මේ තරම් වලවල් තියන පාරක මම ජීවිතේට ගිහින් තිබුනෙ නෑ..

මලකඩ කාපු ට්‍රක් එකේ කබල් රෝද.. වලකට වැටෙන හැම සැරේකම උඩ විසිවෙන්නෙ පිස්සුවෙන් වගේ. ඒ හැම සැරේකම මං අම්ම දිහා බැලුවෙ මේක මේ අවසානයද කියල අහන්න වගේ. බුර්කාවෙ දැලෙන් වැහිල තිබුනු අම්මගෙ ඇස්වල තිබුනෙ තැති ගැනීමක්ද.. විශ්වාසයක්ද කියන්න අදටත් මම දන්නෙ නෑ. හැබැයි තාත්ත ඉද්දි නම් අම්මට මේ වගේ බුර්කාවකින් වැහිල ජීවත් වෙන්න කවදාවත් ඉඩ දුන්නෙ නෑ.

ට්‍රක් එක උඩ යන හැම සැරේකම චූටි නංගි හිනා වෙන්නෙ මේ වගේ විනෝදයක් තවත් නැති ගානට.

අනිත් නංගිල දෙන්න ඉවරයක් නැතිව එකම සිංදුව කියෝනව...

අදටත් මට ඒ වචන.. තාල ඒ විදිහටම ඇහෙනව..

සර්ධා සර්ධා තෝඩුව ඇඳගෙන ..

පර්දාවෙන් නුඹෙ හිනා වසාගෙන...

nadiya 6

ඒ දෙන්නට තේරුමක් තිබුනෙ නෑ.. ඒ සිංදුවෙන් කියන්නෙ මොකද්ද කියල. මට යාන්තමට තේරුනා ඒ කියන්නෙ ඇෆ්ගන් කෙල්ලකගේ දුක ගැන කියල.

ට්‍රක් එකේ වහලෙ විදිහට තිබුනු කැන්වස් රෙද්දෙ ..එක එක තරමෙ හිල් හැදිල තිබුන. ඒ හිල් හරහා එන ඉර එලියෙන් මොනරු.. හාවො වගේ සත්තු මැවුන අපූරුව දැනටත් මැවිල පේනව.

දූවිල්ලයි..රස්නෙයි ඉවසන්න බෑ.. අම්ම සැරින් සැරේ පවන් ගැහුව පරන රෙදි කෑල්ලකින්.

කැනවස් වහලෙ හිල් වලින් එන ඉර එලියෙන් හැදෙන එලි පාරවල් දිගේ දූවිලි රෑන් පිටින් උඩට ඇදෙනව. කොයි තරම් වෙලා ඒ දිහා බලාගෙන හිටියද මට මතක නෑ.

මට අවුරුදු එකොලහයි .. අක්කට අවුරුදු දහතුනයි...

අපි පස් දෙනාම අම්මගෙ වටේ එතිල හිටියෙ ඒ අපිට තිබ්බ එකම ආරක්ශාව... එකම රස්නෙ අම්ම නිසා වෙන්න ඇති.

ඒ වෙද්දි තාත්තව මරල දාල අවුරුදු තුනක්. මගෙ තාත්තා අදටත් මගේ ලෝකෙ වීරයෙක්. එයා ඇෆ්ඝන් හමුදාවෙ හිටපු ජෙනරාල් කෙනෙක්.

තාත්ත කවදාවත් තලෙයිබාන්ලට බය වුනේ නෑ.

අම්ම කොච්චරවත් කීව හමුදාවෙන් අ‍යින් වෙන්න... අපි ඈත පලාතකට ගිහින් ජීවත් වෙමු කියල.

ඒත් තාත්ත ඇහුවෙ නෑ...

එයා කීවෙ, අපි ඉන්නෙ අපි ඉපදුනු රටේ... මේ අපේ මිනිස්සු.. අපේ භාශාව.. අපි බය වෙන්නෙ මොකටද කියල. තාත්තව මරල දානකොට මට අවුරුදු අටයි.. වටේ තිබ්බ ගෙවල් ගිනි ගත්ත... බුර්කාව නොදාපු වරදට නැන්දගෙ ඔළුවට වෙඩි තිබ්බ.. තවත් අයගෙ අත පය කැපුව.

nadiya 1

ඒව එහෙම තමයි.. කාබුල් නුවර පදිංචි වෙලා හිටපු කෙනෙක්ට මේව පුදුම වෙන්න හේතු නෙවෙයි.

අපි ඔක්කොම පහලවක් විතර මේ පරණ එල්ෆ් ලොරියෙ එකට කූඩු වෙලා හිටියෙ.

නංගිලාට ගාණක්වත් නෑ කොහෙද මේ යන්නෙ කියල. කාබුල් වල ඉඳල පෙශාවා වලටත් ..එතනින් ඉස්ලාමාබාද් නුවරටත් යන බව විතරයි අම්ම මට කීවෙ.

ඉපදුනු ගෙදර දාල.. ගම දාල... මේ යන ගමන යන්නෙ, ආපහු කවදාවත් නොඑන්න බව මම දැනගෙන හිටිය. අපි හිටපු ගෙදර ඉඩම.. අම්මගෙ රත්තරං බඩු හැමදේම කුනුකොල්ලෙට විකුණල දාපු බව අක්ක මට කීව.

ඒ ලැබුනු සල්ලි වලින් තමයි අපි මේ ජීවිතේ බේරගෙන පැනල යන්නෙ කියල කවුරුත් මට කීවෙ නෑ.

ඒත් ඉතිං.. ඒ වගේ දේවල් ඉබේටම දැනෙනව... පොඩි එකෙක්ට වුනත්.

දවස් ගාණකට පස්සෙ අපි ඉස්ලාමාබාද් ආව. එදා රෑ පොඩි හෝටලේක නැවතුනා.. එතනදි තමයි අම්ම කීවෙ.. අපි තව ටික දවසකින් ඉතාලියට යනව කියල.

වෙන දවසක නම් මේ කතාව සුරංගනා කතාවක් තරමට ලස්සන වෙන්න තිබුන.

ඉතාලිය... හිම වැටෙන නගර.. අයිස් ක්‍රීම්.. දිලිසෙන දිග ගවුම්.. නිල් පාට ඇස් තියෙන පිරිමි ලමයි... අළුත් සපත්තු... පීට්සා මේ වගේ ගොඩාක් දේ හිතට ආව.

ඒත් අපි හිටියෙ හොඳටම හෙම්බත් වෙලා.

nadiya 2

මට ඕනෙ වුනේ එකම දෙයයි.. උනු වතුරෙන් ඇඟ හෝදගෙන .. එලිවෙනකල් නිදා ගන්න.

ප්ලේන් එකේ ගමන උනත් හීනයක් වගේ.. එක අතකින් අවුරුදු එකොලහක් කියන්නෙ යමක් කමක් තේරෙන වයස.

තාත්තත් නැතිව.. ගෙදර.. හැදුනු වැඩුනු ගම විතරක් නෙවේ... රටත් ඇතෑරල පැනල යනව කියන හැඟීම හිතට ආවම පහතින් පේන වළාකුළු වුනත් පේන්නෙ කරදරයක් විදිහට.

අම්ම කීවෙ තාත්තගෙ පරණ යාළුවෙක් අපිට උදව් කරනව කියල.

ඉතාලියට අපි ආවත් හිතේ ඇඳිල තිබ්බ ..... කන්දක් උඩ තියන පුංචි ගෙදරට නම් අපිට යන්න වුනේ නෑ.

දවල්.. රෑ.. කීයක් ගත වුනාද මට මතක නෑ... කාලෙ ඇදිල ගියේ අසිහියෙන් වගේ.

ආයෙත් සැරයක් අපි හිටියෙ කළුවර ට්‍රක් එකක් ඇතුලෙ. ඉස්ලාමාබාද් ආපු එල්ෆ් එකට වඩා ඉඩකඩ තිබුන.. හැබැයි කළුවරම කළුවරයි.

අනේ තාත්තෙ මේක ඇතුලෙ හිරවෙන්න නම් ඉඩ තියන්න එපා.

මං හිතින් කියමින් හිටිය. එක පාරක් අම්ම ඇහුව මොනවද ඔයා මුමුනන්නෙ කියල.

මං කීව මුකුත් නෑ කියල.

මට ඇහැරෙද්දි ට්‍රක් එක කෝපන්හේගන් වලට ඇවිල්ල තිබුනු බව අම්ම මට කීව.

ඇයි අපි ඉතාලියෙන් ආවෙ කියල අහන්නවත් මට උවමනාවක් තිබුනෙ නෑ.

පස්සෙ දවසක අම්ම මට කීව.. අපි පාවිච්චි කරපු පාස්පෝට් ඔක්කොම වෙන අයගෙ නම් වලින් හදපු බොරු ඒව බවත්.. ඒ බොරු ලියකියවිලි එක්ක ඉතාලියේ ජීවත් වෙන්න අපිට බැරි බවත්.

ඒ ගැන දැනගෙන හිටියනම් මම බයේ මැරෙයි ප්ලේන් එක ඇතුලෙම..

පස්සෙ කාලෙක මට එහෙම හිතුනා.

nadiya 3

රෝමෙ ඉඳල ඩෙන්මාර්කයේ කෝපන් හේගන් වලට එනකල් කන්ටේනරයක හැංගිලා එන්න සිද්ධ වුනෙත් මේ හේතුව නිසාම බවයි අම්ම මට කීවෙ.

මෙහෙ මිනිස්සු හරිම කරුණාවන්තයි... නාන්න උණු වතුර... උනු අනුවෙම දුම් දාන කෑම.. අළුත් පිරිසිඳු ඇඳුම්... සැපට නිදාගන්න මෙට්ටයක්... මේ ඔක්කොමත් එක්ක අම්මයි.. අක්කයි... නංගිලයි.. මමයි එකට.

අපි නැවතිලා හිටියෙ සරනාගත කඳවුරක කියල මට දැනුනෙ නෑ.

හැමෝම අපිට කරුණාවෙන් සැලකුවා.

කඳවුර තිබුනෙ නගරෙන් ඈත පුංචිම පුංචි ගමක.

අපි හිටපු කාමරේ ජනේලෙ ගාවමයි සෙල්ලං පිට්ටනිය තිබුනෙ.

කාබුල් වල වගේ නෙවෙයි.. පිරිමි ලමයි ගෑනු ලමයි ඔක්කොම එකට සෙල්ලම් කරනව.

මේක නම් අමුතුම ලෝකයක්... තාත්ත හිටිය නම් හරියට සතුටුවෙයි .. මට හිතුනා.

"අම්මෙ... මටත් ආසයි ෆුට්බෝල් ගහන්න යන්න."

"උඹට පිස්සුද නංගි... අපි යුරෝපෙ අය නෙවේ.. අපි ඇෆ්ඝන් කෙල්ලො.

අපිට එයාල වගේ වෙන්න බෑ.."

අක්ක කෑ ගැහුව..

BREDA, NETHERLANDS - AUGUST 03: Nadia Nadim of Denmark celebrates after UEFA Women's EURO 2017 Semi-final match between Austria and Denmark at Rat Verlegh Stadion on August 3, 2017 in Breda, Netherlands. (Photo by Brendan Moran - UEFA/UEFA via Getty Images)

"පුතේ... ඔයාට ආසයි නම් ඔයා යන්න... ඔයා නිදහස් ලමයෙක්..

තාත්ත හැමදාම හීන දැක්කෙ ඒකට... අපි මේ තරම් දුරක් ආවෙ ඒ හින්ද නෙවේද.."

ෆුට්බෝලය කියන්නෙ අමුතු දෙයක් නෙවේ මට.

තාත්ත ඉන්න දවස්වල ගේ පිටි පස්සෙ අපි දෙන්න ෆුට්බෝල් සෙල්ලම් කරා..

සීතල.. කොලම කොල පාට තණකොල්ලෙ තිබුනු බෝලෙට මං පයින් පාරක් දුන්නෙ පුදුම සංතෝසෙකින්... ඒ බෝලෙ පිරිමි ලමයින්ගෙ ඔළු උඩින් පියාඹලා ගියා.

එතන ඉඳන් වෙච්ච හැම සිදු වීමක්ම හැමෝම දන්නවනෙ...

ඒ නිසා ඒ ගැන ආයෙ ආයෙ කියන්නෙ මොකටද..?

ඔන්න මං මගේ සුරංගනා කතාව කීව....

මෙහෙම කියල නාදියා හයියෙන් හිනා වුනා.

කවුද මේ කතාව කියන්නෙ.? ඒ තමයි නාදියා නාදිම්...

ඩෙන්මාර්කය මෙතෙක් බිහිකරපු සාර්ථකම පාපන්දු ක්‍රීඩිකාවන්ගෙන් කෙනෙක්.

මේ සාකච්ඡාව ඊයෙ හවස ආර්ටී රූපවාහිනී සේවාවෙ විකාශනය වුනා.

නාදියා ඩෙන්මාර්කයට එද්දි එයාට වයස අවුරුදු එකොලහයි..අවුරුදු දහතුන වෙද්දි නාදියා ඩෙන්මාර්ක කණිශ්ඨ පාපන්දු සංචිතයට සුදුසුකම් ලබනව.

2005 අවුරුද්දෙ ඉඳල නාදියාට ඩෙන්මාර්කය පුරාම තියන විවිධ කණ්ඩායම් වලින් ආරාධනා ලැබෙන්නෙ මේ කෙල්ලගෙ තියන පුදුමාකාර දක්ශතාවය හින්දමයි.

2009 අවුරුද්දෙදි ඩෙන්මාර්ක ජාතික කන්ඩායමට ඇතුල් වෙන මේ ඇෆ්ඝන් කෙල්ල කණ්ඩායමට නැතුවම බැරි ක්‍රීඩිකාවක් වෙනව.

2017 අවුරුද්දේ කාන්තා ලෝක ශූරතා පාපන්දු තරඟාවලිය පැවැත්වෙන්නෙ නෙදර්ලන්තයේදී.

ලෝක ශ්‍රේනිගත කිරීම් වලදි අංක දොලහෙ හිටපු ඩෙන්මාර්ක් කණ්ඩායම අවසන් තරඟයට සුදුසුකම් ලබන්නෙ සත්කාරක නෙදර්ලන්තයට එරෙහිවයි.

මේ තරඟයේදී නාදියා හිටපු ඩෙන්මාර්ක කන්ඩායම පැරදුනත් ලෝකෙ පුරාම ආදරේ දිනාගන්න ඩෙන්මාර්ක් ක්‍රීඩිකාවො සමත් වෙනව.

පිරිමියෙක් වගේ ජවයකින් දුවන... ලස්සන හිනාවක්... ගැඹුරු ඇස් දෙකක් තියන නාදියා ලෝකෙ පුරාම අවධානය දිනා ගන්නව.

මැන්චෙස්ටර් සිටි.. පෝට්ලන්ඩ්.. පැරිස් සෙන්ට් ජර්මේන් වගේ ප්‍රසිද්ධ පාපන්දු සමාජ නියෝජනය කරමින් නාදියා ලෝකෙ වටේ යනව.

හොඳයි... සරණාගත දැරියක් විදිහට ඩෙන්මාර්කයට ඇතුල් වෙලා ලෝක ශූර පාපන්දු ක්‍රීඩිකාවක් වීම ඒ තරම් අළුත් දෙයක් නොවෙන්න පුළුවන්.

නමුත් එයා නිකම්ම නිකම් පාපන්දු ක්‍රීඩිකාවක් විතරක් නෙවෙයි.

ගිය මාසෙ ..ඒ කියන්නෙ ජනවාරි මාසෙදි නාදියා දොස්තර වරියක් විදිහට දිවුරුම් දුන්න.

ෆුට්බෝල් සෙල්ලම් කරමින් ලෝකෙ වටේ යන අතරෙම එයා එයාගෙ ඉගෙනීම් වැඩත් ඒ විදිහටම කරගෙන ගියා.

2017 අවුරුද්දෙ වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වුනු මේ අපූරු තරුණිය මේ සතියෙ තමයි වෛද්‍ය වරියක් විදිහට වැඩ බාර ගන්නෙ.

nadiya 5

අමතක කරන්න බැහැ... දොස්තර කෙනෙක් විදිහට වැඩ බාර ගනිද්දි නාදියාට අවුරුදු තිස් හතරකට කිට්ටුයි.

ඩෙන්මාර්ක් භාශාව නැත්තං ඩැනිශ්... ප්‍රංශ.. ඉංග්‍රීසි... ජර්මන්.. උර්දු .. වගේ භාශා දහයකට ආසන්න ගානක් එයා හසුරුවන්නෙ කිසිම අමාරුවක් නැතුව.

ලෝක දේශපාලනය... සිනමාව.. මළල ක්‍රීඩාව වගේ විවිධ විශයන් ගැන නාදියා විශ්ලේශණ වාර්ථා ඉදිරිපත් කරනව.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්භන්ධ වෙලා යුනිසෙෆ් ආයතනය හරහා යුද්ධ වලින් අනාථ වූ දරුවන් වෙනුවෙන් වැඩමුළු.. දේශණ පවත්වන්න නාදියා එයාගෙ කාලෙ කැප කරනව.

මං ඇෆ්ඝන්ද.. ඩෙන්මාර්ක්ද කියන්න මට තේරෙන්නෙ නෑ. නමුත් මේ දෙකේම එකතුවක් වෙන්න ඇති.

ආගම්.. සංස්කෘතිය... සදාචාරය.. ඉතිහාසය ගැන කතා කරන්න ලෝකෙ ඕනෙ තරම් අය ඉන්නව. ඒව ගැන කතා කරන්න මම කාලය නාස්ති කරන්නෙ නෑ.

මම විශේෂිතයි කියල හෝ වීරයෙක් කියල මම හිතන්නෙත් නෑ.

හැබැයි... කාබුල් නුවර කුස්සියක් මුල්ලට වෙලා උදේ ඉඳන් රෑ වෙනකල් බත් තම්බන්න නම් මම සූදානම් නෑ.

මට වඩා දක්ශ පොඩි වුන් ඒ පැත්තෙ දාස් ගාණක් ඉන්නව.

සමහර විට මගේ කතාව ඒ අයට පොඩි හයියක් වේවි.

නාදියා මෙහෙම කියල සාකච්ඡාව ඉවර කරා.

හැමෝටම නාදියා වගේ වෙන්න කියල නෙවේ එයා අපිට කියන්නෙ.

හැමෝටම තමන්ගෙ රට ඇතෑරල ඇමරිකාවට හෝ යුරෝපෙට යන්න කියලත් නෙවේ එයා කියන්නෙ.

කහටගස් දිගිලියේ දුලානිටත්... මැදගම ශ්‍රියානිටත්... මුදුකටුවේ ලොරේටාටත් මේ වගේ හීන තියෙන්න පුළුවන්.

ලෝකෙ දිනන්නෙ නැති වුනත්.. ඒ අයට පුළුවන් ඒ අයගෙ ජීවිතේ දිනන්න.

ඒ හීන ලොකු බාප්පවත්... පොඩි මාමවත්.. සුදු නැන්දවත් හදල දෙන හීන විය යුතු නෑ.

හැමෝටම පුළුවන් තමංගෙ හීන වෙනුවෙන් සටන් කරන්න... ඒ වෙනුවෙන් ජීවත් වෙන්න.

ඒ සටන කරන්නෙ තමංගෙ මුළු ශක්තියෙන්ම නම්... ආසාවෙන් නම් ,නාදියා වගේ තව සිය දාස් ගානක් බිහි වෙන්න ඉඩ කඩ තියනව.

ගහකට නගින්න එපා.. බයිසිකලයක් පදින්න එපා.. හයියෙන් හිනා වෙන්න එපා... කියල අපි නීති දාන්නෙ නාදියාලට නෙවේද..?

අපේ සංස්කෘතිය කියල බමුණු මත වලින් බඳින්නෙ මේ වගේ අපූරු ගෑණු දරුවන්ව නෙවේද.?

මේ සුරංගනා කතා නෙවේ... අපේම කාලෙ අපේම ලෝකෙ ඇත්ත කතංදර.

ඇලිස් සහ හා බෙනේ.. සින්ඩරෙල්ලා... උන්මාද චිත්‍රා.. රාධා ක්‍රිශ්ණා.. කතා පැත්තකින් තියල ඇත්ත මිනිසුන්ගෙ කතන්දර කියවන්න කාලෙ හරි කියල නෙවේද මේ වගේ කතංදර අපිට මතක් කරල දෙන්නෙ.

නාදියා නාදිම් ... ස්තුතියි.

@Malcolm Sang..

නවතම ලිපි