“මළගිය ඇත්තෝ”

(මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්ර)


“ඔබට බෑ නවතින්න මා ලඟ
යා යුතුයි හෙට ජීවිතේ සොයලා
කෝපි හල් මග බලාගෙන ඇති
යන්න ඒ වෙත මගේ මතකය
අතීතෙට පවරා…”
(නොරිකො සං නිදියන්න/ ගායනය- අමල් පෙරේරා)

noriko 8

කථාවක් නම් පිරිපුන් රටාවකින් යුතුව ගොතා හමාර කළ යුතුය. ඔව්. සැබැවින්ම එය එසේම විය යුතුයි.සාහිත්යමය නිර්මාණයක් යනු එයයි.සාහිත්ය යනු යුක්ත බවයි. යම් කිසි දෙයක් රසයකින් යුක්ත වන්නේ නම් එය සාහිත්යය නම් වේ.සාහිත්ය නිර්මාණයකින් මිනිස් සිත ආමන්ත්රණය කිරීමේ හැකියාව ප්රබලය.ඒ බව වඩාත් හොඳින් සඵල වන සාහිත්ය කෘතියක් ලෙසින් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්රයන්ගේ “මළගිය ඇත්තෝ ” පෙන්වාදිය හැකිය.එය ශ්රී ලාංකේය සාහිත්ය වංශ කතාවේ ඉතාමත් සාර්ථක සේම අපූරු සලකුණකි.


නිර්මාණයකින් පාඨකයාගේ චිත්ත සන්තානයට කොතරම් සියුම් ලෙස ආමන්ත්රණය කළ හැකිද යන්න සපථ කළා වූ අපූරු කාව්යමය නවකතාව වන්නේ ද මළගිය ඇත්තෝ ය.නිර්මාණයකින් පුද්ගල චිත්ත ස්වභාවය සහ සංස්කෘතික සමාජමය අර්ථකථනයන් සියුම් ලෙස චිත්රණය කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳව සඵල කලාවූ අපූරු කාව්යමය භාෂා රටාවකින් අනූන වූ නවකතාවක් වේ නම් ඒ ද මළගිය ඇත්තෝම ය. එනයින් එය සාහිත්යයේ කඩඉම් ළකුණයි.එසේම එය මිනිස් ජීවිතය පිළිබඳ හෙළිකරන දාර්ශනික ප්රවේශයක් ලෙසද හැඳින්විය හැකිය.
ප්රේමය , ජීවිතය , සමාජය ,සංස්කෘතික,මානව සම්බන්ධතාවයන් මේ සියල්ල පිළිබඳව ගැඹුරු අන්තයක් මළගිය ඇත්තෝ පාඨක දෑස් අභිමුව තබයි. එය එසේම දකින්නා බොහෝ දේ තේරුම් ගනු ඇත.

noriko 3

නොස්ටැල්ජික් මතක මතින් කතාව ගලායයි. ඒ තුළ ජීවිතය විග්රහ කරන්නේ මෙසේය.

“ජීවිතය වියා හමාර කළ නොහැකිව එතැනින් මෙතැනින් එල්ලෙන පත් ඉරුවලින් හැඩ වූ මුල්ලකට දමා තිබෙන පැදුරු කෑල්ලකට සමානය ….”


සැබැවින්ම ජීවිතය එසේද? මේ සියල්ල අපිට කියාදෙන්නේ දෙවෙන්දොරා සං ය. හෙතෙම තම ආත්ම කථනය සිදුකරමින් අතීත විග්රහයක නිරත වේ. සියල්ල අප වටහා ගන්නේ ඔහුගේ ආත්ම කථනය ඇසුරිනි.එහිදී අපට නොරිකෝ හමුවේ. ඇය සමග ඔහු තුළ වූ ප්රේමය අතර අප අදටත් සැරිසරයි. එය ඉතා සංවේදී මෙන්ම සෞන්දර්යාත්මක වියමනකි. ජපාන සංස්කෘතිය, ජපාන සුන්දරත්වය මෙන්ම මානව බැඳීමහි සංකීර්ණතාවය සහ ප්රේමය කෙරෙහි ඒ සියල්ලක බලපෑම පුදුමාකාර බව අපට ඒත්තු ගැන්වෙන්නේ ඉන් අනතුරුවය. පාඨකයා ප්රාර්ථනා කරන්නේ දෙවෙන්දොරා සහ නොරිකො එකට එක්විය යුතු බව ය. විවාහ විය යුතු බව ය. දරුවන් වැදිය යුතු බව ය. නමුත් සැබෑ ජීවිතයේ දී අප ප්රාර්ථනා කරන එවැනි කරුණු කාරණා එලෙසම සඵල වන්නේ නැති බව මළගිය ඇත්තෝ ඔස්සේ වඩාත් සාධාරණව සහ විශ්වාසනීයත්වය සහිත ලෙස නිරූපණය කිරීමට මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්රයන් සාර්ථක වී ඇත. සත්ය ලෝකයේදී විවාහය සහ ප්රේමය සදහා බලපාන සමාජ සංස්කෘතික ප්රතිවිරෝධතාවයන් සහ පරස්පරතාවයන් මෙහිදී සාර්ථකව නිරූපිත වේ.විටෙක එය රිදුම් දේ. විටෙක එය සත්ය නොසඟවා පෙන්වා දේ.


සියල්ල අපූරු ය. ලියමන මේ තරම් රසවත් වුයේ ඒ නිසාමය.පාඨකයෙකුට වඩාත් වැඩි බලපෑමක් කල හැක්කේ භාෂාවකිනි.සරත්චන්ද්රයන් එහි නොමැකෙන සළකුණක් මෙම කෘතියෙහි කාව්යාත්මකව රූපණය ඔස්සේ තබා හමාරය. එය එදාටත් අදටත් හෙටටත් වලංගුය. අදින් තව බොහෝ වසරකුත් එබැවින් නොරිකෝ දෙවෙන්දොරා ගැන සංවාද ගොඩනැගෙනු නියතය.

noriko 7

සිවුරු හරින ලද තරුණයෙකු ලෙස ජපානයේදී දෙවෙන්දොරා සං ට තනි වීමට සිදුවේ. ඒ ජීවිතය තුළ ඔහුට දැනෙන හුදෙකලාව මකා ගැනීම පිණිස “මිදොරි” නැමැති අවන්හලට යෑමට සහ රාත්රී කාලයේ වීදි දිගේ ඇවිදීමට ඔහු පුරුදු වී සිටී. මේ කාලවකවානුවේ දෙවෙන්දොරාට නොරිකො මුණගැසෙන්නේ “මිදොරි” අවන්හලේදී වේ. ඉන් අනතුරුව ඔවුන් අතර ඇති වන්නා වූ කුළුපඟභාවය හේතුවෙන් කබුකි බැලීමට සහ ජපානය පුරා ඇවිදීමට පුරුද්දක් ඔවුන් දෙදෙනා ඇතිකර ගනී. මෙම සමීප සම්බන්ධතාවය කාලයාගේ ඇවෑමෙන් ප්රේමයක් බවට පත්වන ළකුණු පාඨක දෑස් අද්දර සියුම්ව වැඩේ. දෙවෙන්දොරා නොරිකො බැලීම සඳහා ඇයගේ නිවසට යාමට මෙන්ම නොරිකොද දෙවෙන්දොරා බැලීම පිණිස ඔහු සිටිනා නිවසට පැමිණ එහිදී ආහාර පිස, ගේදොර අස්පස් කර දීම වැනි සියලු කාර්යයන් කර දීමට ද අතපසු නොකරයි. මෙම සම්බන්ධතාවය කෙතරම් සමීප වුවද දෙදෙනා අතර කායික සම්බන්ධතාවයක් ඇතිවන ලකුණක් කතුවරයා කිසිදු තැනක සඳහන් කරන්නේ නැත. ඊට ලාංකේය සංස්කෘතික හා ජපන් සංස්කෘතික හික්මවීම මෙන්ම දෙවෙන්දොරා සං කාලයකට පෙර මහණදම් පිරූ අයෙකු වීම ද බලපෑවා විය හැකි යැයි සිතිය හැකිය. කෙසේ නමුත් මොවුන් දෙදෙනා දන්නා එක් නියත කරුණක් වේ.එනම් කෙදිනක හෝ ඔවුනට වෙන්වී යාමට සිදුවන බවය.

“ඔබට බෑ වැලපෙන්න දින දින
කාලයේ රුදු අණසකට පිටුපා
කබුකි රංගන අලුත් වී ඇත
යන්න ඒ වෙත මගේ සෝ බර
කරළියෙන් බැහැලා …..”
(නොරිකො සං නිදියන්න/ ගායනය අමල් පෙරේරා)

එම කරුණ නොරිකෝටත් වඩා හොඳාකාරවම දන්නේ දෙවෙන්දොරා ය.

noriko 5

“අප ගත කළේ සැබෑ ජීවිතයක් නොව. සිහිනයකි. ඒ සිහිනයෙන් අවදි වන්නට අපට කවදා නමුත් සිදුවේ..”

නොරිකො සහ ඔහු අතර පවතින සම්බන්ධතාවයේ කෙළවර ඔහුට හෝ ඇයට දුක් සමුදායක් අත්පත් කර දෙන්නක් බව දෙවෙන්දොරා හැඳින ගත්තද එය එසේ නොවනු පිණිස කිසියම් පිළියමක් යෙදීමට කිසිදු උත්සාහයක් හෙතෙම නොගන්නේ ය. අවිනිශ්චිතභාවය පිළිබඳ තතු නිරන්තරයෙන් ඔහු පවසන නමුත් ඒ කිසිවක් සඳහා නිශ්චිත පිළිතුරක් ඔහුට ඇත්තේ ද නැත. දෙවෙන්දොරාගේ මේ ගති ලක්ෂණ හේතුවෙන් ඔහු නිශ්ක්රීය චරිතයක්ව පෙනේ.නිරන්තරයෙන් සුබදායක නොවන ලකුණු දෙදෙනාගේ සම්බන්ධතාවය තුළින් දකී.


“මා නොරිකො සමග යන එන විට, මිනිසුන් අප දෙස අමුතු සැලකිල්ලකින් බලන්ට පටන් ගත්තේ මෑතක දී ද, නැතහොත් ඒ බව මට මුලදී නොපෙනුණේද? කොතනකට ගියත් නොබෝ වේලාවකින් අප බොහෝ දෙනෙකුගේ දෘෂ්ටියට ගොදුරුවන බව මට දැනෙන්ට විය. අප කිසිවක් ගැන කතා බහ කරමින් සිටියොත් ඔව්හු නොපැකිළීම ඊට කන්දීගෙන සිටිති. ඇතැමුන් උනුන් අතර අප ගැන කිසිවක් දොඩන බව මට පෙනේ…” – (පි.52)

 

noriko 4

 

නොරිකෝද මෙවැනි දෑ අත්විදී. ඇයට අනුව ඒ සංස්කෘතික වෙනසකි. නොරිකෝගේ කියමන් තුළින් එකී නොගැලපීම පාඨකයාද හැඳින ගන්නේ එලෙසමය.

”එදා මතකද අපි ඉනොකෂිරා උයනට ගිය වේලෙ, අපි හිටිය නේද අර තමගවා ජෝසු කියන ඇල කාණුව ගාව? දසයි ඔසමු දිවිනසා ගත්ත තැන? ඒක බලලා යනකොට මතක ඇද්ද දන්නෙ නෑ පිටි පස්සෙ බිම වාඩිවෙලා හිටියා තරුණ ජෝඩුවක්. ඒ ගොල්ලො හිනාවෙවී මට පං පං කිව්වා. පං පං කියන්නෙ, යුද්ධ කාලෙ, හේවායන් එක්ක නරකට හැසුරුණු ගෑනුන්ටයි. මට හරියට දුක හිතුණ ඒක අහලා.”
(පිටු 57-58)


දෙදෙනාගේ සම්බන්ධතාවයට සංස්කෘතික මෙන්ම තවත් බොහෝ කරුණු කාරණා බාධාවක් වන බව මෙනයින් පාඨකයාට වැටහේ. නමුත් ඒ සියල්ලකට පැහැදිලි පිළිතුරක් ලබාදීමට හැකියාවක් තිබුණා නම් කෙතරම් අපූරුද?දෙවෙන්දොරා අවිනිශ්චිත පුද්ගලයකු බැවින් එවැන්නක් අපට බලාපොරොත්තු විය නොහැකි බව ඔහු විසින්ම පවසන බොහෝ දෑ දෑ තුළින් අපටම ප්රත්යක්ෂ වේ.මේ සියල්ල ඉතා සංවේදීව ගලායයි.
පාඨකයාට මැවෙන සොඳුරු ජපානය

එදිරිවීර සරච්චන්ද්රයන් නොරිකෝගේ සහ දෙවෙන්දොරාගේ නොකී ආදර කතාව මගින් ඉතා සියුම්ව මෙන්ම අපූරුවට පාඨකයාව ජපාන සංචාරයක රැගෙන යයි. ජපානයේ සංස්කෘතිය ජපානයේ ජන ජීවිතය සහ ඔවුන්ගේ ආකල්ප වැනි සියල්ල පිළිබඳව ඉතා පැහැදිලි සහ අපූරු අත්දැකීමක් පාඨකයාට ඉන් ළඟා කර ගැනීමට ඉඩ ලැබේ. එබැවින් ඒ සියල්ලක් ඔස්සේ ජපනුන්ගේ ඇවතුම් පැවතුම් නාට්යමය ආකාරයෙන් මැවී පෙනේ. එය අපූරු අත්දැකීමකි.


“එරටට පැමිණි මට වහාම හැඟුණේ, බැලූ බැලූ අත විවිධ වර්ණයෙන් දෑස පිනවන වෙන රටක් මා දැක නැති බවය. ගිනිපෙට්ටිය, තේ කෝප්පය වැනි, තමා පාවිච්චි කරන සෑම කුඩා දෙයකට ම අපූරු හැඩයක් දමා විචිත‍්ර වර්ණයක් කවා සෞන්දර්යයෙන් වටවී ජීවත්වීම ජපනුන් අගය කරන පරමාර්ථයක් බව මට පෙනුණි. සෞන්දර්යයෙන් යුත් පරිසරයක විසීම සිතැඟි සමථ කිරීමෙහිලා කෙතරම් උපයෝගී වන්නක් ද? කඩයකට සාප්පුවකට ගිය ද බොජුන් හලකට, අවන් හලකට ගිය ද සීරුවට නිර්මාණය කරන ලද කිසියම් සෞන්දර්යයකින් ඉන්ද්රියෝ පිබිදෙති. යන්ත‍්රයේ උපකාරයෙන් කෙරෙන නීරස ජීවිතයට වුවද ඔව්හු රසයක් ඇතුළත් කරති, පැහැපත් වර්ණයන් කවා වානයේ බීරෑණි ගතිය පහකර දමති. සිත් පිත් නැති යන්ත‍්රය තුළ ඔවුහු මනුෂ්ය හෘදයක් තැන්පත් කරති. කෙතරම් යන්ත‍්ර පාවිච්චි කළත් තමා ගනුදෙනු කරන්නේ මැෂින් සමග නොව මනුෂ්යයන් සමගය යන හැඟීම කෙනෙකුට ඇති වේ.”


”ජපානයේ පාරම්පරික ශිෂ්ටාචාරයේ බර තාම උසුලාගෙන යන්නේ ස්තී‍්රන්යයි මට හැඟී ගියේය. පැරණි කවීන් කියූ පරිදි සියුමැලි යනගි1 අත්ත මෙන් නැවී ඔව්හු කෙතරම් ලාලිත්යයකින් ඒ බර උසුලත්ද? ඔවුන් කතාබහ කරන ලීලාවෙහි, තේ කෝප්පයක්, බත් බඳුනක් අතට ගන්නා සැටියෙහි, මේ ශිෂ්ටාචාරය පිළිබිඹු වී පෙනේ. ඒ මේ අත තල්ලූ කරමින් නගින බහින සෙනග අස්සේ නොකැළඹී තම කටයුතු කරන, බටහිර ඇඳුමෙන් සැරසීගත් බස් සේවිකාවගේද, යන එන්නන් පිළිගනිමින් ඔවුන්ට ස්තුති කරමින් කඩයෙහි බඩු විකුණන වෙළෙන්ඳියගේ ද ගෙදොර දොර බලා ගන්නා ගෘහණිය ගේ ද නානා වර්ණ කූරුවලින් අලංකාර කරන ලද උස් කොණ්ඩයකින් හා පිටෙහි වැහූ විශාල සමනලයෙකුගේ හැඩයට බඳින ලද ඇඟ බඳනින් ද සැරසී අමුත්තන්ට සංග‍්රහ කරන ගේෂා ස්ති‍්රයගේද සෑම ඉරියව්වකම පාරම්පරික අභ්යාසයක ලකුණු කැපී පෙනෙයි. සෑම ඉරියව්වකම පරමාර්ථය අක්ෂිගෝචර හැඩයක් මවා පෑමයි.”
(9-10 පිටු.)


ප්‍රේමය සහ මළගිය ඇත්තෝ

නොරිකෝ දෙවෙන්දොරා අප්රකාශිත කතාව ප්රේමය පිළිබඳව අපූරු පැතිකඩක විවරණයක් ලෙස කැපී පෙනේ. ලබා ගැනීම, නතු කරගැනීම ,හිමිකාරීත්වය දැරීමේ වරප්රසාදය ප්රේමයක කෙලවර නොවන බව ඉගැන්වූ අපූරුතම කෘතියක් ලෙසින් මළගිය ඇත්තෝ කැපීපෙනේ. මේ හේතුව නිසාම නොරිකො දෙවෙන්දොරා අපේ ජීවිත වල ලොකු ඉඩකඩක් අත්පත් කර ගත් චරිත බවට පත් වී තිබේ. ඒ විතරක් නොවෙයි ඔවුන්ගේ ජීවිතවලින් අප නොදුටු ලෝකයක් අපට අත් විඳ ගැනීමේ වාසනාවද උදාවී තිබේ. කොහොම නමුත් අපි තවදුරටත් විශ්වාස කල යුතුයි වර්ෂ 1959 දී රචිත කෘතියක් මේ තරම් පාඨකයාට සබැඳි වන්නේ කෙසේද ඉදිරියටත් එය එසේ වන්නට ඉඩ ඇති බව. ඒ වගේම සරච්චන්ද්රයන් විසින් ගෙත්තම් කර ඇති නොරිකො සහ දෙවෙන්දොරා යන ප්රධානතම චරිත වල දැකිය හැකි සියුම් ගුණය හේතුවෙන් එහි රසය සදාතනිකව ඉතිරි වනු ඇති බව. අවසන් වශයෙන් සටහන් තැබිය යුතු කාරණාව වන්නේ මළගිය ඇත්තෝ සිංහල සාහිත්යයට එක් වූ තවත් එක් කෘතියක් නොවන බවයි. එය අනාගතයේත් මෙලෙසින්ම සාකච්ඡාවට ලක් වනු ඇත. පාඨකයින් අතට පත්වනු ඇත. එහි පිටපත් මුද්රණය වනු ඇත. මිනිසුන් තවදුරටත් එය විඳිනු ඇත. කියවනු ඇත. එම චරිතවල ජීවත් වනු ඇත. ඊට හේතුව නම් ඒ මිනිසුන්ගේ ජීවිතවලට පාඩම් උගන්වන කෘතියක් වීමයි. කෙතරම් දුෂ්කරතා මධ්යයේ වුවත් මනුස්සයෙකුට නොවෙනස්ව ආදරය කිරීමට ඉගැන්වූ චරිතයක් ලෙසින් නොරිකෝ මතකයේ රැදෙනු ඇත.සංකීර්ණ මානව බැඳීම් වල නොයෙක් පැතිකඩ පිළිබඳ පාඩම් කියාදුන් චරිතයක් ලෙස දෙවෙන්දොරා ද මතකයේ ඉඩක් ගනු ඇත.

“යන්න එපා දෙවෙන්දොරා සං
යනවනං ඔයාගේ සිරුරේ සුවඳ මේ ඇඳුම් වල සුවඳ තියලා යන්න.

නවතම ලිපි