දැන් මිනිස්සු ආණ්ඩුවට විරුද්ධව පාරට බහින්න අරගෙන. ඒ කියන්නෙ ජනතාව අවදි වෙලාද? නැත්තං ජනතාව අවුස්සලාද?


මේ සැබෑ ජනතා නැගිටීමක් කියල කවුරු හරි හිතනවා නම් ඒක ලොකු රැවටීමක් කියල මං හිතන්නෙ.  ගෑස්, කිරිපිටි, ඩීසල් ආදී නොයෙකුත් අර්බුද තියෙනවා තමයි. ඒත් ජනතාව ආණ්ඩුවට විරුද්ධව වීදි බසින තරමෙ අවබෝධයක් තාම ලැබිලා නෑ.

ඒ වෙනුවට බලය ඩැහැගන්න බලාගෙන ඉන්න ආණ්ඩු සහ විරුද්ධ පක්ෂ නායකයො ජනතාව උසිගන්වන වග තමයි පේන්න තියෙන්නෙ. ඒ කියන්නෙ මේක ව්‍යාජ විරෝධයක්. ව්‍යාජ විරෝධයකින් සිද්ද වෙන්නෙ සැබෑ විරෝධයක් මතුවෙන්න ඇති ඉඩකඩ අහුරන එකයි.

මේ ආණ්ඩුව ලක්ෂ 69ක චන්ද අරගෙන පත්වුනු ආණ්ඩුවක්. යහපාලනය වගේ ප්‍රගතිශීලි රජයක බලාපොරොත්තු කණපිට ගහපු ආණ්ඩුවක්. ජාතිවාදය, වර්ගවාදය, නිලධාරිවාදය, මිලිටරිවාදය ආදී පසුගාමීත්වයේ බරඅවි දරාගෙන පත්වුනු ආණ්ඩුවක්. අවුරුදු දෙකක් ඇතුලත මේ වෙනුවෙන් චන්දය දුන් ජනතාවට සත්‍යාවබෝධය වෙලාද?

මේ විරෝධතා විවිධ පක්ෂ විසින් කුළුගන්වන ලද ඒවායි. ඒකෙන් සිද්ද වෙන භයානක ප්‍රතිඵලය වෙන්නෙ ජනතාව සරලව ඕනෑම ආණ්ඩුවක් පත් කොට අවැසි විටෙක එය පෙරලා දැමිය හැකි යැයි විශ්වාස කරන එකයි. වෙන විදිහකට කිව්වොත් ඉදිරියේදී බිහිවන ෆැසිස්ට්වාදී රජයකට මිස කිසිඳු ආණ්ඩුවකට බලයක් රඳවා ගන්න බැරි තැනට වැඩ සිද්ද වෙන එකයි.

ඒකෙ අනිවාර්ය ප්‍රතිඵලය වෙන්නෙ කෙටිදුර දුවන ආණ්ඩු ඇතිවීම සහ කිසිදු ඵලදායී රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාවට නගන්න බැරිවීමයි. මේ කියන්නෙ මේ ආණ්ඩුව එහෙම ඵලදායී ක්‍රියාමාර්ගවලට යනවා කියන එක නෙමෙයි. නමුත් තමන් චන්දයෙන් පත් කළ ආණ්ඩුවක වගකීම දරාගෙන වේදනාව උහුලගෙන ඉන්න ජනතාව පුරුදු වෙන්න ඕන. ඇත්තටම ආණ්ඩු නෙමෙයි වැරදි,  ජනතාවයි වැරදි.

උදාහරණයක් විදිහට ගෝඨාභය රටට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව තියෙනවා රටම කාබනික වගාවට ගෙනියනවා කියල. ගෝඨාභයට චන්දෙ දුන් ජනතාව බැතිසිතින් අනුමත කලේ ඒ ප්‍රතිපත්තිය. ඒක අසාර්ථක වුනා. රටේම ගොවිතැන විනාශ  වුනා. එතකොට වගකීම ගෝඨාභයගෙ විතරක්ද?

දැන් සිද්ද වෙමින් යන්නෙ සියලු වැරදි ගෝඨාභය පිටින් තබා වෙනත් ආණ්ඩු පෙරලියකට බලලෝභී සියල්ලන් එක සිතින් පෙලගැහෙන එකයි. දේශපාලන දැනුමකින් තොර නායකයෙක් බලයට පත්කරගැනීමට දරදිය ඇදපු, වියතුන්, බුද්ධිමතුන් පටන් වගකීමකින් තොරව චූන් පිනිස චන්දය පාවිච්චි කළ බහුතරයක් ජනතාව කළ වරදෙහි වගකීම ගන්න ඕන.

කොටින්ම ගෝඨාභයට චන්දය නොදුන් මා වැනි අය පවා ඒ වේදනාව දරාගන්න ඕන. අවුරුදු පහක් පවතින දේශපාලන තීන්දුවක් ගන්න බැරි රටක් නිර්මාණය කරනවා කියන්නෙ ඉදිරිය ඉතාම අනතුරුදායක වෙනවා කියන එකයි.

මෛත්‍රීපාල සිරිසේන හාස්‍යයට ලක්කරමින් පෝස්ට් වැසි වසිද්දී ‘මින් ඉදිරියට සිරිසේනට වඩා හොඳ නායකයෙක් මේ රටේ බිහිවෙන්නෙ නෑ’ කියල මං එකතැනක කිව්වා. මේ වෙද්දි සිරිසේනට වඩා සියගුනයකින් ගෝඨාභය හාස්‍යයට ලක්වෙමින් තියෙනවා. පාලකයා ජෝකරයකු බවට පත්වෙමින් තියෙනවා.

මේක ප්‍රජාතන්ත්‍රවාදය හැටියට ගොඩක් අය සතුටු වුනත් මේකෙ ඇත්ත ප්‍රතිඵලය වෙන්නෙ පාලන ආයතන විහිලුවක් බවට පත්වෙන එකයි.

මේ තත්වයට ප්‍රධානවම වගකිව යුතු වෙන්නෙ සමාජ මාධ්‍යයි. සමාජ මාධ්‍යය හානිකරය හෝ එය වාරණය කළ යුතුය කියන අදහසේ මම නෑ. නමුත් අපි හාස්‍යය වගේම ගරුත්වයත් පුහුණු කරන්න ඕන. අපිට පුළුවන් ජනාධිපති කෙනෙක්ව විවේචනය කරන්න. නමුත් ඒ තනතුර පිළිබඳ ගරුත්වය ආරක්ෂා කරන වගකීමත් අපිට තියෙනවා.

ජනාධිපති කියන්නෙ ජනතාව වෙනුවෙන් නිර්මාණය වෙන නිලයක්. ඒ නිලයට ගරු කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රටක පුරවැසි වගකීමක් වෙනවා. නමුත් සමාජ ජාල මාධ්‍ය හරහා බහුලව සිද්ද වෙන්නෙ ගෝඨාභය විවේචනය කරන එක නෙමෙයි. උපහාසයට ලක්කිරීම නෙමෙයි. ඒ වෙනුවට අපහාසයට පත් කිරීමයි.


''මේ එක්තරා මතවාදයක, නැත්නම් අයිඩියොලොජියක අවසානයයි.''


මේක ගෝඨාභය නැමැති පුද්ගලයාගේ අසමත්වීමක් හැටියෙන් තේරුම් ගන්න එකම මුළාවක්. මේ එක්තරා මතවාදයක, නැත්නම් අයිඩියොලොජියක අවසානයයි. ඒ මතවාදය හිස දරාගත් ජනතා ප්‍රවාහයක් ආපු වේගෙන්ම තාප්පයක වැදීමයි. ඒ මතවාදී පරාජය ඉස්මතු කරනවා වෙනුවට ගෑස් ඩීසල් ප්‍රශ්න මතින් ජනතාව පාරට දැක්කීම වගකීමක් ඇති දේශපාලන නායකත්වයක මග නෙමෙයි.

චන්දයෙන් පත් කරන පාලනයක් වසර පහක් දක්වා ඉවසා දරාගත යුතු තීරණයක් වග ජනතාව තේරුම් ගන්න ඕන. තාප්පවල චිත්‍ර ඇඳපු, පාරවල්වල කිරිබත් උයපු ජනතාව තමන්ගේ අතීතය දිහා හැරී බලන්න ඕන. ජනතාව වෙනස් නොකර පාලනය වෙනස් කිරීම තේරුමක් ඇති වැඩක් නෙමෙයි.

මේ සිද්දවෙන දේට අපිට කියන්න පුළුවන් ක්ෂණික මෝචනයක් කියල. හුදු ආවේගය පිටකර හැරීමක්. ඵලදායී රජයක් නිර්මාණය කරගන්න ආවේගකාරී ජනතාවකගෙන් ඇති වැඩක් නෑ.

aa

අපිට සිද්ද වෙනවා භික්ෂූන් ගැන, රටක් පිළිගත් විද්වතුන් ගැන, ඔවුන්ගේ දැනුම සහ රැවටීම ගැන, ඉහළ සිට පහළට දිවෙන දූෂණය සහ වංචාව ගැන, නිකං ඉඳන් පඩිගන්න බලාසිටින රාජ්‍ය සේවකයන් ගැන, අපේ විදේශ ප්‍රතිපත්ති සහ විමල් වීරවංසලා කියන කුමන්ත්‍රණ ගැන සාකච්ඡා කරන්න. නව මතවාදයන්, විශ්වාසයන් ගොඩනගන්න. ශක්තිමත් පදනම් තනන්න. 2005 පටන් ජනතාව හුරුපුරුදු ජාවාරම්කාර දේශපාලනය අවසන් කරන්න. එහෙම නැතුව බලෙන් කරන ආණ්ඩු පෙරලියකින් සිද්ද වෙන්නෙ 2015 සිදුවුනු අත්වැරදීමමයි. නැතහොත් නොදැනීම බලය ඒකාධිපති පාලනයකට නතු වීමයි.


මේ වීදි බැසීම් පිටුපස ආණ්ඩුව පෙරලීම මිස වෙනත් කිසිදු ආකාරයක සංවිධිත සැලසුමක් නැති වග පැහැදිලියි. මීට මාස කීපයකට කලින් සියල්ලන් තනි තනිව තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ජනගත කරමින් ඊළග නායක පොරය අරඹමින් හිටියා. රට ගොඩගත හැක්කේ තමන්ටයි කියල හිතුවා. ජනතාවට යන මග කියන්නේ මේ නායකයන්ද?

මේ හදිසි පෙරලිවලට කිසිසේත්ම සහයෝගය නොදිය යුතුයි කියන මතයෙ මම ඉන්නෙ. ඊට එරෙහිව පවතින ආණ්ඩුව රැකගැනීමට වුවද ඉදිරිපත් විය යුතුයි.

ඉරාජ්ලා, මිලින්දලා අලුතෙන් පටන්ගත්ත #වීආර්විත්ගෝටා වගේ ලැජ්ජ නැති කැම්පේන් කරලා නෙමෙයි. ඒවායින් වෙන්නෙ වැඩියෙන් කුපිත වෙන ජනතාව වඩා ඉක්මණින් ආණ්ඩුව පොලොවට සමතලා කිරීමයි.

ආණ්ඩුව නියමිත කාලය පුරා වගකීමෙහි බැඳ තබමින් පොරොන්දු වූ උත්තර හොයන්න බලකරන එකයි මේ මොහොතේ අවශ්‍ය පියවර වෙන්නෙ.

එහෙම කළොත් ඊළඟ චන්දෙ එනකොට රටක් ඉතුරු වෙයිද අහන පිරිසට කිව යුත්තේ ආණ්ඩු පෙරලීමෙන් අලුතෙන් රැකෙන රටක් නැති වගයි. වලකට වැටීම කියන්නෙත් මොළයට ලාබයක් වග සිතිය යුතුයි.

සියල්ලෙහි වරදකරුවා ගෝඨාභය හෝ බැසිල් යැයි අන්දවා තොවිලයක යකෙක් පන්නනවා බඳුව ඔවුන් එලවා දැමීමෙන් ආතුර රටක් සුවපත් වෙන බව ඇදහීම ළදරුයි. ඒ චරිත පිටුපස තිබුනේ විශාලව නිර්මාණය කළ ජනතා විශ්වාස කන්දක්. බැසිල් කියන්නෙ මොළ හතක් කියල විශ්වාස කළා. බැසිල් ඇවිත් සියලු ප්‍රශ්න විසඳන බව ඇදහුවා. එලවන්න ඕන යකා නෙමෙයි යකා බැඳගත් ඇදහිල්ලයි.

දියසෙන් කුමාරයෙක් ගැන විශ්වාසයෙන් ජනතාව මුදාගැනීම:


මේ මොහොත කැප කළ යුත්තේ රට ගලවා ගන්නා දියසෙන් කුමාරයෙක් ගැන විශ්වාසයෙන් ජනතාව මුදා ගන්නයි. රටේ ගැලවීම ඇත්තේ තමන් අතේම බව ජනතාවට කියාදෙන්නයි. ව්‍යවස්ථාවක් මොකටද, ආර්තිකය කන්නද අහපු ජනතාවට මේ සංකල්පවල වැදගත්කම ප්‍රායෝගිකව අත්විඳින්න දෙන්නයි.

කොවිඩ් වසංගතය නිසා ලංකාවේ දැවැන්තම ප්‍රතිගාමී මතවාද පවුර බිඳවැටුනා. ඒ තමයි ලංකාවෙ මාරයි, ලංකාවෙ අපිට හැමදේම කළ හැකියි කියන ජාතිකවාදී මිත්‍යාව. එන්නත ලෝකයේ රටකින් එවන තෙක් අපිට ගෙවල්වලට වෙලා කට ඇරගෙන බයෙන් බලාගෙන ඉන්න වුනා. ණයපොලී ගෙවාගන්න බැරි වුනා. ලෝකයත් එක්ක බැඳුනු නූතන ආර්තිකයක් කියන්නෙ මොකක්ද කියල රටටම තේරෙන්න ගත්තා.

මේ සියල්ල එක චරිතයක් හෝ දෙකක් මත පටවා ඔවුන් පන්නා දැමීමෙන් රටට සෞභාග්‍ය උදාවේයැයි සිතීම කලින් ආණ්ඩුව කළා වගේම මිත්‍යාවක් නිර්මාණය කිරීමක්.

ඒ නිසා මේ ආණ්ඩුව 2024 තෙක් පවත්වාගෙන යන්න අකමැත්තෙන් වුනත් අපිට සිද්ද වෙනවා. ලෙඩ සනීප කරගන්න තිත්ත බෙහෙත් බොන්න වෙනවා.

අන්තිම මිනිහත් පාරට වැටෙනකල් වී ආර් විත් ගෝටා!!

නවතම ලිපි