටිකවත් හරියට උපුටගෙන නැතුව ඉන්නේ. ඒ මදිවට ලෝක ආර්ථිකයට නිවැරදිව මුහුණ දෙන්න නම්, ලොක්ය ගෝලීයකරණය කරා අරන් යන නිෂ්පාදන උපකරණ වූ නව-තාක්ෂණ සහ සුපිරි තාක්ෂණ උපකරණ මේ රටට ගෙන්වාගත යුතුයිනේ. ඒ කියන්නේ නව-නූතන ධනවාදය රටට බැහැරින් හෝ මේ රටට කන්දාගගත යුතුයිනේ.


එහෙම තියෙද්දි ආයෙමත් බන්ඩාරණායකවාදීව ගම හදා රට හදන්න ගිහින් සජිත්ගේ සමාජවාදී එක්ටෙන්ඩඩ් මෝඩ් එකක් වෙන්නද මේ හදන්නේ? පූර්ණ ධනවාදී ව්‍යුහ රට ඇතුළෙ ගොඩනගා ගන්නට ඉඩ නොහැර, පූර්ණ ස්ථාවර සමාජවාදයක් අරන් එන්නේ කොහොමද? සෝවියට් දේශයටත් වඩා අන්ධ විදිහට දොංත පතං කියල කඩං වැටෙන්න ද හදන්නේ? ආක්‍රමනිකයෙක් වෙන රටකට පහර දෙත්දී මුලින් ම ගිනිබත් කරන්නේ නගර. ඒ මොන එහෙකට ද? එයාලට පිස්සුද?


ඒ නිසා මේ වල්මත්වූවන් අතරින් ආර්ථික විද්වතෙක් සහ ඉවසනසුළු මිනිසෙක් විදිහට කලාපීය සහ ගෝලීය ආයතන පිළිගත් එක ම ලාංකීය තැනැත්තා වන රනිල් වික්‍රමසිංහ ජනාධිපති සිහිනය පෙරදැරි නොකරගෙන, ඝොඨාගේ ඉදිරි ධූර කාලය ගෙවෙනකම් පුද්ගලික ඇජෙන්ඩාවනට යා නොදී යූඇන්පියට හතුරුව ඝෝඨාට චන්දය දුන් හැටනව ලක්ෂයක් ජනයා ද ඇතුළු සමස්ත රටේ ජනයා කෙරෙහි ම ප්‍රේමයෙන් මේ අවුල ලිහාගන්න ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, තම කලාපීය සහ ගෝලීය රාජ්‍යතන්ත්‍රිකභාවයත් ඔස්සේ නිස්සරණධ්‍යාශයෙන් වැඩකටයුතු කරමින් ඉන්න බව සැලයි.


Neo-Modern UNP


ඒ අතර යූඇන්පිය ද පෙර පැවති නූතනාවාදී රාමුවෙනුත් ඔබ්බට යවමින් නව-නූතන යූඇන්පියක් (Neo-Modern UNP) බවට පරිවර්තනය වෙමින් ප්‍රතිසංවිධානය වෙන බව ද සැලයි. ඇත්තට ම මේ වගේ වල්මත් වූ ප්‍රචන්ඩ මොහොතක රටක නායකයෙක් වෙන්න ඕන ආර්ථිකය දන්න රනිල් වගේ ඉවසීමක් තියෙන වගේ නායකයෙකු විතරක් බවයි අපේ හැඟීම.


අපේ ගෙදර බත් පිඟානට ඇවිත් තියෙන ප්‍රශ්නය රුපියල් හිඟකමක් නිසා ඇතිවන ජාතික ආර්ථික අර්බුදයක ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ඩොලර් හිඟකමක් නිසා ඇතිවී තිබෙන ගෝලීය ආර්ථිකයෙන් එන ප්‍රශ්නයක්. අපි ගෝලීය ආර්ථිකය නොතකා පිස්සු කෙලපු එකෙන් පිලිපන් ප්‍රශ්නයක්.  


ඇතිවෙලා තියෙන හිඟ සංචිතවල මුදල ඩොලර්වලින් ගෙවන්න පුළුවන් තරම්වන ජාතික කොම්පැනි එකක්වත් අපිට නැහැ. අපිට උදව් කරන්නට කලාපීය රාජ්‍ය එකක්වත් කැමති නැහැ. බහුජාතික හෝ පාර ජාතික සමාගමක් ඇවිත් මෙගා ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න අවශ්‍ය පසුබිම හදාගන්නවත් කියල හිතල අපි ණයක් අරන් හෝ රටේ මූලික ආර්ථික පසුබිම යලි ගොඩනැගිය යවුතුයි. වෙන විකල්පයක් නැහැ.

ඉතිං මේකට විසඳුමක් ගේන්න ගෝලීය ආයතන කැමති කරවගන්න අපිට යවන්න පුළුවන් මේ වෙනකොටත් ගෝලීය පිළිගැනීමක් තියෙන නායකයෙකුව විතරයි. කලින් කියපු ජනාධිපති සිහිනකරුවන් එක්කෙනෙකුටවත් මේ වැඩේ කරන්න තරම් අන්තර්ජාතික පිලිගැනීමක් නැහැ, සමහරු ඉංග්‍රීසි දන්නෙත් නැහැ.

ඒ හින්ද අපි බොරු සිහිනවලින් අවදි වෙලා යථාර්තවාදී විදිහට නායකයෙක් තෝරාගත යුතුයි. එහෙම නොකෙළොත් රටම අනතුරේ. ඒ නිසා සටන් කළ යුතු බිම වරදවා වටහාගෙන ප්‍රචන්ඩ වීදි සටන්වලට යෑමෙන් කිසිදු ඵලක් වෙන්නේ නැහැ. එතකොට රටේ ප්‍රතිරූපයට හානි වෙලා අර ගෝලීය ආයතනවලින් ගන්න තියෙන ණය ටිකත් නොලැබී යන එකයි වෙන්නේ. ඒ හින්ද රටේ නම කැත නොකරගෙන සීරුවෙන් අර්බුදය විසඳගත යුතු මොහොතක් මේක.

 මගේ ආදරණිය ජනතාව මේ බව නොතේරෙන නිසා වල්මත්වූ සටන්වලට ගියොත් ඉදිරි පරම්පරා දෙක තුනක ම අනාගතය මුළුමනින් අනතුරේ. ඇතිවී තිබෙන අර්බුදය හුදු ජාතික ආර්ථික අර්බුදයක් නෙවෙන නිසාත්, මේක කලාපීය සහ ගෝලීය ආර්ථිකය තුළ මැදමුලනය කරපු හදිසි පිස්සු කෙලීමක් නිසා උත්සන්න වෙච්ච අර්බුදයක් නිසාත්, උත්තරය තියෙන්නේ ජාතික මට්ටමේ ම නෙවෙයි. උත්තරය තියෙන්නේ ජාතික-කලාපීය-ගෝලීය මට්ටමේ. ඉතිං ඕන ම රටක මේ කලාප තුන ම ආවරණය කරන්න පුළුවන් නායකයෙක් හැදෙන්න දශක ගාණක් යනව.


අපිට මේ ගෙවමින් ඉන්නේ, ආර්ථික අර්බුදයේ ඉඳන් ඉක්මනින් ආර්ථික ව්‍යසනය කරා රට යමින් සිටින අවාසනාවන්ත කාල-අවකාශයක්. එතකොට අලුත් නායකයින් හදමින් කාලෙ නාස්ති කරන්න හෝ එක්ස්පෙරිමන්ට් කරන්න කාල අවකාශයක් රටට නැහැ. ඉති ඒ වගේ ගොං පාට් කරන්න යන්නේ නැතුව ඉන්න, කෙනාව දාල වැඩේ කරවගන්න ඕන. ඒ හින්ද රටට ආදරයක් තියෙනව නම් අනිත් ජනාධිපති සිහින අපේක්ෂකයොත් තම සිහිනය තාවකාලිකව හෝ පස්සට දාල රනිල්ව ප්‍රමෝට් කරන්න තරම් නිර්ලෝභී විය යුතුයි.

රට ඇතුළේ ජාතික-කලාපීය-ගෝලීය පිළිගැනීමක් තියෙන එක ම නායකයා රනිල් විතරයි. ඒ වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් එක ම ආර්ථික පක්ෂයත් මේ නැවත ප්‍රතිසංවිධානය වෙමින් පවතින නව-නූතන යූඇන්පිය විතරයි. රටේ මෙතුවක් ආර්ථික ප්‍රහ්නයක් හෝ ගැටළුවක් ආවොත් හැමදාම ජනයා තෝරගත්තේ ඓතිහාසිකව ආර්ථික පක්ෂයක් වෙච්ච යූඇන්පිය.

මෙදා පාර තියෙන්නේ ආර්ථික ගැටළුවත් පහුකරපු අර්බුදයත් උත්සන්න වෙලා ව්‍යසනය කරා යන්න තියෙන තත්වයක්. ඒ හින්ද, සීරුවෙන් නිවැරදි මාවත තෝරන්න. අඳ බාල වෙලා මෙදාපාර වරද්දගත්තොත් ආපසු හැරීමක් වෙන්නේ නැහැ, මගේ ආදර ජනතාවෙනි. ඉතිං

“මග හොඳට වේ නම්,
යන්න දෑසත් පෙනේ නම්,
කිමද යන්නේ මුලා වී,
මං මුලාවූ එවුන් සේ?”

ඒ හින්දා මගේ ආදර ජනතාවෙනි, මේ අර්බුදය විනාසයක් කරා යන්නට කලියෙන් මේ ප්‍රතිසංවිධානය වෙන නව-නූතන යූඇන්පිය වටා රොද බඳින්න. අවිහිංසාවාදී සටන් මගකට යාම හරහා ගෝලීය වශයෙන් පරිණත ධර්මිෂ්ඨ සමාජයක් ගොඩනගන්න ඉදිරියට එන්න!

වෙන ඔප්ෂන් එකක් නැහැ.

ඔයාල හැමෝට ම ජයෙන් ජය වේවා!


මීට
සහෘද ජනතා පුත්‍රයා

(සංවාදයට විවෘතයි )

 

නවතම ලිපි