ශ්‍රි ලංකවේ වාමාංශික ව්‍යාපාරය මුල්කරගත් හා මුලික මාක්ස්වාදී දෘෂ්ටිවාදය තේමා කරගත් නවකතාවක් ලෙස

ආනන්ද ගුණතිලක විසින් ලියන ලද “සිසිලාග්නි” නවකතාව හැඳින්විය හැකිය. ඒ අනුව මේ නවකතාව පිළිබදව දේශපාලන දෘෂ්ඨිවාදය පදනම් වූ අදහසක් ඉදිරිපත් කිරීම සුදුසු යැයි සිතමි.

අවන්ත නම් වූ තරුණයකු හා බැඳි කථාවකින් සිසිලාග්නිය ගොඩනැගී තිබේ. අවන්තගේ චරිතයේ සිට 1971 තරුණ අරගලය නම් වූ සිද්ධිය මූලාශ්‍ර කරමින් කතුවරයා මීට වසර පනහකට පමණ පෙර ලංකාවේ සමාජ , ආර්ථික , දේශපාලන සන්ධර්භය නවකතාවක ස්වරූපයෙන් සාකච්චාවට ලක්කරන්නේය. ලංකාවේ වමේ ව්‍යාපාරයේ ඉතිහාසය 1930 දශකය තරම් ඈත අතීතයකට දිවයන්නේය. 1927 දී සිය උසස් අධ්‍යාපන කටයුතු අවසනව ලංකාවට පැමිණි පිලිප් ගුණවර්ධන සහ එස්.ඒ.වික්‍රමසිංහ ලංකාවේ වමේ ව්‍යාපාරයේ මුලික අඩිතාලම සකස් කලේය.

ගිනි 1

 

1931 ඩොනමෝර් ප්‍රතිසංස්කරණයෙන් පිහිටවනු ලැබු රාජ්‍ය මන්ත්‍රණ සභාවට මොරවක ආසනය නියෝජනය කරමින් ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස පත්වන එස්.ඒ.වික්‍රමසිංහ මෙරට ප්‍රථම වාමාංශික මන්ත්‍රීවරයාය. එතැන් සිට වර්ථමාන පාර්ලිමේන්තුවේ අනුර කුමාර දිසානායක දක්වා වාමාංශික දේශපාලන මතය නියෝජනයකල මන්ත්‍රීවරුන් විවිධ අවස්ථාවන්හි මහජන මන්ත්‍රණ සභාවන්ට පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබේ.

ලංකාවේ වමේ ව්‍යාපාරය ආරම්භයේ දී , පාර්ලිමේන්තු ආගමනය අරමුණුකර නොගත් බව සැබෑය. නමුත් 1960 දශකය වන විටම මෙරට වමේ පක්ෂ ප්‍රථම වරට සභාග දේශපාලනය බෞතිස්ම කිරීම එහි දිගුකාලීන කඩා වැටීමේ මුල් පියවර සටහන් කලේය. මෙරට සාම්ප්‍රදායික වමේ ව්‍යාපාරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග මධ්‍යගත පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ දේශපාලනයට ඇතුලත් වීමත් සමග සිය දේශපාලන ගමන් මගේ අවසානයක ආරම්භය වැලදගනු ලැබුණි. ලංකා සමසමාජ පක්ෂයත් ලංකා කොමියුනිට්ස් පක්ෂයත් අද සිය දේශපාලන ගමන්මගේ බුක්ති විදින්නේ එදා ගනු ලැබූ තාර්කික නොවන දේශපාලන තීරණයන්හි ප්‍රතිඵලයි. සභාග දේශපාලනයේ සිට ලංකාවේ වමේ ව්‍යාපාරට ඇවැසි වූයේ ධනේශ්වර ආණ්ඩු සමග බලයේ පංගුකාරීත්වය පවත්වාගෙන යෑමය. විප්ලවීය ජයග්‍රහණය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ වලින් දිනා ගැනීම 1960 න් පසු ලංකාවේ වමේ ව්‍යාපාරයේ තේමාව වූයේය. නමුත් මේ ප්‍රතිසංස්කරණවාදී සමාජවාදී සමාජය ගොඩනැගීම හුදු ප්‍රවාදයක් සේම ඊනිය උත්සාහයක් පමණක් බව නිදහසින් පසු ගෙවීගිය ඉතිහාසය විමර්ශණයේදී මැනවින් පෙන්නුම් කරන්නේය.

 

ගිනි 2

ආනන්ද ගුණතිලකගේ, සිසිලාග්නි නවකතාවේ කේන්ද්‍රීය කාරණය වන්නේ මධ්‍යගත ප්‍රතිසංස්කරණවාදී වාමාංශික ව්‍යාපාරයකින් ඔබ්බට ගිය විප්ලවීය සමාජ ප්‍රතිසංස්කරණයක් සඳහා වන ජවසම්පන්න විප්ලවවාදි ව්‍යාපාරයක අවශ්‍යතාවයයි. ඒ මනෝභාවය සිසිලාග්නි නවකතාවේ වස්තු බීජය වී තිබේ.

60 දශකයේ මැදභාගය වනවිට ලංකාවේ සාම්ප්‍රදායික වමේ පක්ෂ වු ලංකා සමසාමජ පක්ෂය, ලංකාවේ කොමියුනිස් පක්ෂය, විප්ලවාදී ලංකා සම සමාජ පක්ෂය න්‍යායික හා මතවාදීමය අර්බුද රැසකට මුහුණ දී තිබුණි. ඔවුන්ගේ පසුගාමී භාවිතයන් තරුණ රැඩිකල් වාමාංශිකයන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබුණි. සාම්ප්‍රදායික වමට එරෙහිව නව විප්ලවාදී වමක් උදෙසා වන සමාජ පසුබිම මේ සමය වනවිට ලාංකීය සමාජ සන්දර්හය හමුවේ නිර්මාණය වී තිබුණි. ෂම්මුගදාසන්ගේ විප්ලවාදී කොමියුනිස් පක්ෂය සම්ප්‍රදායික වමට යම් විකල්ප මාවතක් විවෘත කර තිබුණත්, එය සාර්ථක විකල්පයක් නොවිණි. විජේවීර වැනි තරුණ විප්ලවවාදී නායකයින් ව්ප්ලවවාදී කොමියුනිට්ස් පක්ෂය හැරයන්නේ එහි මතවාදය හා දෘෂ්ඨිවාදය අතර වූ ප්‍රතිවිරෝධය නිසාය.

විජේවීර ඇතුළු තරුණ විප්ලවාදීන් නව වාමාංශික ව්‍යාපාරයක් සඳහා අවශ්‍ය කථිකාව මේ වන විට ඇතිකර තිබුණි. ජනතා විමුක්ති පෙරමුණ, ජාතික විමුක්ති ව්‍යාපාරය, ගිනි පුපුර කණ්ඩායම හා පෙරදිග සුළග වැනි ව්‍යාපාරය 60 දශකය මැද භාගයේ ලංකාවේ විප්ලවීය ක්‍රියාමාර්ගය අරමුණු කොට ක්‍රියාත්මක වු සංවිධාන හා කණ්ඩායම්‍ ය. සමාජවාදි විප්ලවය අරමුණු කොට ක්‍රියාත්මක වූ මෙම වාමාංශික විප්ලවාදී සංවිධාන හා කණ්ඩායම් හි ක්‍රියාකාරීත්වය එසමයේ පැවැති ආණ්ඩුවල නිරන්තර නිරීක්ෂණයට ලක් වී තිබුණු ආකාරය ආනන්ද ගුණතිලක සිය නව කථාවෙන් පෙන්වා දී තිබේ.

 

ගිනි 4

 

විප්ලවීය සංවිධානවල ජීවගුණයෙන් පෝෂණය වු සමාජ කථිකාවේ නෑඹුල් සුවඳ ආනන්ද ගුණතිලකගේ සිසිලාග්නි නව කතාවෙන් අපූරුවට නිරූපනය කරන්නේය.

පාසල් වියේ සිටම සමාජ පරිවර්ථනයක් උදෙසා සිතුවිලි සමඟ ජීවත්වන අවන්ත නම් තරුණයා වටා ගෙතුනු සිසිලාග්නි නවකතාව තරුණ ජීවිතයක සුලභ ගති ලක්ෂණ වන ආදරය, ප්‍රේමය , විරහව, ලිංගිකත්වය ආදී වශයෙන් වූ අතිශය ස්වභාවික මනෝභාවයන්ගෙන් ද සාමාන්‍යකරණය වී තිබේ.

පරම විඥාර්ථ බෞද්ධ සංගමය විසින් මෙරට ආරම්භ කරන ලද බෞද්ධ පාඨශාලා ක්‍රමය හා 1943 නිදහස් අධ්‍යාපන පනත මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ වැදගත් සංදිස්ථානයන්‍ ය. බෞද්ධ පාඨශාලා ක්‍රමය හා නිදහස් අධ්‍යාපන ක්‍රමය මෙරට විශාල සමාජ පරිවර්ථනයකට අවශ්‍ය පසුබිම සකස් කලේය. අධ්‍යාපන අවස්ථා වෙනුවෙන් වරප්‍රසාදිත සමාජයෙන් බැටකෑ පංතිවලට අයත් මිනිසුන්ගේ දරුවන්ට අධ්‍යාපන අවස්ථා සදහා නිදහස් අධ්‍යාපන පනත විශාල වටිනාකමක් නිර්මාණය කලේය. පසුකාලීනව මෙරට සමාජ පරිවර්ථනයක් වෙනුවෙන් සන්නද්ධ අරගලයේ කොටස් කරුවන් වන්නේ ද මැද හා පහල මැද පංතිය නියෝජනයකල සමාජ කණ්ඩායම්‍ හි තරුණ දූ දරුවන්‍ ය.

 

ගිනි 3

 

මෙරට ප්‍රමුඛ බෞද්ධ අධ්‍යාපන පාඨශාලාවක් වු කොළඹ ආනන්ද විද්‍යාලයේ එවක පැවති පන්ති සමාජ ගැටුම ආනන්ද ගුණතිලකගේ සිසිලාග්නියෙන් මැනවින් නිරූපනය කරයි. කොළඹ ආනන්දය යනු එක් රූපකයක් පමණක් වුවත්, එවැනි පොදු සංසිද්ධීන් පිළිබද යම් මනෝහාවයක් ඇතිකර ගැනීමට එකී සිද්ධිවාචකය මනාපිටිවහලකි.

අයුක්තියට , අසාධාරණයට එරෙහිව පාසැල් නේවාසිකාගාරයේ අරගල කරන සුහුඹුල් යෞවනයා සිය භද්‍ර යෞවනයේ දී අරගය කරන්නේ සමාජ අසාධාරණයට එරෙහිව සමජ පරිවර්ථනයක් වෙනුවෙනි. සුහුඹුල් යෞවනයේ දී පාසැල් නේවාසිකාගාරය තුල සූරා කෑම පිළිබදව අවබෝධ කරගන්නා ශිෂ්‍යයා මහා සමාජයේ ඇති අයුක්ති සහගත බව හා අසාධාරණකම් පිළිබද ගොඩනගා ගන්නේ දුරාබෝධ මානසිකත්වයකි. එලෙසම එකල්හි මෙරට විශ්ව විද්‍යාලය පද්ධතිය පිළිබද සිතුවමක් නිර්මාණය කිරීමට සිසිලාග්නිය පාඨකයාට අවස්ථාව සලසා දී තිබේ. යෞවන විද්‍යාර්ථයකුගේ මනෝභාවය , ඔහු සමාජය දකින ආකාරය යතාර්ථවාදීව විශ්ලේෂණය වීම සිසිලාග්නිය යතාර්ථවාදී නවකථා රීතියට අනුගත වූ නව කතාවක් ලෙස මානනය කරගැනීමට ඇති පහසුම මිනුම් දණ්ඩකි.

1960 - 70 දශකයේ මෙරට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ,ඒ වායේ පැවති ස්වභාවයද ආනන්ද ගුණතිලක සිය සිසිලාග්නි නවකතාවෙන් පෙන්වා දීම වර්ථමාන පාඨකයාට එකල්හි මෙරට සරසවි අධ්‍යාපනය හා එහි සමාජ පැතිකඩ පිළිබද පරිකල්පන ශක්තිය වැඩිදියුණු කිරීමට උත්ප්‍රේරකයකි.

 

ගිනි 6

 

විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් අනතුරුව පොදු සමාජයට ප්‍රවිශ්ඨවන තරුණ උපාධිධාරියෙකුගේ හැඟීම් මනාව නිරූපනය කරන සිසිලාග්නිය නවකතාව පුරා යටිපෙළ රෝපණය කරන වැදගත්ම දෘෂ්ඨිවාදය වන්නේ සමාජ සන්දර්භයේ වන්නාවු නොනවතින "පංති සමාජ ගැටුමයි". සමාජ සාධාරණය උදෙසා විප්ලවීය පරිවර්ථනයක සිහින දකින තරුණ ජීවිතයක, අතිශය සාමාන්‍ය භාවමය හැඟීම්, විප්‍රලම්භයන් , ලිංගිකත්වය හා කාමාෂ්වාදයන් ආදී වශයෙන් වන්නාවු සාමාන්‍ය පුද්ගලයකුගේ ජීවිතයේ ඇති භාවමය කියවීම් වලින් ද සිසිලාග්නිය අලංකාර වී තිබේ. සිසිලාග්නිය යතාර්ථවාදී සාහිත්‍ය රීතියට සමීපකරණ සාධනීය ගතිකයන් ලෙස මෙකී ශෘගාරාත්මක ලක්ෂණ ද පෙන්වා දීමට පුලුවන.

සිසිලාග්නිය නවකතාවක් වීම කෙරෙහි මෙහි ඇති සාහිත්‍යමය රූපක, අලංකාරික වඩාත් ඉවහල් වී තිබේ . හුදු සාහිත්‍ය රසයෙන් පිරුණු නවකතාවකට වඩා ශෘංගාරාත්මක හැගීම් සිසිලාග්නියට අලංකාරයක් සපයයා ඇත. ඒ ශෘගාරාත්මක රසය ද සම්මත ලේඛණ භාවිතය මත පිහිටා සිදුකිරීමෙන් නිරූපයවන්නේ ආනන්ද ගුණතිලගේ ලේඛණයේ ඇති පරිනත බවයි. සිසිලාග්නිය හුදු නවකතාවක් ලෙස තනි අර්ථනිරූපනයක් ඉදිරිපත් කරනවාට වඩා සිසිලාග්නි යනු දේශපාලනක පුනරුච්චාරණයක් ලෙස හැදින්වීම වඩාත් යෝග්‍යයැයි සිතමි. එය නවකතාවක් කිරීමට ආනන්ද ගුණතිලගේ භාෂා ශෛලිය හා සාහිත්‍යමය ගුණය වඩාත් ඉවහල්වී ඇත.

 

ගිනි 7

නිදහසින් පසු ලාංකීය සමාජය මුහුණ දුන් 1971 තරුණ නැඟී සිටීම සිසිලාග්නිය නව කථාවට වස්තු බීජය වී ඇත්තේය. යටත් විජිත නිදහසින් අඩසිය වසකට වැඩි කාලක් මෙරට පාලනයකල කිසිදු පාලකයකු ඊට බලපෑ සැබෑ හේතු කුමක්ද කියා ගැඹුරින් සොයා බැලීමට අවංක උවමනාවකින් කටයුතු කලේද කියන ප්‍රශ්නය අප හමුවේ පවතී. එවැනි සාධාරණ ප්‍රශ්ණයක් අපහමුවේ ගොඩනැගීමට 1971 තරුණ නැගී සිටීමෙන් වසර 28 ඉක්ම යන්නට ප්‍රථම 1989 දී දෙවැනි තරුණ නැගිටීමක් සිදුවීම පෙන්වා දීමට පුළුවන.

1971 ගැඹුරෙන් කියවූයේ නම් 1989ක් නිර්මාණය විය හැකිද?. සිසිලාග්නිය යනු 1971 දී තරුණ විප්ලව වාදියකුගේ භාවමය හැගීම් ලේෂමාත්‍රයකි. 1971 යනු ලාංකීය දේශපාලනයේ හැඩතල වෙනස්කල සහ රුධිරයෙන් වන්දි සමයක් ලෙස අමුතුවෙන් කිවයුතු නොවේ.

ඒ අවිචාර සමයන් පිළිබදව ආනන්ද ගුණතිලක සිසිලාග්නිය නවකතාවෙන් අනාගතයට එතුකර් ඇත්තේ වටිනා සාක්ෂි සටහනකි. දේශපාලනය වැනි සාහිත්‍යාත්මක නොවන විෂයක් ප්‍රස්තුත වූ නව කථාවක් ප්‍රබන්ධ කරනු යනු පහසු හෝ සරල ව්‍යායාමයක් නොවේ. නමුත් ආනන්ද ගුණතිලක මහත් පරිශ්‍රමයකින් ඊට සාධාරණය ඉෂ්ඨකොට ඇත. පාඨකයා වෙහස කරවන සූලු කියවීමකට ආනන්ද ගුණතිලක සිසිලාග්නිය වෙනුවෙන් භාෂාව හසුරුවා නැත.

 

ගිනි 5

 

සිසිලාග්නිය යථාර්තවාදී නව කතා රීතියට සාධාරණය ඉෂ්ඨ කර ඇත්තේය. ගුණදාස අමරසේකර වැනි නවකතාකරුවන් විවරකල සමාජ , දේශපාලන කියවීම් අනුභූති කොටගත් නවකතා සම්ප්‍රදාය සිසිලාග්නිය නව කතාවෙන් තවදුරටත් ඉදිරියට ගෙන යෑමට ආනන්ද ගුණතිලක වෙසෙසි උත්සාහයක් දරා ඇත. ලාංකීය නව කතාකරණයේ ප්‍රගමනය උදෙසා දේශපාලන දෘෂ්ඨිවාදය සාහිත්‍යාත්මක ප්‍රබෝධයකින් ඉදිරිපත් කිරීමට ගන්නාලද මේ උත්සාහය ඇගයීමට ලක්විය යුතුය.එසේම දේශපාලන දෘෂ්ඨිවාදය වස්තු විෂය වු නවකතා ප්‍රභේදය ශක්තිමත් කිරීමට සිසිලාග්නිය කදිම සුභාවිතකි.