ඩෙස්මන් ඩි සිල්වා, "පොල් කටු හැන්දෙ මිට වගේ රූබර ඇගේ ආදරේ", සින්දුවෙ මෙහෙම කියනවා.

ඇත්ත කතාවක් සිදුවුන කොළඹ පුරවරේ,

බෝයි වැඩට කොලු පැටියෙක් ආ කතන්දරේ.

ලස්සන නෝනගේ බේබිව එල්ලගෙන කරේ,

පුංචි එකා නළවනවා බැහැ කරච්චලේ.

බේබි අඬනවා බේබිගෙ මමී රවනවා,

බෝයි අඬනවා ගමට යන්න හදනවා.

පොඩි එකාව නලව ගන්න මෙහෙම හිතනවා,

එපා බේබි හඬන්න මම සින්දු කියනවා,

ඩෙස්මන්ම, සිංදුව ගැන ගැන පැහැදිලි කරනවා. එය ප්‍රබන්ධයක් වුනත් නැතත් කතාව මෙයයි. ඒ කාලෙ, කොළඹ ගෙවල්වල වැඩට සේවකයෝ ගේනවා කඳුකරයට ගිහිල්ලා. මේ සේවකයා ළමයෙක්.

එදා වගේම අද දිනත්, සින්දුව අහල අපිට නටන්න පුලුවන්. හැබැයි ළමා මෙහෙකාර සේවයක් ගැන සින්දු කියලා නටනකොට පොඩි වරදකාරී හැඟීමක් ඇති වෙන්නත් පුළුවන්.

ප්‍රශ්නය කෙළින්ම ඇහුවොත් අද දින මේ සින්දුව අපි ප්‍රතික්ෂේප කළ යුතුද?

මෙයට ඔව් හෝ නෑ කියා කෙටි පිළිතුරක් නැහැ.

මානව ශිෂ්ටාචාරය, පුරාණ යුගයේ සිට අද දක්වා නොනැවතී දියුණු වෙනවා. පසුගාමී කාල පරිච්ඡේද තිබුනත් සමස්තයක් ලෙස දියුණු වන්නේ මානව යහපත සඳහා. නමුත් අප අමතක කරන්න හොඳ නෑ, අපගේ අද දින සංවර්ධිත දෘෂ්ටිවාදය පැමිණියේ කොහෙන්ද කියලා.

marlon 3

එය පැමිනෙන්නේ අතීතයේ සිට නොකඩවා වෙනස් වෙමින්. ඕනෑම යුගයක පිළිගත් අදහස් පද්ධති පවතිනවා. ඒවා, මත ගැටුම් වලට ලක්වී වෙනස් වෙනවා. ග්‍රීසියේ සුප්‍රසිද්ධ දාර්ශනිකයා වන ප්ලේටෝ එකල වූ වහල් සේවය ගැන කිසිත් ලියා නැහැ. ඔහුට, වහල්ලුද මිනිසුන් කියා අමතක උනාද යැයි කෙනෙකුට ප්‍රශ්නයක් ඇසිය හැකියි. පිළිතුර නම් එකල බොහෝවිට වහල් සේවය සාමාන්‍ය දෙයක් ලෙස හැඳින්වන්නට ඇති. නමුත් අද දින වහල් සේවය අපට පිළිගන්නට බැහැ.

ශිෂ්ටාචාරය දියුණුව සමඟ යම් අදහස් ප්‍රතික්ෂේප වෙනවා. අලුත් අදහස් ඇති වෙනවා. මතවාද වල ඝට්ටනයෙන් නව දෘෂ්ටිවාද හැදෙනවා. මෙයට දයලෙක්තික ඝට්ටනය කිව්වත් ගැටලුවක් නැහැ.

ළමා මෙහෙකාර සේවය පළමු වරට තහනම් කලේ චන්ද්‍රිකා ජනාධිපති වූ කාලයේ කියා, අද දින හිතන්නවත් බැහැ. ඇයි එච්චර කාලයක් ගියේ? ළමා මෙහෙකාර සේවය නරකයි කියන එක අද දින යුනිවර්සල් හෙවත් විශ්වීය අදහස.

දියුණු යයි සම්මත ස්විස්ටර්ලන්තයෙහි 1971 දී තමයි කාන්තාවන්ට ඡන්ද අයිතිය හම්බුනේ. එච්චර කාලයක් ගියාද ගැහැනුන්ට ඡන්ද අයිතිය දෙන්න? කාන්තාවන්ට ඡන්ද අයිතියක් නැති රටක් ගැන අද දින හිතන්නවත් බැහැ.

අප වර්තමාන දෘෂ්ටිවාදයකින් අතීතයේ වූ සිදුවීම් විවේචනය කරන විට අප මෙය මතක තබා ගත යුතුයි. පෙර අදහස් වල වරද ඇතිවන්නේ Retroactively ය. එනම් කාලයාගේ ඇවෑමෙන් ඒවා වරදක් බවට පත්වෙයි. එකල එම අදහස් සමාජයේ විවේචනයට බඳුන් නොවී තිබුනා වෙන්නටත් පුළුවනි.

යම් කලා කෘති විසින් එම කාල වකවානු වල පැතිකඩ නිරූපණය කරනවා. ගීතය, චිත්‍රය, ග්‍රන්ථය, නාට්‍යය, සිනමා පටය ආදියෙන් ඒ ඒ යුගවල පිළිගැනුණු දෘෂ්ටිවාද, හා පිළිගත් සම්මත අදහස් අපට හෙළි කරනවා. එම අර්ථයෙන් මෙවැනි ගීත ප්‍රතික්ෂේප කරන්න බැහැ.

තවද යමෙකුට ගීතයෙන් වරදකාරී හැඟීමක් ඇති වෙනවා නම් එය අහන එක නවත්තන්න පුළුවන්. පද මාලාව ගැන කිසිදු උවමනාවක් නැතුව රිද්මයට නටන්න කැමති කෙනකුට එහෙම කරන්නත් පුළුවන්.

marlon 4

විශාරද ගුණදාස කපුගේ

තව ගීත නිර්මාණ තියෙනවා යුගයේ දෘෂ්ටි වාදයෙන් පවා ප්‍රතික්ෂේප වීමට ලක් විය යුතු, නමුත් එසේ නොවුන. මේ ලංකාවේ ප්‍රසිද්ධ වුණු ශිරෝමි ප්‍රනාන්දු ගායනා කළ සකල බුජන් ළමා ගීතය එවැන්නක්.

සකල බුජං කොට කලිසම් තමයි අඳින්නේ.

වතුපිටිවල ගෙදර දොරේ වැඩ කර දෙන්නේ.

සකල බුජන් අහිංසකයි.

අහිංසකයි උනාට හරිම කඩිසරයි.

සකල බුජො වතුර ගෙනෙන් අම්මා කියන්නේ.

සකල බුජො අතුගාපන් අක්කා කියන්නේ.

වයස අටයි පොඩි කොල්ලා,

පොඩි කොල්ලා උනාට වැඩට දක්ෂයා.

පොල් කඩන්න පොල් ගාන්න හරිම සූරයා,

වත්ත පහළ කටුස්න්ගෙ එකම මාරයා.

අම්මා නැති අප්පා නැති,

පොඩි කාලේ ඉඳලම අපේ ගෙදරමයි.

ගොරවන කොට හරිම බයයි කන් වසා ගනියි.

ඒත් ගොරව ගොරව රෑට ඔහු නිදා ගනියි.

වලං පිහන් හෝදනවා.

අපේ ලිදෙන් වතුර අදිනවා.

ශිෂ්ටත්වයට පත්වූ කථානායකයෙකු විසින්, වන සිව්පාවෙකුට මෙන් අනුකම්පාවකින්ය මෙය කියන්නේ. ළමයා වන සිවුපාවෙක් මෙන් වී ඇත. ළමා ශ්‍රමය උත්කර්ෂයට නැගී ඇත. සිංදුවට පාදක වූයේ ඇත්තක් නම් මේ ළමයා ඉස්කෝලේ වත් යැව්වාද යැයි දන්නේ නැහැ. යමෙකුට මේ ගීතයට පවා සංගීත රිද්මය පමණක් සලකා, නටන්නට ගයන්නට පුළුවන්. නමුත් අපට පෙනෙන එහි එකම වටිනාකම නම් ශ්‍රී ලංකාවේ සමාජයීය තත්ත්වයක් පිළිබඳ යුගයක හෙළිදරව්ව පමණි.

marlon 2

ඩෙස්මන් ද සිල්වා

වර්තමාන දෘෂ්ටිවාදයෙන් අතීතය නිරීක්ෂණය කරනා විට, එතරම් හොඳ නැතැයි සිතන කලා කෘති ඕනෑතරම් තිබෙනවා.

උදාහරණයට කපුගේ මෙහෙම සිංදුවක් කියනවා.

ඔබ පෙම් කරනා ඔබේ කුමාරී

ඔබට ආදරේ කියනා අයුරින්

පෙර දවසක මා පෙම් කරනා සඳ

මටද ආදරේ කියා තිබේ //

සාගර වෙරළේ සොඳුරු සෑඳෑවක

රඟ හල කෙළවර අඳුරු නිමේෂක

අද ඔබ ළඟ ඔබ සනසාලන ඈ

පෙර දවසක මා තුරුළට වී හිඳ

මටද ආදරේ කියා තිබේ.

සක්මන් මලුවක දෙපා ගෙවෙද්දී

දොඩමළු පෙම්බස් ගොළුවී යද්දී

මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ

සනහස සඟවා දෙනෙත නුරාවෙන්

මටද ආදරේ කියා තිබේ

ඔබ පෙම් කරනා.

අපට මේ ගීතය ගැනද ප්‍රශ්න කිහිපයක් ඇසිය හැකියි. ලිංගික ඊර්ෂ්‍යාව යනු තම සහකාරිය/සහකරු වෙනකෙකු ළඟට යනවා දැකීමට ඇති නොකැමැත්තයි.

මේ ගීතයේ පැහැදිලිව පෙනෙන්නේ ලිංගික ඊර්ෂ්‍යාව නොවේද? ගැහැනියකට, වඩා හොඳ පිරිමියෙක් ලඟට යෑමට නොහැකිද? වෙන කෙනෙකු සමග ලිංගික කාර්යය කිරීමට නොහැකිද? ගැහැණියට පිරිමියා ගැනත් මෙහෙම සිංදුවක් කිවිය නොහැකිද?

මෙවැනි ප්‍රශ්න කිරීම් හමුවේ වර්තමාන දෘෂ්ටිවාදයෙන් මේ ගීතය ප්‍රතික්ෂේප වීමට හැකි ඉඩකඩ වැඩිය.

නමුත් ගීතයේ පෙනෙන එක හොඳක් වන්නේ, අව්‍යාජ මිනිස් සිතුවිලි පද රචනයට යොදාගෙන ඇති බවයි. එනම් ලිංගික ඊර්ෂ්‍යාව යනු, සත්‍යය මානව සිතුවිල්ලකි. එය පැමිණෙන්නේ පරිණාමය සමගය.

මිනිසා ශිෂ්ඨාචාර ගත වන විට අපගේ දෘෂ්ටිවාදයන්ද සංවර්ධනය වන බව කීවා. මේවා පුද්ගලයාට ඇතුළු වන්නේ සවිඥානකව පමණක් නොව අවිඥානකවය. ළමා ශ්‍රමයක් ගැන සින්දුවක් කියනා විට, අපට එක විටම වරදකාරී හැඟීමක් එන්නේ එම නිසාය. ගැහැනිය වස්තුවක් බවට පත්කර ගීතයක් කියනා විට, එය හොද මදි බව එකවරම අපට සිතෙන්නේද එම අවිඥානක සිතුවිලි එකවර මතු වන නිසාය. එය නරක දෙයක් ලෙස අපට ගැනීමට නොහැක. ශිෂ්ටාචාරය තව තවත් වර්ධනය විය යුතුය. අනාගත යුගයක සිට මිනිසුන් අප කල වැරදිද අපට පෙන්වා දෙනු ඇත.

නවතම ලිපි